මාලිනී වගේ කෙනෙක් හමු වුනොත් බදිනවා

විජය එදා කී කතාව අර්නස්ට් වඩුගේ රස ආවර්ජනයක

විජය කුමාරතුංග මට මුලින්ම හමු වූ දිනය හෝ ඔහු පිළිබඳව හා හා පුරා කියා ‘සරසවිය’ට සැපයූ ලිපිය පිළිබඳ හෝ නිශ්චිතව මතකයක් නැත. එහෙත් විජය පිළිබඳ මහා ග්‍රන්ථයක් ලිවිය හැකි තරම් වූ අප්‍රමාණ වූ රස නීරස තොරතුරු මගේ මතකයේ රඳා පවතී. විජය පමණක් නොව මා ද මාධ්‍ය දිවියේ කෝඩුකාර අවදියේ සිටම ඔහු සාහසික වෙඩි ප්‍රහාරයකට ලක්වූ දා තෙක්ම ඔහුත් මාත් පෞද්ගලික හිත මිතුරන් වීමු.

ඔහු ජීවිතක්ෂයට පත්වීමට පෙරාතුව ‘විජය කුමාරතුංග සිනමාවෙන් සමු ගනියි’ යනුවෙන් ‘සරසි’ පත්‍රයේ පළ කළ උණුසුම් ආන්දෝලනාත්මක ප්‍රධාන පුවත දක්වා අප අතර වූ බැඳීම විහිදී ගියේය.

විජය කුමාරතුංග මුළු මහත් රටම හඳුන්වනුයේ ‘මානව හිතවාදී අපූරු මිනිසෙකු’ ලෙසටය. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම එය එසේමය. එය සැබෑවකි. ඒ පිළිබඳව වූ අප්‍රමාණ සිදුවීම්වලින් බිඳක් මම මෙහි සටහන් කරමි.

එකල විජයත් මාත් නිතර නිතර හමුවන සුහද සංගීත මංජරියක් විය. එතැන එකල අප පමණක් නොව අද සුපතළ බොහෝ කලාකරුවන් මුණ ගැසෙන ‘අම්බලමක්’ බඳු විය.

ඒ අප කවුරුත් ආදරයට අමතන මාස්ටර්ගේ මරදානේ සංගීත මංජරියයි. ප්‍රේමසිරි කේමදාස නම් වූ මහා සංගීතවේදියාගේ තිඹිරිගෙය වූයේ ද එතැන යැයි, යනුවෙන් හැඳින්වීම ද අතිශයෝක්තියක් නොවේ.

අද ජයන්ත වීරසේකර මාවත යනුවෙන් හැඳින්වෙන, ටවර් රඟහල ඉදිරිපසින් මාලිගාවත්ත දෙසට විහිදී ගිය මාවත ආරම්භයේම පිහිටි පැරැණි තෙමහල් ගොඩනැඟිල්ලක උඩු මහලේ කොටසක ප්‍රේමසිරි කේමදාස සංගීත මංජරිය පිහිටා තිබුණි. මාස්ටර්ගේ සුහද ළෙන්ගතු ඇසුර පතා සංගීතය හැදෑරීමට නොව ‘ඔහේ නිකමට විවේකීව කාලය ගත කිරීම’ සඳහා ද අද නමගිය එදා කෝඩුකාරයෝ වූ අපි බොහෝමයක් සංගීත මංජරියේ මිහිරි සෙවණ සොයා ගියෙමු.

ඒ අතරින් විජය කුමාරතුංග ද කෙනෙකි. ඔහු එවකට කේමදාස මාස්ටර්ගේ ‘සිතිජය’ ඉඟි නළුවේ ප්‍රධාන චරිතයක් නිරූපණය කළේය. එය සඳහා මෙන්ම විජය කොළඹ පැමිණියහොත් නොවැරදීම ගොඩ වදින කලා ස්ථාන දෙකක් එකල තිබුණි.

ඒ කේමදාස මාස්ටර්ගේ සංගීත මංජරිය හා චිත්‍රපට නිෂ්පාදක, අධ්‍යක්ෂවරයකු මෙන්ම ජනප්‍රිය ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදක විමලදාස පෙරේරාගේ සිනමා කාර්යාලයටය. ඔහුගේ කාර්යාලය පිහිටා තිබුණේ මරදානේ (ආනන්ද විදුහල අසල) තෙමහල් යෝධ ගොඩනැඟිල්ලක උඩු මහලේය.

විමලදාස පෙරේරාගේ කාර්යාලය දහවලට කාර්යාලයක් වූයේ වී නමුදු, රාත්‍රියට කලාකරුවන්ගේ බෝඩිමක් විය. දුර බැහැර ඉඳන් කොළඹ එන කලාකරුවන් මෙන්ම සමහර කොළඹ කලා කටයුතුවල නියුතු ශිල්පීන්ගේ ද ‘රස බෝඩිම’ වූයේ විමල්ගේ කාර්යාලයයි. එයට යාබදව තරමක ඉඩකඩ සහිත ශාලාවක් තිබූ හෙයින් දහ දොළොස් දෙනෙකුට ද එහි නවාතැන් ගැනීම අසීරු නොවීය.

ඒ මට මතක හැටියට සම්මානනීය අධ්‍යක්ෂක ධර්මසේන පතිරාජ, වත්මන් අති දක්ෂ ශිල්පියෙකු වන ඩබ්ලිව්. ජයසිරි, වත්මන් දක්ෂ කලා ශිල්පියෙකු වන බන්දුල විතානගේ, සරසවියේ එකල ජනප්‍රියම කැමරා ශිල්පියා වූ බන්දු එස්. කොඩිකාර, දක්ෂ නළුවෙකු වූ සමන් බොකලවෙල ඇතුළු තවද එදා කෝඩුකාර පසු කලෙක ඉතා ජනප්‍රිය වූ කලාකරුවන් රැසකට සුවදායක සෙවණක් වූයේ විමල්ගේ මෙම කාර්යාලයයි.

විජය කුමාරතුංග ද ඉන් කෙනෙකි. විමලදාස පෙරේරා ඉතා සරුසාරව වැජඹුන එම සමයේ ඔහු හැම කලාකරුවෙකුටම ඉහළින්ම සැළකීමට මහත්සේ ප්‍රිය කළේය.

මා මෙම කරුණු මෙහි සඳහන් කළේ විජය කුමාරතුංගගේ උදාර වූ ‘මනුස්සකමක්’ ගෙන හැර දැක්වීම සඳහාය.

මෙම මුල් යුගයට පසු විජය කුමාරතුංග ශ්‍රී ලංකාවේ අතිශයින්ම ජනප්‍රියම නළුවා ලෙස වැජඹෙමින් සිටි කාලයේ විමලදාස පෙරේරා තමාගේ අලුත්ම චිත්‍රපටය වූ ‘පොඩි නංගී’ වැඩ කටයුතු ආරම්භ කළේය. එහි ප්‍රධාන නළුවා ලෙස තෝරා ගෙන තිබුණේ විජය කුමාරතුංගය. තවද ගීතා කුමාරසිංහ, ශ්‍රියානි අමරසේන, විජය නන්දසිරි ආදී ජනප්‍රියම තරු රැසක් එහි රඟපෑම සඳහා තෝරා ගෙන තිබුණි.

මා එහි නිෂ්පාදක විධායක ලෙස කටයුතු කළ බැවින් ‘පොඩි නංගී’ විශාල වැඩ කොටසක් මට පැවරී තිබුණි.

‘පොඩි නංගී’ මුහුරත් උළෙල හිමිදිරි උදෑසනක පැවැතියේ විමලදාස පෙරේරා ගේ මරදානේ සුවිසල් ගොඩනැඟිල්ලේ පිහිටි කාර්යාල පරිශ්‍රයේය.

ඒ වන විට විජය ඉතාම ජනප්‍රිය නළුවෙකුව සිටින බැවින්ද, එදින නැකැත් දිනයක් වූ බැවින් ද විජය ප්‍රධාන චරිත තුනක් රඟපාන චිත්‍රපට තුනකම මුහුරත් උළෙල යෙදී තිබුණේ මෙදින උදය වරුවේ එකම නැකත් වේලාවකය. මගේ මතකය නිවැරදි නම් ඔහුට සහභාගී වීමට නියමිතව තිබුණේ ඔහුගේ ඉතාම සමීප මිත්‍රයන් දෙදෙනෙකු වූ සුනිල් ආරියරත්න සහ ඇලරික් ලයනල් වැඩ අරඹන අලුත්ම චිත්‍රපට දෙකක මුහුරත් උළෙල සඳහාය.

‘මට අද මුහුරත් උළෙල තව දෙකක් තියෙනවා. ඒත් මං මුලින්ම ආවේ විමල්ගේ චිත්‍රපටයේ මුහුරත් උළෙලට. ඒ කෙළෙහි ගුණ සැලකීමක් වශයෙන්’.

විජය ‘පොඩි නංගී’ සහාය අධ්‍යක්ෂක වූ ප්‍රභාත් කුමාරට පවසනු මම අසා සිටියෙමි.

මුහුරත් උළෙලේ චාරිත්‍ර වාරිත්‍රවලින් අනතුරුව උදා වූයේ චිත්‍රපටයේ ගිවිසුම් අත්සන් කරන අවස්ථාවය. විජයට ඉක්මනට යාමට අවශ්‍යව තිබූ බැවින්, ඔහුගේ ගිවිසුම මුලින්ම අවසන් කරන ලෙස මට විමලදාස පෙරේරා පැවසීය. මම ගිවිසුම්පත විජය වෙත පිළිගැන්වූයෙමි.

මට මහත්ම විශ්මයක් දැනුණි. ඒ සමය වන විට චිත්‍රපටයක රඟපෑම සඳහා වැඩිම මුදලක් අය කරන නළුවෙකු වූයේ විජයයි.

ඔහු ලොකු ගිවිසුම් කොළය පුරාම හරහට විජය කුමාරතුංග යන අත්සන පමණක් යොදා ගිවිසුම්පත මට භාර දුන්නේය.

මේ කවදාවත් සිදු නොවන්නක් බැවින් මට මහත් අපහසුතාවයක් දැනුණි. ගිවිසුම්පතෙහි තව බොහෝ කරුණු සටහන් කළ යුතුව ඇත. විශේෂයෙන්ම විජය කුමාරතුංග අය කරන මුදල සහ එදින අත්තිකාරම් මුදල එහි සටහන් කළ යුතුª විය.

රුපියල් පනස් දහසක මුදලක් විජයට අත්තිකාරම් වශයෙන් ගෙවීමට සැලසුම් කර තිබුණි. එකල එය විශාල මුදලකි.

‘විජේ මොකක්ද මේ ඇග්රිමන්ට් එක. ඔයාගේ සම්පූර්ණ අය කිරීම කෝ? අපි පනස් දාහක් ඇඩ්වාන්ස් පේ කරනවා’

විජය කට කොණකින් අර රටක් වශී කරන ආකර්ෂණීය හිනාව පෑවේය.

‘අර්නස්ට් ඔයා හොඳටම දන්නවා මගේ අතීතේ. ඔයාට මතක ඇති ඔයත් මාත් කේමදාස මාස්ටර්ගේ සංගීත මංජරියෙ ඉඳන් මෙහෙ නවාතැන් ගන්න ආවහම විමලදාස පෙරේරා අපට සලකන හැටි. මට මුලින්ම වාහනයක් ගන්න උදව් කළෙත් ඔය විමල්. ඉතින් ඒ මනුස්සයා අමාරුවෙන් චිත්‍රපටයක් පටන් ගන්න කොට මට සල්ලි ගන්න පුළුවන්ද. මං අද දවසේ කෝටියක් අය කළත් මං විමල්ගෙ චිත්‍රපටයක රඟපාන්නේ ශත පහක්වත් අය නොකර. එහෙමවත් මනුස්සකමක් අපේ නැත්නම් මොකටද . . .’

විජය ඉතාම හැඟීම්බරව කීය. මගේ දෑසට සතුටු කඳුළු උනා ආවේය. එය ඉතාම සංවේදී මොහොතක් විය.

විජය මෙරට අතිශයින්ම ශ්‍රේෂ්ඨ චරිතයක් ලෙස ජනාදරයට පාත්‍ර වූයේ ඔහුගේ ජීවිතය පුරාම පැවැති මෙවන් වූ උදාර මනුස්සකම් නිසාය.

සීදූවේ සිට නිතර කොළඹට පොදු සේවා මගින් කොළඹ ආ විජය කුමාරතුංගට මුලින් යතුරු පැදියක් අරන්දීමට උදව් උපකාර කළේ විමලදාස පෙරේරාය. ස්ටැෆර්ඩ් මෝටර්ස් ආයතනය මඟින් එය ඉටු කර දීමට මඟ සැලැස් වූයේ විමලදාස පෙරේරාය.

මුල අමතක කරන අති බහුතරයක් ජීවත්වන සමාජයක මෙවන් ගුණ ගරුක මිනිසුන්ද මගේ දීර්ඝකාලීන මාධ්‍ය චාරිකාවේදී මුණ ගැසී ඇත.

විජය දේශපාලනය

කෙරෙහි කොතරම් නැඹුරු වී එය සඳහා සුවිසල් ගමනක ගියේ වී නමුදු ඔහු කවදාවත් සිනමාවට තිබූ ආදරය බිඳකුදු අඩු කළේවත් අමතක කළේවත් නැත.

මම ‘සරසි’ පත්‍රයට විජය සමඟ කළ සාකච්ඡාවක් මේ මොහොතේත් සිහිපත් වන්නේය. ‘සරසි’ හිමිකාරිත්වය හා ප්‍රධාන කර්තෘත්වය දැරුවේ වත්මන් ලේක්හවුස් සභාපති බන්දුල පද්මකුමාර මහතාය. විජයගේ අතිශයින්ම ළෙන්ගතු සමීපතම මිත්‍රයකු වූ බන්දුල ‘සරසි’ පත්‍රයේ විජය ගැන යමක් නොමැතිව කිසිදාක පත්‍රය නිකුත් නොකළ තරම්ය.

මා විජය සමඟ කළ සමීප කතාබහේදී විජය කළ ප්‍රකාශයකින් ඔහු සිනමාව ගැන කොතරම් භක්තිමත්ව ජීවත් වූවා ද කියා අපට තේරුම් ගත හැකිය.

ඩී . බී. නිහාල්සිංහගේ ‘දිමුතු මුතු’ මඟින් ආරම්භ කළ මෙරට ටෙලි නාට්‍ය සංස්කෘතිය මුළු මහත් ජනතාවම වැළඳ ගත්තේය. ටෙලි නාට්‍යවලට ජනතාව වහ වැටුණු යුගයකි ඒ. සිනමාවට එය ඉමහත් තර්ජනයක් වෙමින් තිබුණි.

‘ඔයා මෙන්න මේක විශේෂයක් කරල ලියන්න. මේ විජය කුමාරතුංග මැරෙන තුරා කිසිමදාක ටෙලි නාට්‍යවල රඟපාන්නේ නැහැ. විජය බලන්න ඕන නම් සිනමා ශාලාවට එන්න ඕන.

‘සිනමා පටයක කරන රඟපෑමක් කවදාවත් අපට පුංචි තිරේ කරන්න බැහැ. සිනමාවේ තියෙන ජීව ගුණය කිසිසේත්ම ටෙලි නාට්‍යයකින් පිළිබිඹු කරන්න බැහැ. මොනම හේතුවක් නිසාවත් මං ටෙලි නාට්‍යවල රඟ නොපාන බව රටට කියන්න.’

ඔහු ඉතාම හැගුම්බරව කීය. සිනමාව යනු බොහෝ කලා මාධ්‍යයන් සංකලනය වූ අති ප්‍රබල කතාවක්, කර්මාන්තයක් බව විජයගේ ස්ථාවරය විය.

විජය කුමාරතුංග සම්බන්ධව අප්‍රමාණ වූ දේවල් මගේ මතකයේ රැඳී පවතින්නේය. මා ලේක්හවුස් හි සේවය කළ සමයේ තවත් රසවත් සිදුවීමක් මට මේ මොහොතේ සිහිපත් වෙයි.

එකල ‘සරසවිය’ පත්‍රයේ කොටස් වශයෙන් පළ කෙරෙන ඡායාරූප කතාවේ ප්‍රධාන චරිත යුගල නිරූපණය කළේ විජය කුමාරතුංග සහ මාලිනී ෆොන්සේකාය. ඒ වින විට විජය ගේ ‘හන්තානේ කතාව’, ‘රොමියෝ ජුලියට්’, ‘ප්‍රියංගා’ වැනි චිත්‍රපටවලත්, මාලිනීගේ ‘පුංචි බබා’, ‘දැන් මතකද’ ඇතුළු චිත්‍රපට ස්වල්පයකුත් තිරගත වී තිබුණි. ඒ ඔවුන් දෙදෙනාම ඒ වන විටත් ජනප්‍රිය වූයේ වී නමුදු පසු කලෙක මෙන් දැවැන්ත ප්‍රතිරූප ගොඩ නැඟී තිබුණේ නැත.

මට මතක හැටියට සරසවියේ පළවූ ටෝනි රණසිංහගේ ආදර අයිරා නවකතාවකි. මා සිනමා ක්ෂේත්‍රයේ සැවොම සමඟ සමීපව ඇසුරු කළ බැවින් පින්තූර කතාවේ නළු නිළියන් සම්බන්ධීකරණය ‘සරසවිය’ නියෝජ්‍ය කර්තෘ ලක්ෂ්මන් වික්‍රමසිංහ පවරා තිබුණේ මටය. ලක්ෂ්මන් වික්‍රමසිංහ යනු ‘සරසවිය’ වරකට පිටපත් ලක්ෂය අභිබවා අලෙවි වූ සමයේ පත්‍රයට දැවැන්ත මෙහෙවරක් කළ මාධ්‍යවේදියෙකි. උදාර මිනිසෙකි.

කතාවේ ඡායාරූප ගැනීම පැවරී තිබුණේ එවකට සරසවියේ පහනක් බඳුව සිටි ජනප්‍රිය ඡායාරූප ශිල්පියකු වූ බන්දු එස්. කොඩිකාරටය.

මාලිනී ෆොන්සේකා එවකට පදිංචිව සිටියේ කඩවත පිහිටි නිවෙසකය. විජයත්, මාත්, බන්දුත් කඩවත මාලිනීගේ නිවසට ගොස් නවකතාවේ ඡායාරූප කටයුතු සඳහා බොහෝ වේලා එහි රැඳී සිටින්නෙමු.

එහෙත් ඒ වන විට විජයත්, මාලනීත් අතර වැඩි මිත්‍රත්වයක් ගොඩ නැඟී තිබුණේ නැත. මාලිනීත් ලැජ්ජාශීලී සුවිනීත යුතියකි. විජය ද මාලිනීගේ නිවසේදී වැඩිපුර කතාබහක නිරත නොවීය.

විජය – මාලිනී අතිශය සොඳුරු ප්‍රේම ජවනිකා හා විවිධ ඉරියව් නිරූපණය වන ඡායාරූප රාශියක් බන්දු එස්. කොඩිකාර ඡායාරූපයට නැඟුවේය.

ඡායාරූප ගැනීම නිමවා විජය අප සමඟම ලේක්හවුස් එකට පැමිණියේය. මාත්, බන්දුත්, විජයත් ලේක්හවුස් කැන්ටිමට ගොස් තේ පානය කළෙමු.

ඒ වන විට විජය නව යෞවනයේ පසු විය. අතිශය ආකර්ශණීය කඩවසම් තරුණයෙකු වූ ඔහුට පෙම් කරන රසිකාවන් එකලද විශාල වශයෙන් නොසිටියා නොවේ. එහෙත් අවිවාහකව සිටි විජය ගැන ඔහුගේ මව ද පසු වූයේ කිසියම් කණස්සල්ලෙනි.

‘පුතාට බඳීන්න ඕන වයසනේ දැන්’

දිනක් මම මවගෙන් විමසුවෙමි.

‘මං බල කරන්නෙ නෑ පුතාට. එයා දැන තේරුම් තියෙන කෙනෙක්නේ. මට විශ්වාසයි මගේ පුතා තමාට ගැළපෙනම සහකාරිය තෝරා ගනීවිය කියා’

ඉතා හැඟීම්බරව මව දුන් පිළිතුර එයයි.

ලේක්හවුස් කැන්ටිමේදී තේ පානය කරන අතරතුර මම, මව පැවසූ එම වදන් ඔහුට සිහිපත් කළෙමි. ඔහුගේ මුහුණ හැගුම්බර විය. එහි ආදරණීය බවක්ද පිළිබිඹු විය. පින්තුර කතාවට පින්තූර ගනිද්දී විජය මාලිනී සමඟ මැවූ චමත්කාරජනක ප්‍රේමණීය හැගුම්බර දසුන් මට සිහිපත් විය.

‘ඇත්තටම විජේ අදහසක් නැද්ද බඳින්න?’

‘බඳින්න ඕන, කොල්ලෙක් වුණොත් බඳින්න එපායැ’

ඔහුගේ ඉරියව් ඉතා හැඟුම්බරය.

‘මොකෝ මේ මූඩ් ගහල’

බන්දු ඇසුවේය.

විජය මා දිහා සෘජුවම බැල්මන් හෙළීය. හීන් හිනාවක් ද මුවගේ රැඳී ඇත.

‘මාලිනී වගේ කෙනෙක් මට හම්බ වුණොත් මං හෙට වුණත් බඳිනවා . . . ඇත්තමයි’ ඔහු හැඟුම්බරව පැවසීය.

‘ජීවිත ගමනේ දෛවයෝගේ වළකන

රුසියා කවුරුද ලෝකේ’

මහා කලාකරු ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ ගී කාණ්ඩයක වදන් මට සිහිපත් විය.

සැබැවින්ම ජීවිත ගමනේ දෛවයෝග වළකන රුසියා කවුද . . .

ඔවුුනොවුන්ගේ ජීවිතවලත්, සමාජයේත්, සිනමා ක්ෂේත්‍රයේත් මේ වන විට මොන තරම් නම් අපූරු අපූරු විපර්යාස සිදු වී තිබේද . . .

සැබැවින්ම එම දිනය නම් මගේ ජීවිතයේ කිසිමදාක අමතක නොවන්නා වු එය ලක් ඉතිහාසයේ ද මහා කළු පැල්ලමක් සණිටුහන් කළා වූ මහා අන්ධකාර ජාතියේ අවාසනාවන්ත දිනයකි වර්ෂ 1988 පෙබරවාරි 16 වැනිදා.

රන් සමනලයකු සහාසික වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූ මහා අවාසනාවන්ත දිනය එයයි. සදාදරණිය විජය කුමාරතුංග නම් වූ මානව හිතවාදී, රටක් වසඟයට ගත් ජනකාන්ත නළුවා, උදාර ගුණ සමුදායක් සපිරි සුමිතුරා, ජනතාවගේ වීරයා, ජීවිතයෙන් සමු ගත් දිනය එදායි.

1988 පෙබරවාරි 16 වැනිදා අඟහරුවාදාවකි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව