මං හරියට කූඩු වුණ කිරිල්ලියක් වාගේ

මොරටුවේ යුවතියක් උපේක්ෂාට ලියූ ලිපියක්

‘ආදරණීය උපේක්ෂා’

මේ පසුගිය සතියේ සිට සරසවිය අප ඇරැඹි අලුත්ම විශේෂාංගයයි. උපේක්ෂා මේ හරහා ඔබ වෙත පැමිණෙන්නේ ඇය පිළිබඳ කතාබහක යෙදීමට නොව ඔබ වෙනුවෙන් හඬ අවදි කිරීමටයි. ඇගේ අදහස් නිසැකවම ඔබට ශක්තියක් වේවි. මේ ආදරණීය උපේක්ෂා හී තවත් අදියරක දිගහැරුමකි

ප්‍රේම සම්බන්ධයකින් සිදු වූ අපගේ විවාහයට දැන් මාස හයක්. බඳින්න පෙර මම බොහොම සැහැල්ලුවෙන් සහ නිදහසෙන් සිටි තරුණියක්.

ඒ කාලයේ මම හිතෙන හිතෙන එහෙත් මට ගැළපෙන විලාසිතාවන් කළා. ඔහු ඒ කිසි දෙයකට විරුද්ධත්වයක් පෙන්නුවේ නැහැ. දැන් ඔහු හරිම වෙනස්. මට නොයෙකුත් තහංචි දමනවා. මං දැන් හරියට කූඩු වෙලා ඉන්න කිරිල්ලියක් වගේ.

කුසලා සංදීපනී -

මොරටුව

මෙය එතරම් හිතට ගත යුතු කාරණයක් නොවෙයි. බොහොම ඉවසීමෙන් වැඩ කරන්න. විවාහ ජීවිතයේදී අපිට නොයෙකුත් පරිත්‍යාග සිදු කරන්න වෙනවා. ඒක කාටත් පොදු කරුණක්. ඔබට ඔබේ ස්වාමි පුරුෂයා තහංචි පනවන්නේ ඔහුගේ හිතේ තියෙන ආදරය නිසා වෙන්න ඇති. ඔබ කලබල වෙන්න එපා. ඔබේ ගැළුවට කාලය විසින් ධනාත්මක විසඳුමක් ලබාදේවි.


මට වයස අවුරුදු 19 ක්. මම අපේ පවුලේ එකම දියණිය. මට අයියා කෙනෙකු ඉන්නවා. එයා මට වඩා අට අවුරුද්දක් වැඩිමල්. පුංචි කාලේ ඉඳලම මට දැනුණේ අම්මා මට වැඩිය අයියාට ආදරේ බවයි. අයියා පසුගිය දිනෙක විවාහ වුණා. දැන් අම්මා වෙනදාටත් වඩා මගෙන් දුරස් වෙලා.

නදීෂා සඳරුවනි – කොට්ටාව

ඕනෑම අම්මා කෙනෙක් තමන්ගේ දරුවන්ට ආදරෙයි. ඉන් සමහරක් දරුවනන්ට කොච්චර ආදරේ වුණත් ඒ බව පෙන්වන්නේ නැහැ. ඒක නිසා ඒ දරුවො හිතනවා මව්පිියෝ තමන්ට ආදරේ නැහැ කියලා. ඔබේ අම්අමාත් ඒ ගණයට වැටෙන කෙනෙකු වගෙයි මට හිතෙන්නේ. ඔබ ඔබේ මව් එක්ක නිදහස් වේලාවක මේ ප්‍රශ්නය පිළිබඳ කතාබහක නියැලෙන්න. නියම අම්මා කෙනෙකු විදිහට ඇය එතකොටවත් ක්‍රියා කරයි.


මම පෞද්ගලික ආයතනයක රැකියාවක යෙදෙන තරුණියක්. මිට කලකට ඉහතදී අප කාර්යාලයේම මගේ වයසේ තරුණයකුගෙන් විවාහ යෝජනාවක් ආවා. එම අවස්ථාවේදීම මං එය ප්‍රතික්ෂේප කළා. නමුත් දැන් මං ඔහුට ආදරය කරනවා. මං හිතන විදිහට ඒ බව ඔහුත් දන්නවා. ඒත් දැන් එයා ප්‍රේමවන්තයෙක්. එහෙම වෙලත් ඔහු මං ඉන්න තත්ත්වය මත මටත් සමීප වන්නට උත්සාහ ගන්නවා. අනේ අක්කේ මම දැන් මොකද කරන්නේ?

චාරුක්්‍යා වික්‍රමතුංග - රඹුක්කන

ඔබට ළංවීමට ඔහු ගන්නා උත්සාහය මත ඔහුගේ පෙම්වතියට සිදුවන්නේ මහත් අසාධාරණයක්. එහෙම නේද චාරු?

ඇය අතහැර ඔහු ඔබ වෙත එනවා නම් පමණක් ඔහුව පිළිගන්න. කෙසේ වෙතත් ඔබ හදවතින් නොව බුද්ධියෙන් තීරණ ගන්න. මේ සියල්ලටම පෙරාතුව ඔබ ඔබේ සිත ශක්තිමත් කර ගන්න.


මගේ පුතා සාමාන්‍ය පෙළ ශිෂ්‍යයෙක්. ඔහුගේ කාමරයේ තිබී අසභ්‍ය වීඩියෝ පට යැයි සැක කළ හැකි කිහිපයක්ම හමු වුණා. මං තවම පුතා සමඟ ඒ පිළිබඳ කතා කළේ නැහැ. ඔහු තරමක දඩබ්බරයෙක්.

ශ්‍රියා කාන්ති – ගම්පහ

දරුවකු දඩබ්බර වුණත් ඔවුනට නිසි අවධානය ලබා දෙනවා නම් ඔවුන්ව පාලනය කරන්නට හැකියි. ඔබත් දඩබ්බර වුණොත් පුතා තවත් දඩබ්බර වෙන්න පුළුවන්. සුහදව මේ ගැන දරුවත් එක්ක කතා කරන්න. යම් කිසි අවස්ථාවක ඔබ මේ පිළිබඳ දරුවාට පෙන්වා නොදුන්නොත් මතු දිනෙක ඔහු ඔබට දොස් නඟනු ඇත. තව දෙයක්, මේ අසභ්‍ය වීඩියෝ පට දරුවා නරඹන්නේ ඔහුගේ කාමරයේම ඇති පරිගණකයේ බවට ඔබ සැක කරනවා නම් වහාම එය නිවෙසේ සාලයේ වැනි විවෘත ස්ථානයක තබන්න.


මම පාසල් ගියේ පිරිමි විදුහලකට. මට ඉන්නෙත් සහෝදරයෝම හතර දෙනෙක්. මා ඇසුරු කළ එකම කාන්තාව මගේ අම්මා. මං මේ වන විට විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබා සිටිනවා. මගේ පවුල් පසුබිමත් සහ මං මිත්‍රත්වය පැවැත් වූ අයත් එක්ක ඒ පරිසරයේදී මාව කොන් වේවි කියලා මට බයයි.

හර්ෂ දයාරත්න – හලාවත

බය වෙන්න එපා හර්ෂ, ඔබ කොන් වෙන්නේ නැහැ. විශ්වවිද්‍යාලයට යන්නේ ඉගෙන ගන්න.


ඒ කාර්යයට ප්‍රමුඛත්වය දීලා ඔබ කටයුතු කරන්න. අපි කාටවත් කෙතැනකදීවත් හැම තිස්සෙම අපිට ගැළපෙන අය හමු වන්නේ නැහැ.

මට පොඩි කාලේ ඉඳලා සල්ලි බාගෙ තිබුණේ නැහැ. පාසලෙන් ඉවත් වූ පසුව ගොඩක් අපහසුවෙන් මං පෞද්ගලික ආයතනයක සුළු රැකියාවක් සොයා ගත්තා. අපේ ඩිපාට්මන්ට් එකේ ප්‍රධානියා මට නිතරම අයුතු බලපෑම් එල්ල කරනවා. මට දැන් රැකියාව පවා කරගෙන යන්න එපා වෙලා. තිබෙන ආර්ථික ප්‍රශ්න නිසා මට රැකියාව අත හරින්නත් බැහැ.

නාලිනී ප්‍රේමවර්ධන – කඩුගන්නාව

ඔහුගේ ඉල්ලීම් ඔබ තරයේ ප්‍රතික්ෂේප කරන්න. දිගින් දිගටම ඉන් ඔබට සහනයක් නොලැබෙන්නේ නම් සාක්ෂි ගොනු කර නීතිමය ක්‍රියා මාර්ගයකට යොමු වන්න.

ඔබ වැනි අයට උදව් කරන නීතිමය පනත් බොහොමයක් තිබෙනවා. ආයතන ද තිබෙනවා.


මගේ ගම හොරොව්පතාන. මම වයස අවුරුදු 20 ක තරුණියක්.

මට හිතවත් කෙනෙක් කොළඹ රැකියාවක් දෙන්න පොරොන්දු වුණා. ලබන මස මුල් සතියේ දිනයක සිට මම ඊට යා යුතුයි. මං මීට ප්‍රථම ජීවිතයටම කොළඹ ඇවිත් නැහැ. කොළඹ ගැන මං අහලා ඇති දේවල් එක්ක මට කොළඹ එන්න බයයි.

සඳුනි නිසංසලා

තමන්ට තමන් ගැන විශ්වාසයක් තියෙනවා නම් කොළඹ විතරක් නෙවෙයි වෙනත් රටක ගිහින් වුණත් තමුන්ගේ වැඩ කටයුතු කරගෙන පාඩුවේ ඉන්න පුළුවන්. ඔබ කොළඹ එද්දී අනිවාර්යයෙන්ම වැඩිහිටියෙකු එක්ක එන්න. කොහොම නමුත් ඔබේ ජීවිතය සම්බන්ධයෙන් වගකිවයුත්තා ඔබම තමයි.


මට ස්ථිර රැකියාවක් නැහැ. මං ආර්ථික අතින් අන්ත පහළ අඩියකයි සිටින්නේ. මගේ සිතේ ගැහැනු ළමයකු වෙනුවෙන් ප්‍රේමයක් ඇති වෙලා තියෙනවා. එහෙත් ආර්ථික ශක්තියක් නොමැති නිසා ඒ ගැන ඇයට කියාගන්න බැහැ.

ධම්මික පසන්ඕවිට – මිරිස්ස

ධම්මික, ආර්ථික ශක්තිය කියන්නේ ලොකු ධනවතෙකු කියන එක නෙවෙයි. එහෙත් ඔබ කවදා හෝ ඒ ළමයාව විවාහ කර ගත්තොත් ඇයට කන්න, අඳින්න, ආරක්ෂාව ලබා දෙන්න ඔබට හැකිවන්න ඕනේ. ඔබ පළමුව ඇයව හොඳ මිතුරියක් කර ගන්න. ඒ අතරවාරයේදී ඔබ ස්ථිර රැකියාවක් හොයා ගන්න. ආදරේට ණය වෙවී බොරු සෝබනේට වියදම් කරන්න යන්න එහෙම එපා. සුදුසුම කාලයේ ඔබේ අදහස ඇයට ඉදිරිපත් කරන්න.

උපේක්ෂාට ලියන්න.

‘ආදරණීය උපේක්ෂා’,

සරසවිය, ලේක්හවුස්, කොළඹ 10.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව