19 දාට එන්න මේ උතුම් කටයුත්තට දායක වෙන්න

ලතා දිසානායකගෙන් ඇරැයුම්

‘සතුට සැනසුම් සුවේ බලා - සිහින ලොවකට තුරුල් වෙලා
ඈත අහසේ පියාසලා - එන්න කුරුලනි ඉගිල්ලිලා’

හැට, හැත්තෑව දශකයේ අතිශය ජනප්‍රිය වුණු මේ මධුර වූ ගී හඬ එදා රසිකයන්ට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ.

එහෙත් වත්මන් රසික පරපුර ඇය ගැන වැඩි යමක් දැන නොසිටින බවත් අප දන්නවා. ඒ නිසාමයි නැවතත් ඇගේ මතකය අවදි කරන්නට කරළියට ගොඩ වදින්නට ඇය සුූදානම් වන්නේ.

රුවන් අඹර සෙමර සලන වලා පෙළ ගැසේ, සඳ කිරණින් පැලට ඔබේ එළිය වැටෙනවා ආදර නදියක ඉවුරේ හැපි වැනි ඉතාම ජනප්‍රිය ගීත රැසක් ගායනා කළ ඇය ප්‍රවීණ ගායිකාවක මෙන්ම අති දක්ෂ නර්තන ශිල්පිනියක ලතා දිසානායකයි.

ඇගේ මියුරු ගායනා ඇතුළත් ‘සඳ කිරණින් 4’ ගී ප්‍රසංගය මෙම 19 වැනිදා සවස 6.30 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන්නට මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර අවසන්.

සංගීතවේදී සමන්ත පෙරේරා ප්‍රමුඛ වාද්‍ය වෘන්දය සංගීතය සපයන මෙහි නර්තනාංග චන්දන වික්‍රමසිංහ අතින් නිර්මාණය වී ඇත. යුග ගායනයෙන් ප්‍රියංකර පෙරේරා, ඉෂාක් බෙග්, කීර්ති පැස්කුවල්, විශාරද ධම්මික විජයරත්න සහෝදර ශිල්පීන් එක් වෙයි.

මේ වෙනුවෙන් පසුගියදා බොරැල්ල පුංචි තියටර්හිදී පැවැති මාධ්‍ය හමුවේදී දැන ගැනීමට ලැබුණේ මෙය හුදෙක් ප්‍රසංගයක් පවත්වනවාටත් වඩා උතුම් අරමුණක් වෙනුවෙන් පවත්වන්නට යෙදෙන ප්‍රසංගයක් බවයි. එනම් අප රටේ පිලිකා රෝගයෙන් බොහෝ සේ පීඩා විඳීන අසරණ රෝගීන්ගේ සුඛ විහරණය උදෙසා මෙයින් ලැබෙන සියලු ආදායම යොදවන බවයි.

මෙවැනි උතුම් කටයුත්තක් වෙනුවෙන් ලතා දිසානායක නමැති අපගේ ප්‍රවීණ ගායන ශිල්පිනියගේ හඬ අවදිවීම ඇත්තටම අපට මහත් වූ සංවේදී අවස්ථාවක් වන්නේ ඇයත් රුදුරු පිලිකා මරුවාට ගොදුරුව අනේක විඳ දුක් කන්දරාවක් දරාගෙන සිටින නිසාය. ඇය මෙම රෝගයට ගොදුරක් බවට පත් වූයේ 2010 වසරේදීයි. එතැනින් ඇරැඹු දුක්බර කතාව ඇගේ හඬින්ම අසමු.

‘මම වසර කිහිපයක සිටම කැනඩාවේ පදිංචි වෙලා හිටියේ. එහිදී තමයි මට පියයුරු පිලිකාවක් වැළඳී ඇති බව දැනගන්නට ලැබුණේ. ඒ හේතුවෙන් වසරක පමණ කාලයක් බොහෝ සේ දුක් වින්ඳා. බලාගෙන ඉන්දැද්දී ශරීරය කෙට්ටු වුණා. ලස්සනට තිබුණු කොණ්ඩය ගැලවෙන්න පටන් ගත්තා. කහ පාටට තිබුණු හම කළු වුණා. මේ නිසා විඳපු දුක් කන්දරාව කියන්න අමාරුයි. නමුත් මම නිකන් හිටියේ නැහැ. බෞද්ධ දර්ශනයට අනුව මට පුළුවන් හැම දේම කළා. දවසේ වැඩි හරියක් භාවනා කළා. දානමාන දුන්නා. අසරණයන්ට සැලකුවා.

මම මගේ අම්මටත් හොඳට සලකපු කෙනෙක්. මම නිතරම හිතුවෙ මේ පින් හේතුවෙන් මට සනීප වෙන්න ඕන කියලා. ඒ වගේම අවුරුද්දක් විතර යන කොට මට තේරුණා ශරීරයේ වෙනසක් ඇතිවන බව. භාවනා කටයුතුවලට නැඹුරුවීමෙන් ලැබුණු මානසික සුවයත්, වෛද්‍ය ප්‍රතිකාරත් හේතුවෙන් මට ඉක්මනටම සුවය ලබන්නට හැකි වුණා.

මේ නිසා පිලිකා රෝගයෙන් දුක් විඳීන රෝගී ජනතාව වෙනුවෙන් යමක් කළ යුතුයි කියන හැඟීම මා තුළ වැඩෙන්න පටන් ගත්තා. එහි ප්‍රතිඵලයක් හැටියට මම කැනඩාවේදී ප්‍රසංගයක් පැවත්වූවා. එයින් ලැබුණු මූල්‍යමය උපකාරයන්ගෙන් ලංකාවට පැමිණ ඒ මුදල් උපයෝගී කරගෙන ලංකාවේ දුක් විඳින පිලිකා රෝගීන්ට උපකාර කිරීමට තමයි මේ විදිහට ‘සඳකිරණින් 4’ ප්‍රසංගය පවත්වන්නෙ. මෙයින් ලැබෙන සියලුම මුදල් යොදවා මහරගම පිලිකා රෝහලේ රෝගීන්ට අවශ්‍ය ඇඳන්, රෝද පුටු, මදුරු දැල් වැනි ද්‍රවයමය අවශ්‍යතා ලබා දෙන්නටත් කටයුතු කරනවා. ඒ වගේම ඉදිරියේදීත් සෑම වසරකට වරක් මෙම ප්‍රසංගය පවත්වන්නටත් සැලසුම් කර තිබෙනවා.

මගේ ආදරණීය රසික රසිකාවන්ට ආයාචනා කරන්නේ 19 වැනිදාට ඇවිත් සින්දු ටිකත් අහලා මේ උදාර කටයුත්තට සහභාගී වෙන්න කියලා. මම දන්නේ නැහැ මාරයා කොයි මොහොතේ අපව සොයා ගෙන එනවද කියන්න. ඒ මොහොත වෙනකම්ම මට කරන්න පුළුවන් හැම දෙයක්ම මේ අසරණ රෝගීන් වෙනුවෙන් කරනවා.’ ඒ ඇයගේ පැතුමයි.

ලතා දිසානායක ශිල්පිනියනි, කලාවේ නාමයෙන් මෙවන් වූ උතුම් කටයුතු කරන්නට තව තවත් ධෛර්යය, ශක්තිය, නිදුක් නිරෝගී සුව ලැබේවා. එය සරසවිය අපගේ පැතුමයි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව