FEEDBACK

නෙළුම් පොකුණ ආශ්චර්යයකි

ශ්‍රී ලාංකේය කලා කෙතට මහත් ආශිර්වාදයක් වූ ජාතියේ මහා රඟහල ‘නෙළුම් පොකුණ’ 21 වන සියවසේ ලාංකේය කලාවේ අනන්‍යතාවය ජාත්‍යන්තරයට ඔසවා තැබිය හැකි තෝතැන්නකි. කලාවට අධිපති සරස්වතී මෑණියන්ගේ නොමඳ ආශිර්වාදය ලත් මෙම රඟහල ශ්‍රී ලාංකේය කලාවේ සැබෑම වූ ආශ්චර්යයකි.

ජාත්‍යන්තරය හා සැසඳිය හැකි අති නවීන තාක්ෂණය හා පහසුකම්වලින් සමන්විත මෙහි ආරම්භක ජවනිකාව ලෙස විශිෂ්ට නාට්‍යවේදී ජයන්ත චන්ද්‍රසිරිගේ නිර්මාණයක් යොදා ගැනීම ඉතා සුබවාදී ලකුණකි. අද වන විට එකල නට්‍ය කලාවේ හා සංගීතයෙහි අග්‍රගණ්‍ය විශිෂ්ටයින් වූ මහාචාර්ය සරච්චන්ද්‍රයන් හෝ ආචාර්ය කේමදාසයන් සිටී නම් ඔවුන් කෙතරම් සතුටට පත් වන්නේදැයි සිතාගත නොහැකිය. කෙසේ වුවද මේ සඳහා කලා ලොවේ සියල්ලන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබෙනු ඇත.

මනෝජ් රුක්මල් කුමාරසිංහ- මාකඳුර, ගොනවිල.

උපන් ද තීරුවට වචනයක්

සරසවිය බලන්නේ සිනමාවට ආදරය කරන අය මිසක් සිනමාවට වෛර කරන අය නොවෙයි. එම නිසා උපන් දින තීරුවේ දුරකතන අංකය නොදමන්මෝ අපේ සිනමාවේ අහංකාර ආඩම්බර අයයි. එම නිසා අවංක, නිහතමානී අය වෙනුවෙන් ඒ ඉඩ වෙන් කරන්න.

ජී. කේ. ඒ. සංජීව - මාතර.

දයාබර විජය

පුර සඳක් වී රිදී තිරයට තාරුකා මල් පිපෙන යායක
ඔබේ රැඟුමින් රසික නෙත් සිත්ගෙන ගියා ඔබ නැවුම් ලෝකෙක
කටු කොහොල් පිරි කරඹ යායක ළවැලි පාරක වැලි තලාවක
ඔබේ ගී හඬ අමරණීයයි ජීවමානයි සදා කාලික

හැඳීන ගත් මුත් දුගී හදවත් සදාකාලික ගැහෙන රාවේ
අපේ පින්මදකම නිසාම ද දයාබර ඔබ අහිමි වූවේ
ඔබේ ජීවන සුවඳ රැඳි නල ඈත හන්තානයෙනි ආවේ
යළිත් කෙදිනක අසන්නද අප ඔබේ මධුසර ගීත රාවේ

එම්. ඒ. කේ. මංචනායක - දෝහා කටාර්

සුසිලාට ජය

සැමදා ප්‍රේක්ෂක සිත් වසඟ කරන අයුරින් රංගනයේ යෙදෙන සුසිලා කෝට්ටගේ රංගන ශිල්පිණියනි, ඔබට සදා ජය.

නුවන් මධුරංග

තලවාකැලේ.

සිකුරු වසන්තය ලස්සනයි

සිකුරු වසන්තය ටෙලි නාට්‍යය ගොඩක් ලස්සනයි. ඒ වගේම ඒකට යොදා ගෙන තියෙන නළු නිළි පිරිස අති දක්ෂයින්.

පිළියන්දල - නිලාන් සඳරුවන්

මේ අඩුව පුරවනු කෙලෙසද?

එච්. ආර්. ජෝතිපාල, මිල්ටන් මල්ලවආරච්චි, ග්‍රේෂන් ආනන්ද,

ඒ තිදෙනාගේ ගී රාවයන් ඇසෙන්නේ නැති සිනමාවේ අඩුව මකන්නට හැකි කිසිවෙක් යළි හමුවේදැයි සැකයි. හේතුව තරුණ සිත් වසඟ කළ චිත්‍රපටවලට පසුබිම් ගීත ගයන්නන් මෑතකදී බිහි නොවුණ බැවිනි.

ඈන් නිලන්ති ප්‍රදීපිකා- වයික්කාල.

විජය යළි කියැවීමට උචිත

සංස්කෘතික මුද්‍රාව

‘ජීවත් වන සෑම තත්පරයක්ම යථාර්ථයට මුහුණ දී හෘද සාක්ෂියට එකඟව ජීවත්වීමත් කිසිවකුට හදවතට එකඟව මට දෝෂාරෝපණය කිරීමට ඉඩ නොතබා මිය යාමත් මා අපේක්ෂා කරන ජයග්‍රහණයයි. සොබා දහමේ රීතියට අනුරූපීව කාලය නිසි ලෙස පරිහරණය කළොත් යහපත් ප්‍රතිඵල නෙළා ගත හැකියි. දිනකට වැඩි පැය ගණනක් සැබැවින්ම අවදියෙන් සිටින්නේ නම් යුතුකම් වගකීම් මඟ නොහැර කාර්ය බහුලත්වයට සාර්ථව මුහුණ දී ආත්ම තෘප්තියක් ලබා ගත හැකියි.

විජය සෞන්දර්ය මූලික ප්‍රතිරූපය අභිබවා චරිතාංග රංගන සියුම් සිනමාරූපීත්වයකින් විදහා පෑමට අභිරුචියක් දැක් වූයේ ඔහුගේ ප්‍රශස්ත රංගන සිනමා උළෙල ජූරිවල ඇගයීමට ලක්වීම අතපසු කරන ලද යුගයේ පටන්මය. තිස්ස අබේසේකරයන්ගේ ‘මං මුලා වැල්’ තිරයට ආවා නම් හෝ ධර්මසේන පතිරාජගේ ‘ඕසේ රිහසල්’ රූගත කිරීමට ඉඩ ලැබෙන ලෙස විජයට ජීවත්වීමට ඉඩ ලැබුණා නම් ඒ අවදිය තුළදීම පවා විජයගේ විශිෂ්ට රංග සටහන් දෙකක් තිරයට එකතු වනු ඇත. තමාගේ ආර්ථික උපකාර මැද උසස් රසාස්වාදන සහිත කෘතිවලට විජය එකතු වූවා සේම එසේ නොවූ චිත්‍රපටවලට ද දායක වීමට සිනමා කර්මාන්තයේදී ඔහුට සිදු වූ අතර, ඇතැම් ආධුනික අධ්‍යක්ෂවරුන්ගේ දුර්වල මෙහෙයවීම් මධ්‍යයේ ආචාරශීලීව ඉවසා සිටීම තුළ ඔහුට තම ප්‍රතිරූපය අවදානමේ රැඳවීමට ද සිදු විය.

ඕනෑම තනුවක් ක්ෂණිකව ග්‍රහණය කර ගනිමින් ඔහු සතු නිසර්ග ළයාන්විත ගායන චාතුර්යය සහෘදයාට විදහා පෑමට තිබූ අවස්ථාව අහිමි වූයේ, ඔහුගේ අවිවේකී ජීවිත කාලයෙන් වැඩිම කොටසක් මාධ්‍ය වාරණයට හසු වී තිබීම නිසාය. ඔහු ගැන පෞද්ගලිකව දන්නා කැසට් නිර්මාණකරුවන් ඔහු ලවා ගායනය කරවන ලද ගීත ද සැඟ වී ගොස් ඇත්තේ මාධ්‍ය තාක්ෂණයේ සුරක්ෂිතභාවය ඊට හිමි වී නැති බැවිනි. ජෝතිපාලයන්ගේ මරණයත් සමඟම සිනමා රැගුම්වලට විජයගේ හඬ සඳහා වැඩි අවස්ථා උදා වී තිබුණ ද, ඒවා ඉටු කිරීමට පෙර ඔහුගේ ජීවිතය උදුරා ගැනීම නිසා එම රැඟුම් මෙන්ම ගැයුම් ද අතරමඟ ඇන හිටියේය.

අල්ප ජීවිත කාලයක් තුළට සීමා වූ විජයගේ අරුම කාර්යභාරය තුළ තැබූ මුද්‍රාව අකාමකා දමන්නට අදටත් නොහැකි වී ඇති නමුත්, මතු පරපුරට ඔහු හඳුනා ගැනීමට ශේෂ විය යුතුව තිබූ පොල්හේන්ගොඩ දිළිඳු කෞතුකාගාරය ද 2004 වනවිට වසා දමන ලදී. මිය ගිය විජය වෙතින් උදුරා ගත් ඒ වටිනාකම් නැවත එළි දකිනතුරු සහෘද අපි නොතිත් උවමනාවෙන් සහ සංයමයෙන් යුතුව බලා සිටිමු.

- ආර්. එස්. මල්ලිකාරච්චි

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව