කරළිය

පෙබරවාරි 17 වැනිදා

නාට්‍ය ශිල්පී ජාලිය රාජපක්ෂගේ’සොකරි’ මරදාන ටවර් රඟහලේ

18 වැනිදා

සෝමලතා සුබසිංහගේ ‘විකෘති’ පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය රංග ශාලාවේ

රෝහණ බැද්දගේ ‘රාළහාමි’ ගාල්ල හොල්දි ගෝල්ඩ් රංග ශාලාවේ

ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයට ආධාර පිණිස පැවැත්වෙන සුනිල් ශ්‍රීගේ ‘බූවල්ලා’ දෙහිවල ජයසිංහ සමරු රඟහලේ.

නාට්‍ය ශිල්පී සරත් විජේසිංහගේ ‘සෙමිට්රියේ භූතයෝ’ හැව්ලොක් ටවුන්හි ලුම්බිණි රඟහලේ.

19 වැනිදා

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ බොරැල්ල වයි. එම්. බී. ඒ. රංග ශාලාවේ.

රවීන්ද්‍ර ආරියරත්නගේ ‘බල්ලොත් එක්ක බෑ’ මරදාන ටවර් රඟහලේ.

22 වැනිදා

සරත් කොතලාවලගේ ‘නරි බුරති’ මරදාන ටවර් රඟහලේ.


නවනන්දන බලන්න සංස්කෘතික ඇමති ඇවිත්

රෝගාතුරව සිටින වේදිකා, චිත්‍රපට හා ටෙලි නාට්‍ය රංගන ශිල්පී නවනන්දන විජේසිංහ මේ වනවිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියි.

ඔහුගේ සුවදුක් විමසීම සඳහා එහි පැමිණි සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා රුපියල් 50,000 ක මුදලක් නවනන්දන ගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලබා දෙන ලදී.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ අමාත්‍යවරයා නවනන්දනගේ දියණිය වන චාන්දිමා විජේසිංහට රු: 50,000 ක් වටිනා චෙක්පත පිළිගැන් වූ අයුරුයි.

එම අවස්ථාවේ නාට්‍ය අනු මණ්ඩලයේ සභාපති ශ්‍රියන්ත මෙන්ඩිස්, මාධ්‍ය ලේකම් ශිරන්ත ප්‍රේමවර්ධන ද පසෙකින් සිටී.


කැලණි සරසවියේ නාට්‍ය උළෙල 21

කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකය සමඟ ඇකඩමික් ප්ලේයර්ස් නාට්‍ය සංගමය ඒකාබද්ධව හත්වැනි වරටත් ඉදිරිපත් කරන කැලණිය සරසවි නාට්‍ය උළෙල මෙම මස 21 වැනිදා සිට 28 වැනිදා දක්වා කැලණිය විශ්වවිද්‍යාලයීීය ධර්මාලෝක රංග ශාලාවේදී වේදිකා ගතවේ. ඒ අනුව,

21 වැනිදා – ප්‍රියංකර රත්නායකගේ ‘අද වගේ දවසක ඇන්ටිගනී’ ත්

22 වැනිදා – ගයාන් රන්දීරගේ ‘ජෝන්ගේ සත්තු වත්ත’

23 වැනිදා – විජිත බණ්ඩාරගේ ‘වාදකයා වහල උඩ’ ත්

24 වැනිදා – රාජිත දිසානායකගේ ‘බකමූණා වීදි බසී’ ත්

27 වැනිදා – නලින් ලුසේනා ගේ ‘අරාජිකයා මරා’ ත්

29 වැනිදා – ධනුෂිකා නයන කුමාරිගේ ‘ජනේලෙන් පනින්නද’ යන නාට්‍ය වේදිකා ගත වේ. 26 වැනිදා මහාචාර්ය පැට්ට්‍රික් රත්නායක මෙහෙය වන ජපන් නාට්‍ය කලාව පිළිබඳ වැඩමුළුවක් ද පැවැත්වීමට නියමිතය.


රූපාවලෝකන 18 දා ජාතික රූපවාහිනියේ

ජාතික රූපවාහිනියෙන් විකාශය වන ‘රූපාවලෝකන’ විචිත්‍රාංගය මෙම මස 18 වැනිදා සෙනසුරාදා පෙරවරු 11.00 ට විකාශය වේ.

මෙවර රූපාවලෝකනයෙන් ’65 වසරක සිංහල සිනමාව’ නම් වූ වාර්තා වැඩසටහන ඉදිරිපත් වන අතර එහි තිර පිටපත ලියා ඇත්තේ රසඳුන පුවත්පතෙහි කර්තෘ සුනිල් මිහිඳුකුල විසිනි. ‘රූපවලෝකන’ විචිත්‍රාංගය සුනේත්‍රා කුමාරිගේ අධ්‍යක්ෂණයකි.


කුස පබා සිංදු පොත එළි දකී

දිගු කලකට පසු චිත්‍රපට ගීත පොතක් පසුගියදා වෙළෙඳ පොළට නිකුත් විය.

ඒ මේ දිනවල සාර්ථකව තිරගත වන මහාචාර්ය සුනිල් ආරියරත්නගේ කුස - පබා චිත්‍රපටයෙහි ඇතුළත් සුන්දර ගීත පොතයි.

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ගේය කාව්‍ය රචනාවලින් අලංකාර වූ මෙම ගීත රචනා එඩ්වඩ් ජයකොඩි, නිරෝෂා විරාජිනී, උරේෂා රවිහාරි, බන්දුල විජේසේකර, මහින්ද පතිරගේ, හර්ෂණ දිසානායක, කසුන් කල්හාර, හේෂාන් ගමගේ යන ගායක ගායිකාවන්ගේ මියුරු ස්වරයෙන් ගැයෙන ගීත හතකින් සමන්විත මෙම කෘතිය ශ්‍රී ලංකා සිනමා නිර්මාණ සංසදයේ ඉදිරිපත් කිරීමකි.


තාරුණ්‍යයේ සංස්කෘතික රංගනය දින හයක් පුරා

ජගත් තාරුණ්‍යයේ නෞකාව (ෆූජිමාරු) වසර 17 කට පසුව මේ මස 16 වැනිදා, එනම් අද මෙරටට පැමිණෙයි.

රටවල් 16 ක ජාතීන්ගේ සහ ලාංකේය තරුණ තරුණයන් 275 දෙනකුගේ සහභාගිත්වයෙන් රටවල් අතර සංස්්කෘතිය විදහා දක්වන නාට්‍යය හා රංගනයන් අද සිට දින හයක් පුරා තර ැණසේවා සභාවේදී පැවැත්වේ.


ආදරවන්තයන්ගේ දිනයට අලුත් ගීයක්
 

‘සඳකුළු මතින් හැපී

ඔබ සිහිනෙන් ආ හැටී

සිත පුබුදනා මේ යාමයේ

මට කියා දෙන්න

ආදරයේ හැටී’

දෙරණ ඩ්‍රීම්ස්ටාර් තරගාවලියේ තරගකරුවෙකු ලෙස එහි පිවිසි කසුන් මධුශංක සංගීතවත් කළ මේ ගීතය ඔහුගේ රසික රසිකාවන් වෙත පිදුනේ ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙනි. පසුගියදා දොරට වැඩූ මේ ගීතය ගයන්නේ ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන අමිලා නදීශානි ඇතුළු රොෂාන් රණවන හා ශේෂාද්ද්‍රි, සචින් හා රඛිත, චේතනා රණසිංහ, නිරාෂා, සකුන්තලා ප්‍රනාන්දු, මිෂෙල් ක්‍රිස්ටීන්, යන ශිල්පීන් හා ශිල්පිනියන් විසිනි. නන්දන වික්‍රමගේ ගේය පද රචනයකට මෙහි රූප රචනය සඳහා පෙනී සිටින්නේ අරුණි හා තුසිත අබේනායකයි. රඛිත ශබ්දාගාරයේ පටිගත කර ඇති ‘සඳ කුළු මතින්’ ගීතය මේ දිනල ශ්‍රව්‍ය - දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ ඔබට අසන්නට ලැබෙනු ඇත.


ඇක්විලෝනියාවේ කොනාන් 21 දා දෙරට වඩී

ප්‍රභාත් මිරිහාගල්ල පරිවර්තනය කළ ‘ඇක්විලෝනියාවේ කොනාන්’ ග්‍රන්ථය මෙම මස 21 වැනිදා අඟහරුවාදා පෙරවරු 10.00 ට මරදාන දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී.


නාමෙල්ගේ නාට්‍ය දෙකක් පුංචි තියටර්හිදී

නාමෙල් වීරමුණිගේ අධ්‍යක්ෂණයෙන් වේදිකා ගතවන ‘කන්දොස් කිරියාව’ හා ‘හෙයියන් මාරුව’ නමැති ඒකාංගික නාට්‍ය ද්විත්වය මෙම මස 4 වැනිදා සෙනසුරාදා බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර්හිදී වේදිකා ගතවේ.

විජේරත්න වරකාගොඩ, මාලිනී වීරමුණි, දයා තෙන්නකෝන්, ග්‍රේස් ආරියවිමල්, සෙනෙට් දික්කුඹුර, ලලිත් රාජපක්ෂ, නාමෙල් වීරමුණි වැනි ප්‍රවීණ රංගන ශිල්පීන්ගේ හා ශිල්පිනියන්ගේ රංගනයෙන් මෙන්ම නව පරපුරේ අසංග ජයරත්න, දිලිනි ප්‍රසාදි, ඉමල්කා සාවිත්‍රි, බුද්ධික ප්‍රේමතිලක, කුමුදුනී දිසානායක, ට්‍රිනුෂ්කා පෙරේරා, ශමීර විරාජ්, මලිති ප්‍රසාදි, චතුරිකා හේමමාලි, දිලිනි උමේගා, නිමේෂා රසාංජලී, ඩිලානි සන්ධ්‍යා යන නව පරපුරේ රංගන ශිල්පීන් - ශිල්පිනියන්ගේ රංගනයෙන් මෙම නාට්‍ය හැඩවේ. ආලෝකකරණය ප්‍රභාත් මනෝහාරගෙනි. වේදිකා පරිපාලනය දමිත් විලේගොඩ හා ජයලත් රුවන් කුමාරගෙනි.

ඩබ්ලිව්. බී. මකුලොලුව - සී. ද ඇස්. කුලතිලක

අනුස්මරණ උළෙල හා සහතික පත් ප්‍රදානය

හෙට සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේදී

ඩබ්ලිව්. බී. මකුලොලුව - සී. ද ඇස්. කුලතිලක අනුස්මරණ උළෙල හා සම්මාන සහ සහතික පත් ප්‍රදානය හෙට දින (17 වැනිදා) පෙරවරු 9.00 ට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ලයනල් එදිරිසිංහ ශාලාවේදී පැවැත්වේ.

මෙම උළෙල සංවිධානය කරනු ලබන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ‘මානවවංශ සංගීත විද්‍යා සංගමය’ මගිනි.


ලීලානන්ද ආර්. ගුණවර්ධන මියයයි

ජනප්‍රිය ගීත රචකයෙකු හා ලේඛකයෙකු වූ ලීලානන්ද ආර්. ගුණවර්ධන අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු හැත්තෑ එකකි. ‘මාගේ මතකයේ ඔබේ රුව ඇදේ’ ඇතුළු ජනප්‍රිය ගීත රැසක් ගුණවර්ධන විසින් රචනා කර ඇත. ඔහුගේ අවසන් කටයුතු පසුගියදාකොළඹ කනත්තේදී සිදු කෙරිණි.


විද්‍යාරත්න ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ නර්තන ශිල්පී නර්තනාචාර්ය විද්‍යාරත්න ප්‍රනාන්දු අභාවප්‍රාප්ත විය. මෙරට රාජ්‍ය නැටුම් කණ්ඩායමේ ආරම්භක සාමාජිකයකුª වූ ඔහු කොළඹ ආනන්ද විදුහලේ නර්තන ආචාර්යවරයා ලෙස කලක් කටයුතු කළේය. ගුරුතරුව, අන්දරේලා, කණේරු (ජයලත් මනෝරත්න) ඔහු නර්තන අධ්‍යක්ෂණය කළ නාට්‍ය අතරවේ. රාජ්‍ය සම්මානලාභියකු වූ හෙතෙම ‘ජවනිකා, උරුමයේ අරුමය, සම්මත අසම්මත’ යන නාට්‍ය කරළියට ගෙනාවේය.

ඔහුගේ අවසන් කටයුතු ඊයේ කොහුවල පොදු සුසාන භූමියේදී සිදු විණ.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව