ලොවක් නැළවූ කළු කෝකිලාව සදහටම සමුගනී

හේතුව අනාවරණය නොවූවත් විට්නි ගේ මරණය අබිරහසක් නොවෙයිලූ

මරණයට සිය ආකර්ෂණීය කට හඬින් මෙන්ම රංගනයෙන් ද පෙර අපර දෙදිගම රසිකයන් සනසාලූ විට්නි හූස්ටන් මිය ගිය පුවත පසුගිය 11 වන සෙනසුරාදා පස්වරු තුනට පමණ අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරින් නිල වශයෙන් නිවේදනය කෙරිණි.

54 වැනි ග්‍රැමි සම්මාන උළෙල පැවැත්වීමට නියමිතව තිබූ දිනට පෙරදා පොප් සංගීත ක්ෂේත්‍රයේ නැවත පුරවාලීමට නොහැකි හිඩැසක් ඇති කරමින් විට්නි මිය ගොස් තිබුණේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් නුවර බෙවර්ලි හිල්ටන් හෝටලයේදීය.

1963 අගෝස්තු 9 දා නිව්ජර්සි ප්‍රාන්තයේ නෙවාර්ක් ප්‍රදේශයේ උපත ලැබූ විට්නි එලිසබෙත් හූස්ටන් පොප් ගායිකාවක, නිළියක, නිෂ්පාදිකාවක හා මෝස්තර නිරූපිකාවක ලෙස ප්‍රකටව සිටියාය. ගිනස් ලෝක වාර්තා පොතට අනුව එතෙක් මෙතෙක් වැඩිම වාර ගණනක් සම්මානයට පාත්‍ර වූ තැනැත්තිය ඇයයි. සම්මාන 415 ක් විට්නි දිනා සිටි අතර ඊට එම් සම්මාන දෙකක්, ග්‍රැමි සම්මාන 6 ක්, බිල්බෝඩ් සංගීත සම්මාන 30 ක් හා අමෙරිකානු සංගීත සම්මාන 22 ක් ඇතුළත්ව තිබිණි. එමෙන්ම ඇය අලෙවි වාර්තා රැසක් පිහිටුවාලූ ගායිකාවක ද වෙයි. ඇගේ ගීත ඇල්බම පිටපත් ලක්ෂ දෙදහසකට වඩා ලොව පුරා අලෙවි වී ඇති බව පැවසේ. විට්නි හුස්ටන්ගේ පළමු ගීත ඇල්බමය නිකුත් වූයේ 1985 දීය. එතෙක් මෙතෙක් ගායකයකු හෝ ගායිකාවක නිකුත් කළ පළමු ඇල්බමයේ වැඩිම පිටපත් අලෙවිය පිළිබඳ වාර්තාව සතු වන්නේ ද විට්නිටය.

හමුදා නිලධාරියකු හා ප්‍රසංග විධායක නිලධාරියකු වූ ජෝන් රසල් හූස්ටන් ගේත් ගායිකාවක වූ සිසී හුස්ටන්ගේත් තුන්වන හා බාලම දරුවා ලෙස උපන් විට්නි කුඩා කල පටන්ම ගමන් කර ඇත්තේ තම මවගේ අඩි පාෙර්ය. වයස අවුරුදු එකොළහේ පටන් නෙවාර්ක් හි නිව් හෝප් බැප්ටිස්ට් දේවස්ථානයේ ගීතිකා කණ්ඩායමට එක් වී සිටි විට්නි පියානෝ වාදනයේ ද දක්ෂතා දක්වා තිබේ.

තම මව සිසී රාත්‍රී සමාජ ශාලාවන්හි ගී ගායනයට යද්දී ඇය හා යෑම විට්නිගේ පුරුද්දක්ව තිබූ බව පැවසේ. වේදිකාව පසෙකට වී තම මව ගායනයේ යෙදෙනු බලා සිටි විට්නිට ද එම වේදිකාව මත ගී ගැයීමට අවස්ථාව උදා වී තිබේ. වයස අවුරුදු 14 ක් වූ 1977 දී විට්නි ‘මයිකල් සේගර් බෑන්ඩ්’ සංගීත කණ්ඩායම හා එක්ව ඇත්තේ ගායිකාවක ලෙසිනි. මයිකල් සේගර් කිහිප විටක්ම විට්නිට ගීත පටිගත කිරීමේ අවස්ථාව ලබා දුන්න ද ඇගේ මව ඒවා ප්‍රතිික්ෂේප කර තිබුණේ විට්නි පළමුව සිය ඉගෙනුම් කටයුතු අවසන් කළ යුතු බව පවසමිනි. ඇය ශිල්ප හැදෑරුවේ කතෝලික උසස් බාලිකා විද්‍යාලයේය.

ගායිකාවක ලෙස ප්‍රකට වීමට පෙර විට්නි මෝස්තර නිරූපිකාවක ලෙස කටයුතු කළ බව බොහෝ දෙනා දන්නේ නැත. කාර්නගී ශාලාවේ ඇගේ මව සමඟ විට්නි ගී ගයනු දුටු ඡායාරූප ශිල්පියකුගේ ආරාධනය පරිදි 1980 දශකය මුල් භාගයේ ඇය මෝස්තර නිරූපිකාවක ලෙස කටයුතු කර තිබේ. ගායිකාවක වීමට පෙර මෝස්තර නිරූපිකාවක ලෙස ඇගේ රුවින් කවර කිහිපයක්ම සැරසී ඇති අතර රූපවාහිනී වෙළෙඳ දැන්වීම් කිහිපයකට ද ඇය එකල පෙනී සිට ඇත.

කෙසේ වෙතත් ගායනය ජීවිතය කර ගත් ඇය තම මව සමඟ නිව්යෝර්කයේ රාත්‍රී සමාජ ශාලාවක ගී ගයනු දුටු අරිස්ටා රෙකෝඩ්ස් සමාගමේ ප්‍රධානී ක්ලයිව් ඩේවිස් විට්නි සමඟ ගිවිසුමක් අස්සන් කිරීමට පෙලඹී තිබේ. ඒ අනුව අරිස්ටා සමාගම හරහා 1985 දී එළි දුටු ඇගේ පළමු ගීත ඇල්බමය මහත් ජනප්‍රිය වූයේය.

විට්නි ගේ පෙම් හබ ඇරඹී ඇත්තේ ද 1980 දශකයේදීය. දක්ෂ අමෙරිකානු පාපන්දු ක්‍රීඩකයකු වූ රැන්ඩෝල් කනිංහැම් සමඟ ද, ප්‍රකට නළු එඩී මර්ෆි සමඟ ද ඇය පෙම් සබඳතා පවත්වා තිබේ. 1989 සංගීත සම්මාන උළෙලකදී ඇයට මුණ ගැසුණ ගායක බොබී බ්‍රවුන් හා පැවැත් වූ වසර තුනක පෙම් සබඳතාවකින් පසු 1992 ජූලි 18 දා දෙදෙනා විවාහ වූහ. ඊට වසරකට පමණ පසු ඇය දියණිය බොබී ක්‍රිස්ටිනා හුස්ටන් බ්‍රවුන් හට උපත ලබා දුන්නාය.

ඇගේ ගීත ඇල්බම සියල්ල සාර්ථක වෙද්දී ඇයට චිත්‍රපටවල රඟපෑමට රොබට් ඩි නීරෝ හා ස්පයික් ලී වැනි හොලිවුඩයේ ප්‍රබලයන්ගෙන් ඇරැයුම් ලැබුණත් ඇය ඒවා ප්‍රතික්ෂේප කර තිබුණේ එය රඟපෑමට සුදුසු කාලය නොවේ යැයි පවසමිනි. අවසානයේ ඇය 1992 තිරගත වූ ‘ද බොඩිගාඩ්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ රේචල් මැරොන් නමැති ගායිකාවගේ චරිතයට පණ පෙවුවාය. කෙවින් කොස්ට්නර් එහි ප්‍රධාන නළුවා වූයේය. එම චිත්‍රපටයට ඇතුළත් වූ ඇගේ ගීතය වූ ‘අයි විල් ඕල්වේස් ලව් යූ’ ඉමහත් ජනප්‍රියත්වයක් ලැබූ අතර, එය අමෙරිකානු ඉතිහාසයේ ගායිකාවකගේ වැඩියෙන්ම අලෙවි වූ ගීතය ලෙස ද වාර්තා තැබුවේය. වේටිං ටු එක්ස්හේල් (1995) සහ ද ප්‍රීචර්ස් වයිෆ් (1996) යන චිත්‍රපටවල ද ඇය ප්‍රධාන චරිත නිරූපණය කළාය. 2011 සැප්තැම්බරයේදී හොලිවුඩයෙන් වාර්තා වූයේ විට්නි හූස්ටන් 1976 තිරගත වූ ‘ස්පාර්කල්’ චිත්‍රපටයේ නව නිෂ්පාදනයේ ප්‍රධාන චරිතය රඟපෑමට සූදානම් වනවා කියාය. ජෝර්ඩින් ස්පාර්ක්ස් හා මයික් එප්ස් සමඟ එම චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට ද ඇය දායක වීමට බලාපොරොත්තුවෙන් සිට ඇත.

1980 හා 90 දශකවල විට්නි යහපත් චර්යාවන් සහිත ගායිකාවක ලෙස ප්‍රකටව සිටියාය. එහෙත් 90 දශකය අග භාගය වන විට ඇගේ චර්යාවන් වෙනස් වූයේය. ඇය ප්‍රසංග අවලංගු කිරීමටත්, යොදා ගත් කටයුතුවලට ප්‍රමාද වී පැමිණෙන්නටත් පටන් ගත්තාය. කට කතා පැතිර ගියේ ඇය මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින්නීය කියාය. 2000 ජනවාරි 11 දා හවායි ගුවන් තොටුපොල ආරක්ෂකයන් විට්නි හා ඇගේ සැමියා බොබී වෙත තිබී මරිජුවානා සොයා ගත් බවට පුවතක් පැතිර ගියේය. විට්නි ගේ මත් ද්‍රව්‍ය ඇබ්බැහිය ගැන චෝදනා එල්ල වූයේ ඇගේ සැමියා බොබීටය. ඇයගේත්, බොබීගේත් යුග දිවිය සාර්ථක එකක් වූයේ නැත. තතු දන්නන් ඒ පිළිබඳ වැඩි වරද පටවන්නේ බොබී පිටය. අවසානයේ 2006 සැප්තැම්බරයේදී දෙදෙනා දික්කසාද වූහ.

ඉන් පසුව ද වසරක් පමණ ගතවන තුරු ඇයට බොබී හා නඩු කීමට සිදු වූයේ දියණියගේ අයිතිය සම්බන්ධයෙනි. අවසානයේ අමෙරිකානු අධිකරණය දියණියගේ අයිතිය සම්පූර්ණයෙන්ම විට්නි වෙත පැවරුවේය.කෙසේ වෙතත් ඒ වනවිට ඇගේ ජනප්‍රියත්වය යම් තරමකට පහළ බැස තිබිණි.

නැවතත් ප්‍රසංගවලට සහභාගි වෙමින් නව නිර්මාණ එළි දක්වමින් ඇය උත්සාහ දැරුවේ යළි ජනප්‍රියත්වයේ මුදුන් හිණි පෙත්තටම නැෙඟන්නටය. ස්පාර්කල් චිත්‍රපටයේ නව නිෂ්පාදනයේ රඟපෑමට ඇය සූදානම් වීම ද එම උත්සාහයේම කොටසකි.

එහෙත් මේ ආකර්ෂණීය හඬක් සහිත ගායිකාවගේ උත්සාහයට දෛවය හරස් කැපුවේ ඇය වෙත මරුවා ළඟා කරවමිනි. බෙවර්ලි හිල්ටන් හෝටලයේ ඇය නතර වී සිටි කාමරයේ නාන තටාකයේ තිබී ඇගේ මළ සිරුර හමු වූ බව පසුගිය 11 සෙනසුරාදා නිවේදනය කෙරිණි. මරණයට හේතුව තවමත් අනාවරණය වී නැතත්, පොලීසිය පවසන්නේ එය අබිරහස් මරණයක් නොවන බවය. එසේ නම් විට්නිගේ මරණයට හේතුව මත් ද්‍රව්‍යද? තවමත් ඊට නිසි පිළිතුරක් නැත. කෙසේ වෙතත් පොප් ගායන ක්ෂේත්‍රයේ පිරවීමට අපහසු විශාල හිඩැසක් තබා කළු කෝකිලාව විට්නි එලිසබෙත් හූස්ටන් ලෝකයෙන් සමුගෙන ගොසිනි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව