අර්ජුන් ගෙන් පැන විසඳුම්

කුරුණෑගල පුත්තලම් පාරේ බන්දු රණසිංහ මහතා අර්ජුන් වෙත ලිපියක් එවා ඇත.ඒ විජය කුමාරතුංගයන්ට ගී ගැයූ ගායකයන් පිළිබඳ අර්ජුන් දුන් පිළිතුරක් සම්බන්ධවය.එහි අර්ජුන් දුන් පිළිතුරෙහි එච්.ආර්.ජෝතිපාල,මිල්ටන් පෙරේරා ඇතුළු ගායකයන් රැසකගේ නම් අඩංගු නමුත් පෙම් කුරුල්ලෝ චිත්‍රපටයට ගී ගැයූ බන්දු රණසිංහ මහතාගේ නම අඩංගුව නොමැති බවයි.එම චිත්‍රපටයේ චන්ද්‍රදාස ප්‍රනාන්දු ගේ පද රචනයට නීලා වික්‍රමසිංහ සමග රුවන් අඹරේ පහන් තරුවේ ගීතය ගායනා කරන ලද්දේ බන්දු රණසිංහ බැව් ඒ මහතා පවසයි.එහි පෙනී සිට ඇත්තේ විජය සහ මානෙල් වානගුරුය.

කළුතර උතුර දෙදියවල රංජිත් අබේවර්ධන

අමර සිසිල් සම්පත් ලියූ විජය කුමාරතුංග ජීවන කතාව සහ දොස්තර අනිල් සමරනායක නුවන් නයනජිත් කුමාර ආදින් ලියූ ගාමිණී ෆොන්සේකා පිළිබඳ ග්‍රන්ථයන් මිළ දී ගත හැකි ස්ථාන මොනවාද?

මෙම ග්‍රන්ථයන් දැනට ඉතිරිව නැති බව ආරංචියි.

මාතලේ ජයම්පති නවරත්න

හින්දි ගායන ලෝකයේ ජය කෙහෙළි නැංවූ මොහමඩ් රෆී,මුකේෂ් ,තලාත් මෙහෙමුද්,මන්නාඩේ, චිතල්කා, මහේන්ද්‍ර කපූර් ආදින් ගෙන් දැනට ජීවතුන් අතර සිටින්නේ කවුරුන්ද?

දැන් ජීවතුන් අතර සිටිනුයේ 92 හැවිරිදි වියේ පසුවන මන්නාඩේ පමණයි.

මාබෝලේ එච්.වී.කේ.පියදාස

අද කළු සුදු චිත්‍රපට නිපදවන්න බැරි ඇයි?

කවුද බැහැයි කිව්වේ. මෙවර ඔස්කාර් සම්මාන උළෙලට තරග වදින දි ආටිසිට් චිත්‍රපටයත් කළු සුදු චිත්‍රපටයක්. හැබැයි අද කළු සුදු චිත්‍රපටයක් තනන්න එදා වර්ණ චිත්‍රපටයකට වඩා වියදම් යනවා.

කුලියාපිටියේ කපිල ජයවිලාල් හේරත්

තුං මං හන්දිය චිත්‍රපටය ඇසුරෙන් දක්ෂ අධ්‍යක්ෂවරයෙක් ටෙලි නාට්‍යයක් කළොත් හොඳයි නේද ඒ සඳහා සුදුසු අධ්‍යක්ෂවරයෙක් ලෙස ඔබ දකින්නේ කවුද?

කපිල මිනිස්සුන්ට එක එක ජාතියේ සිතුවිලි පහළ වුනාට ඒවා එළි දක්වන්න යන්නේ නැහැ. විශේෂයෙන් නරක සිතුවිලි කොහොමටත් පාලනය කර ගත යුතුයි. අනේ අර තුං මං හන්දිය ට ඒ විධියට තියන්න අරින්න. ඔහොම සිතුවිල්ලක් පහළ වුනා නම් එබඳූ පාපතර සිතුවිල්ලක් පහළවීම පිළිබඳ තමන්ගෙන්ම සමාව අර ගෙන ඒ අදහස එහෙමම විනාශ වන්න අරින්න.

කල්දෙමුල්ල එම්.ෆ්‍රෙඩී ප්‍රනාන්දු

1968 වසරේ තිර ගත වූ සුදුසු දා චිත්‍රපටයේ රඟපෑ රොබට් මැක්ලවුඩ් විදේශකයෙක් ද?

අපොයි නැහැ. ඔහු මොරටුවේ උපන් බර්ගර් ජාතික ශ්‍රී ලාංකිකයෙක්.

වත්තල හේකිත්ත ලක්ෂ්මන් රණසිංහ

පුන්‍යා හීන්දෙනිය දක්ෂ නිළියක නමුත් ඇය ද කිසියම් චිත්‍රපටයක ජීන්ස් එකක් සහ ටී ෂර්ට් එකක් ඇඳ රඟපෑවා. ඒ ගැන ඔබ සිතන්නේ කුමක්ද?

ඇයි ලක්ෂ්මන් ජීන්ස් එකක් ඇඳ රඟපෑවා කියා නිළියකගේ දක්ෂ කමට මුකුත් වෙන වගක් කවුරුත් කිව්වාද?

කැලණිය දයාරත්න ගනේගොඩ

නිළි රැජන මාලිනී ෆොන්සේකා ද්‍රවිඩ චිත්‍රපටයක රඟපා තිබේද?

පයිලට් ප්‍රේම්නාත් චිත්‍රපටයේ ඇය රඟපෑවා.

කඳාන කොස්පැලෑන ආර්.ඩී.සෝමසිරි

අමිතාබ් බච්චන් රඟ පෑ කූලී හින්දි චිත්‍රපටය ගැන විස්තරයක් කරන්න

1983 වසරේ තිර ගත වූ මන්මෝහන් දේසායි සහ ප්‍යාගරාජ් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය නිෂ්පාදනයේ දී ම මහත් ආන්දෝලනයට ලක් වූයේ අමිතාබ් එහි රඟපාද්දී අනතුරකට මුහුන දුන් නිසා.එහි ඔහු අනාත කුලී කරුවකු ලෙස චරිත නිරූපණය කළා. රිෂි කපූර්,වහීඩා රෙහ්මාන්,රතී අග්නහෝතී ,කාදර් ඛාන් ආදින් මෙහි චරිත නිරූපණය කළා.
 

මොරටුව කටුබැද්දේ ඩඩ්ලි ගෝමස් කැලණිය මූනමල්වත්තේ දයාරත්න ගනේගොඩ

කලාකරුවන්ගේ උපන් දින ගැන මතක් කර දෙන සිරි කහවලයන්ගේ උපන් දිනය කවදාද?ඔහුගේ ලිපිනය සොයා දෙන්න

උපන් දිනය නම් අද.ඒ කියන්නේ පෙබරවාරි 16 වැනි දා.ලිපිනය ටවර් හොල් රඟහල පදනම,විජේරාම මාවත,කොළඹ 07

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව