වර්ෂ 2016 ක්වූ  ජූලි 27 වැනිදා බ්‍රහස්පතින්දා




අමරදේවයන්ගේ ප්‍රථම පේ‍්‍රමය වයලීනයයි

අමරදේවයන්ගේ ප්‍රථම පේ‍්‍රමය වයලීනයයි

සුනිල් ෆොන්සේකා

ආචාර්ය ලෙස්ටර් හා සුමිත්‍රා යුවළ, තිස්ස අබේසේකර, ගාමිණී ෆොන්සේකා, අමරදේව, ජැක්සන් ඇන්තනී, චිත්‍රසේන, ජෝ අබේවික්‍රම, ප්‍රසන්න විතානගේ, ටෝනි රණසිංහ, දයා අල්විස්, ලාල් පියසේන, එම්.ඩී.මහින්දපාල සුනිල්ගේ නිවහනේ කලකට ඉහතදී

කලාවට ලැදි වූ හැම කෙනෙක්ම කලා ක්ෂේත්‍රයේ කටයුතු කරන්නේ නැහැ. එහෙම වුණත් ඔවුන් කිසි විටෙක කලාව මඟහරින්නේ ද නැහැ. කලාව තම වින්දනය කරගත් එවැනි විශේෂිත පුද්ගලයෙක් පසුගිය දශක කිහිපයක් පුරා කලාවේ උන්නතියටද මහඟු මෙහෙවර කරනු දකින්න ලැබුණා. අදටත් තිරයේ පසුපස සිටිමින් එම කර්තව්‍යයේ නිරත ඔහු සුනිල් ෆොන්සේකා. සුනිල් සිනමාවට ලැදි ව්‍යාපාරිකයෙක්. ස්වර්ණ සංඛ පදනම පිහිටුවා ස්වර්ණ සංඛ සිනමා උලෙළ මෙන්ම බර්ග්මාන් සහ ටෲෆෝ අන්තර්ජාතික චිත්‍රපට උලෙළ අත්දැකීම් මෙරටට ගෙනදුන්නේත් ඔහු විසින්. කලාවට ලැදි කලා ලොවෙන් බැහැර අයගේ කතා බවට අද එක් වෙන්නේ සුනිල්.

* ඔබ ව්‍යාපාරිකයකු වුණත් කලාවට බෙහෙවින් සමීප පුද්ගලයෙක්. මේ ළෙංගතුකම ඇති වුණේ මොන විදියටද?

මම ව්‍යාපාර ආරම්භ කළේ හැත්තෑව දශකයේදී. හැත්තෑව දශකයේ අග භාගය වන විට 1979 වසරේදී මලට නොඑන බඹරු චිත්‍රපටය නිෂ්පාදනය කළා. එහි කතා තේමාවත් මගේ. මම විනෝදාංශයක් විදියට කරන්නේ එකම එක දෙයයි. ඒ චිත්‍රපට බලන එක තමයි. ඊට වැඩි දෙයක් නැහැ. ඒ දවස්වල අපට ඕනෑ තරම් චිත්‍රපට බලන්න නිදහසක් තිබුණා. ලොව පුරා නිෂ්පාදනය කෙරෙන සියලුම චිත්‍රපට ඒ ඒ රටවල ප්‍රදර්ශනය සමඟින්ම ලංකාවේදීත් ප්‍රදර්ශනය කෙරුණා. ඒ සමඟින් ඉතා විශිෂ්ට ගණයේ චිත්‍රපට රැසක් නරඹන්න අවස්ථාව අපට ලැබුණා. ඒ කාලේ දැන් වගේ ඩීවීඩි නැහැ නේ. චිත්‍රපට ශාලාවටම ගිහින් තමයි චිත්‍රපට බැලුවේ.

* සිංහල සිනමාව විචාරයේදී ස්වර්ණ සංඛ සිනමා උලෙළත් විශේෂයි?

ඇත්තටම අපේ සිනමාව වෙනුවෙන් විශේෂ යමක් කරන්න උනන්දුව හැමදාම මගේ හිතේ තිබුණා. ස්වර්ණ සංඛ පදනම පිහිටුවා ස්වර්ණ සංඛ සිනමා උලෙළ මඟින් දේශීය සිනමා නිර්මාණ අගයන්න කටයුතු කිරීමත් මගේ ජීවිතයේ සුවිශේෂි අවස්ථාවක්. මගේ කිසිම බලපෑමක් නොමැතිව ස්වාධීන ජූරියක් පත් කරලා ඒ මඟින් තමයි මෙම සම්මාන පිරිනැමුණේ. එහිදී මුදල් පරිත්‍යාග කිරීමත් විශේෂත්වයක් වුණා. ඒ කාලේ ඉතාම හොඳ චිත්‍රපට රැසක් නිර්මාණය වුණා. විශිෂ්ට නිර්මාණකරුවන් අගයා අපි සම්මාන දුන්නේ ඉදිරියටත් තව තවත් විශිෂ්ට නිර්මාණ බිහි වේවි කියන බලාපොරොත්තුවෙන්.

* ස්වර්ණ සංඛ සිනමා උලෙළ නැවතුනේ ඇයි?

ඇත්තටම අපට ඒක නවත්වන්න සිදු වුණා. ඒ කාලය වන විට අපේ සිංහල සිනමාවට කාමුක චිත්‍රපට රැල්ලක් ආක්‍රමණය කරලා තිබුණා. එතකොට අපට වෙනත් සම්මාන දෙන්න තත්ත්වයක් තිබුණේ නැහැ. ඒ නිසාම අප සම්මාන උලෙළල නවත්වන්න තීරණය කළා. ඉස්සර සාමාන්‍යයෙන් මෙරට චිත්‍රපට විසිදෙකක් විසිහතරක් පමණ බිහි වුණා. ඒ අතරෙන් සාමාන්‍යයක් විදියට ගත්තොත් අටක් විතරම ඉතාම හොඳ චිත්‍රපට. එතකොට අපට බය නැතුව සම්මාන දෙන්න පුළුවන්. පසු කාලීනව හැදුනේ හොඳ චිත්‍රපට එකක් නැත්නම් දෙකක්. එතකොට සියලුම සම්මාන දෙන්න වෙන්නේ ඒ චිත්‍රපටයට තමයි. එහි කිසිම තරගයක් ඇත්තේ නැහැ. මේ වගේ තත්ත්වයක් යටතේ අපට සිනමා සම්මාන උලෙළක් පවත්වන්න හැකියාවක් තිබුණේ නැහැ.

* නමුත් ඔබ මෙරටට තවත් විශේෂ සිනමා උලෙළ අත්දැකීම් ගෙන ආවා?

මම ඉංග්මාර් බර්ග්මාන්ගේ චිත්‍රපටවලට බෙහෙවින් ඇළුම් කරනවා.

ඒ නිසාම බර්ග්මාන් චිත්‍රපට උලෙළ ලංකාවේ පත්වන්න අදහස් කළා. එහි ප්‍රධානතම අරමුණ වුණේ යහපත් සිනමා ආශ්වාදයක් මෙරට සිනමා ලෝලීන්ට ගෙන දෙන්නයි. බර්ග්මාන් සිනමා උලෙළ සංවිධානය කළෙත් ස්වර්ණ සංඛ සිනමා පදනමෙන්. එයින් වසර ගණනාවකට පසුව ප්‍රංශ මහා සිනමාකරු ෆ්‍රංශුවා ටෲෆෝ ගේ සිනමා උලෙළක් සංවිධානය කළා.

* ඔබේ මුල්ම සිනමා අධ්‍යක්ෂණය මලට නොඑන බඹරු චිත්‍රපටය. මෑතකදී ඔබ ප්‍රසන්න විතානගේ අධ්‍යකෂණය කළ ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටයේ විධායක නිෂ්පාදකවරයා වුණා. මේ කාලය අතරතුර ඔබ අතින් චිත්‍රපට නිෂ්පාදනය නොකෙරුණේ ඇයි?

පළමු සිනමා නිෂ්පාදනයෙන් මට රුපියල් ලක්ෂ පහක් පාඩු වුණා. 1982 වසරේදී ඒක විශාල මුදලක්. එයින් පසුව මම යළ චිත්‍රපට නිෂ්පාදනය නොකරන්න තීරණය කළා. චිත්‍රපටයක් නිෂ්පාදනය කළා වගේ නෙවෙයි ඒක ප්‍රදර්ශනය කරන එකත් හරිම අපහසු කටයුත්තක්. දැන් නම් එතරම් අපහසු නැතුව ඇති. එම ක්‍රියාවලිය තුළ ඇතිවන ප්‍රශ්න ගොඩයි. නමුත් ස්වර්ණ සංඛ සිනමා සම්මාන උලෙළ මඟින් හොඳ චිත්‍රපට හදන අයට සම්මාන පිරිනමා උනන්දු කළා.

* ඔබ නිවෙස නිර්මාණශීලී දුර්ලභ කලාකරුවන් එකතුවක කේන්ද්‍රස්ථානයක්. මේ හමුවීම් සැබෑම රසබර ඒවා වෙන්න ඇති?

මම අඳුරන්නේ කලාකරුවන් විතරයි. මේ සොඳුරු හමුවේ ආරම්භය වුණෙත් ස්වර්ණ සංඛ සිනමා උලෙළ තමයි. එය සංවිධානය කරන්නට මේ හැම කෙනෙකුගේම දායකත්වය අවැසි වුණා. සම්මාන උලෙළේ විචිත්‍රත්වයට නර්තනය, ගීත ගායනා ආදිය අත්‍යාවශය යි. එම කාර්යයේදී මම කටයුතු කළේ, මේ කලාකරුවන් සමඟින්. චිත්‍රසේන මහත්මයා සුන්දර නර්තනයන් නිර්මාණය කළා. සංගීත නිර්මාණය කළේ අමරදේව මහත්මයා.

පණ්ඩිත් අමරදේව, චිත්‍රසේන වගේම තිස්ස අබේසේකර, ලෙස්ටර් යුවළ, ගාමිණි ෆොන්සේකා, ජෝ, ටෝනි රණසිංහ, දයා අල්විස්, ප්‍රසන්න විතානගේ, ජැක්සන් ඇන්තනි වැනි සොඳුරු නිර්මාණකරුවන් හැමෝම හැම මාසයකටම වරක් මගේ නිවසේදි හමු වුණා. ඒ හමුවීම් ඉතාම රසබර, සුන්දර හමුවීම්. හැබැයි දේශපාලනය ගැන නම් අපි කවදාවත් කතා කරලා නැහැ.

* සිනමාව, සංගීතය වැනි විෂයන් අළලා කෙරුණු මේ සුන්දර හමුවීම් සමඟින් වූ අමතක නොවන විශේෂ මතක සටහන් ඇති?

අමරදේව මහත්මයා අපේ ගෙදර දී ගීත ගායනා කිරීම අහන්න තරම්

මම ගොඩක් පින්වන්ත වුණා. මගේ නිවෙසේ සිදුවූ වාසනාවන්තම සිදුවීම වෙන්නෙත් එය යි. ඇතැම් දවස්වලට පාන්දර එක දෙක වෙනකම් මේ හමුව පැවැත්වෙනවා. අමරදේව මහත්මයා වැඩියෙන්ම ගායනා කළේ රාග තාල. අමරදේවයන් නිතරම කිව්වේ තමන්ගේ ප්‍රථම ප්‍රේමය වයලීනය කියලයි. මගේ හිත රිද්දුවේ නැති එකම කෙනාත් එතුමා තමයි. බොහොම සරළ නිවුණු පුද්ගලයෙක්. එතුමා ඉන්දියාවට ගිහින් තම සංගීත ඥානය වැඩිදියුණු කරගත්තා විතරක් නෙවෙයි එරට දැවැන්තයන් සමඟින් සංදර්ශන පවා පැවැත් වූවා. එතුමාගේ ගුරුතුමා වුණේ විශ්ණු ගෝවින්ද. කවුරුත් නොදන්නවා වුණත් අමරදේවයන් තරම් ඉංග්‍රීසි පොත් පරිශීලනය කළ කෙනෙක් නැතුවා ඇති. ඒවගේම සංගීතය පිළිබඳවත් පොත් විශාල සංඛ්‍යාවක් එතුමා පරිශීලනය කළා. සංගීතය පිළිබඳ වන කතාබස්වලදී අදාළ තැන් බොහොම පැහැදිලිව වටහා දෙන්න එතුමා සතු වුණේ පුදුමාකාර හැකියාවක්. අමරදේව මහත්තයාගේ දැනුමේ හැටියට සංගීතය වසර පන්දාහක් පමණ පැරණියි.

මේ අතර සිනමාව සම්බන්ධ බොහොම තද වාද ඇති වුණ අවස්ථා එහෙමත් නැතුව නෙවෙයි. එතැනදී එකිනෙකා සිනමාව දකින අයුරු, නිර්මාණවල හොඳ නරක වගේම රංගනයන් ගැනත් වාද විවාද ඇති වෙනවා. යම් නිර්මාණයකදී අපි හැමෝම එහි සාර්ථක බවට එකඟ වුණත් එහි ද යම් හෝ අඩුපාඩුක් ඇති බව මේ සාකච්ඡා ඔස්සේ දුටු අවස්ථාත් තියෙනවා. විශේෂයෙන් ඉරාන, ජපන්, ප්‍රංශ වැනි සිනමා නිර්මාණ පිළිබඳ අපේ කතාබහ වැඩි වුණා. මේ අතරේ අපව සන්තෝස කරන්නේ, ජෝ මහත්තයා තමයි. හැබැයි ජෝ මහත්තයා එක්ක අපි සිනමාව ගැන කතා කරනවා අඩුයි. ඔහු නිතරම කළේ, පැරණි කතා කියන එක තමයි. ඒ කතා අපේ සිනමාවටත් වඩා බොහොම පැරණි ඒවා. අපේ දවස ගත වෙන්නේ ජෝ මහත්තයාගෙන්.

* විවිධාකාරයෙක් කලා ක්ෂේත්‍රයට දායක වී එහි උන්නතිය වෙනුවෙන් කටයුතු කළ ඔබ එදා බලාපොරොත්තු වූ යහපත් කලාව වර්තමානයේ දකින්න පුළුවන්ද?

මම බලාපොරොත්තු වූ සාර්ථකත්වය ඒ අයුරින්ම නොලැබුණත් එහි යම් සාර්ථකත්වයක් මම දකිනවා. එය මේ අයුරින් හෝ පැවතීම ගැන මම සතුටු වෙනවා. සාමාන්‍යයෙන් හොඳ චිත්‍රපටයක් තිරයට පැමිණි පසු අපි ස්වාධීන කථිකයන් තිදෙනෙකු කැඳවා සම්මන්ත්‍රණයක් පවත්වන්න කටයුතු යොදනවා. එහි මූලික අරමුණ අධ්‍යක්ෂවරයාට සහයෝගයක් දැක්වීමයි. අවසන් වරට ඒ වගේ සම්මන්ත්‍රණයක් පැවැත් වූයේ වින්දන සහ කල්පණ ආරිවංශ දෙසොහොයුරන්ගේ ප්‍රේමය නම් චිත්‍රපටය වෙනුවෙන්.

* අපේ රටේ සිනමාවේ ඉහළ දියුණුව වෙනුවෙන් කළ යුතු වෙනස ඇති කිරීමට කළ යුතු දෙය ලෙස ඔබට හැඟෙන්නේ කුමක්ද?

මේ වෙනුවෙන් කරන්න තියෙන්නේ එකම එක දෙය යි. පුනේ පිහිටි ඉන්දීය චිත්‍රපට හා රූපවාහිනි ආයතනය වගේ ආයතනයක් අපේ රට තුළත් බිහිකළ යුතුමයි. ඒ අඩුව අපට තියෙනවා. මෙවැනි ආයතනයක් ඔස්සේ අධ්‍යක්ෂණය විතරක් නෙවෙයි, තිරරචනය, කැමරාකරණය, ඡායාරූපකරණය, රංගනය, සිනමාවේ සෑම අංශයක් පිළිබඳවම මනා අධ්‍යාපනයක් වගේම හොඳ පුහුණුවක් ලබා ගන්නත් හැකි විය යුතුයි. දැනට යම් යම් ආයතනික මට්ටමෙන් මේ කටයුතු කෙරුණත් එය ප්‍රමාණවත් නැති බව කියන්න පුළුවන්.

* වර්තමානයේ නව පරපුරේ නිර්මාණකරුවන් ගැන ඔබේ අදහස කුමක්ද?

ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර කියන මේ තිදෙනා විශේෂයෙන්ම අපේ සිනමාව දුර ගමනක් රැගෙන යාවි.

* ව්‍යාපාරිකයකු වුවත් කලා කෂේත්‍රයේ ඇසූපිරු තැන් ඇති ඔබ නව පරපුරට දෙන්නේ මොනවගේ උපදෙසක්ද?

මම ඔවුන්ට කියන්නේ ඒ වෙනුවෙන් ඇප කැප වෙලා කටයුතු කරන ලෙසයි. කර්මාන්තයක් විදියට ගත්තොත් ඉන්දියාවේ තියෙන්නේ අති විශාල වූ සිනමා කර්මාන්තයක්. අපේ සිනමා කර්මාන්තය පොඩියි. මූලික පිරිවැයක් නැතුව සිනමා නිර්මාණයක් කරන්න අපහසුයි. නවකයන්ට එන්න තියෙන ඉඩකඩ ඇහිරෙන්නත් එය ප්‍රධානතම හේතුවක්. ජීවත් වෙන්නත් මුදල් අත්‍යාවශ්‍යය යි. ඒ විදියට බැලුවොත් වෘත්තියක් විදියට සිනමා කර්මාන්තයේ නියැලෙන්න අපහසුවක් තියෙනවා. මේ දේවල් අවබෝධ කරගෙන සියල්ල නිසි කලමනාකරණයෙන් කිරීම ඉතාම වැදගත්.