වර්ෂ 2016 ක්වූ  ජූලි 27 වැනිදා බ්‍රහස්පතින්දා




සෙංකඩගල නුවර වරකාපොළ ඉදි වෙයි

සෙංකඩගල නුවර වරකාපොළ ඉදි වෙයි

ශ්‍රී වික්‍රම දර්ශන තලයේදී

දිගුකාලීන පර්යේෂණයක ප්‍රතිඵලයක්

කාලයක් තිස්සේ දොරෙයිසාමිව ලුුහුබැඳි මොහාන් නියාස් දැන් නම් ඔන්න වැඩේට බැහැලා. කලක් තිස්සේ හදවතේ නැගිච්ච ඒ කැසිකැවිල්ල කුළුගැන් වුණේ අදින් අවුරුදු එකහමාරකට කලින්ය කියලයි මොහාන් කියන්නේ. ඒ ගොඩයාමට තවත් තුන් කට්ටුවකගෙන් ලැබිච්ච අත්පසුරත් මොහාන් නිතර සිහි කරනවා.

අජිත් ධර්මසූරිය මොහාන්ගේ ඒ ගමනේ පෙරගමන් කරුවෙක්. මොහාන් - අජිත් දෙදෙනා තමයි ‘ශ්‍රී වික්‍රම’ තිරපිටපත ලියන්නේ. අජිත් ලියූ තව සිනමා තිර පිටපත් දෙකක් ඇතත් මුලින්ම සිනමාවට නැඟුණේ ශ්‍රී වික්‍රම.

මේ දෙදෙනාම සෙංකඩගලපුර ඇත්තෝ. දෙදෙනාම පාසල් කාලේ ඉඳන්ම මහනුවර ඓතිහාසික පසුබිම පිළිබඳ උන්නදුවක් දක්වන්නෝ. ඒ ආශ්‍රිත පර්යේෂණ කළ පර්යේෂකයෝ. මොහාන්ටත් වඩා ඒ කර්තව්‍යයට නැඹුරු අජිත්. ඒ ඇසුරින් අජිත් ධර්මසූරිය මොහාන් සම්බන්ධයෙන් හරි අපූරු හෙළිදරව්වකුත් කරනවා.

‘මොහාන් පිළිමතලව්ව පවුලෙන් පැවතගෙන එන කෙනෙක්. ඒ කාලේ බිරියගේ නමින් වගවාසගම් දිගෑරුණේ ඒ අජිත් මොහාන්ගෙන් දුටු විශේෂත්වයක්. පර්යේෂණාත්මකව ඒ මතය පළ කරන අජිත් ධර්මසූරියත් මව් පරම්පරාවෙන් මොනරවිල කුමාරිහාමි පරපුරේ අයෙක් බවයි අජිත් නිරහංකාරව වැඩිදුරටත් කියන්නේ. දළදා මාළිගාව, පත්තිරිප්පුව, දේශපාලන බදු ක්‍රමය, වළාකුළු බැම්ම, බෝගම්බර වැව ඉදි කර වූ රජු ජීවත්වන්නට යෙදුණු අරගලයත් මේ චිත්‍රපටය තුළින් පෙනේවි කියලයි.

ඓතිහාසික සහසම්බන්ධකම් උඩ ලියැවෙච්ච දැනට රූගත කෙරෙමින් පවතින දැවැන්ත චිත්‍රපටයක් ‘ශ්‍රී වික්‍රම’. දීර්ඝකාලීන පර්යේෂණවල ප්‍රතිඵලයක් විදියට සිනමාවෙන් එළිදකින දැවැන්ත නිර්මාණයක් විදියටයි හුඟ දෙනෙක් ශ්‍රී වික්‍රම හඳුන්වන්නේ.

‘මේ ඉතිහාසයේ වැළලුණු එක්තරා පරිච්ඡේදයක් ගෙනහැර දැක්වීමක්. මෙතෙක් කල් එය එසේ වැලළීමම ඛේදාවාචකයක්. ඒ නමුත් මේ නිර්මාණයත් සමඟ කලක් තිස්සේ පවතින දුර්මත උඩු යටිකුරු වෙනවා ඒකාන්තයි. අපේ ඒ පිළිබඳ සමහර පර්යේෂණවලදී පෙනී ගිය දෙයක් තමයි බහුලවම තියෙන්නේ එකලට සම්බන්ධ ඉංග්‍රීසි ලිපි ලේඛන බව. කට වහරේ එන කරුණු ඇසුරින් යම් යම් අනුමාන කිරීම්වලට එළැඹිච්ච අවස්ථාත් තියෙනවා’ මොහාන් එහෙම කියද්දී ශ්‍රී වික්‍රම සම තිර පිටපත් රචක අජිත් අවධාරණය කළ කරුණක් තමයි,

ශ්‍රී වික්‍රම රාජසිංහ විදියට රජ වුණේ ගෘහ නිර්මාණ ශිල්පය හදාරමින් තමන්ගේ පාඩුවේ හිිටිය තරුණයෙක්. ඔහුව රජ කරවන්න ඕනෑ වුණේම පිලිමතලව්වේට. ඒ තමන්ට නොලැබෙන රජකමේ පිලිමතලව්වේගේ පුතකු බවට මත පළවෙන කන්දසාමි කුමාරයාව ඉන්ද වන්නේත් නාමික රජකු හදාගන්න බලාගෙන. තමන්ගේම දියණියට පවා පිළිමතලව්වේ ශ්‍රී වික්‍රම රජ්ජුරුවන්ට යකඩ දෝලියක් විදියටත් සරණ පාවා දෙනවා. ඒත් මහ විශාල ට්‍රැජඩියක් මේ තුළ තියෙන්නේ කියලත් නොකියාම බැහැ’.

මේ හින්සරින් කරන අදහස් දැක්වීම් පරදවා දර්ශන තලයේ රූ ගැන්වීම්වලට පසුබිම් වන රාවය ඉහළ නැඟේ. ඉඳින් භේරි වාදන නැඟේ. ජයසක් හඬ පැතිරේ. මාළිගයේ රතු පලස මත විසුල මල්පෙති තැලේ. ඒ මතින් ශ්‍රී වික්‍රම රාජසිංහ රාජාභිෂේකයට පැමිණේ. අපේ මේ කතාබස් මැද ලහි ලහියේ ‘ශ්‍රි වික්‍රම’ රූ ගැන්වේ. වේවැල්දෙනියේ වෙන්ඩෝල් ලංකා සමාගම් භුමියේ හැරෙන්නට මහනුවර, ගල්ගමුව, ගාල්ල, කොළඹ ආදී විවිධ ප්‍රදේශවල එකිනෙකට වෙනස් දර්ශන තලවලදී දින 65 ක් පුරා රූගත කිරීමට නියමිත චිත්‍රපටයක් තමයි මේ.

ශ්‍රී වික්‍රම රාජසිංහ විදියට කිරුළ පළඳින්නේ අඛිල ධනුද්දර. මේ අලුත් චිත්‍රපටයේ අලුතින් රජ කිරුළු පැළඳීමත් සමඟ අඛිල රංගන ලෝකේ සිව් වතාවක් රජකමට උරුමකම් කියූ යොවුන් නළුවෙක් විදියට ඉතිහාසගත වෙනවා.

‘මොහාන් අංකල්ව අපි පුංචි කාලේ ඉඳල අඳුනනව. මේ භාරදූර වගකීම මට පැවරීමට මං ස්තුතිවන්ත වෙන්න ඕනෑ. මගේ පියා සමඟ ‘පළිඟු මැණිකේ’ කාලේ ඉඳලා එකට රංගනයේ යෙදෙන ශ්‍රියන්ත අංකල් මං ශ්‍රී වික්‍රම විදියට රජ වෙද්දී පිලිමතලවේ විදියට හමුවිම මට අමතක නොවෙන සිද්ධියක්. ඒ හැරෙන්නට අඛිල ඔහු මවන ශ්‍රී වික්‍රම චරිතය පිළිබඳ අදහසක් දක්වන්නත් පසුබට වුණේ නැහැ.

‘ශ්‍රි වික්‍රම රාජසිංහ රජු වටා ගෙතිච්ච මතිමාතාන්තර හොඳ - නරක හුඟක් තියෙනවා. ඒත් ඔහු නීති ප්‍රකාරව කටයුතු කළ අයෙක් කියලාත් ඔහු පත් වූ තත්ත්වයට අපි පත් වුණොත් අපි මොනවා කරයිද කියලාත් සිතා බලන්නට පෙළඹවීමක් ශ්‍රි වික්‍රම රාජසිංහ චරිතයෙන් ප්‍රේක්ෂකයාට කෙරෙයි කියලාත් මට හිතෙනවා’

ඒ අතරතුර ‘ශ්‍රී වික්‍රම’ චිත්‍රපටයේ හඬ, දෙබස්, සංගීත රාව අපේ සවන් වැකේ. ඒ තිර පිටපතේ ඇතැම් තැන් මෙසේ දිස්වේ.

‘ශ්‍රී වික්‍රම අත රැඳි වයින් වීදුරුව බිම පතිත වෙයි. එය කැබලිවලට කැඩී යයි. උස් කුටියක වඩා හිඳුවා ඇති ශෛලමය බුදු පිළිමයකි. ඒ දෙසට වන්නට ඇති හින්දු ආගමික පිළිමය දෙසින් හමන සුළඟට හසු වී දල්වා ඇති පහන නිවී යයි . . .’

සිහසුන මත ශ්‍රී වික්‍රම රාජසිංහය. දකුණුපස අසුනේ අග බිසව රංගම්මාල්ය. වම්පස නව මනාලිය වූ ජම්මාල්ය. ඇයගේ වත මත ඇත්තේ වෙහෙසකර බවකි.

‘කැප්පටිපොල ද්‍රෝහියෙකු ලෙස ඝාතනය වුණා. අනාගතයේ දිනෙක ඔහු වීරයකු වනු නිසැකයි. දේශප්‍රේමී රණවිරුවකු සේ රට ඔහුට ගරු බුහුමන් දක්වාවි.

ජන ඝාතක රජකු ලෙස මට පරිභව කළ මිනිසුන්ම දිනෙක පවසාවි සැබෑ ලෙසම මා මව්බිමට ආදරය කළ මිනිසකු බව. කිහිප දෙනකුගේ බලලෝභිත්වය නිසා මව්බිම පරදේසක්කාරයන්ට යටත් කළේ මා නොවන බව එදාට ඔවුන් තේරුම් ගනීවි’

මොහාන් හැරෙන්න ‘ශ්‍රී වික්‍රම’ නිර්මාණයේ වැඩි බරක් මුල පටන්ම උරින් දරන තවත් තුන් කට්ටුවක් වෙනවයි කියලා කලින් කීවානේ. ඉතින් වෙන්ඩෝල් ලංකා සමාගමේ අධිපති ගිහාන් ගොඩකන්ද නොසිටින්නට ශ්‍රී වික්‍රම සිනමාවට නැඟෙනවා බොරු. ඒ තමයි මේ කර්තව්‍යයට බරපැන දරන නිෂ්පාදකයා පිළිබඳ පොදුවේ ශ්‍රී වික්‍රම පිරිවරේ මතය. ඒ හැරෙන්න තවත් අමුත්තෙක් මේ පිරිවරේ වෙනවා.

ඔහු පර්යේෂණයේ පටන්ම මොහාන්ට මේ චිත්‍රපටයට සහාය දක්වන අයෙක්. ‘එක්නැලිගොඩ’ චරිතය රඟපාමින්ම සටන් අධ්‍යක්ෂවරයකු වශයෙන් ද මෙයින් සිනමාවට පිවිසෙන ඔහු අරුණ රූපසිංහ. මේ චිත්‍රපටයේ රේඛීය නිෂ්පාදකත්වයේ බරත් තමන් දරන බවයි අරුණ සරසවියට කීවේ.

තිර පිටපතින් එපිටට මොහාන් නියාස් මේ චිත්‍රපටයට තවත් හිතුවක්කාරකම් එකතු කරනවා. මෙතෙක් ශ්‍යාම් ප්‍රනාන්දුව මෙරට රසිකයන් දැක්කාට වඩා වෙනස්ම විදියක කැප්පෙටිපොල චරිතයකයි මොහාන් ශ්‍යාම්ව යොදා ගන්නේ. ශ්‍යාම්ගේ විශේෂය හැරෙන්නට තවත් අමුත්තියක් විදියට චුලක්ෂි රණතුංගත් මේ හරහා රිදී තිරයේ රඟනවා. පසුගියදා ලොව හොඳම නිරූපිකා කිරුළ දිනූ ඇයට නිරූපණයට බාර වී තිබෙන්නේත් ප්‍රධාන නිළි චරිතයක්.

කලින් සිනමාවෙන්ම වෙන්කඩ රංගම්මාල් චරිතයෙන් අප හමු වූ චංචලා වර්ණසූරිය ශ්‍රී වික්‍රම චිත්‍රපටයේදී පණ පොවන්නේ සුබ්බම්මාට. ඈ කන්දසාමිගේ මව. ඒ නමුත් රජකමට ඔටුණු පැළඳූ පුත් කුමරාව අල්ලන්නවත් පුතුට කිට්ටු වෙන්නවත් ඉඩක් නොලැබිච්ච අවාසනාවත් දුකත් සතුටත් අතර දෝලනය වන චරිතයක් විදියටයි චංචලා ඒ චරිතය දකින්නේ.

පිළිමතලව්වේට පණ පොවන්නේ ප්‍රවීණ නළු ශ්‍රියන්ත මෙන්ඩිස්. ‘ශ්‍රී වික්‍රම’ කලා අධ්‍යක්ෂණය භාරව සිටින ධම්මික හේවාදුවත්ත නිර්මාණය කළ සද්දන්ත රජ මාළිගාව පිළිබඳ ශ්‍රියන්ත සතුටින් පසු වන්නේ. ගජමිතුරු ජැක්සන් ඇන්තනිගේ පුතුට ශ්‍රී වික්‍රම රාජසිංහ විදියට කිරුළු පැළඳවීමට වරම් ලැබීමත් රංගන ශිල්පියකු විදියට ශ්‍රියන්ත ආඩම්බර වන කරුණක්. ශ්‍රියන්ත, අඛිල දෙන්නට දෙන්නම කාලකෙට ඉහතදී ඒ දෙන්නට දෙන්නා මෙන්ඩිස් මූණු ඇත්තෝ විදියට හැදූ කටකතාවක් මේ දෙන්නාට දෙන්නාම අදටත් මතක් කරන්නේ හිනාමුසු මුහුණුවලින්.

මේ දිනවල විකාශය කෙරෙන ටෙලි නාට්‍ය රැසක කාර්යබහුලව සිටින රොෂාන් පිලපිටිය ශ්‍රී වික්‍රම චිත්‍රපටයේ ඇහැලේපොළ මහාධිකාරම් චරිතය රඟපාන්නේ. ඒ අතරම මේ දිනවල රූගත කෙරෙන මීට කිට්ටු කතා ප්‍රවෘත්තියක් රැගත් තවත් චිත්‍රපටයක වීර කැප්පෙටිපොල චරිතය භාරව සිටින්නෙත් රොෂාන් පිලපිටියයි.

සැමීගේ කතාව චිත්‍රපටයේ රොෂාන් චරිතයෙන් අප හමු වූ වතික රවිනාත් ශ්‍රී වික්‍රම චිත්‍රපටයේදී මඩුගල්ලේ ලෙසින් ප්‍රේක්ෂකයා හමුවට පැමිණෙයි.

දැන් තිරගත කෙරෙන ‘දෙවනි වරම’ චිත්‍රපටයේ නිෂ්පාදකවරයකු වන ජගත් ඇපලදෙනිය අපට පසුගියදා ශ්‍රීි වික්‍රම දර්ශන තලයේදිී හමු වුණා. ඒ ඔහු මේ චිත්‍රපටයේ ඇරැව්වල නිලමේගේ චරිතය රඟපාමින් සිටියදීය. සැබෑ ජීවිතයේ දේවාලයක කපු මහතකු වශයෙන් වැඩ කරන තරුණයෙක් රංගනයට තිබෙන ආසාව නිසා ඒ වැඩ කටයුතු අතරමැද රංගනයට එක්ව සිටිනු අප දුටුවේත් ‘ශ්‍රී වික්‍රම’ රූගැන්වෙද්දීමයි. ඔහු අරන්දර විෂ්ණු දේවාලයේ කපු මහතා ලෙසින් කටයුතු කරන දිනේෂ් මණ්ඩාගල. එවන් තවකෙකු වුණේ පිලප් මුලර්. ඔහු සුදු ජාතිකයකු වන නමුත් සිංහල භාෂාව හොඳින් දන්නා කියන ඉදිරියේදීත් සිනමාවේ සහ ටෙලි නාට්‍ය රංගනයට එක් වන්නට කැමැත්තෙන් පසුවන්නෙක්.

අඛිල ධනුද්ධර, චුලක්ෂි රණතුංග, ශ්‍රියන්ත මෙන්ඩිස්, බුද්ධදාස විතානාච්චි, පාලිත සිල්වා, රොෂාන් පිලපිටිය, ශ්‍යාම් ප්‍රනාන්දු, කිංස්ලි ලෝස්, චංචලා වර්ණසූරිය, ගජන් ගනේෂන්, ප්‍රසන්නජිත් අබේසූරිය, වතික රවිනාත්, චූලා මෙන්ඩිස්, සුගත් ජානක, සුනිල් ජයතිස්ස, අරුණ රූපසිංහ, නඩරාජ් ශිවම්, කේ. ජෙගදීෂ්වරන්, ජගත් ගලප්පත්ති, මොරිස් රත්නායක, පිලිප් මුලර් ආදීහු ‘ශ්‍රී වික්‍රම’ චිත්‍රපටයේ රඟති.

සහාය අධ්‍යක්ෂණයෙන් ධනංජය මංචනායක සහ පිංගානි කොස්තා ද කැමරාවෙන් සජිත වීරප්පෙරුම (සැගී) ද, වෙස් ගැන්වුමින් ප්‍රියංක රත්නායක ද, කලා අධ්‍යක්ෂණයෙන් ධම්මික හේවාදුවත්ත ද, සංගීත අධ්‍යක්ෂණයෙන් රෝහණ වීරසිංහ ද, ගැයුමින් උරේෂා රවිහාරි ද, සංස්කරණයෙන් අනුර බණ්ඩාර ද, නිෂ්පාදන කළමනාකරණයෙන් හැරල්ඩ් කරුණාතිලක ද, කොණ්ඩා සැකසුමින් සරත් රණවීර ද, සටන් අධ්‍යක්ෂණයෙන් ටෙඩි විද්‍යාලංකාර, සුනිල් ජයතිස්ස සහ අරුණ රූපසිංහ ද, ඇඳුම් නිර්මාණයෙන් ප්‍රියාන් අනුර ශ්‍රී ද එක්වන ‘ශ්‍රී වික්‍රම’ ගිහාන් ගොඩකන්දගේ නිෂ්පාදනයකි.