වර්ෂ 2016 ක්වූ  ජූලි 27 වැනිදා බ්‍රහස්පතින්දා




එක සතියක වෙන්ව ගිය දෙදෙනෙක්

එක සතියක වෙන්ව ගිය දෙදෙනෙක්

තිලක් අතපත්තු - සෝමපාල රත්නායක

දිනේෂ් ප්‍රියසාද් විස්තර කරයි

සිංහල සිනමාව උපන් වසර තුළදීම එනම් 1947 නොවැම්බර් මස 11 වෙනි දින කන්ද උඩරට කඩුගන්නාවට උපන් රත්නායක ආරච්චිලාගේ දොන් විල්සන් සෝමපාල හෙවත් සෝමපාල රත්නායක - ලාංකීය සිනමාව තාලයෙන් නලවන්නට හැකි විය.

1972 දී අශෝක ධර්මරත්නගේ 'චණ්ඩ මාරුතයක්' කෙටි චිත්‍රපටයට සංගීිත අධ්‍යක්ෂණ දායකත්වය ලබා දෙමින් ද 1973 දී 'ටයි මහත්තයා'ගේ ්කෙටි චිත්‍රපටයකට සංගීත අධ්‍යක්ෂණ දායකත්වය ලබා දෙන අතර ඔහු මුල් පියවරයන් පසු කරමින් ගිවන්ත අර්ථසාද්ගේ වෘත්තාන්ත - පුළුල් තිර 'දුටුගැමුණු' (1979), ටයිටස් තොටවත්තගේ 'හඳයා' (1979) සහ ගාමිණී ෆොන්සේකාගේ 'උතුමාණෙනි' (1979) යන චිත්‍රපට තුන තම සිනමා දිවිය ඒකාලෝකමත් කරන්නට සමත් විය.

එතැන් පටන් ගාමිණී ෆොන්සේකා නම් මහා සිනමාවේදියාගේ සිනමා නිර්මාණ සඳහා සංගීත අධ්‍යක්ෂවරයා බවට පත් වෙමින් 'සාගරයක් මැද', කොටි වලිගය', 'නොමියෙන මිනිසුන්' හා 'අන්තිම රැය' ට සෝමපාල රත්නායක අමිල සේවයක් ලබා දුණි.

මෙම සංවාද සටහන සඳහා කරුණු දායකත්වය ලබා දෙන චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් දේශීය සිනමාවට මුල්වරට චිත්‍රපට දර්ශන ප්‍රයෝගකරණය හඳුන්වා දෙමින්, කර්මාන්තයට පය තබන විට, ඔහුට ඔහුගේ සොහොයුරා වන ගිවන්ත අර්ථසාද් මගින් ලැබෙන්නේ ද ඉමහත් පිටිවහලකි.

දිනේෂ් ප්‍රියසාද් අධ්‍යක්ෂවරයාගේ ගමන් මඟෙහි මුල් පියවරේ සිටම සෝමපාල රත්නායක සංගීත අධ්‍යක්ෂවරයාගෙන් ලද දායකත්වය අති මහත්ය.

මොරටුවේ අප නිවසට සිනමාකරුවන්ගේ නොකඩවා පැමිණීම මාගේ සිනමා දිවියේ අනාගතය නිර්මාණය වන්නට ද හේතු විය. 1977 ආරම්භයත් සමඟම මාගේ සහෝදරයාගෙන් හඳුනාගත් රාජ් රණසිංහ නම් චිත්‍රපට නිෂ්පාදකවරයා සමඟ 'නොම්මර එකයි' සිනමාපටය වාචික ගිවිසුමක් මත ආරම්භ වන්නේ 1980 දීය. එහි සංගීත අධ්‍යක්ෂවරයා වූයේ සෝමපාල රත්නායක නම් සංගීතවේදියාය.

එතැන් පටන් මා නිර්මාණය කළ තිලක් අතපත්තු නිෂ්පාදනය කළ 'පෙරළිකාරයෝ' ද විය. විජය කුමාරතුංග නිෂ්පාදනය කළ 'වරදට දඬුවම්' ද සොමී රත්නායක නිෂ්පාදනය කළ 'හිතේ දුකක් නැති මිනිහා' ද, ලකී ඩයස් නිෂ්පාදනය කළ 'පාරාදීසේ' ඇතුළු චිත්‍රපට 12 කට සංගීත අධ්‍යක්ෂවරයා බවට පත් වූයේ සෝමෙ මිතුරාය.

සෝමපාල රත්නායක යනු යහපත්කමින් අනුන, හිතවත්කමින් පරිපූර්ණ වූ, ආදරණීය සුන්දර මිනිසෙකි. ඒ බව සිනමා සක්විත්තාගේ මුවින් නික්මුණු වගන්තියකින්ම කිව හැකිය.

හිරු අවරට යන මොහොතක ගාමිණී මහතා අධ්‍යක්ෂණය කළ 'නොමියෙන මිනිසුන්' චිත්‍රපටයේ අමරදේව ගයන 'මිහිපිට අඟලක් - හිමි නැති මිනිහෙක් - සඳයි මාලිගා අහසේ' ගීතයේ සංගීත නිර්මාණය කරන මොහොතේ ගාමිණී අයියාගේ කුඩා දියණිය කෞශල්‍යා එතැනට පැමිණි අතර ඇය මුල්වරට සෝමෙ දකිමින් මහත් පුදුමයට පත්ව තම පියාණන් ඇමතුවේ 'තාත්ති මේ ඉන්නෙ ජීසස් අංකල් නේද' යනුවෙනි. ඒ වගන්තිය තුළින් සෝමෙගේ කරුණාබර පෙනුමද, ගාමිණී අයියා තම දියණියට දුන් පිළිතුර වන්නේ ද 'ඔව් කව්ශි මේ තමා ජීසස් වගේම පිරිසිදු හදවතක් තියෙන, ඔයා රඟපාන ෆිල්ම් එකේ මියුසික් ඩිරෙක්ට් අංකල් සෝමෙ' යනුවෙනි.

එම කතාවෙන් ද සෝමපාල රත්නායක නම් උතුම් මිනිසාගේ මිනිසත්කම, සුන්දර ආදරණීයකම අප හදවත් තුළ තවත් කාලයකට ඉතිරි කර වූයේය.

* තිලක් අතපත්තු

මා 'නොම්මර එකයි' කරන අවදියේ නිෂ්පාදක රාජ් රණසිංහ මා අමතමින් 'මචාං උඹට තව ලොකු ෆිල්ම් එකක් එනවා, මචං මගේ යාළුවෙක් ඉන්නව 'අතේ' කියලා. ඌ එනවයි කිව්වා අපේ ෆිල්ම් එකේ ඩබිං බලන්න'

ඒ වාසනාවන්ත දිනය ද උදා විය.

තිලක් අතපත්තු (අතේ) නම් ඒ කෝටිපති ව්‍යාපාරිකයා මගේ චිත්‍රපටයේ දෙබස් කැවිම් නරඹමින්, නළු නිළියන් සමඟ සතුටු සාමිචියේ යෙදෙමින් ද සිනමා තාක්ෂණය පිළිබඳ මගෙන් කරුණු විමසමින් ද මට යෝජනාවක් ගෙනෙමින් අපි චිත්‍රපටයක් කරමුනේදැයි අසයි. අදින් ඩබින් ඉවර වුණාම ටෙනිසන් කුරේටත් මටත් ආරාධනා කළේ හෙට උදේ දෙමටගොඩ ගෙදරට එන ලෙසය. පසුව ඔහු මධ්‍යම රාත්‍රිය පසුවනතුරු ද සරසවි චිත්‍රාගාරයේ අපත් සමග කාලය ගත කොට පිටත්ව ගියේය.

තිලක් අතපත්තු නම් ඒ වැදගත් ව්‍යාපාරිකයා තුළ ජීවත් වන සොඳුරු මිනිසා මා දුටුවේ එදා දවසේ අපත් සමඟ ගත කළ පැය කිහිපය තුළදීය. එතැන් පටන් මගේ විශ්වාසය වූයේ තිලක් සමඟ හොඳ සිනමා නිර්මාණ මගේ හිතේ හැටියට කළ හැකි බවයි.

1954 වසරේ මාර්තු 23 වෙනිදා ඔහු තිලක් බන්දුල අතපත්තු නමින් මෙලොව එළිය දුටු අතර, තිලක් අතපත්තු නමින් ශ්‍රි ලාංකේය සිනමාව තුළ ජය කෙහෙලි නංවා කීර්තිමත් නාමයක් ගොඩ නගා ගත් ඔහු පසුගියදා අප අතරින් වෙන්වන විට වයස අවුරුදු 63 කි.

මේ ඔහු වෙනුවෙන් ගෙනෙන සොඳුරු මතකයකි.

පලයල්ලා ගිහිං තිලක්ව අල්ලගෙන වැඩේ පටන් ගනිල්ලා . . . මං ඌට කියලා තියෙන්නේ . . . යනුවෙන් රාජ් රණසිංහ තෙපලූ මියරු වදන් මගේ සිනමා ජීවිතය ස්ථාවර කරන්නට සමත් විය. පසුවදා උදෙන්ම ඔහුගේ නිවසට ටෙනීත් මමත් ගොඩ වැදුණේ වෙනත් කිසිදු අරමුණක් සඳහා නොව චිත්‍රපටයක්ම ගැට ගසා ගැනීමේ ඒකායන ප්‍රයත්නය මතය. එහිදී මා තිලක්ට යෝජනා කරන්නේ ගාමිණී ෆොන්සේකා විජය කුමාරතුංග සුසංයෝගය තුළින් චණ්ඩියා චිත්‍රපටයේ දෙවෙනි කොටස ලෙසින් 'චණ්ඩියා චණ්ඩියාමයි' (දෙමෝදර පාලම) හදමු කියාය. තිලක්ගේ මතවාදය වූයේ ගාමිණීව අරං අපි ඊළඟ චිත්‍රපටය කරමු යනුවෙන් ද මට අමිතාබ් බච්චන් රඟපෑ 'සත්තේ ජි සත්තා' නම් හින්දි චිත්‍රපටය සිංහල අනුවාදයක් ලෙසින් කරල දෙන ලෙසය. එම නිසා අදාළ හින්දි කැසට්පටය දැන් නරඹමු යන්න තිලක්ගේ ඉල්ලීම විය.

මාගේ යෝජනාව වුණේ ඊට හාත්පසින්ම විරුද්ධවාදී අදහසකි. මම කොපි චිත්‍රපට කරනවාට විරුද්ධයි. එහෙත් මෙය මගේ වෘත්තීය නිසා මෙය කළ යුතුව ඇති බැවින් මා තිලක් අයියාට යෝජනා කරනවා ඔයා ඔය හින්දි චිත්‍රපටය බලල තියෙනවානෙ. ඒක හින්දා මට චිත්‍රපටය බලන්න ඕන නැහැ. ඔයා මට කතාව කියන්න. මගේ තිර නාටකයට අනුව මං ඒක කරලා දෙන්නම්. ඒ මොහොතේ තිලක් 'ආරෙ සිට පූරෙ'ටම හින්දි චිත්‍රපට කතාව මගේ ඔළුවට දැම්මේය.

එවිට මගේ ප්‍රකාශනය වූයේ ඔය කියන චිත්‍රපට කතාවේ ඔරිජිනල් එක හොලිවුඩ් පුරවරයේ ර්. ට්. ර්. සමාගම නිෂ්පාදනය කළ 'ඉඡ්ඍඡ්ව් ඕඅධ්ච්ඡ්ඉ ජ්ර්‍ණඅ ඉඡ්ඍඡ්ව් ඕඅර්‍ණඊඩ්ඡ්අඉ' යනුවෙනි. ඒ මොහොතේ රුපියල් දහදහ බැගින් චෙක් දෙකක් ලැබුණේ මගේ සිනමා ජීවිතයේ පළමු අත්තකාරම් මුදල ලෙසිනි.

ඒ වන විට රාජ්ගේ 'නොම්මර එකයි' චිත්‍රපටයෙන් හෝ ශත අළුක් කාලක් නොගත් බව සත්‍ය වශයෙන් ප්‍රකාශ කරන්නේ, සිනමාව පිළිබඳ හදවතේ ඇති වී ඇති භක්තියෙනි. තිලක් අතපත්තු වැනි විශිෂ්ට පෙළේ ව්‍යාපාරිකයකු (වැදගත් සල්ලිකාරයෙකු) චිත්‍රපට නිෂ්පාදකයෙකු ලෙසින් මට හඳුන්වාදීමෙන් මා හදවතේ ඇතිවන ගෞරවණීය ගෞරවය නිතැතින්ම ලැබෙන්නේ රාජ් රණසිංහ මහතාට බව පැහැදිලිව කිවයුතුව ඇත.

අතුරු ප්‍රශ්නය - දිනේෂ් ප්‍රියසාද් ගේ කාලයේ චිත්‍රපට නිෂ්පාදකයා සහ අද වර්තමාන චිත්‍රපට නිෂ්පාදකයා?

'චිත්‍රපට නිෂ්පාදකයා' කියන උත්තරීතර ටයිටල් එකක් අද ලංකාවේ නෑ. අද කවුරු හරි කෙනෙක් චිත්‍රපටයට සල්ලි ටිකක් දාලා චිත්‍රපටි කෙරෙන හැටි බලං ඉන්නවා. බලං ඉඳල ඩිරෙක්ටර්ගේ සල්ලි ටිකත් සාක්කුවේ දාගෙන ලාබෙට කැමරමන් කෙනෙක්, සංස්කාරකවරයෙක් අරගෙන ඔවුන් දෙදෙනාගෙන් යැපෙමින් ලාබෙට වැඩේ කරගන්නවා. එහෙත් මා සමඟ මෙතෙක් වැඩ කරමින් මේ චිත්‍රපට සඳහා ආයෝජනය කළ චිත්‍රපට නිෂ්පාදකවරු 13 න් දෙනාගෙන් කිසිදා නිෂ්පාදකයකු මේ දක්වා චිත්‍රපට අධ්‍යක්ෂණයට පැමිණ නැති එකට මා තුළ පවතින්නේ කනගාටුවක් වුවත් චිත්‍රපට අධ්‍යක්ෂණයේ ඇති බැරෑරුම් බව වටහා ගත් නිෂ්පාදකවරුන් සියලු දෙනා ඒ උත්තරිතර නිෂ්පාදක යන නාමය දැඩිලෙස සුරකින බවයි මගේ හැඟීම. එහෙත් මාගේ අහිංසක ආශාව වන්නේ මගේ නිෂ්පාදකවරයකු චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා නම් එම අධ්‍යක්ෂවරයා හට ඊඡ්ඒ ඕර්‍ණක ලෙසින් හෝ මා මාගේ සේවය ලබාදීමය. ඒ බව මා වරෙක තිලක් අතපත්තුටත්, විජය මහතාටත් පැවසූ බව නොරහසකි.

අද අධ්‍යක්ෂවරයාගේ බ්ර්‍ණඕ එක උදුර ගන්නේ බල්ලෙකු පාන් භාගයක් ඩැහැගෙන යන අයුරිනි.

ඉන් වැදගත්ම අංගය වන්නේ, තිලක් අතපත්තු නම් නිෂ්පාදකවරයාය. ඔහු කිසි දිනක අධ්‍යක්ෂවරයාගේ කාර්යභාරයට ඇඟිලි නොගැසූ අතර, තම අධ්‍යක්ෂවරයාව හොඳින් රැකබලා ගැනීමට ද අමතක නොකළේය. 'පෙරළිකාරයෝ' රූගත කළ ප්‍රථම දිනට, පෙර දින බල්ලෙකු මා හපා කෑම හොඳම නිදසුනකි. ඉන් මා ලැබූ අපහසුතාවයට, නීත්‍යානුකුල නොවන පරිදි තිලක් සදාචාරාත්මකව මැදිහත් වී වෛද්‍ය ප්‍රතිකාර ඇතුව සියලු පහසුකම් මා හට සැපයීම අද නිෂ්පාදකවරුන්ට හොඳම ආදර්ශයකි. එමෙන්ම තිර නාටකයට පිටින් මා නොයෙකුත් දෑ සිනමාපටයට එකතු කරද්දී, පෙරළිකාරයෝ උච්ච දර්ශන පෙළට ලයිට් හවුස් එකක් හදන්න යෝජනා කිරීමෙන් නිෂ්පාදක තිලක්ගේ පිළිතුර වන්නේ 'හරි - හරි - උඹට ඕන සයිස් එක හදාගනිං - එරල් කෙලීව (කලා අධ්‍යක්ෂ) හම්බුවෙලා කතා කරගනිං' යනුවෙනි. තිලක් සිනමාව පිළිබඳ නොව - සිනමා ක්ෂේත්‍රය පිළිබඳ කලකිරුණු වාර නම් අනන්තය. විජය කුමාරතුංගයන් හට සිරබත් කැවූ යුගයේ 'පෙරළිකාරයෝ' රූගැන්වීමට නොහැකිව අප දෙදෙනා මහත් අපහසුතාවයකට පත්විය. විජයගේ ප්‍රමාදය හේතු කොටගෙනම ඇතැම් නළු නිළියන් දින ගැටලු මත පෙරළිකාරයන්ගෙන් ඉවත්ව යද්දි, විජය පැමිණියත් ප්‍රධාන නිළියගේ පුරප්පාඩුව පිරවීමට ශ්‍රි ලංකාව තුළ කිසිවෙකු නොසිටි අතර මා විජය ඇතුළු චිත්‍රපටයේ එන සහෝදරයින් හත් දෙනා සමග රූ ගැන්විම ගම්පොළට පිටත්ව යද්දී තිලක් අතපත්තු නම් ප්‍රෞඪ නිෂ්පාදකවරයා රාජ් රණසිංහ සමඟ උතුරු ඉන්දියාව බලා පිටත් වූයේ බොලිවුඩ් පුරවරයෙන් නිළි රැජිනක් ගෙන ඒමටය.

අතිශය ජනප්‍රියත්වයට පත් වූ 'හාති මෙරේ සාති' 'මේරේ ජීවන් සාති' (රාජෙෂ් ඛන්නා) ප්‍යොර් කී කහානි (අමිතාබ් බච්චන්) චිත්‍රපවල රඟපෑ සුරුපී බොලිවුබ් නිළි රැජින තනුජා (කාජල්ගේ මව) ලංකාවට ගෙන ඒමේ වැඩ පිළිවෙළට අඩිතාලම දමාගත් තිලක් සහ රාජ් දැඩි සන්තෝෂයෙන් ලංකාවට සැපත් වූයේය. එහෙත් අවාසනාවකට නොසිතූ ලෙසින් තනුජාගේ වීසා කැන්සල් විය.

චිත්‍රපට ක්ෂේත්‍රය පිළිබඳ මහත් කම්පනයකට පත් වූ තිලක් අතපත්තු නම් අංකුර නිෂ්පාදකයාව තිඹිරිගෙයිම වලලා දැමීමේ කුමන්ත්‍රණකාරී අරමුණින් තනුජාගේ වීසා අහෝසි කරමින්, සිනමා ක්ෂේත්‍රයේම පිරිසක් කටයුතු කර ඇති බවට අපට පසුව දැනගන්නට හැකි විය. වෙන කළ යුතු දෙයක් නොමැති තැන රාජ් - තිලක් ඇතුළු අප තිදෙනා ගාමිණී ෆොන්සේකා හමුවීමට ගියෙමු. ගාමිණී අයියා තනුජාගේ වීසා කැන්සල් කරලා, මොකක්ද ඒකට කරන්න පුළුවන්' 'කොරන්න තියෙන්නේ එක දෙයයි අයිසෙ වීසා කැන්සල් කොරල නං යාපනේට ගිහිල්ලා තනුජව බෝට්ටුවක දාගෙන එමු' ප්‍රශ්නය පසෙකලා අප තිදෙනා කොක් හඬලා සිනාසුණි.

දල්වාගත් සිගරුට්ටුව සමඟ මොහොතකින් නැගිට ගිය ගාමිණී දුරකථන ඇමතුමක් ගත්තේ එවකට රටේ ප්‍රධානියා ඇමතීමටය. මොහොතකින් අප වෙත පැමිණි අප ගැලවුම්කරු 'තමුන්නැහෙලා දැන් වැඩේ කෙරුණයි කියල හිතේ තියා ගන්න' ගාමිණී ෆොන්සේකා නොවන්නට තනුජා 'පෙරළිකාරයෝ' හි රඟ නොපානු ඇත. එමෙන්ම තිලක් අතපත්තු නම් මහා නිෂ්පාදකවරයා දේශීිය සිනමාවට අහිමිවීමට ද ඉඩ තිබුණි.

* 3 වෙනි ප්‍රශ්නය - ඔබගේ කාලයේ නිෂ්පාදකවරු පිළිබඳ විශේෂයෙන් තිලක් අතපත්තු වැනි අය ගැන ආඩම්බරයෙන් කතා කිරීමත්, අද වර්තමාන නිෂ්පාදකවරු විවේචනය කිරීමත් තුළින්, ලාංකීය ප්‍රේක්ෂකයාට ඇති වාසිය හෝ අවාසිය කුමක්ද?

තිලක් අතපත්තු වැනි විශිෂ්ට පෙළේ නිෂ්පාදකයකුට අද පවතින සිනමාව කොහෙත්ම ඔබින්නේ නැති බවයි මගේ තදබල විශ්වාසය. මන්ද තිලක් අතපත්තු චිත්‍රපට නිෂ්පාදනය තුළින් නැතිනම් අධ්‍යක්ෂවරයා හරහා ආමන්ත්‍රණය කළේ පොදු ජනතාවගේ හදවතටයි.

රුචිකත්වය හොඳින් හඳුනා ගත් නළු නිළියන් හට සැබෑ ලෙස අනග්‍රහය දක්වන සිනමාකරුවන්ව ඔසවා තබන තිලක් අතපත්තු නම් නිෂ්පාදකවරයා කිසිදා දිනක සිනමාවට බැන වදිමින් මැසිවිලි නඟා නොමැත. ඒ මන්ද යත් ඔහු සැබෑම සිනමා හිතවාදියකු නිසාය. තිලක් අතපත්තු නම් නිෂ්පාදකවරයාට ණය ගැත්තන් බොහෝ පිරිසක් ද අප කර්මාන්තයේ සිටී.

හඬා වැටෙන්නට කඳුළු නැති යුගයක මෙවන් නිෂ්පාදකවරු ද අප අතහැර යාම තවත් සිනමාවේ ඛේදවාචකයකි.