|
රූපවාහිනියයි ගුවන්විදුලියයි රුපියල් සත සහ අනුර මාධව
“රුහුණු කුමාරි කෝච්චියෙන් ඇවිදින්කොටුව ඉස්ටේෂමෙන් බැසකොළඹ අහස මට පෙන් වූආදරණීය අම්මාටත්,බෙහෙත් ගුළි, කල්කයන් සාක්කුවේ දමාගෙනබයිසිකලයේ ලගේජ් එකේ නැඟ, රෝගීන් සොයා ගියආදරණීය තාත්තාටත්මේ පොත බැති සිතින් පුද කරමි”මේ පිදුම රැගත් අනුර මාධව ජයසේකරගේ ‘රූපවාහිනියට 35යි ගුවන්විදුලියට 91යි රුපියල් සත කලාවයි’ කෘතිය එළිදැක්වුණේ පසුගියදා ය. රූපවාහිනියේ මහගෙදරින් සිය වෘත්තිය ගමන ඇරැඹි අනුර මාධව ජයසේකර වසර දහයක කාලයක් එහි සේවයේ නිරත වූවෙකි. බොහෝ ප්‍රවීණයන්ගේ ඇසුරේ හැඳී වැඩෙමින් සිය නිර්මාණ හැකියාව විහිදා හළ ඔහු මේ කෘතියට පාදක කර ගන්නේ අපේ රටේ රූපවාහිනි ඉතිහාසයේ එක්තරා කාලපරිච්ඡේදයකි. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස මෙතෙක් අප හමුවට පිවිසි ඔහු ‘රූපවාහිනියට 35යි ගුවන්විදුලියට 91යි රුපියල් සත කලාවයි’ කෘතිය ඔස්සේ ග්‍රන්ථ කර්තෘවරයකු ලෙස ද අප හමුවට පිවිසෙයි. * ඔබ ‘රූපවාහිනියට 35යි ගුවන්විදුලියට 91යි රුපියල් සත කලාවයි’ කෘතිය ලිවීමට පෙලඹෙන්නේ කාලයක පටන් සිතේ තිබුණු අදහසකට අනුව ද? කාලයක් මා මෙහි සේවය කරන බව ඇත්තයි. මට අවශ්‍ය වුණේ ඒ කාලය ඇතුළත එහි සිදුවුණේ කුමක් ද කියලා විමසා බලන්නයි. ගුවන්විදුලියේ හා රූපවාහිනියේ ඉතිහාසය විමසා බලද්දී එහි ස්වර්ණමය අවධිය ලෙස ගැනෙන්නේ හැත්තෑව, හැත්තෑහත අවධියයි. මේ කෘතියෙන් ඒ ස්වර්ණමය යුගය බිහිවීමට හේතු පාදක වුණු කරුණු කාරණා මොනවාද? එවැනි දෙයක් නිර්මාණය වුණේ ඕපපාතිකව ද? එහෙමත් නැතිනම් එය සිදුවුණේ ස්වයං සිද්ධ ක්‍රියාවලියක් ලෙසද? නැතිනම් එවැනි දෙයක් සිදුවීමට යම් යාන්ත්‍රණයක් බලපෑවා ද? යන කාරණා විමසා බලන්නයි මට වුවමනා වුණේ. ඒ කාලවකවානුවේ ගුවන්විදුලියේ පමණක් නොවෙයි කලා ක්ෂේත්‍රයේ නාට්‍ය, සිනමාව, ගීතය ආදී සෑම අංශයකමයි පිබිදීමක් ඇතිවුණේ. මේ සියලුම ක්ෂේත්‍රවල එවැනි තත්ත්වයක් ඇතිවීමට යම් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවයි මගේ තර්කය වන්නේ. එය කෙලෙස සිදුවුණාද යන්නයි අනෙකුත් මාධ්‍යද විමසමින් මා මේ කෘතියේදී කතාබහට ලක්කරන්නේ. * එහිදි ඔබ රූපවාහිනිය පිළිබඳ විමසා බැලීමකුත් සිදු කරනවාද? රූපවාහිනිය අපේ රටට පැමිණීමත් නිල වශයෙන් රූපවාහිනි සංස්ථාව පිහිටුවීමත් සමඟ එහි ගතිකත්වය සිදුවන්නේ කොහොමද යන්න අද දක්වාම විමසා බැලීමකුත් මේ කෘතිය මඟින් සිදුවනවා. අද රූපවාහිනි කර්මාන්තයට අත්පත් වී තිබෙන ඉරණම කුමක් ද? යන කාරණය විමසා බැලීමේදී එය මා විශ්ලේෂණය කරන්නේ සමාජ, ආර්ථික, දේශපාලන තලයක ඉඳීමිනුයි. විශේෂයෙන් ම ඒ සඳහා ගෝචර වුණු දේශපාලන හස්තය කුමක්දැයි මා විමසා බලනවා. හුදෙක් මගේ පෞද්ගලික අත්දැකීම්ද මෙහි දැක්වෙනවා. ඒ ඒ කලවකවානුවේ සිටි චරිතයක් ආශ්‍රයෙන් හෙළිකරන පෞද්ගලික අත්දැකීම් රැසකුත් මෙහි ඇතුළත් බවත් කිව යුතුයි. * ඒ අතර ඔබට මුණ ගැසුණු සුවිශේෂ චරිත කිහිපයක් පිළිබඳ මෙහි සඳහන් වනවා නේද? ටයිටස් තොටවත්ත, ප්‍රේමකීර්ති ද අල්විස්, ධම්ම ජාගොඩ, බණ්ඩාර කේ විජේතුංග, කේ.ඩී.කේ ධර්මවර්ධන, යූ. ආරියවිමල්, ආචාර්ය සොලමන් ෆොන්සේකා ආදී චරිත කිහිපයක් පිළිබඳ මා මේ කෘතියේ සඳහනක යෙදෙනවා. මේ චරිත ගැන බොහෝ විට පොත්පත්වල ලියැවිලා නැහැ. ඔවුන් කලාවට කළ මෙහෙය, ඔවුන් ළඟ තිබුණු සුවිශේෂ දක්ෂතා, ඔවුන්ගේ සිත ඇතුළේ තිබුණු මනුෂ්‍යත්වය පිළිබඳ මට කතා කිරීමට අවශ්‍ය වුණා. කාලයක් තිස්සේ මෙලෙස මගේ සිතේ කැටි ගැසී, තද වී, පීඩනයට පත්වී තිබුණු අදහස් සමූහය කෘතිය හරහා මුදා හැරි බව කිව්වොත් නිවැරැදියි. * හැත්තෑව දශකය ස්වර්ණමය යුගය යැයි සැවොම පැවසුවත් එසේ වන්නේ ඇයි යනුවෙන් පැහැදිලිව හෙළි කිරීමක් කිසිවකුත් කිරීමට පෙලඹෙන්නේ නැහැ. මේ කෘතියේ ඔබ ඒ කාරණය මනාව ගෙනහැර පානවා? ඕනෑ ම කාලවකවානුවකදි කලාව මෙන්ම සංස්කෘතිය වුණත් රඳා පවතින්නේ දේශපාලනයත් සමඟයි. මාක්ස් කියන විදියට ආර්ථික හා දේශපාලන යන අධෝ ව්‍යුහය මතයි සංස්කෘතිය, කලාව යන උපරි ව්‍යුහය රඳා පවතින්නේ. ගතිකත්වය සිදුවන්නේ අධෝ ව්‍යුහය මත සිටිමිනුයි. ඒ අනුව හැත්තෑව, හැත්තෑහත කාලයේ තිබුණු යාන්ත්‍රණය බුද්ධිමතුන්ට හැසිරවිය හැකි යාන්ත්‍රණයකුයි තිබුණේ. සියල්ලන් ම උතුම් කලාවක් සඳහා පේවිලයි සිටියේ. එහිදි දේශපාලනය අවම මට්ටමක තිබුණු අතර ම බුද්ධිමත් ස්ථරයකුයි සියල්ල පාලනය කළේ. ඒ අයට අවශ්‍ය වුණේ මෙහි සියලු ම ස්ථරවල ප්‍රමිතිගත කිරීමකුයි. ඒ ප්‍රමිතිගත කිරීම සිදුවුණේ සිවිල් පරිපාලකයන් හරහායි. ඒ අනුවයි එකල හොඳ ගීත සාහිත්‍යයක් බිහිවන්නේ. හොඳ ගායක - ගායිකා පරපුරක් බිහිවන්නේ. සිනමාව ගත්තත් එහෙමයි. නාට්‍ය ගත්තත් එයයි සිදුවන්නේ. එයයි සිදුවිය යුත්තේ. ඒ නිසා එකල ස්වර්ණමය යුගයක් බිහිවීම පුදුමයට කාරණයක් නොවයි. * ඒ තත්ත්වයේ වෙනස්වීම ආරම්භ වන්නේ හැත්තෑහතෙන් පසුව බවයි පෙනෙන්නේ? හැත්තෑහතෙන් පසුව මෙය වෙන ම වෙළෙඳ පන්තියක් හරහා සහ එයට අත්වැල් බැඳ ගත්ත දේශපාලන පිරිසක් මෙයට මූලික වුණු නිසයි අද ඇති වී තිබෙන ව්‍යසනකාරී තත්ත්වය නිර්මාණය වී තිබෙන්නේ. ඔවුන් කලාව පාලනය කිරීම නිසයි අද තිබෙන මේ ව්‍යසනකාරී තත්ත්වය ඇති වී තිබෙන්නේ. පසුගිය කාලයේ දේශපාලන හා අනෙකුත් දේවල් සමඟ වෙනම හැඩගැසුණු ගතිකත්වයකින් සිදුවුණු දෙයකුයි කලාව හා සංස්කෘතියේ ඇතිවුණේ. එය ව්‍යුක්තව ගත නොහැකියි. ඒ ඇතිවීම සංයුක්ත කාරණයක්. දේශපාලනයත් සමඟ අත්වැල් බැඳගත්ත වෙළෙඳ ව්‍යාපාරිකයන් කොහොමද මේක ඔවුන්ගේ න්‍යය පත්‍රයට ගොනුකර ගත්තේ කියන කාරණයයි අප විමසා බැලිය යුත්තේ. * ආයතන දේශපාලනීකරණය වීම හරහා විවිධ ප්‍රශ්නවලට මුහුණ දීමට කලාකරුවන්ටත් සිදුවනවා. මාධ්‍ය ආයතනවල පරිහානිය ආරම්භ වීමේ තිත තැබෙන්නේ එලෙසින්ද? හුඟක් වෙලාවට අද වුණත් එදා රූපවාහිනිය සංස්ථාව නිර්මාණ කළ නාට්‍ය අප නරඹන විට පෙනෙන්නේ ඒ නිර්මාණ කොයිතරම් ගුණාත්මක භාවයෙන් යුක්තද යන්නයි. එය නිර්මාණවලින් කොතරම් ගුණාත්මක භාවයෙන් ඉහළ විදියට පෝෂණය වී තිබූ ස්ථානයක්ද යන්නත් ඉන් පැහැදිලි වෙනවා. එමෙන්ම ඒ ඔස්සේ මූලිකත්වය ගත් නිර්මාණකරුවන්ගේ හැකියාවයි ගම්‍යමාන වන්නේ. එවැනි පූර්වාදර්ශක් වූ ස්ථානයකුයි අසූව දශකයේ අග භාගය වනවිට යම් විදියකට දේශපාලනීකරණයට ලක්වන්නේ. එහිදි ස්වාධීනව තිබුණු යාන්ත්‍රණය දේශපාලන හස්තය විසින් කෑලි කෑලිවලට කැඩීමත් සමඟයි දේශපාලන භාවිතයක් බවට පත්වන්නේ. එතැනදියි සමහර ගායික - ගායිකාවන්ට දොරගුළු වැසෙන්නේ. සමහර අයගේ ගීත තහනම් වන්නේ. සමහර අයව වැඩසටහන්වලට සම්බන්ධකර නොගන්නේ. දේශපාලනීකරණය වීමේ මූලික කඩඉම ආරම්භ වන්නේ එතැනින්. * අද එක් එක් මාධ්‍ය අතර පවතින්නේ එකිනෙකා පරයා නැගී සිටීමේ තරගකාරී බවක්. ඉන් හෙළිවන අසංවරත්වය එන්න එන්න ම වර්ධනය වන බවක් නොවෙද පෙනෙන්නේ? පසුගිය කාලයේ බිහිවුණු පෞද්ගලික නාලිකාවල සාධණීය පැති තිබෙනවා. රාජ්‍ය මාධ්‍ය වසන් කළ බොහෝ දේවල් ඔවුන් හෙළි කළ අවස්ථා ඕනෑ තරම්. සමහර තැනක පාලම් කැඩීම් ආදිය වාර්තා කිරීම මඟින් ඒ අදාළ ජනතාවට සිදුවුණේ යහපතක්. එහෙත් තීරණාත්මක අස්ථාවලවලදි යම් යම් දේශපාලන න්‍යාය පත්‍රයක් අනුවයි ඔවුන් කටයුතු කරන්නේ. මේ පවතින තරගකාරීත්වය පැමිණෙන්නේ ලිබරල් ආර්ථික ක්‍රමයත් සමඟයි. මාධ්‍යවලට පමණක් නොවෙයි අනෙක් සියලුම අංශ නිර්මාණය වී තිබෙන්නේත් මේ තරගයත් සමඟයි. අද පරපුරේ අය සිතන්නේ එකිනෙකා පරයා නැඟී සිටින්නේ කෙසේද යන්නයි. අද මව්පියවරුනුත් තමන්ගේ ළමයාට පුරුදු කරන්නේ අල්ලපු නිවෙසේ සිටින ළමයා අභිභවා යන විදියයි. මෙය සෑම තැනක ම ව්‍යාප්ත වීමත් සමඟ නාලිකාවලටත් පිවිසුණා. මෙහි තිබෙන ගැටලුව නම් තරගකාරීත්වයත් සමඟ හොඳ දේ ලැබෙන බවට තිබෙන විශ්වාසයයි. එහෙත් දශක කිහිපයක් තිස්සේ කලාව අවර ගණයට යෑමත් සමඟ තරගකාරීත්වය නිර්මාණය වී තිබෙන්නේ අවරගණයේ නිර්මාණ සඳහාමයි. එදා ටෙලි නාට්‍ය නැරැඹීමට අද මෙන් මුදල් දුන්නේ නැහැ. එදා හොඳ රසිකත්වයක් තිබුණා. ඒත් අද නරඹන්නන් නාට්‍ය නරඹන්නේ මුදල් බලා ගෙනයි. ඒ නාට්‍යවල තිබෙන ගුණාත්මක බව ගැන ඔවුන්ට වගේ වගක් නැහැ. උදහරණයක් විදියට රියැලිටි වැඩසටහන් ගත්තොත් එක නාලිකාවක ශිල්පිනිය රෙදිවලින් වහගෙන නර්තනයක් ඉදිරිපත් කළොත් ඊළඟ නාලිකාවේ රෙදි නැතිව නර්තනයක් ඉදිරිපත් කිරීමක් සිදුවිය හැකියි. ඒ අයුරින් ඔවුන් තරගකාරීත්වය ගොනු කරන්නේ පහත් රසිකත්වයක් සඳහායි. එවිට එය නරඹන නරඹන්නන්ගේ රසිකත්වය අවර ගණයට යෑම වැළැක්විය නොහැකියි. ඒ නිසා හොඳ කලාවක් වෙනුවෙනුයි තරගයක් පැවතිය යුත්තේ. * ඔබ ටයිටස් තොටවත්ත වැනි ප්‍රවීණ ශිල්පියකුගේ සෙවණේ හැදුණු වැඩුණු කෙනෙක්. ඔහුගෙන් ඔබගේ ජීවිතයට ලබාගත්තේ මොනවගේ දේවල්ද? අද බොහෝවිට සිටින්නේ කැමරා අධ්‍යක්ෂවරයාගේ හෝ නළු නිළියන් මත යැපෙන අධ්‍යක්ෂවරුයි. ඒ නිසා නිර්මාණයක් කිරීමේදී අධ්‍යක්ෂවරයා සතුවිය යුතු විශ්වාසය අප ඉගෙන ගත්තේ තොටවත්තයන්ගේ සෙවණේදියි. එය ඉදිරියට ගෙන යෑම සඳහා සෑම අංශයකින්ම ක්‍රියාත්මත වීමේ පෞරුෂත්වය මා ලැබුවේ ද ඔහුගෙන්. අධ්‍යක්ෂවරයකු සතුවිය යුතු පෞරුෂත්වයයි අප ඔහුගෙන් උකහා ගත්තේ. ඔහුගේ නිර්මාණ සමඟ අපට අලගු තියන්නවත් බැහැ. ඒත් ඒ නිර්මාණ දෙස බලා සිටිමින් අපේ නිර්මාණත් අප කළ යුත්තේ එසේ නොවේද කියන අදහස අප සිතේ සනිටුහන් කර ගත්තා. එතුමා සතු වූ ඕනෑ ම අභියෝගයක් භාර ගැනීමේ අපූරු ගුණයත් මට මෙහිදි සිහිපත් වනවා.
|