වර්ෂ 2016 ක්වූ  ජූලි 27 වැනිදා බ්‍රහස්පතින්දා




තුන්බිය රැගෙන මහාචාර්ය ආරියරත්න කලුආරච්චි වේදිකාවට

තුන්බිය රැගෙන මහාචාර්ය ආරියරත්න කලුආරච්චි වේදිකාවට

නර්තනයෙන් කියැවෙන දේ නියම විදියට පැවසුණේ නැතිනම් සංගීතය හුදකලා වනවා. මුද්‍රා නාට්‍යයේදී වැදගත් වන්නේ සාත්වික, ආහාර්ය, ආංගික අභිනයයි. ඉන් කියැවෙන දේ වඩාත් තීව්‍රර කරන්නේ සංගීතයයි. සංගීතය නිවැරැදි ආකාරයෙන් නිර්මාණයට දායක නොවුණොත් නිර්මාණය අසාර්ථක වෙනවා. අදහස් ප්‍රකාශ කිරීමේදී අව්‍යශ පසුබිම සකස් කරන්නේ සංගීතය මඟිනුයි. එනම් ශෘංගාර රසය මතුවිය යුතු ස්ථානයකදී භායනක රසයක් මතුවුවහොත් එය ඊට අපූරු උදාහරණයක්.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය නර්තන හා මුද්‍රා නාට්‍ය උපදේශක මණ්ඩලය හා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පූර්ණ අනුග්‍රහය සහිතව මහාචාර්ය ආරියරත්න කලුආරච්චිගේ ‘තුන්බිය’ මුද්‍රා නාට්‍යය අද දින (27 වැනිදා) පස්වරු 06.30ට නෙළුම් පොකුණ රඟහලේදී වේදිකා ගතවෙයි. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්, අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්. බී. නාවින්න මහතාගේ සහ අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ ආරාධනයෙනි. මේ වනවිට නර්තන ආචාර්යවරයකු වශයෙන් හා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස ද අප හමුවට පිවිසෙන මහාචාර්ය ආරියරත්න කලුආරච්චි විශ්වවිද්‍යාල දරුවන්ට මෙන්ම කලා ක්ෂේත්‍රයට මුද්‍රා නාට්‍ය ඇතුළු විවිධ නිර්මාණ රැසක් ගෙනහැර පැමිණියෙකි. ඔහුගේ නව නිර්මාණය ‘තුන්බිය’ මුද්‍රා නාට්‍යයයි. මේ දිග හැරෙන්නේ ‘තුන්බිය’ මුද්‍රා නාට්‍යය පිළිබඳ ඔහු සමඟ ‘සරසවිය’ට සිදු කරන ලද සාකච්ඡාවකි.

‘තුන්බිය’ මුද්‍රා නාට්‍යය නිර්මාණ කිරීමේ පදනම නිර්මාණය වන්නේ කෙසේද?

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව අනුමණ්ඩලයක් පිහිටන විට එහි නර්තන හා මුද්‍රා නාට්‍ය උපදේශක මණ්ඩලයේ සභාපති ලෙස මාව පත් කරනු ලැබුවා. ඒත් සමඟමයි මගේ සිත ඇතුළේ කාලාන්තරයක් තිස්සේ මිනිස්සුන්ගේ හදවතට දැනෙන යමක් කළ යුතුය කියන අදහස වඩ වඩාත් ඉස්මතු වන්නේ. ඒ කාලාන්තරයක් තිස්සේ සිතේ තිබුණු වස්තුබීජය මා අපේ කමත් සමඟ මතු කළ හැකි යැයි තීරණයකට පිවිසෙන්නේ. මේ ‘තුන්බිය’ මුද්‍රා නාටකය නම් නිර්මාණය බිහිවන්නේ එලෙසින්. අද වනවිට මා නිර්මාණය කළ ‘බැරිතිර්’ කියන කෙටි මුද්‍රා නාට්‍යය පාසල් ළමුන්ගේ පාඨමාලාවට යොමුකර තිබෙනවා. ඒ හරහා සමාජයට ලබාදීමට මා අදහස් කළේ වින්දනය සමඟින් ම යම් ආනන්දයක්. ‘තුන්බිය’ මුද්‍රා නාට්‍යය හරහාත් ඊට යම් ප්‍රවේශයක් ලැබේවිය යන අදහසේයි මා සිටින්නේ.

‘තුන්බිය’ මුද්‍රා නාට්‍යය හරහා ඔබ සමාජයට රැගෙන පැමිණෙන්නේ වෙනස් ම පණිවුඩයක්?

ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, පළිගැනීම කියන අදහස් එදා බුදුන්ගේ කාලයේත් තිබුණු සිතුවිලියි. ඒ වගේ ම මෙවැනි සිතුවිලි අද සමාජයේ සිටින මිනිසුන්ගේත් තිබෙනවා. හෙටත් මෙවැනි සිතුවිලිවලින් යුත් මිනිසුන් සිටින බව අමුතුවෙන් කිව යුතු කාරණයක් නොවෙයි. ලොකු, කුඩා, උගත්, නූගත් සියල්ලන්ටම පොදු වූ මේ කාරණා, අතීත යම් සංසිද්ධි මතුකර ගනිමින් සමාජයට යම් පණිවුඩයක් ලබාදිය හැකියි. මේ කතාව රාජ්‍යතන්ත්‍රය හා සම්බන්ධ වුණත් ග්‍රාමීය සමාජයටත් පොදු වූ කාරණයක්. අද අප අසන, දකින දේවලින් හැඟෙන්නේ කාලීන වශයෙන් මෙවැනි පණිවුඩයක් රැගෙන එන නිර්මාණ වඩාත් අපේ සමාජය බොහොම අවශ්‍ය බවයි. එමඟින් සදාකාලිකව සමාජයට සිදුවන ව්‍යසනය ඔවුන්ට පෙන්වා දීමටයි මට අවශ්‍ය වුණේ. එය කළ යුත්තේ යම් ආනන්දනීය බවකින්. සෞන්දර්ය පැත්තක් පෙන්වමින්. මගේ සිත ඇතුළේ නිර්මාණය වුණු තේමාව බෞද්ධ සාහිත්‍යට හා අපේ ශාන්ති කර්ම සාහිත්‍යට සම්බන්ධයක් ඇති කතා වස්තුවක් හා මා ගලපන්නේ ඉන්පසුවයි. ඒ හරහා මට අවශ්‍ය වුණේ නිර්මාණකරුවකු විදියට යම් පණිවුඩයක් ප්‍රේක්ෂකයන්ට පිරිනැමීමටයි.

‘තුන්බිය’ මුද්‍රා නාට්‍යයේදී සිදුවන්නේ අප අසා තිබෙන විශාලා මහනුවර තුන්බියේ කතාවත්, සංඛපාල රජුගේ කතාවත් ඒකරාශි වීමද?

විශාලා මහනුවර තුන්බිය ඇතිවුණේ කෙලෙසදැයි අප දන්නේ නැහැ. ශාන්ති කර්ම සාහිත්‍යයේ තිබෙන සංඛපාල රජුගේ කතාවේ දැක්වෙන්නේ නිවැරැද්දේ වැරැද්දට පළිය ගැනීම ගැනයි. සන්නි දහ අටේ ආරම්භය ගැන කියවෙන්නෙත් එතැනයි. මව නිවැරැදියි. පියා තමයි වැරැදිකරුවා වන්නේ. අවසානයේ මව මිය ගොස් දරුවා ආරක්ෂා වෙනවා. ඔහුයි සිය මවට වුණු පළිය ගනු ලබන්නේ. එහෙත් රජු එතැනට පත්වීමට යම් හේතුවක් තිබිය යුතුයි. කේළම් කීමේ ප්‍රතිඵලයි ඒ සිදුවීමෙන් දැක්වෙන්නේ. මා මේ සම්ප්‍රදායික කතාව යම් වෙනස් කිරීමට ලක් කළා. වේදිකාවක යම් යම් දේ කියවන විට ඒ සඳහා අදාළ විදියට ඒ ඒ රසය මතු කිරීමට අවශ්‍ය සංසිද්ධි වුවමනා වෙනවා. ඒ අනුවයි චරිත ගොඩනැඟුණේ. මුද්‍රා නාට්‍ය රසය දනවන චරිත කිහිපයක්මත් මේ නිර්මාණයට ඇතුළත්. ඊට අමතරව මා රංග ශෛලිය ඇතුළේ එක් එක් චරිත ගොඩනැඟීම සඳහා විවිධ උපක්‍රම භාවිත කළා. මුද්‍රා නාට්‍ය නිර්මාණවල භාවිත කරන පසුතල අතරින් දැවැන්ත පසුතලයක් නිර්මාණය වුණා. එය නිර්මාණය කිරීමට මට සහය වූයේ අරුණ ප්‍රියන්ත මහතායි. සංගීත අධ්‍යක්ෂණයෙන් කෝලිත භානු දිසානායක මහතාත්, අංගරචනයෙන් ජගත් පද්මසිරිත්, රංගාලෝකයෙන් අජිත් මහතාත් ඇතුළු ඒ ඒ විෂයට ප්‍රවීණයන් පිරිසක් මා මේ නිර්මාණයේදී සහභාගි කර ගත්තා. මේ කටයුත්තට විශ්වවිද්‍යාලය මට්ටමින් ආචාර්යවරුන් හා ළමයින්, රාජ්‍ය නැටුම් කණ්ඩායම, නාවික සංස්කෘතික කණ්ඩායමත් සහභාගි කර ගනිමින් දෙසියයකට ආසන්න සංඛ්‍යාවකගේ දායකත්වය ලබා ගනිමිනුයි ‘තුන්බිය’ නිර්මාණය වන්නේ.

මේ නිර්මාණයේදී ඔබ පිරිත් සජ්ඣායනය යොදා ගැනීමත් සිදුකරනවාද?

පිරිතට සමාජයේ එදත් අදත් තිබුණේ පුදුම බලයක්. භක්තියක්. එය ඒ තරමට ම අද දක්වා පැවැතගෙන එන්නේ එහි තිබෙන යම් ගුණයක් නිසයි. එහි තිබෙන ශක්තියේ බලය ප්‍රේක්ෂකයන්ට අවබෝධ කරදීමටත් මා ‘තුන්බිය’ මුද්‍රා නාට්‍යයට පිරිත යොදා ගත්තා. එහි තිබෙන ශක්තියේ බලය ප්‍රේක්ෂකයන්ට අවබෝධ කරදීමට මා මුද්‍රා නාට්‍යය යම් ප්‍රස්තුතයක් කර ගත්තා. මේ සියලු කාරණා පාදක කර ගනිමිනුයි ‘තුන්බිය’ බිහිවන්නේ.

මුද්‍රා නාට්‍යයේදී නර්තනය හා සංගීතය යන ද්විත්වය සංයෝජනය කිරීම සිදුවූයේ කුමන අයුරින්ද?

නර්තනයෙන් කියැවෙන දේ නියම විදියට පැවසුණේ නැතිනම් සංගීතය හුදකලා වනවා. මුද්‍රා නාට්‍යයේදී වැදගත් වන්නේ සාත්වික, ආහාර්ය, ආංගික අභිනයයි. ඉන් කියැවෙන දේ වඩාත් තීව්‍රර කරන්නේ සංගීතයයි. සංගීතය නිවැරැදි ආකාරයෙන් නිර්මාණයට දායක නොවුණොත් නිර්මාණය අසාර්ථක වෙනවා. අදහස් ප්‍රකාශ කිරීමේදී අව්‍යශ පසුබිම සකස් කරන්නේ සංගීතය මඟිනුයි. එනම් ශෘංගාර රසය මතුවිය යුතු ස්ථානයකදී භායනක රසයක් මතුවුවහොත් එය ඊට අපූරු උදාහරණයක්. මේ නිසා නිර්මාණයකදි රංග වින්‍යාසය හා සංගීතය නිර්මාණය විය යුත්තේ සමබර ආකාරයෙනුයි. එහෙම නොවුණොත් නිර්මාණය අසාර්ථක වේවි. ඒ නිසා මමත්, කෝලිත භානුත් නිර්මාණය පිළිබඳ සාකාච්ඡා කරමිනුයි මේ කාර්යයන් දෙක ම නිර්මාණය කළේ. එහි සාර්ථකත්වය නැරැඹීමට නම් ඔබත් අද දින නෙළුම් පොකුණට පිවිසෙන්න. මා ඔබට ආරාධනා කරන්නේ බොහොම සෙනෙහසින්.