වර්ෂ 2016 ක්වූ  ජූලි 27 වැනිදා බ්‍රහස්පතින්දා




සොනාලිගේ සිතුවම් දැක්ම

සොනාලිගේ සිතුවම් දැක්ම

යොවුන් චිත්‍ර ශිල්පිනී සොනාලි විජේසූරියගේ ප්‍රථම ඒක පුද්ගල සිතුවම් දැක්ම එළඹෙන අගෝස්තු මස 01 සහ 02 යන දිනයන්හි කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ ජේ. ඩී. ඒ. පෙරේරා කලාගාරයේදී පැවැත්වේ. දෙදින පුරා උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා ප්‍රදර්ශනය විවෘතව පවතියි. සිතුවම් දැක්මෙහි සමාරම්භය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, පිඨාධිපති මහාචාර්ය රම්‍යවර්ධන පොඩිනිලමේ සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සද්ධා උත්පල කන්දගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවේ.


ඉන්දු මධුබාලාගේ අවංකා

මාධ්‍යවේදිනී ඉන්දු මධුබාලා විසින් රචිත 'අවංකා' නවකතාව නිකුත් වී ඇත. ආදරය තේමා කරගනිමින් රචිත 'අවංකා' ඉන්දු මධුබාලාගේ කුලුඳුල් නවකතාව වේ.


හීන් සැරය රට පුරා

3, 4 සහ 5 වසරවලට නියමිත කුමාරතුංග මුනිදාස සූරින්ගේ 'හීන් සැරය' කෘතිය ඇසුරින් ජනප්‍රිය ජයසිංහ නිර්මාණය කළ 'හීන් සැරය' වේදිකා නාට්‍යයේ විශේෂ දර්ශන කිහිපයක් වේදිකාගත කිරීමට නියමිතය ඒ අනුව ජූලි 29 වැනිදා මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක විද්‍යාලයේදී, ජූලි 30 වැනිදා ඇහැළියගොඩ සමූපකාර ශාලාවේදී, අගෝස්තු 05 වැනිදා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදීත්, අගෝස්තු 06 වැනිදා මිරිස්වත්ත ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදීත් අගෝස්තු 12 වැනිදා මිනුවන්ගොඩ පුරහලේදීත් වේදිකා ගත කෙරේ.

අජිත් හේමසිරි, ප්‍රියංගා බණ්ඩාරනායක, රෝහිත් රුවන්, සුමුදු නාත්තන්ඩියගේ, තුෂාරි මේනකා, රංග ප්‍රසාද්, සුජිත් කුමාර ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වේ.


රෝගී වූ තිස්සට බෝධි පූජාවක්

ජෝතිපාලයන් ගයන මේ නොනිමෙන දිවිගමනේ සහ පුංචි දෝණි තරහ වෙලා ආදී ගීත රචනා කළ තිස්ස ඩයස් රෝගී වී මේ වන විට ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි. ඔහුට සෙත් පතමින් මෙම මස 29 වැනිදා එනම් එන සෙනසුරාදා සවස බෝධි පූජා පින්කමක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.


චිත්‍ර ශිල්පීන් ශිල්පිනියන් වෙනුවෙන් සුභ සාධන වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ පුරෝගාමී වෘත්තීය චිත්‍රකලා ඩිප්ලෝමා පාඨමාලාවට වසර 8ක් සපිරීම නිමිත්තෙන් මෙරට සෑම දිස්ත්‍රික්කයකම වෙසෙන වෘත්තීය ක්‍රියාකාරී චිත්‍ර ශිල්පීන් ශිල්පිනියන්ගේ අභිවෘද්ධිය උදෙසා චිත්‍ර කලා ක්ෂේත්‍ර සුභ සාධන වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම්කර ඇත. ශ්‍රී ලංකාවේ පුරෝගාමී වෘත්තීය චිත්‍ර කලා ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කළ ඇප්ට් ආට් ඇකඩමියේ අධ්‍යක්ෂ කලා ශිල්පි ලලිත් කළුබෝවිල විසින් මෙය සැලසුම් කර ඇත. මෙයට සහභාගිවීමට කැමැත්තක් දක්වන චිත්‍ර ශිල්පීන් ශිල්පිනියන් තමන්ගේ ජීව දත්ත ලේඛනය සහ ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී ඡායාරූප සමඟින් ජූලි 28 (හෙට) සිකුරාදා පෙරවරු 10.30 ට සුදර්ශී සිංහල සංස්කෘති ආයතනයට පැමිණෙන ලෙස දැනුම් දේ. එහි යාවජීව සාමාජිකත්වය අපේක්ෂා කරනු ලබන්නේ නම් තම ජාතික හැඳුනුම් පත්‍රය සහ එහි ඡායා පිටපතක් රැගෙන එන ලෙසද දැනුම් දෙයි. 0773030667 අංකය ඔස්සේ සම්බන්ධීකරණ නිලධාරි රංජිත් ගුණතිලක ඇමතීමෙන් වැඩිදුර විස්තර ලබා ගත හැකිය.


නිව් ධනසිරි යළි විවෘතයි

වසර තුනක ආසන්න කාලයක් වසා තබන ලද වරකාපොළ නිව් ධනසිරි සිනමා ශාලාව මෙම මස 27 වැනිදා එනම් අද සිට යළි විවෘත වන බව එහි කළමනාකරු රංජිත් කරුණාතිලක සරසවියට දන්වා සිටියේය. එහි පළමුව තිරගත වන්නේ උදයකාන්ත වර්ණසූරියගේ බන්ධනය සිනමාපටයයි.


නැටුම් - සංගීත විභාග අයදුම්පත් භාර ගැනේ

ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පීඨයෙහි 2017 නැටුම් සහ සංගීත විභාගය සඳහා බාහිර අයැදුම්කරුවන්ගේ අයදුම්පත් භාර ගැනීම අධ්‍යාපන අමාත්‍යාංශයට අනුබද්ධ ටවර්හෝල් රඟහල පදනම මඟින් මේ දිනවලදි සිදුුවේ. අයැදුම්කරුවන්ට තම අයැදුම්පත් කොළඹ 07, විජේරාම මාවතේ, අංක 123 සව්සිරිපාය පරිශ්‍රයේ පිහිටි ටවර් හෝල් රඟහල පදනම ප්‍රධාන කාර්යාලයෙන් කාර්යාල වේලාවන් තුළදී ලබා ගත හැකිය. අයැදුම්පත් බාර ගැනීම අගෝස්තු 04 වැනිදායින් අවසන් වේ.