වර්ෂ 2015 ක්වූ ජූලි 02 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ ශබ්ද කෝෂයේ විවේකය නෑ

මගේ ශබ්ද කෝෂයේ විවේකය නෑ

සඳුන් විජේසිරි

වහින්නට තතනන අහස් කුසේ මන්දාරම මුළු පරිසරයේම අරක් ගෙන හමාර ය. කළුම කළු වලාකුළුවලින් වැසුණු අහස තව නොබෝ වේලාවකින් පොළොව බදා ගන්නට සූදානම්ව සිටී. වරින්වර වැටෙන මොරගෙඩි මෙන් වූ වැහිබිඳු මගේ ගමන ඉක්මන් කළේ ය. මිරිහානේ මිහිරි උයන පටු පාරේ පෙනෙන තෙක් මානයේ පිහිටි ඔහුගේ නිවෙස මගේ දෑසට විද්‍යමාන වෙයි. නිවෙස ඉදිරිපසම ඇති සුවිසල් අඹ ගස සුපුරුදු ලෙසම අප දෙස බලා සිටියි.

“වැස්සකුත් අරගෙනම ඔන්න අපි ආවා.”

වැස්සත් අරගෙනම අපි සඳුන් විජේසිරිගේ නිවෙසට ඇතුළත් වන ගමන් පැවසීමු. ඔහුගේ අත තිබුණේ පොතකි.

“ මම මේ මොහාන්ගේ පොත කියවන ගමන්.”

ඊට පෙරදින තිබුණු මොහාන් රාජ්ගේ පොත් දොරට වැඩුමට ඔහුත් ගොස් තිබුණු වග මට සිහිපත් වූයේ එවිටය.

“ කොහොමද පොත ”

කතාබහට පිවිසෙනු රිසියෙන් මම විමසීමි.

“ සම්පූර්ණයෙන්ම කියවලා බලලා කියන්නම්.”

පොතපත කියවන්නට කවදත් කැමැති ඔබ කවදත් ආදරය කරන සඳුන් විජේසිරි පැවසුවේ ඒ පොත පැත්තකින් තබන ගමන් ය.

“ පොතපත කියවන අතරම තවත් වැඩ ගොඩක මම නියැළෙනවා. රඟපෑම් කටයුතු ඉන් ප්‍රධානයි. මේ දවස්වල අතුල සමරවීරගේ ‘සූටිගමරාළ සහ රයිගම් බණ්ඩා’, ප්‍රියන්ත කහපොළ ආරච්චිගේ ‘දොළ පිදේනි’, අශෝක සෙනරත් මුදලිගේ හා කරු අතුකෝරළලාගේ ‘සිංහ දියණිය’, කිත්සිරි හේවාගමගේගේ ‘නෙයිනගේ සූදුව’, සමදරා ආරියවංශගේ ‘අවසර මහරජ’ කියන නිර්මාණවල මා රඟපානවා. ඒ වගේම ලුවීවැන්ඩස්ට්‍රාටන්ගේ ‘රන් කිරුළ හා බුද්ධි’, සුගත් සමරකෝන්ගේ ‘දැන් කාලේ පටාචාරා’, ටී.ජී. රන්ජන් ද සිල්වාගේ ‘මියැසි අසපුව’, පද්මසිරි කොඩිකාරගේ ‘කෝරළේ මහත්තයා - 3’, ඇහැළියගොඩ සෝමතිලකගේ නාට්‍යයක කියන මා රඟපෑ නිර්මාණ කිහිපයක්ම ඉදිරියේදී මගේ ප්‍රේක්ෂකයන්ට නරඹන්නට හැකිවේවි. ලක්ෂමන් මත්තුමගලගේ ‘පොඩි මාමා’, විනෝජා නිලන්තිගේ ‘සිහින ටවුම’ කියන නිර්මාණත්, සමන් කුමාරගේගේ ‘දේවි’ ටෙලි නාට්‍යයේ මට රඟපාන්න තිබුණු කොටසත් අවසන් වුණේ ළඟදියි. ”

ඔහු රංගනයෙන් සහභාගි වූ නිර්මාණ පිළිබඳත්, එහි නිර්මාණකරුවන් පිළිබඳත් කියන්නට අමතක නොකළේ ය. මේ වනවිට සඳුන් භූමිකා රැසකම සැරිසරන්නෙකි. ඔහු රංගන ශිල්පියෙකි. ගායකයෙකි. හඬ කැවීම් ශිල්පියෙකි. ලේඛකයෙකි. මේ වනවිට මේ සොඳුරුතමයා වේදිකා නාට්‍ය සියයකට වඩා වැඩි සංඛ්‍යාවකටත්, ටෙලි නාට්‍ය සියයකට වඩා වැඩි සංඛ්‍යාවකටත්, චිත්‍රපට තිස්පහකටත් වඩා ගණනකට රඟපෑමෙන් සහභාගි වී ඇත. පසුගිය මාර්තු මාසය වනවිට ඔහුගේ කලා දිවියට ලැබූයේ වසර පනස් පහකි.

“මේ ගෙවුණු කලා දිවිය ගැන ඔබ තෘප්තිමත් ද?”

“ මට මතකයි සොමී රත්නායකගේ ‘සබඳ මම රස්පුටින්’ වේදිකා නාට්‍යයේ මා කළ රඟපෑම දැක්ක තිස්ස අබේසේකර මහත්තයා කිව්ව මේ සැරේ නම් සඳුන්ගේ රංගනයට සම්මානයක් ලැබිය යුතුමයි කියලා. එදා ඔහු එහෙම කිව්වත් අද වනතුරුත් මගේ රංගනයට කිසිම සම්මානයක් නම් ලැබිලා නැහැ. එහෙම වුණා කියලා මම කම්පාවට පත් වෙන්නේ නැහැ මගේ ගමන මම යනවා. මගේ රංගන ගමන ආරම්භ වන්නේ 1960 වසරේදි. ඒ ලුම්බිනි රඟහලෙන්. ඒ කාලයේ හිටපු විභාග කොමසාරිස්වරයෙක් වුණු කනගරත්න ගුණතුංග මහත්තයා කළ ‘අශෝක මාලා හා කුඩු කෑ විත්ති’ නාට්‍ය දෙකෙයි මා මුලින්ම රඟපාන්නේ. එතැනින් පස්සේ නිර්මාණ රැසකටම රඟපෑමෙන් සහභාගි වෙනවා. ඒ වනවිට මම සිටියේ විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියේ. ඉන් පස්සේ 1962 මහජන බැංකුවේ රැකියාවට යන මම අවුරුද්දකින් පසුව මහ බැංකුවේ සේවයට යනවා. ඒ අතරයි මා බොහෝ කාලයක් නිර්මාණවලට දායක වන්නේ. එහි අවුරුදු 40ක් සේවය කිරීමෙන් අනතුරුව රැකියාවට සමු දෙනවා. එතැනදි කිසිම දවසක මම මගේ රඟපෑම රැකියාවට ප්‍රශ්නයක් කර ගත්තේ නැහැ. ඒත් සමඟම අද වනතුරුත් මම රංගනයේ නිරත වෙනවා. මේ නිසා මගේ කලා ජීවිතය ගැන මා ඉන්නේ තෘප්තිමත් හැඟීමෙන්.”

ඒ තෘප්තිමත් හැඟීම වඩාත් වර්ධනය කිරීමට මෙන් ඔහුට සම්මාන රැසක්මත් හිමිවෙයි. ඒ කලාවට හා මූල්‍ය කළමනාකරණය කළ සේවය වෙනුවෙන් ලැබුණු ආචාර්ය පදවියයි. එමෙන්ම කලාභූෂණ සම්මානයත් හා මල්වත්තේ ස්වාමීන් වහන්සේලා ලබාදුන් සාහිත්‍ය විභූෂණ සහ දේශමාන්‍ය, දේශ බන්දු සම්මානයත් ඊට නිදසුන් සපයයි.

“ඒ කියන්නේ ඔබ බොහොම විවේක සුවයෙන්ද කාලය ගත කරන්නේ ? ”

ඒ කුමන කටයුතුවලින් මේ වනවිට නිදහස් වුණත් මගේ ශබ්ද කෝෂයේ ඔය කියන විවේකය කියන වචනය ඇත්තේ නැහැ. මොකද මිනිබිරියන් හා මුනුබුරාවත් පන්ති, පාසල් අරන් යන්නේ, එන්නේ මමයි. ඒ වැඩකටයුතු සියල්ල මා භාර ගෙන තිබෙන්නේ බොහොම සතුටෙන්. ඒ වගේම යුතුකමක් ඉෂ්ට කිරීමක් වශයෙන්. එහි ප්‍රතිඵල පසුගිය කාලයේ මමත්, බිරියත් ලැබුවා. වැඩිමල් මිනිබිරිය ‘ඒ’ නවයක් සමඟ සාමාන්‍ය පෙළ සමත් වීමෙන්. ඉන් පෙනෙන්නේ අපි රෑ වනතුරුම ඔවුන් පන්ති ඉවර වනතුරු සිටි කාලය අපතේ නොගිය බවයි. මේ කටයුතුත්, රංගන කටයුතුත් එකතු වුණාට පසුව මම බොහොම කාර්යබහුලයි. ”

සඳුන්ට සිටින්නේ දරුවන් දෙදෙනෙකි. දුව මහේෂිකා ජීවනී ය. ඈ සේවය කරන්නේ හැටන් නැෂනල් බැංකුවේයි. බෑනා ලක්ෂාන් මාපා විදේශීය සමාගමක රැකියාවේ නිරත වෙයි. ඔවුන්ට සිටින්නේ එකම දරුවා ජනිඳු ඉඳුවර මාපා ය. ලයිසියම් පාසලේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔහු ඉගෙනිම හපනෙකි. පුතා දමිත නඳුන් විජේසිරි ය. ඔහුගේ බිරිය හසන්ති තරෝෂිකා ය.බැංකුවල සේවය කරන ඔවුන්ට දියණිවරු තිදෙනෙකි. වැඩිමලා හඳුනි දිලේකා ය. දෙවැන්නී රදිනි උපේක්ඛා 9 ශ්‍රේණියේත්, තෙවැන්නී අරනි සෙහංසා 8 ශ්‍රේණියේත් ඉගෙනුම ලබයි. ඔවුන් සමඟ ගෙවන සඳුන් විජේසිරිගේ ජීවිතය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සොඳුරුය. ඒ සොඳුරු බවේ තෘප්තිය ඔහුගේ දෙනෙතේ ගැබ්ව ඇත.

“මේ තරම් වැඩ රැසක් කරන ඔබ අවදි වෙන්නේ කීයට ද?”

“ උදේ හතර හමාර වනවිට අවදි වන්න මම එදා ඉඳලාම පුරුද්දක් කරගෙනයි ඉන්නේ. වැඩකටයුතුතකට ගියත් නොගියත් ඒ වෙලාවට හැමදාම මම අවදි වෙනවා. ඊට පස්සෙයි දවසේ අනෙක් කටයුතු ආරම්භ කරන්නේ. ඒ නිසාම මූල්‍ය කළමනාකරණය කරනවා වගේම කාලයත් හරියටම කළමනාකරණය කරනවා. පසු දිනයට තිබෙන වැඩ ගැන ඊට පෙර දිනයේ රෑ සැලසුමක් සකස් කර ගන්නවා. ඒ මේ මේ වැඩ කරන්නේ මේ වෙලාවට කියලා. ඊළඟට ඒ වැඩ කටයුතු ඉටු කරලා අවසන් වුණාට පස්සේ ඒ ඒ කටයුත්ත හරියක් දමනවා. මේ කාල කළමනාකරණය නිසා මගේ අතින් අතපසුවිම් සිදු වන්නේ නැහැ. එදාට නියමිත වැඩසටහන මම කොහොම හරි අවසන් කරනවා. ඒ වගේම මා අද කළ යුතු වැඩය කිසිම දවසක හෙටට කල් දමන්නේ නැහැ. ඒ කටයුත්ත අදම කරනවා. මගේ දරුවන්ටත් නිතරම කියන දෙයක් තමයි කාලය කළමනාකරණය කර ගන්න කියන කාරණය. අපි හරියට වෙලාවට වැඩ කළොත් අපේ වගේම අනෙක් අයගේ කාලයත් ඉතුරු වේවි. අනෙක් එක තමයි මම රූ ගත කිරීමකට ගියත් යන්නේ පොතක් අරගෙනයි. ඒ එක එක දේවල් කියවා කියවා ඉන්නේ නැතිව පොතක් කියැවීම ජීවිතයට වඩාත් වැදගත් නිසයි. ඒ අතරම නිතරම මට නිවෙස පිරිසිදුව තිබිය යුතුයි. නිවෙස අස්පස් කරන කටයුතු බිරිය ශ්‍රියා කළත් මමත් ඒ කටයුතුවලට උදව් වෙනවා. ඇය නැත්නම් භාජන වුණත් සෝදන්නේ මම තමයි. හැබැයි උයන්න නම් මට බැහැ. මම කැමැති දේශීය කෑම වර්ග හදලා දෙන්නේ බිරිය තමයි. මඤ්ඤොක්කා, රනවරා කොළ මැල්ලුම්, පොළොස් වගේ කෑමවර්ගවලට මම බොහොම ප්‍රියයි.”

මේ නිසාමදෝ ඔහු තවමත් කටයුතු කරන්නේ තරුණ හදවතක් ඇත්තෙකු පරිද්දෙනි. ඔහුගේ නම නොකිව්වත් ඔහුව හඳුනන ‘ගෝවේ ගෑනු පරාදයි’ ගීතයට ප්‍රේක්ෂකයන් කවදත් කැමැතිය.

“ළඟදි එහෙම මේ ගීතය ගායනා කළේ නැද්ද ?”

“ එදා 80 දි මේ ගීතය ගයලා නටපු විදියටම මම මේ පසුගිය දවසකත් ඔය ගීතය ගයලා ඒ ඡවයෙන්ම නැටුවා. ඒ දේවල් මම තවමත් අත හැරලා නැහැ. මාව හදපු වඩපු මව්පියන්ට පින්සිදු වන්නටත්, උඩ යම්කිසි බලවේගයක් තියෙනවා නම් ඒ බලවේගයටත් මා නිරන්තරයෙන් ස්තූතිවන්ත වෙනවා මාව තවමත් ඒ තත්ත්වයෙන් තැබුව එක ගැනයි. මා කිසිම කෙනෙකුට වෛර කරන්නේ නැහැ. ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. මෙහෙම ඉන්න අනෙක් කාරණය වන්නේ ඒ කාරණා ආරක්ෂා කිරීමයි කියලයි මා නම් සිතන්නේ. අප මේ මිනිසත් බව ලබා ගන්නේ බොහොම අමාරුවෙන්. එය රැක ගැනීම කළ යුත්තේ අප විසින්මයි.”

ඔහුගේ කතාබහට සාහිත්‍යයද එක්වෙයි. සාහිත්‍ය මිනිසෙක් තනන අයුරු හේ පවසන්නේ පැරැණි සාහිත්‍යයේ රසවත් තැන්ද ගෙනහැර පාමිනි.

“ඔබ ඊට පස්සේ පොත් ලිවිවේ නැද්ද?”

“ මා ලියූ පරිවර්තන හා අනෙකුත් නවකතා පූජිත පාද, මහා නගරය, හිරු නොදුටු නර්තනය කියන පොත් වගේම කවි පොත වුණු ‘සුපුෂ්පිත අරණක ගෙතූ පදවැල්’ පොතත් විද්වතුන්ගේ ඇගයීමට ලක්වුණා. ඒත් විචාරකයන්ගේ අවධානය නම් ඊට යොමුවෙලා තිබුණේ නැහැ. අලුනෙක් පොතක් ලියන්න මට නොහැකි වුණේ පුංචි අය සමඟ කාලය ගත කරන නිසා. පොත් පුස්තකාලයක් තිබෙන නිසා කියවන්න කොහොම හරි කාලය මා හදා ගන්නවා. ”

ඒ කතාබහ අතර පෝටිපෝව යට නැවැත් වූයේ රථයකි.

“ මතක් කරන කොටම ඔන්න එයාලා ඇවිත්.”

සඳුන් විජේසිරි පවසන්නේ ඔහු බෙහෙවින් ආදරය කරන මුනුබුරු, මිනිබිරියන්ගේ පැමිණීම පිළිබඳ තුටු සිතෙනි.