|
නන්දනී මැඩම්ගේ අවවාද තවමත් මට මතකයි
චන්ද්‍රසිරි බෝගමුව
ජිවිතයේ විශේෂිත සොඳුරු වූ මතකයන් යළිත් සිහිපත් කරන සරසවිය පුදුම හත මෙවර විශේෂාංගයේ ජිවිතයට විශේෂ වූ පුද්ගලයන් හත් දෙනෙකු ගැන සඳහන් වෙනවා. ඉදිරියට යන තම දිවි ගමනේ මෙලෙස විශේෂ වූ චරිත හතක මතක ආවර්ජනය කරන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රසිරි බෝගමුව. දහස් ගණනක් සිසු සිසුවියන්හට දැනුම ලබා දෙන මේ ඇදුරුතොමෝ තම ජීවිතය සාර්ථක වන්නට ලද අත්දැකීම් අතරින් බිඳක් පුදුම හතට පැවසුවේ මෙලෙසින්.
දිවියාගහ යසස්සී හිමි ආනන්දයේ අපේ දිවිමග ඒකාලෝක කළ අපේ චරිත සංවර්ධනයට විශාල බලපෑමක් කළ ස්වාමින් වහන්සේනමක ලෙසින් දිවියාගහ යසස්සී හිමි මාගේ ජීවිතයට විශේෂ වෙනවා. මට උන්වහන්සේගේ ඇසුර ලබන්න අවස්ථාව උදා වුණේ සාහිත්‍ය සංගමයේ කටයුතුවලදීයි. පාසලේ බෞද්ධාගමික කටයුතු මෙන්ම සමාජසේවා කටයුතුවලට නායකත්වය දෙමින් උන්වහන්සේ ගෙන් වටිනා මාර්ගෝපදේශකත්වයත් ලබන්න අප වාසනාවන්ත වුණා. යසස්සී හිමියන්ගේ උපදේශකත්වයෙන් ආනන්දයේ 89 වැනි සංවත්සරය වෙනුවෙන් මා ලියූ ලිපියක් එකල ජනදින පුවත්පතේ 1975 වසරේ නොවැම්බර් පළමු වැනිදා පළවීම මගේ ජීවිතයේ සුවිශේෂම අවස්ථාවක්. ම විසින් ලියන ලද ලිපියක් පුවත් පතක පළවූ ප්‍රථම අවස්ථාව ද එයයි. ඒ වගේම ප්‍රථමවරට ගුවන්විදුලි සංස්ථාවේ මැදිරියක් තුළ වැඩසටහනක් පටිගත කරන ආකාරය දැක ගන්නත් ගුවන්විදුලි වැඩසටහනකට දායක වෙන්නත් අවස්ථාව ලැබුණේ උන්වහන්සේගේ මඟ පෙන්වීමෙත් බව මේ අවස්ථාවේ විශේෂයෙන් සඳහන් කළ යුතුමයි. පසුකාලයේ ශ්‍රව්‍ය දෘෂ්‍ය පටිගත කිරීමේ ශිල්පියෙක් ලෙසින් ගුවන්විදුලියේ නිවේදක නිවේදිකාවන් රැසකගේ හඬවල් පටිගත කළා. ඒ ඇසුරෙන් රූපවාහිනි වාර්තා වැඩසටහන් වෙළෙඳ දැන්වීම් නිර්මාණය කරන්න අවස්ථාව ලැබුණා. එහිදී එච්. එම් ගුණසේකර, ගැමුණු විජේසූරිය, අමරබන්දු රූපසිංහ, චන්ද්‍රා වයමන්, පාලිත පෙරේරා, අශෝක තිලකරත්න, සමන් ආතාවුහෙට්ටි, නඩරාජා ශිවම්, ජිමි බරුෂා, රිචඩ් ද සොයියා වැන්නන් ඇසුරු කරන්න ලැබීමත් වටිනා අවස්ථාවක්.
නන්දනී රණතුංග කොළඹ ආනන්ද විද්‍යාලයේ මා අධ්‍යාපනය ලබන විටදී 1973 සිට 1976 වසර දක්වා වූ කාලයේ මගේ පංති භාර ගුරුතුමිය වූයේ නන්දනී රණතුංග මහත්මියයි. ඇය අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රෙජී රණතුංගගේ ආදරණීය බිරිඳ සහ වර්තමාන වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංගගේ ආදරණීය මව යි. නන්දනී රණතුංග ගුරුමාතාව එදා අපට ජීවිතය ජය ගැනීමට සාර්ථක මාර්ගය පෙන්වා දුන්නා. ආනන්දීයෙකු ලෙසින් වගකීම් දැරීමට, නායකත්වය ගැනීමට, කුසලතා දියුණුකර ගැනීමට නිවැරදි මාර්ගය පෙන්වා දුන්නේද එතුමියයි. සිංහල සාහිත්‍ය සංගමයේ කටයුතු වගේම විවාද කණ්ඩායමේ සාර්ථක වන්නත් එතුමිය ලබා දුන් අවවාද තවමත් මා සිතෙහි රැඳී පවතිනවා. චිත්‍ර ඇඳීමේ හැකියාවත් මට සහජයෙන් උරුම වූවක්. ඒ සමඟින් බිත්ති පුවත්පත සංස්කරණය කිරීමටත් මට අවස්ථාව උදාකර දීම ගැන තිබෙන්නේ ගෞරවයක්. පසු කාලයක ග්‍රන්ථ සංස්කරණයට යොමු වීමේ අඩිතාලම දැමුවේත් ඇයයි. සිංහල භාෂාවට මෙන්ම නාට්‍ය කලාව කෙරෙහිත් ඇය මාගේ අවධානය යොමු කරවූවා. එතුමියගේ අත්සන යෙදූ පොත් අදටත් මා සන්තකයේ සුරැකිව තිබෙන්නේ ආදරණීය ලෙසින් මට යහමඟ පෙන්වා දී සාර්ථක වීමට දුන් අත්වැල නිසාමයි. මහගම සේකර මම මහගම සේකරයන් ප්‍රථම වරට දුටුවේ ආනන්දයේ උසස් පෙළ ශිෂ්‍යයෙකුව සිටියදීයි. 1975 වසරේ ආනන්දයේ අපි සංවිධානය කළ සාහිත්‍ය උත්සවයට සේකරයන්ට කළ ආරාධනයකට අනුව එතුමා ඒ වෙනුවෙන් පැමිණියා. ඒ වෙනුවෙන් නන්දනී රණතුංග ගුරු මාතාවගෙන් ලැබුනේ විශාල සහයෝගයක්. එදා මහගම සේකරයන් විසින් කරන ලද විශේෂ දේශනයට අපි සාවධානව සවන් දුන්නා. මහගම සේකරයන්ගේ කාව්‍ය රචනා අපට ගෙන දුන්නේ විශාල සවියක්. එතුමා සිය නිර්මාණ හරහා ජනතාවගේ හදවත්වලට විශාල බලපෑමක් කළා කීවොත් නිවැරදියි. තුංමං හන්දිය නවකතාව රිදී තිරයට ගෙන ඒමත් සිංහල සිනමාවේ විශේෂ වූ සිදුවීමක් ලෙස මා දකිනවා. සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත චරිතයක් වූ සේකරයන් සමඟ එක් දිනක් හෝ කතා කිරීමට ලැබීම ලොකු වාසනාවක්. එතුමා ආනන්දයේ සාහිත්‍ය උළෙලට සහභාගි වුණේ 1975 වසරේ දෙසැම්බර් මාසයේදීයි. නමුත් අවාසනාවන්ත ලෙස 1976 වසරේ එතුමා ජීවිතයෙන් සමු ගැනීම මගේ ජීවිතයේත් විශාල කම්පනයක් ඇති කළ අවස්ථාවක් ලෙසින් සටහන් වෙනවා. කිරිඳිවැල තුංමං හන්දියේදී එතුමගේ අවසන් කටයුතු සිදු කළ අවස්ථාවේ අමරදේවයන් ගැයූ ‘මළ හිරු බසිනා හැන්දෑ යාමේ ඔබගෙන් සමු ගන්නම්’ ගීතය තවමත් මා සිත තුළ රැව් පිළිරැව් දෙනවා.
ආචාර්ය එම්. එච් ගුණතිලක ආචාර්ය එච්. එම් ගුණතිලක මහතා මට කැලණිය විශ්වවිද්‍යාලයට ගිය පසු හඳුනා ගන්න ලැබුණු ආචාර්යවරයෙක්. එතුමා එකළ ලලිත කලා අංශයේ අංශාධිපති වශයෙන් කටයුතු කළා. මට ලලිත කලා විශේෂ උපාධිය හදාරන්නෙකු ලෙසින් ආචාර්ය ගුණතිලකයන්ගේ උපදෙස් මහඟු සම්පතක් වුණා. දේශීය රංග කලාව හා නාට්‍ය කලාව පිළිබඳ අවබෝධය ලබා දෙමින් ප්‍රායෝගික අත්දැකීම් හරහාද විෂය දැනුම අපට ලබා දෙන්නට එතුමා කැපවී කටයුතු කළා. මට ප්‍රථම වරට සොකරි නාට්‍ය පිළිබඳ අත්දැකීම ලැබුණේ ප්‍රායෝගි දැනුම ලබාදීමේ එතුමගේ වැඩපිළිවෙල නිසා. ආචාර්යවරයෙකු ලෙසින් ආචාර්ය ගුණතිලකයන්ගේ කැපවීම වර්තමානයට ආදර්ශයක්. කැලණි සරසවියේ ලලිත කලා අංශයේ ඡායාරූප ශිල්පය වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් ඉටු කරන්න එතුමා විශාල පරිශ්‍රමයක් දැරුවා. එහිදී ඡායාරූප මුද්‍රණය වෙනුවෙන් අවශ්‍ය අඳුරු කුටියක් ගොඩනැංවූයේ එතුමාගේ මූලිකත්වයෙන්. මා ඡායාරූප ශිල්පයට සහ පුවත්පත් කලාවට යොමුවීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම වෙනුවෙන් වූ ගෞරවය එතුමාටද හිමිවන්නක්. හැත්තෑව දශකයේ මෙරට පුවත්පත්වල මෙන්ම විදේශීය සඟරාවල පවා මගේ ඡායාරූප පළ වුණා. ඒ සම්බන්ධයෙන් අත්දැකීම් රැසක් ලබා ගන්නත් ගුණතිලක මහතාගේ මඟපෙන්වීම මහෝපකාරි වුණා. පසු කාලයේ මමද ආචාර්යවරයෙකු වශයෙන් කැලණි සරසවියට පිවිසෙන විටදී ආචාර්ය ගුණතිලකයන් සිහිපත් කළේ අප්‍රමාණ වූ භක්තියකින්.
පියසිරි ගුණරත්න අපේ රටේ සිටින සිනමාව හා රූපවාහිනිය පිළිබඳ විශිෂ්ට වූ දැනුම් සම්භාරයකින් යුතු පුද්ගලයෙක් ලෙසින් පියසිරි ගුණරත්න හඳුන්වන්න පුළුවනි. ඔහු චෙකොස්ලෝවැකියාවේදී සිනමාව හා රූපවාහිනිය පිළිබඳ දර්ශනපති උපාධිධරයෙක්. ඡායාරූපකරණය, කැමරාකරණය, චිත්‍රපට අධ්‍යක්ෂණය, සංස්කරණය ආදි ක්ෂේත්‍ර පිළිබඳ පුළුල් දැනුමක් හා අත්දැකීම් රැසක් එතුමා සතුවුණා. මටත් ඡායාරූපකරණය පිළිබඳ අත්දැකීම් රාශියක් එතුමා නිසා ලබා ගන්නට හැකිවීම ගැන තියෙන්නේ සතුටක්. ඒ සෑම කටයුත්තකම පසුපස සිට උපදෙස් ලබා දුන්නේ ඔහුයි. කලක් ඔහු රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ මෙහෙයුම් කලමණාකරු ලෙසින් සේවය කළා. ඔහු විසින් රචනා කරන ලද තිර රචනය නම් කෘතිය චිත්‍රපට තිර නාටක පිළිබඳ ලියවුණු ප්‍රථම සිංහල ග්‍රන්ථයද වෙනවා. රාජ්‍ය චිත්‍රපට සංස්ථාව මඟින් එය ප්‍රකාශයට පත් කළා. සත්‍ය වශයෙන්ම එය අපට වටිනා අත්පොතක් වුණා. ඔහුගේ රූගත කිරීම් සඳහා මම ද සහාය ශිල්පියෙකු ලෙසින් සහභාගි කරවා ගැනීම අත්දැකීම් අතින් මා පොහොසත් කළා. ඒ අතරේ කළුබෝවිල රෝහලේ සිසේරියන් සැත්කමක් සිදු කළ අවස්ථාව රූගත කිරීම විශේෂ වුණා. වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙසින් කටයුතු කරන්න මුලික අඩිතාලම මට සකසා දුන්නේ පියසිරි ගුණරත්නයන්. එනිසා එතුමා මගේ ජීවිතයේ සුවිශේෂ චරිතයක් ලෙසින් මට විශේෂ වෙනවා.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර කලාභවනට යාබදව ජෝන් ද සිල්වා රඟහල එදා තිබුණේ එළිමහන් රංඟ පීඨයක් ලෙසින්. මම ප්‍රථමයෙන්ම මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් සැබැවින් දුටුවේ එතැනදීයි. එදිරිවීර සරච්චන්ද්‍රයන් කියන්නේ අපේ නාට්‍ය කලාවට, වේදිකාවට අමිල සේවයක් ඉටු කළ ශ්‍රේෂ්ඨයෙක්. කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ මනමේ නාට්‍ය බලන්න පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගිය ගමන මගේ ජීවිතයට අතිශය සුන්දර අත්දැකීමක් එක් කළා. එදා මනමේ නාට්‍ය රඟ දැක්වූයේ පේරාදෙණිය සරසවියේ එළිමහන් රංග පීඨයේදියි. රාත්‍රි කාලයේ චමත්කාරය සමඟින් රඟදැක්වුණු එය මගේ ජීවිතයට ඉහළ සෞන්දර්යාත්මක රසාස්වාදයක් ගෙන දුන් අවස්ථාවක් වුණා. පසු කාලයේ මට රෝහණ දන්දෙනිය රචනා කර අධ්‍යක්ෂණය කළ දුන්යා ගීය නාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබුණා. එයට මම ශ්‍රියන්ත මෙන්ඩිස්, විමලරත්න අධිකාරි, සෝමපාල පතිරගේ ද රංගනයෙන් දායක වුණා. එහි පනස් වැනි දර්ශනය වෙනුවෙන් පැවැති විශේෂ උත්සවයට සරච්චන්ද්‍රයන් පැමිනුණා. එදා එතුමා අතින් සමරු තිළිණයක් ලබා ගැනීමට ලද අවස්ථාව මගේ ජීවිතයේ වටිනාම අවස්ථාවක් ලෙසින් මතකයේ රැඳි තිබෙනවා. පසු කාලයක ඊව්ඹ් රූපවාහිනියේ සේවය කරනවිටදි නිමල් ඒකනායක විසින් නිෂ්පාදනය කරන ලද රසවිත කලා සඟරාමය වැඩසටහනේ සරච්චන්ද්‍රයන් සමඟින් සම්මුඛ සාකච්ඡාවක් කරන්නත් අවස්ථාවක් ලැබුණා. ඒ 1994 වසරේදීයි. කලා ක්ෂේත්‍රයේ එවැනි දැවැන්ත චරිතයක් එලෙස ඇසුරු කරන්න ලැබීම මා ලද වාසනාවකැයි මට සිතෙනවා.
ශාන් වික්‍රමසිංහ අපේ රටට රූපවාහිනිය හඳුන්වාදීමේ පුරෝගාමියෙකු ලෙසින් විශේෂ වන්නේ ශාන් වික්‍රමසිංහ. එතුමා බොහොම නිරංහකාර නිහතමානි පුද්ගලයෙක්. 1979 වසරේ අප්‍රේල් 13 වැනිදා ප්‍රථමවරට ලංකාවේ රූපවාහිනි වැඩසටහනක විකාශන කටයුතු සිදු කෙරුණේ එතුමාගේ මූලිකත්වයෙන්. අසූව දශකයේදී මට ශාන් වික්‍රමසිංහ හමුවන්නේ සරසවි අධ්‍යාපනයෙන් පසු මා රැකියාවක් සොයමින් සිටින කාලයේදීයි. ඒ කාලයේ එතුමා ටෙල්ෂාන් ලිමිටඩ් නමින් රූපවාහිනි වැඩසටහන් ආයතනයක් පවත්වාගෙන ගියා. මට එහි සහාය කැමරා ශිල්පියෙක් සහ සංස්කරණ ශිල්පියෙකු ලෙසින් පළමු රැකියාව හිමි වුණා. පසුව ඉංග්‍රීසි ගුරුපත්වීමක් ලබා එයින් ඉවත් වුවත් ශාන් වික්‍රමසිංහයන් සමඟ කටයුතු කිරීමෙන් අත්දැකීම් සම්භාරයක් ලබා ගන්න අවස්ථාව ලැබීම මගේ ජීවිතයට ලොකු වටිනාකමක් එක් කළා. 1994 වසරේදී යළිත් ඊව්ඹ් රූපවාහිනි සේවය සමඟින් වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක් ලෙසින් සම්බන්ධ වුවත් 1997 වසරේදී එයින් ඉවත් වූයේ කැලණි සරසවියේ ලලිත කලා ආචාර්යවරයෙක් ලෙසින් පත්වීමක් ලැබුණු නිසා. ඇත්තටම මේ කාලය පුරා මට එතුමා ඇසුරු කිරීමෙන් ලද අත්දැකීම් රැසක් ලබා ගන්න අවස්ථාව උදා වුණා. කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රතිබිම්භ කලා උපාධි පාඨමාලාව හඳුන්වාදීමේදී ඒ අත්දැකීම් මට ලොකු උපකාරයක් වූ බව සඳහන් කරන්නේ කෘතවේදීත්වයෙන්.
|