වර්ෂ 2015 ක්වූ ජූලි 02 වැනිදා බ්‍රහස්පතින්දා




මම දන්නවා ප්‍රේක්‍ෂකයෝ ඉල්ලන්නේ මොනවද කියලා...

මම දන්නවා ප්‍රේක්‍ෂකයෝ ඉල්ලන්නේ මොනවද කියලා...

‘ප්‍රවේගය’ සමඟ අධ්‍යක්‍ෂණයට පිවිසි ඩොනල්ඩ් ජයන්ත

ප්‍රවේගය’ චිත්‍රපටය සමඟින් අනාගත ලාංකික සිනමාවේ සුපිරි වීරයා බිහි වූ බව බොහෝ දෙනෙකුගේ මතයයි. ඒ හේමාල් රණසිංහ නමැති කඩවසම් යෞවනයා බව මේ වන විට කවුරුත් දනිති. ජැක්සන් ඇන්තනි, ජයලත් මනෝරත්න, මහේන්ද්‍ර පෙරේරා, රන්ජන් රාමනායක, දමිතා අබේරත්න වැනි නළු නිළියන්ගේ විශිෂ්ට රංගනයන්ද ‘ප්‍රවේගය’ට ආලෝකයක් වී තිබේ. මෙකී, නොකී තවත් සුබවාදී බොහෝ කරුණුත් සමඟ ‘ප්‍රවේගය’ අධි ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලබමින් මේ වන විට E. A. P. මණ්ඩලයේ සිනමාහල් රැසක අති සාර්ථකව තිරගත වේ.

මෙරට අංක එකේ චිත්‍රපට සහාය අධ්‍යක්‍ෂවරයා වන ඩොනල්ඩ් ජයන්ත සිනමා අධ්‍යක්‍ෂණයට පිවිසෙන්නේ ද ‘ප්‍රවේගය’ සමඟිනි. එය සිය කුලුඳුල් චිත්‍රපටය යැයි විශ්වාස කළ නොහැකි තරමට ඩොනල්ඩ් ‘ප්‍රවේගය’ හරහා ‘වැඩ කිඩ’ පෙන්වා තිබේ. ‘ප්‍රවේගය’ සමඟින් මෙරට චිත්‍රපට අධ්‍යක්‍ෂවරුන්ගේ නාමාවලියට අලුතින්ම එක්වන ඩොනල්ඩ් ඒ පිළිබඳ කතාබහ කරන්නේ මහත් වූ අභිරුචියෙනි.

‘ප්‍රවේගය’ චිත්‍රපටයත් එක්ක ඔබ චිත්‍රපට අධ්‍යක්‍ෂණය නමැති භාරදූර කාර්යයට අතගසා තිබෙනවා. මම හිතන්නේ මේ ඔබේ වෘත්තීය ජීවිතයේ පෙරළිකාර අවස්ථාවක්?

අනිවාර්යයෙන්ම ඒක ඇත්ත.

තව පැත්තකින් මම හිතනවා ‘ප්‍රවේගය’ මෙතෙක් ඔබේ සිනමා ගමන් මගේ කූටප්‍රාප්තිය කියා. මේ දැවැන්ත කාර්යයට ඔබ අත ගසන්නේ දිගු අතීතයක් පසුකරලා?

සිනමාවට මම සම්බන්ධ වුණේ 1984 වසරේ. රංගන ශිල්පියෙක් වශයෙන් තමයි මම මුලින් සිනමාවට පා තැබුවේ. ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ මහතා හමුවීමෙන් පසු මම ඔහුගේ ‘පූජා’ චිත්‍රපටයට කාර්මික ශිල්පියෙක් ලෙස සම්බන්ධ වෙනවා. එයින් ලබාගත් දැනුම සහ පන්නරය සමඟ මම 1989 වසරේ ප්‍රථම වරට චිත්‍රපට සහාය අධ්‍යක්‍ෂණයට පිවිසෙනවා. ඒ පි‍්‍රයන්ත කොළඹගේ අධ්‍යක්‍ෂණය කළ ‘දැහැන’ චිත්‍රපටයෙන්.

නළුකමට වඩා හිත ගියේ සහාය අධ්‍යක්‍ෂණයට?

ඇත්තටම මට අවශ්‍ය වුණේ රඟපානවට වඩා මේ සිනමාවේ කාර්මික පැත්ත ගැන ඉගෙන ගන්න. මගේ රඟපෑම ඒ නිසා චිත්‍රපට දෙකකට සහ ටෙලි නාට්‍ය දෙක තුනකට පමණක් සීමා වුණා. සිනමාව ගැන මට තිබුණ උණ කොච්චරද කිව්වොත් ඒ කාලෙ චිත්‍රපටයක් රූ ගත කරන කොට කොළඹ අවට මම ගිහින් ඔහේ හිටගෙන බලාගෙන ඉන්නවා දවසෙම.

හැබැයි නළු, නිළියො දිහා නෙවෙයි?

නැහැ. මම වැඩි අවධානය යොමු කළේ කැමරාව හසුරුවන්නෙ කොහොමද? සහාය අධ්‍යක්‍ෂවරයාගේ කාර්යභාරය මොකක්ද? ඔය වගේ කාරණා ගැන. ඉතින් එහෙම ඉගෙන ගත් දෙයින් තමයි අද මේ දක්වා චිත්‍රපට පනස් දෙකක සහාය අධ්‍යක්‍ෂවරයා වශයෙන් කටයුතු කරන්න අවශ්‍ය ශක්තිය, දැනුම, අවබෝධය මට ලැබුණේ. ඒ අත්දැකීම් හරහා තමයි මම චිත්‍රපට අධ්‍යක්‍ෂණයට අත ගැහුවේ.

සහාය අධ්‍යක්‍ෂණය හා අධ්‍යක්‍ෂණය කියන්නේ එක වගේ පෙණුනට කාර්යභාරයන් දෙකක්.

යම් අධ්‍යක්‍ෂවරයෙක්, සහාය අධ්‍යක්‍ෂණයට මාව තෝරා ගත්තට පස්සෙ අපි එකතුවෙලා පිටපතත් සමඟ සාකච්ඡා කරනවා. වැරැදි තියෙනවා නම් ඒක හදා ගන්නවා. බොහෝ වෙලාවට අපි අතරේ නොයෙක් වාද, විවාද පවා ඇති වෙනවා. ඒ හොඳ නිර්මාණයක් කරන්න අවශ්‍ය නිසා.

ඔබ වරක් ප්‍රකාශ කළා සහාය අධ්‍යක්‍ෂවරයා කියන්නේ අධ්‍යක්‍ෂවරයාගේ ගෝලයෙක් නෙවෙයි කියලා?

ඔව්, ඒක ඇත්ත. අධ්‍යක්‍ෂවරයා යම් නිර්මාණයකට සම්බන්ධ වෙන නිර්මාණකරුවෙක් පමණයි. චිත්‍රපටයකට ආරාධනා ලැබුණාම මම මුලින්ම කරන්නේ පිටපත කියවා බලන එක. ඒක හොඳ නැතිනම් බොහෝ දුරට මම චිත්‍රපටය බාර ගන්නේ නෑ. මම එහෙම ප්‍රතික්ෂේප කරපු චිත්‍රපට කිහිපයක්ම තියෙනවා.

නම් අවශ්‍ය නෑ, නමුත් මොන වගේ චිත්‍රපට ද ඔබ එහෙම ප්‍රතික්ෂේප කළේ?

විශේෂයෙන්ම ඔය කාම රැල්ලේ චිත්‍රපට. මම ඒවා බාර ගත්තේ නෑ. මොකද මම පටන් ගත්තේ හොඳ තැනකින්. මම අවසන් කරන්න ඕනෑත් හොඳ තැනකින්. ඒ නිසා...

හරි, අපි නැවතත් සහාය අධ්‍යක්‍ෂවරයාගේ කාර්යභාරය දෙසට හැරෙමු?

පිටපත කියෙව්වාට පස්සේ මම ෂෙඩූල් එක හදනවා. ඊළඟට අධ්‍යක්‍ෂවරයා එක්ක දර්ශන තල නරඹන්න යනවා. රූගත කිරීම සඳහා අධ්‍යක්‍ෂවරයාට අවශ්‍ය සියලු දේ සම්බන්ධීකරණය කර දෙන්නේ සහාය අධ්‍යක්‍ෂවරයා. රූ ගත කිරීමෙන් පසු පළමුවැනි පිටපත මුද්‍රණය දක්වා මම අධ්‍යක්‍ෂවරයා සමඟ උරෙනුර ගැටී වැඩ කරනවා.

ඇතැම්විට ඔබ සහාය අධ්‍යක්‍ෂවරයාට අයත් කාර්යභාරයෙන් ඔබ්බට ගොස් කටයුතු කරනවා?

ව්, ඒක ඇත්ත. සාමාන්‍යයෙන් සහාය අධ්‍යක්‍ෂවරයාගෙන් වෙන්න ඕනෑ දේවල්වලට එහායින් ගිහින් මම කටයුතු කරනවා. චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම දක්වාම මම අධ්‍යක්‍ෂවරයා, නිෂ්පාදකවරයා පිටි පස්සෙන් ඉන්නවා. මම සිනමාශාලාවලට යනවා. ඉන් පස්සෙ ප්‍රචාරක කටයුතුවලට සහාය දක්වනවා. චිත්‍රපටයක් සාර්ථක වුණොත් තමයි තව චිත්‍රපටයක් අපට ලැබෙන්නේ.

ඊළඟ නිර්මාණයට ඇහැ ගහගෙන කරන වැඩක් එහෙනම් මේක?

නෑ.. නෑ.. එහෙම නෑ. මොකද මම මුදල් පසු පස හඹාගෙන යන කෙනෙක් නෙවෙයි. එහෙම වුණා නම් මට චිත්‍රපටයක අදාළ වැඩ කොටස විතරක් කරලා ඊළඟ එකට යන්න පුළුවන්. නමුත් එහෙම නෑ. මම ආසයි මම වැඩ කරපු චිත්‍රපටයක් හොඳට ප්‍රදර්ශනය වෙනවා නම්. ඒ සතුට මට තියෙනවා. ඒක නිසා තමයි මම ගොඩක් දුරට චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනතුරුම අධ්‍යක්‍ෂවරයා ළඟින්ම ඉන්නෙ. ඒ කැපවීම නිසා තමයි අවුරුදු තිස් පහක් පුරාවට මට මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න පුළුවන් වුණේ.

‘ප්‍රවේගය’ මෙතෙක් අපේ වාණිජ සිනමාවේ බිහිවූ සාර්ථකම චිත්‍රපටයක්. එහි රූප රාමු, තාක්‍ෂණය නළු, නිළියන් හැසිරවීම විශිෂ්ට මට්ටමක තිබෙනවා. මට නම් හිතෙන්නෙ ඩොනල්ඩ් ජයන්ත ‘ප්‍රවේගය’ හරහා කිසියම් හාස්කමක් පෑවා කියලා?

මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ ආර්. සදේශ් කුමාර් සහ ශ්‍රීමතී සදේශ් කුමාර් යුවළ. මම මීට පෙර ඔවුන් නිෂ්පාදනය කළ ‘සුපර් සික්ස්’ කියන චිත්‍රපටයේ සහාය අධ්‍යක්‍ෂවරයා විදිහට කටයුතු කළා. ඒ හඳුනා ගැනීම තුළින් තමයි මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කිරීමට ඔවුන් මට ආරාධනා කළේ. හැබැයි මෙය ජනපි‍්‍රය දෙමළ චිත්‍රපටයක් බවත් එය ලංකාවට ඔබින ලෙස නිර්මාණය විය යුතු බවත් ඔවුන් මට පවසා සිටියා.

‘පොල්ලාදවන්’ චිත්‍රපටය?

ඔව්, පොල්ලාදවන් තමයි දෙමළ චිත්‍රපටය. මම සදේශ්ට කිව්වා, අපි වෙන එකක් කරමු කියලා. එවිට ඔහු පැවසූ දේ තමයි ‘ඇයි එහෙම කියන්නේ මම මේ චිත්‍රපටයට ආසයි’ කියන එක. ඊට පස්සෙ මම ඒකට එකඟ වුණා. දැන් ලොකුම අභියෝගය තමයි මේක දමිළ චිත්‍රපටයක අනුකරණයක් වීම. අපි එස්. සරෝව් කියලා දමිළ සහාය අධ්‍යක්‍ෂවරයකු ගෙන්වා ගත්තා. අලකේෂන් කියලා කෙනෙක් තමයි මෙය දෙමළ බසින් සිංහලට පරිවර්තනය කළේ. ඊට පස්සේ අපි මහේෂ් රත්සරමද්දුමආරච්චිට දුන්නා මේක අපිට ඔබින විදිහට තිර පිටපත සකස් කරන්න කියලා. එහෙම තමයි අපි ‘ප්‍රවේගය’ පිටපත ලියවා ගත්තේ.

ඊට පස්සෙ?

ඊට පස්සේ අපි දර්ශන තලවලදී දෙබස් ඛණ්ඩවල පොඩි පොඩි වෙනස් කම් සිදු කළා.

‘පොල්ලාදවන්’ චිත්‍රපටය නැරැඹූ පිරිස් කියනවා එහි ඇතැම් රූප රාමු ඒ විදිහටම ‘ප්‍රවේගය’ චිත්‍රපටයේ තියෙනවා කියලා. එතකොට මේක තනිකර කොපියක්?

සමහර පොඩි, පොඩි දර්ශන ඒ විදිහට අපි අරගෙන තියෙනවා. මේ චිත්‍රපටය ‘පොල්ලාදවන්’ චිත්‍රපටයේ වැඩ කරපු අය දැක්කා. චිත්‍රාගාරයේදී ‘ප්‍රවේගය’ දැකපු ඔවුන් කිව්වා අපේ දමිළ චිත්‍රපටයට වඩා හොඳින් උඹලා සිංහල චිත්‍රපටය කරලා තියෙනවා කියලා. ලංකාවේ රංගන ශිල්පීන් ගේ දක්ෂතා ඒ අය මහ ඉහළින් අගය කළා. විශේෂයෙන් බ්‍රැන්ඩොගෙ චරිතය රඟ පෑ ජැක්සන් ඇන්තනි ගැන. අපිට ඒක හරි සංතෝෂයක්. ඉතිං දවස් හැටක් අපි කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරලා තමයි ‘ප්‍රවේගය’ මේ විදිහට ප්‍රේක්ෂකයෝ අතරට ගෙන ආවේ.

තිර පිටපත සකස් කර, මම හිතන්නේ ඔබ මුලින්ම එය පෙන්නුවේ ජැක්සන් ඇන්තනිට?

ඇත්ත, මම මුලින්ම ඔහුට තමා මේක පෙන්නුවේ. හැබැයි කලින් මම ඔහුට කිව්වා මේ විදිහේ පිටපතක් කියලා. බ්‍රැන්ඩෝ ගේ චරිතයට හරියටම හරියන කෙනා ජැක්සන් බව සදේශ් කුමාර් කියපු නිසා ඔහුට ඒ සඳහා ආරාධනා කරන්නත් එක්කයි ගියේ. පිටපත බලලා දවස් දෙක තුනකින් ජැක්සන් කිව්වා ‘රයිට් මම කැමැතියි වැඩේ කරමු’ කියලා. ඊට පස්සෙ තමයි අනෙක් නළු, නිළියො ඔක්කොම තෝරා ගත්තේ.

දැන් මම දකින මේ චිත්‍රපටයේ විශේෂත්වය තමයි කාස්ටින් කියන එක හරියටම කරලා තියෙනවා. ඒ කියන්නෙ චරිතවලට වඩාත්ම ගැළපෙන නළු, නිළියෝ තෝරා ගැනීම. එයම චිත්‍රපටයේ සාර්ථකත්වයට ලොකු රුකුලක්?

මේ චිත්‍රපටයේ රඟපෑ සියලුම නළු, නිළියන් මා එක්ක මීට කලින් වැඩ කරලා තියෙනවා. ජේ. ජේ. හැරුණාම. මමයි, සදේශුයි, ශ්‍රීමතියි එකතු වෙලා තමයි මේ නළු, නිළියෝ තේරුවේ. ඊළඟට ආදේශක නළු, නිළියන්ගේ නම් ලැසිස්තුවකුත් අපි සකස් කළා. ඒත් අපි සියලුම නළු, නිළියෝ මේ චිත්‍රපටයට දායක කරගන්නට අපට පුළුවන් වුණා. කිසිම ආදේශකයකින් තොරව. හැම පොඩි චරිතයකටම පවා දක්‍ෂ නළු, නිළියෝ තමයි අපි යොදා ගත්තේ.

ඉන්දීය සහාය අධ්‍යක්‍ෂවරයා සමඟ වැඩ කිරීම ඔබට අපහසු වුණේ නැතිද?

අපි හරි සහෝදර හැඟීමෙන් වැඩ කළා. පමණක් වෙලාවට ඔහුත්, මමත් සාකච්ඡා කරනවා අපි මේ මේ විදිහට කරමු කියලා. එක දර්ශනයක් තියෙනවා මෝටර් බයික් ටික වැල්ලේ වලදාන අවස්ථාවක්. ඔහු කිව්වා වැල්ලේ නැතිව අපි මේක වෙන තැනක කරමු කියලා. මම කිව්වා නෑ වැල්ලේ තමයි හොඳ මේක ෂූට් කරන්න කියලා. ඔහු එකඟ වුණා. එහෙම අපි නිෂ්පාදකවරයා සමඟත් කතා කරමින්, රංගන ශිල්පීන් සමඟ කතා කරමින් වඩාත් හොඳ විදිහට හැම රූප රාමුවක්ම සකස් කර ගත්තා. අවුට් පුට් එක හොඳ වුණේ ඒ නිසයි.

ඒ කියන්නේ චිත්‍රපටයට සම්බන්ධ වූ සියලු දෙනාගෙන්ම ඔබට ලොකු සහයෝගයක් ලැබුණා?

අනිවාර්යයෙන්ම. ඒ සහයෝගය නම් ඉතාමත් අනර්ඝයි. අපි හැමෝම වැඩ කළේ ටීම් වර්ක් එකක් විදිහට.

ලංකාවේ ප්‍රේක්‍ෂකයෝ මෙවැනි චිත්‍රපටයකට කැමැති වෙයි කියලා ඔබ හිතුවද?

අවුරුදු තිස් පහක් පුරා සිනමාවේ වැඩ කරලා මම දන්නවා ප්‍රේක්‍ෂකයන් මොනවද ඉල්ලන්නේ කියලා. ඔවුන්ගේ රසඥතාවය මම හොඳින් හඳුනනවා. අපි ප්‍රේක්‍ෂකයන්ට දෙන්න ඕනෑ නිදිමත හැදෙන ෆිල්ම්ස් නෙවෙයි. රූප රාමුවෙන්, රූප රාමුවට ඔවුන් අවදියෙන් තියන්න ඕනෑ. ඒ වගේ චිත්‍රපටයක් තමයි ප්‍රවේගය.

අපේ වාණිජ, එහෙම නැතිනම් ජනපි‍්‍රය සිනමාව ගැන ඔබට හොඳ ඉවක් තියෙනවා. ඒත් දකුණු ඉන්දීය සම්භවයක් සහිත මේ චිත්‍රපටය අපේ ප්‍රේක්‍ෂක මනසට කොයි තරම් දුරට ගැළපෙයිද කියන එකයි මම ඔබෙන් ඇහුවේ?

සිනමාව කියන්නේ මැජික් එකක්නේ. සිහිනයක්. ඒක අපි ප්‍රේක්‍ෂකයාට දෙන්න ඕනෑ සිහිනයක් විදිහටම තමයි. මම පසුගිය දවස්වල සිනමාශාලාවලට යනකොට දැක්කා මුළු සිනමාශාලාවම විසිල් ගහනවා. සිනමාහල් හිමියෝ කියනවා ඒ අයගේ ඉතිහාසයේ දැකලා නැහැලු මේ වගේ විසිල් ගහපු චිත්‍රපටයක්. මගෙ ඇස් දෙකට දැක්කා ‘පබ්ලික් හෝල්’ ගම්පහ, චිත්‍රපටය ඉවරවෙන කොට විසිල් ගහගෙන නැගිටින්නේ කොල්ලෝ, කෙල්ලෝ. ච්ත්‍රපටය නැරඹූ හැමෝම කිව්වේ මේවා තමයි කොමර්ෂල් ෆිල්ම්ස් කියන්නේ. මේවාට තමයි බයිස්කෝප් කියන්නේ කියලයි.

කලාකරුවන්ගෙන් මේ චිත්‍රපටයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා?

උපුල් ශාන්ත සන්නස්ගල මහතා කිව්වා කාලෙකට පස්සෙ හොඳ වාණිජ චිත්‍රපටයක් නැරඹුවා කියලා. එතකොට නිහාල් නෙල්සන් මහත්තයා කිව්වේ ‘චණ්ඩියා’ චිත්‍රපටයෙන් පසුව එවැනි චිත්‍රපටයක් නැරඹුවා කියලයි. සුමිත්‍රා පීරිස් සිනමා කිවිඳිය කිව්වා ‘ප්‍රවේගය’ දැකලා ඇය විශ්මයට පත්වුණා කියලා. විශාරද නන්දා මාලිනිය පවා මේ චිත්‍රපටය ඇගයුමට ලක් කළා. ලංකාවේ ඉන්න නළු, නිළියෝ, ගායක, ගායිකාවෝ ඇතුළු විශාල කලාකරුවන් පිරිසක් මේ චිත්‍රපටය නැරඹුවා. ඔවුන්ගේ ප්‍රතිචාර ඉතා හොඳයි.

‘ප්‍රවේගය’ චිත්‍රපටයේ ප්‍රචණ්ඩත්වය වැඩියි කියලා සමහරු කියනවා?

අපි ඇත්තටම මුල් චිත්‍රපටයට වඩා මේකෙ වයලන්ස් අඩු කළා. තව දුරටත් එය අඩු වුණා නම් හොඳයි කියලා මට හිතෙනවා. නමුත් නිෂ්පාදකවරයා ටිකක් අදිමදි කළා එහෙම කරන්න. කොහොම වුණත් ප්‍රේක්‍ෂකයාට එහෙම ප්‍රචණ්ඩත්වයක් මේ චිත්‍රපටයෙන් පෙනිලා නෑ මම හිතන්නේ. මහල්ලාගේ සිට කුඩා ළමයා දක්වා මේ චිත්‍රපටය වැල නොකැඩී නරඹන තත්ත්වයට පත්වෙලා ඉන්නෙ ඒකයි. මම පොඩි උදාහරණයක් කියන්නම්. එක සිනමාශාලාවකට හාමුදුරුවරු පස් නමක් වැඩම කර තිබුණා මේ චිත්‍රපටය නරඹන්න. එතකොට නවපාරක් ‘ප්‍රවේගය’ නරඹපු මනුස්සයෙක් මට හමුවුණා.

අද වෙනකොට ‘ප්‍රවේගය’ පවුලේ චිත්‍රපටයක් බවට පත්වෙලා?

දැන් තමයි මවුපියන්, දූ දරුවන් එක්ක මේ චිත්‍රපටය නරඹන්න එන්නේ. සිනමාහල් හිමියන් පවසන විදිහට මේ චිත්‍රපටයට හොඳ රිපීට් ක්‍රවුඩ් එකක් ඉන්නවා. ඔවුන් කියන්නේ ‘ප්‍රවේගය’ ලස්සනයි. සටන් තියෙනවා. ගීතමය ජවනිකා තියෙනවා. නැටුම් ජවනිකා තියෙනවා. ආදරය තියෙනවා කියලයි. අනෙක් එක මේ චිත්‍රපටය ඇතුළේ ප්‍රධාන චරිතය රඟපාන හේමාල් ගේ කතාව දිහා බැලුවාම ප්‍රේක්‍ෂකයාට හිතෙනවා ඔහුට අවසානයේ මේ සියලු දේ නැතිවෙයි කියලා. නමුත් මුල ඉඳලා හේමාල් ආදරය කරන බයිසිකලය ඔහුට නැති වෙන්නේ නෑ. ඔහුගේ පෙම්වතිය ඔහුට අහිමි වෙන්නෙත් නෑ. හේමාල්ගේ මව, පියා, නැගණිය ඔහුට නැති වෙන්නෙ නෑ. ආදරයට කළ නොහැක්කක් නෑ කියන එක ඉතාමත් කදිමට මේ චිත්‍රපටයෙන් විග්‍රහ කෙරෙනවා.

සිංහල සිනමාවේ වීරයා නැවත් ඉපදිලා කියලා බොහෝ දෙනා කියනවා. එහි ගරුත්වය මම හිතන්නේ ඔබටත් හිමිවිය යුතුයි?

ඔය ‘සුපිරි තරුව’ මීට ප්‍රථම ‘සුපර් සික්ස්’ චිත්‍රපටයේ රඟපෑවා. මම ‘ප්‍රවේගය’ රූගත කරනකොට කිව්වා ‘උඹ තමයි සිනමාවේ මීළඟ සුපිර් තරුව’ කියලා. මොකද ඔහුට ඒ සුදුසු කම් සියල්ල තියෙනවා. උස තියෙනවා. නර්තන හැකියාව තියෙනවා. ෆයිටින් පුළුවන්. මේ හැම දේම ඔහුට තියෙනවා. විශාරද නන්දා මාලිනිය මට කිව්වා ‘හොඳ නළුවෙක් බිහි කරලා තියෙනවා’ කියලා ටඪතථ ඉබඥප ආකර්ෂණීය නළුවෙක්. අපේ සිනමාවේ තරු කඩා වැටිලා හිටියේ. දැන් අපට තරුවක් ඉන්නවා. ඒ තමයි හේමාල්.

සිංහල සිනමාව කඩා වැටිලා කියන යුගයක ‘ප්‍රවේගය’ට ලැබෙන මේ අසීමිත ප්‍රේක්‍ෂක ප්‍රතිචාර පිළිබඳ අධ්‍යක්‍ෂවරයා හැටියට මොනවද හිතෙන්නෙ?

අද සිනමාව අපේ ගෙදරට ඇවිත් තියෙන්නේ. ‘යූටියුබ්’ එකෙන්, අන්තර්ජාලයෙන් චිත්‍රපට නරඹනවා. ච්.ඍ.ච්. මඟින් නරඹනවා. ඔවුන් එතනින් මුදවාගෙන අපේ ප්‍රේක්‍ෂකාගාරය වෙත කැඳවා ගැනීමම ලොකු අභියෝගයක්. ඒ අභියෝගය ‘ප්‍රවේගය’ තුළින් අපට ජය ගන්නට හැකි වුණා. අපි එතනට යන්න ඕනෑ.

අධ්‍යක්‍ෂවරයකු වීම නිසා ඔබ පැරැණි වෘත්තියෙන් සමුගන්නවාද?

නෑ මම ආසයි අධ්‍යක්‍ෂවරයකුට වඩා සහාය අධ්‍යක්‍ෂවරයකු වශයෙන් වැඩ කරන්න. මොකද මම චිත්‍රපට පහක සහාය අධ්‍යක්‍ෂවරයා වුණොත් මට අධ්‍යක්‍ෂවරුන් පස් දෙනෙක් එක්ක වැඩ කරන්න පුළුවන්. එතකොට ඔවුන්ගේ අදහස්, මට ලබාගන්න පුළුවන්. ප්‍රවීණ, නවක කියලා බේදයක් මට නෑ. හැමෝගෙන්ම යමක් ලබා ගන්න පුළුවන්. ඒකට තමා මම කැමැති. දැනටමත් මට චිත්‍රපට පනහක සහාය අධ්‍යක්‍ෂවරයා වශයෙන් කටයුතු කරන්න අවස්ථාව උදාවෙලා තියෙනවා. නොමැරී හිටියොත් චිත්‍රපට සීයක සහාය අධ්‍යක්‍ෂවරයා වීම තමයි මගේ අභිප්‍රාය සහ සිහිනය.