වර්ෂ 2015 ක්වූ ජූලි 02 වැනිදා බ්‍රහස්පතින්දා




හද උතුරන සෝ දුක කියමි - හිමි පාමුල මම වැඳ වැටෙමි

හද උතුරන සෝ දුක කියමි - හිමි පාමුල මම වැඳ වැටෙමි

හේම ශ්‍රී ද අල්විස් - අයිරින් ද අල්විස්

අන්ත අසරණයි

 

ජනප්‍රිය ගායිකා අයිරින් ද අල්විස් ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයකු, ප්‍රවීණ ගීත රචකයකු වූ හේම ශ්‍රී ද අල්විස් අද අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා කියන ආරංචිය අපිට ලැබුණු නිසාම අපි ඔවුන් සොයා ගියේ 173, වලපල, පන්සල පාර, පාණදුර ලිපිනය සඳහන් නිවෙස සොයාගෙන. ලැබුණු ආරංචිය පරිදි අපේ දෑස්වලට දකින්නට ලැබුණේ අප ද බලාපොරොත්තු නොවූ අයිරින්, හේම ශ්‍රී යුවල පත් වී ඇති ඛේදනීය තත්ත්වයයි.

අයිරින් ද අල්විස්ගේ ජීවිතය ඇඳට සීමා වෙලාය. ඇයට කිසිවක් තනිව කර ගත නොහැකි තරමට ඈ රෝගී වෙලාය. ඇඳ මත උඩුකුරුව වැතිර සිටින ඇයගේ සියලු කටයුතු අද සිදු කරනුයේ ඇගේ සැමියා වූ හේම ශ්‍රී අතිනි.

අයිරින්ට වචන කිහිපයක් කෙඳිරි ගාමින් පවසනවා ඇරෙන්න වෙන කිසිවක් කළ නොහැකි තරමටම ඈ ඔත්පල වී හමාරය. ඇස් දෙක පවා නොපෙනෙන අත පය පවා සෙලවීමට බැරි තරමට රෝගී වී සිටින ඈ ඇඳ මත උඩු බැලි අතට වැතිර ගෙවා දමන ජීවිතය දකිනා කාට වුව ද අනේ අපොයි කියා කියවෙන සිතෙන සිතුවිල්ල නතර කළ නොහැකිය.

හේම ශ්‍රී හා අයිරින් අද ජීවත් වනුයේ ද කුලී ගෙයකය. එය ද වැස්සට තෙමෙන, වහලය දිරාපත් වූ ගෙයක කාමරයකය. මේ කාමරය පුරාවට ඇත්තේ නිදන ඇඳ හා පුංචි කබඩ් එකක් පමණි. ඉඳ ගැනීමට ප්ලාස්ටික් පුටු දෙකක් හැරෙන්නට වෙනත් කිසිත් ඔවුන් සතුව නැත.

අද ඔවුන් දෙපල පත්ව ඇති අන්ත අසරණ දුක්ඛදායි ජීවිතය ගැන කියනවාට වඩා එදා අයිරින් කියූ ගීත හේම ශ්‍රී අතින් ලියැවුණු ගීත හාර දහසකට වැඩි ප්‍රමාණය ගැන කියමින් ඒ ගැන පිටු ගණනක් ලිව්ව ද වැඩක් නැත. අද මේ යුවලට අවශ්‍යව ඇත්තේ බෙහෙත් ටික ගන්නට මුදල්ය. කුසගින්න නිවා ගන්නට ආහාර ටිකක්ය. හේම ශ්‍රී අතින් ලිය වූ ගීත රචනා අද කොතෙකුත් මාධ්‍ය ඔස්සේ අසෙනු ඇත. ඒ ගී පදවැල්වලට අත්පොඩි ගසා තාලෙ අල්ලන අතපය විසි කරමින් නටන කොතෙකුත් පිරිස් ඕනෑ තරම් ඇත. එදා හේම ශ්‍රී අතින් ලියවුණු ගීත රචනා ගායනා කරන එයින් ජනප්‍රිය වූ ගායක ගායිකාවන් කොතෙකුත් ඇත. ඒත් මේ හැමෝම අද හේම ශ්‍රීව අමතක කරලාය.

අප මේ යුවලගේ කඳුළු කතාව කියනවාට වඩා ඒ දෙන්නාගේම වචනයෙන් මේ දුක්බර ජීවිතය ගැන කියන්න ඉඩකඩ සලසා දෙමු.

ඒ දුක්බර ජීවිත කතාව කියන්න හේම ශ්‍රී අපිත් සමග එකතු වුණේ ඇස් දෙකේ කඳුළු පුරෝගෙන. 2006 වසරේ ඉඳල තමයි අයිරින් මේ විදියට ලෙඩ ඇඳට වැටුණේ. එදා ඉඳලා මේ වන විට අවුරුදු නමයක් ඇය මේ විදියට දුක්ඛ ජීවිතයක් ගත කරනවා. මට කරන්න පුළුවන් හැම ප්‍රතිකාරයක්ම කළා. ඒත් ඈට එයින් ගුණයක් ලැබුණේ නැහැ. අද වෙන කොට මම වචනයෙන් කියන්න බැරි තරමට අසරණ වෙලා ඉන්නේ. මෙයාගේ බේත් ටික ගන්න මාසෙකට රුපියල් හාර දහසක් විතර යනවා. ඒ මුදල මට හොයා ගන්න බැරිව මම විඳින දුක දන්නේ මම විතරයි.

කොහොමද අයිරින් එක පාරටම ලෙඩ වුණේ?

2006 වසරේ කටුනායක පැත්තේ උෂාන්ත ඩී. සිල්වා කියල කෙනෙක් අයිරින්ගේ සිංදු දාසයකට විෂුවල් වගයක් කළා. දවස් එකොළහක් පුරාවට මුන්නේෂ්වරම්, කුරුණෑගල, ගම්පල, නුවර ආදී ප්‍රදේශවල තමයි රූපගත කිරීම් සිද්ධ කළේ. මමත් ඇයත් එක්ක මේ දවස් එකොළහම හිටියා. සියලුම රූපගත කිරීම් ඉවර කරලා අපි මීගමුවට එන කොට එදා රෑ බෝ වුණ නිසා මගේ නංගි කෙනෙක්ගේ ගෙදර එදා රෑ නැවතුණා. පසුවදාට අපි කොළඹ එන්න හිතාගෙන එහෙ නතර වුණාට පහුවෙනිදා එක පාරටම අයිරින්ගේ ඇස් උඩ ගිහින් සිහි නැති වෙලා වැටුණා.

අපිට හිතාගන්නත් බැහැ මොකද මේ වුණේ කියලා. ළඟම තිබුණ මීගමුව මහ ඉස්පිරිතාලෙට අරන් ගියා. වෛද්‍යවරු පරීක්ෂා කරලා බලලා කිව්වා දියවැඩියාව, ප්‍රෙෂර් එක, කොලොස්ටරෝල් මේ හැම දෙයක්ම ඇයට තිබිලා තියෙනවා. ඒ සඳහා ප්‍රතිකාර නොගැනීම නිසා මේ තත්ත්වය ඇති වෙලා කියලා. එයත් මේ සිද්ධිය වෙලා දොස්තරලා කියනකන් ඇඟේ මෙහෙම ලෙඩ තිබුණා කියලාවත් එයා දැනගෙන ඉඳලා නැහැ. එදා ඉඳල ඇයට මේ ඉරණම අත්වුණා. සිංදුවක්වත් කියන්න බැරිව ගියා.

මෙයා මේ තත්ත්වයට පත් වුණ නිසාම මටත් මොනවත් කරගන්න යන්න බෑ. අඩුම තරමින් ගෙදරක කුලී වැඩක් හරි කරලා මෙයාට බේත් ටික ගන්න, බඩගින්න නිවා ගන්න කීයක් හරි හොයා ගන්න මට මේ ගෙදරින් යන්න විදියක් නැහැ. ගෙදරට කොටු වුණ නිසා අතේ තිබුණු සියලු මුදල් වියදම් වුණා. හම්බ කරගන්න කියලා කොහාටවත් යන්න බෑ. මෙයාව බලාගන්න වෙලා තියෙන්නේ මට. මම කාට හරි සිංදුවක් ලියල තමයි කීයක් හරි හොයා ගන්නේ. ඒකත් ලැබුණොත් විතරයි. කැනඩාවේ ඉන්නවා කීර්ති විජේවර්ධන කියලා මහත්තයෙක්. එයා එහෙ ඉඳලා මට කියලා ගීත රචනා ලියා ගන්නවා. ඒ ගී රචනාවලට එයා එහෙ ඉඳලා මගේ එකවුන්ට් එකට මුදලක් දානවා. ඒ ලැබුණ දෙයකින් අපි දෙන්න මොනව හරි දෙයක් කඩෙන් ගෙනත් කාලා ජීවත් වෙනවා. මෙයාගේ බෙහෙත්වලට විතරක් මාසෙට රුපියල් හාර දහසක් යනවා. ඉඳිආප්ප දෙකක් ආප්පයක් වගේ තමයි අයිරින් කෑමට ගන්නේ. සමහරදාට එයාට ඉඳිආප්පයක් අරන් දෙන්න මම ළඟ සල්ලි නැහැ. අපි දෙන්නම අනන්තවත් දවස දෙක කෑමක් නැතුව බඩගින්නේ ඉඳලා තියෙනවා. වතුර බිබී මෙයාට වුණත් මම කවන්න ඕනෑ. වතුර වුණත් සූප්පුවකින් පොවන්න ඕනෑ. හරියට පොඩි දරුවෙක් බලා ගන්නව වගේ බලා ගන්න ඕනෑ. අතපය පණ නෑ සැරෙන් සැරේ එහෙට මෙහෙට හරවන්න ඕනෑ. වේදනාවෙන් කෙඳිරි ගානවා එකම විදියට ඉඳලා. සමහරදාට මෙයාට දෙන්න කිරි පැකට් එකක් ගන්න මා ළඟ සල්ලි නැහැ.

මම කියලා කාගෙන් ඉල්ලන්නද? හැමදාම වුණත් මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලන්න පුළුවන්ද. කවුරු හරි අපේ දුක දැනිලා කීයක් හරි දුන්නොත් බේතක් හරි ගන්න කියලා ඒක තමයි ලැබෙන මුදල. සමහරදාට මම මෙයාට බේත් ටික දෙන්න නැතුව කර කියා ගන්න බැරි දවසක මම දන්න කියන අයට කතා කරනවා. එහෙම කියලා කීයක් හරි මගේ එකවුන්ට් නම්බරේට දාගෙන මෙයාට බේත් අරන් දෙනවා. ඒකත් මට හැමදාම කරන්න බැහැ. ලතා වල්පොල, වික්ටර් රත්නායක, ලයනල් මුල්ලේරියාව, සුජාතා අත්තනායක, ඇන්ජලින් ගුණතිලක, ශ්‍රීමතී තිලකරත්න, සුනිල් එදිරිසිංහ මේ විදියට මම බේත් ටික ගන්න සල්ලි ඉල්ලුවාම කීයක් හරි මගේ එකවුන්ට් එකට දාලා මට උදව් කරලා තියෙනවා. අදටත් මට කර කියා ගන්න දෙයක් නැතුව බේත් ටික ගන්න සල්ලි නැතිනම් ලතා වල්පොලට කතා කරලා ලතා අක්කේ බේත් ගන්නවත් සල්ලි නැහැ කිව්වාම ලතා අක්කා හිටපත් මම එකවුන්ට් එකට සල්ලි කීයක් හරි දාන්නම් කියලා මට මුදලක් දෙනවා. ඔය විදියට මම ඉල්ලුවාම දෙනවා කියලා හැමදාම කියන්න බෑ. ඒ මිනිස්සුත් අමාරුවෙන් ජීවත් වන උදවිය. අපේ තියෙන මිත්‍රකමට එහෙම හරි උදව්වක් කරන එක මහ පිනක්.

අපි දෙන්නා පත් වෙලා ඉන්න මේ අසරණභාවය ගැන කියලා ටවර්හෝල් රඟහල පදනමට පවා ලිව්වා. ඒ අය කියනවා ආධාර මුදලක් දෙන්න පුළුවන් වෙන්නේ එයාලා ආධාර දෙන කෙනෙක් මිය ගියොත්. ඒ ලිස්ට් එකට නම දාන්න පුළුවන්ලු එතකන් බෑ කියලා.

මම මේ අසරණකම ගැන කියලා ගිය රජයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාට පවා ලියුම් ලිව්වා. එතුමා කලාකාරයන්ට බොහොම ලෙන්ගතුයි කියලා කියන නිසා. මම කීප සැරයක් දැක්කා කලාකරුවන් හමු වෙලා එතුමා බොහොම සුහදශීලීව ඒ අයත් සමඟ ගත කරනවා. මමත් අපි දෙන්නාගේ දුක කියලා එතුමාට ලිපියක් ඇරියා. ජනාධිපතිතුමාගේ කලා කටයුතු සම්බන්ධිකාරක මට ලිපියක් එවනවා ඔබේ දුක්ගැනවිල්ල කෙටියෙන් ලියා එවන්න කියලා. මම ඉතිං ඒ විදියට ලියල ඇරියා. ඒත් අද වෙනකන් කෙටියෙන් ඉල්ලපු ලිපියට පිළිතුරුත් නැහැ. සුප්‍රියා අබේසේකරට, අවන්ති නේරංජනාට අයිරින් කිව්ව සිංදු කීපයක් වේදිකාවල ගායනා කරන්න අවසර දුන්නා. මොනවා කරන්නද ජීවත් වෙන්න බේත් ටික ගන්න හරි කීයක් හරි හොයා ගන්න හින්දයි එහෙම කළේ. අද ඒ ගීත තිබුණත් අයිරින්ට ගායනා කරන්නත් බැහැ.

මම බොහෝ පිරිසකට සිංදු ලියලා තියෙන්නේ නිකන්. සතයක්වත් අරන් නැහැ මම කළේ එහෙම. අද මම ලිව්ව මොන තරම් සිංදු සංඛ්‍යාවක් ජනප්‍රිය තලයේ තියෙනවාද. කොච්චර ගායක ගායිකාවන් මම ලිව්ව සිංදුවලින් හම්බ කර ගන්නවාද? ඒත් මම අද පත් වෙලා තියෙන අසරණ තත්ත්වය බලලවත් මට ඔය කවුරුවත් පිහිටට නොඑන එක තමයි මට තියෙන කණගාටුව.

මම එක සිද්ධියක් කියන්නම්. එක් ගායිකාවකට මම නිකම් සිංදු ලියලා දීලා තියෙනවා. මට යාළුවෙක් කිව්වා ඇයගේ දුරකතන අංකය දීලා කෝල් කරලා බලන්න ඇයගෙන් උදව්වක් ගන්න බැරි වෙන එකක් නැහැ කියලා. මම ඒ නිසාම බේත් ටික ගන්න හිතාගෙන ඇයට කතා කළා. විස්තරය කියන්නත් කලින් ඇය මට කිව්වා මොන කරදරයක්ද මම දන්නේ නැහැ කියලා ටෙලිෆෝන් එක තිබ්බා. අනේ ඉතිං මම එයාට නිකම් ලියල දුන්න සිංදුවලින් විතරක් අද වෙන කොට එයා මොන තරමක් හම්බ කරගෙනද? මේ අපි දෙන්න ලබා උපන් හැටි.

අද ඉන්න අලුත් පරපුරට එහෙම සිංදු ලියන්න එහෙම අදහසක් නැද්ද?

දැන් ඉන්න අයට ඕනෑ ආදරය මිසක් වෙන දෙයක් නෙමේ. ඒකත් අපි ලියන ආදරය නෙමේ. සමහරු තනුව අරන් එනවා සිංදුවක් ලියලා දෙන්න කියලා. මම වචන දැම්මට වැඩක් නෑ. එයාලට අල්ලන්නේ නැහැ. මම කියන්නේ ඕනෙම නම් මම ලියලා දෙන්නම්, ඔයාලා තනුව දාගන්න කියලා.

අද සුපර් ස්ටාර්ස්ලා බිහිවන යුගයක්නේ. හේම ශ්‍රී ගේ සිංදු මේ අය මොන තරම් කියලා කෝටි ගණනින් හම්බ කරලත් තියෙනවා නේද?

අනේ ඔව්. මම සතයක්වත් අරන් නැතුව ලිව්ව සිංදු මේ අය ගායනා කරලා ලක්ෂ ගණනින් අද මුදල් හොයනවා. මම අද දහදුක් විඳිනවා. මම අපූරු කතාවක් කියන්නම්. හලාවත පැත්තේ සිරස සුපර් ස්ටාර් තරගයේ දෙවැනියා වූ සුරේන්ද්‍ර පෙරේරා මම රචනා කළ එක්තරා ගීතයක් සී. ඩී. එකකට ගහල කියලා මට දුරකථනයෙන් කතා කරලා කිව්වේ ඒ ගීතය ගැයූ ගායකයාගේ පුතෙක්. ගීතයේ අයිතිය එයාගේ පුතා නිසා දැන් එයාටත් අයිතිය තියෙනවා. කොහොම හරි මේ ගායක පුතා කිව්වා අපි මේකට නීතිමය කටයුතු කරමු කියලා මාවත් අරගෙන කලල්ගොඩ පැත්තේ නීතිඥයෙක් හමුවෙන්න ගියා. නීතිඥයා කිව්වා මේ කේස් එක මම කතා කරනවා සතයක්වත් මට එපා, අපි ඉල්ලන වන්දිය ලැබුණොත් අපි තුන් දෙනා බෙදා ගමු කියලා. මමත් ඒකට කැමැති වුණා.

ඔය අතරේ සතියකින් විතර මට දුරකථන ඇමතුමක් ආවා සිරස ආයතනයෙන් අපි මේක ගොඩින් බේරගමු, අපි ඔයාට රුපියල් ලක්ෂයක් දෙන්නම් කියලා. මම කිව්වා ඒක මට කියලා හරි යන්නේ නැහැ අහවලාට කියන්න කියලා. ගායක පුතා ගැනත් අර නීතිඥයා ගැනත් මම සිරසට කිව්වා. අනේ ඒ කිව්වත් හරි අද වෙනකන් මට ඔය ගැන කවුරුවත් මොකුත් කියන්නේ නැහැ. නීතිඥයාත් මොකුත් කියන්නේ නැහැ. වැඩේ කෙරෙයි කියනවා. මම හිතන්නේ ඔවුන් නාළිකාවෙන් ගාණ අරන් හිමින් සැරේ මට කොලේ වහනවා. ඔන්න අසරණ මට ඒකෙනුත් වෙච්ච දේ.

ගුවන් විදුලියේ වුණත් අපේ ගීතයක් ගියා කියලා රුපියලක් විතර ලැබෙනවා. එක සැරයක් අවුරුදු පහලොවක් ගිහින් රුපියල් දෙසිය හැට පහක් ගන්න කියලා මට ලියුමක් ආවා. ඒ රුපියල් දෙසිය හැට පහ ගන්න මම අයිරින්ව කොළඹ අරන් යන්න ඕනෑ. ඒ යන්න තව රුපියල් දෙදාහක් විතර යනවා. මට තනියෙන් ගියාට ඒ මුදල ගන්න බෑ. අයිරින් අත්සන් කරන්න ඕනෑ. ඊට වැඩිය හොඳයි ඒව අතහැරලා දානවා.

එදා අයිරින්ට හේම ශ්‍රීට තිබුණ ඉල්ලුම සුළුපටු නැහැ නේද?

ඒක ඇත්ත. ප්‍රසංග වේදිකාවට එදා අයිරින් නැතුවම බැරි ගායිකාවක්. මොහිදින් බෙග් එයාගේ හැම ෂෝ එකකටම අයිරින්ව සම්බන්ධ කර ගත්තා. ඩේසි අක්කා (රුක්මණී දේවි) පුදුම විදියට අයිරින්ට ආදරය කළා. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්තයාත් එහෙමයි. මාව සුචරිතයට ගෙන්නවගෙන සිංදු ලියා ගත්තා. ලතා වල්පොල කියන ‘ශ්‍රී විභූෂිත ලංකා බැබලේ’ ගීතය මම ලිව්වේ. ප්‍රේමදාස මහත්තයාගේ ආරාධනයකට එදා මම මේ ගීතය ලියන්න සුචරිතයට එන කොට පී. එල්. ඒ. සෝමපාල, පැට්‍රික් දෙනිපිටියත් ඇවිත් හිටියා. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති වීම නිමිත්තෙන් තමයි මම ඒ ගීතය එදා රචනා කළේ. දැහැමින් ප්‍රේමෙන් කියලා මම මේ ගීතයේ වචන ටිකක් දාලා තියෙන්නේ ප්‍රේමදාස මහත්තයා ගැන සිහි කරලා. ඒ වගේ පක්ෂ භේදයෙන් තොරව කලාකාරයන්ට සලකපු පුද්ගලයෙක් තමයි ප්‍රේමදාස මහත්තයා.

අක්ෂි වෛද්‍ය නිමල් වීරකෝන් මහත්තයා තමයි මේ ඉඳගන්න ප්ලාස්ටික් පුටු හතර අරන් දුන්නේ. අයිරින්ව මම සතියකට සැරයක් නාවනවා. මට හැමදාම ඒ දේ කරන්න බැහැ. එයාව තනියෙන් උස්සල ගන්න මට වාරුවක් නෑ. එයාව එළියට ගන්න ඕනෑ වුණාම මම අහල පහල ගෙදරකට ගිහින් කාව හරි අඬ ගහගෙන එනවා. එහෙම නැත්නම් පාරේ යන ලොතරැයිකාරයා, පත්තරකාරයා නතර කරගෙන උදව්වක් ඉල්ලලා එයාව උස්සලා ගන්නවා. වෙන මොනවා කරන්නද. කඩේට කෑම ටික ගේන්න යන්නේ කාමරයේ ජනේල ඇරලා දොරට කම්බියක් දාලා අඩවල් කරලා. මම එහෙම කරන්නේ ගේ පාර අයිනේ නිසා හදිස්සියකදී හරි අයිරින් උදව්වක් ඉල්ලුවොත් කවුරුන් හෝ දකියි කියන අදහසින්. රෑට කාමරේට අඳුරු බල්බ් එකක් දාගන්නවා. ඒකත් එහෙම කර ගන්නේ ලයිට් බිල ඉතිරි කරන්න. මේ ලෙඩා නිදියන ඇඳේම මම අනික් පැත්තෙන් ඇලවෙලා රෑ ගෙවා ගන්නවා. වැස්සෙදි මුළු කාමරයම තෙමෙනවා. මට වහල හදාගන්න කම්කරුවෙකුට මුදලක් දෙන්න නෑ. හොඳම ගීත රචකයා කියලා මට ලැබුණ සම්මාන ටික දිහා බල බල මම සුසුම් අරිනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද?

අයිරින් ජීවිතයත් මරණයත් අතර අද අතරමංව ඇත. හේම ශ්‍රී තම බිරිය රැක ගැනීමට දහසකුත් කරදර මධ්‍යයේ ඇගේ තනි නොතනියට ඈ අසලට වී කල් ගෙවනු ඇත. මේ රටේ ගායක ගායිකාවන් කොතෙකුත් හේම ශ්‍රී ගේ ගී පද රචනා අද ගායනා කරනු ඇත. ඒ ගී පද වැල් මොන තරමක් අද ජනප්‍රිය වී තිබේද. අද ඔවුන් අසරණ වී ඇති මොහොතක මේ ගී පද වැල් ගයා දස දහස් ගණනින් හම්බ කරන ගායක ගායිකාවන්ට එක රුපියල් සියයක් හේම ශ්‍රී වෙනුවෙන් අයිරින් වෙනුවෙන් වැය කළ හැක්කේ නම් මේ දෙපල තව දිනක් හෝ සතුටින් ජීවත් වනු ඇත. ඔවුන් මියගිය පසු ඔවුන්ගේ ගී ගායනා, ගී රචනා ගැන වහසිබස් දෙඩෙව්වාට වැඩක් නැත.

0775822425, 038-5680233 දුරකථන අංකයන්ගෙන් හේම ශ්‍රීව සම්බන්ධ කර ගත හැකි වුණත් මේ අංකයට කතා කර අයිරින් අසනීිපයෙන් ද, මම එයාගේ රසිකයෙක්, මොනව කරන්නද ජීවිතේ කියලා ඇහුවට අපේ බඩ පිරෙන්නේ නැහැ. බේත් ටික ගන්න මුදලක් ලැබෙන්නේ නැහැ. කවුරුන් හෝ ඇවිත් බලලා අපේ දුකට පිහිට වෙනවා නම් ඒක තමයි අපිට ඕනෑ යනුවෙන් අපිට සමු දුන්නේ අනේ මම අද මේ ලෙඩාට බේත් ටික ගන්නේ, කඩෙන් කෑම ටිකක් ගෙනත් දෙන්නේ කාගෙන් පිහිටක් අරගෙන ද කියා කියමිනි.

හේමශ්‍රී ද අල්විස් විසින් ලියූ ගීයක් මගේ මතකයට ආවේ ඔය මොහොතේය.

‘මයුරාසන මත වැඩ හිඳිනා - කඳ සුරිඳුනි ඔද තෙද රඳනා
හද උතුරන සෝ දුක කියමි - හිමි පාමුල මම වැඳ වැටෙමි’