වර්ෂ 2015 ක්වූ ජූලි 02 වැනිදා බ්‍රහස්පතින්දා




රැකෙනු නැත්නම් තැවෙනු

රැකෙනු නැත්නම් තැවෙනු

මේ දවස්වල ලෝකය පුරා වඩාත්ම උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර දක්වන සිනමා කෘතිය වනුයේ ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටයයි. එක් සති අන්තයක ලොව වැඩිම ආදායමක් එනම් ඩොලර් මිලියන 500 ක ආදායමක් ඉපැයූ එම චිත්‍රපටය මාසයක් ගතවන්නට මත්තෙන් ලොව වැඩිම ආදායම ඉපැයූ චිත්‍රපට අතර 8 වන ස්ථානයට පත් විය. මේ වන විට එය ලැබූ ආදායම ඩොලර් බිලියන 1248 කි. නවීකරණය කරන ලද කුරුණෑගල ඉම්පීරියල් සිනමාහලේ එය තිරගත වනුයේ දිනකට එක් දර්ශනයක් පමණි. දින 18 ක් ඇතුළත ජුරාසික් වර්ල්ඩ් එම දර්ශන වාරයේදී පමණක් උපයා ඇති ආදායම රුපියල් මිලියන දෙක ඉක්ම වන වග වාර්තා වේ. ඒ එම සිනමාහලේදීම අපේ ගින්දරී චිත්‍රපටය මිලියන 5 ක ආදායමක් උපයද්දීය. ජුරාසික් වර්ල්ඩ් නරඹන්නට කුරුණෑගල ඉම්පීරියල් සිනමාහලට සුද්දන් ගොඩ වදින්නේ නැත. ඔවුහු සියල්ලම මෙරට ජීවත් වන්නන්ය. ජුරාසික් වර්ල්ඩ් මේ වන විට ලංකාවේ සිනමා ශාලා 12 ක ඉහෙන් බහින රෝගයක් නැතුව තිරගත වෙයි. මා ඉහෙන් බහින රෝගයක් ලෙස සඳහන් කරන ල්දදේ මෙයට විසි වසරකට පෙර ජුරාසික් පාක් චිත්‍රපටය මෙරට සිනමා ශාලා තුනක එකවර තිරගත වෙද්දී සිනමා කර්මාන්තයෙන් නැඟුන දැඩි විරෝධය මතක ඇති නිසාය. එම විරෝධය එදා ගොඩ නැඟීමට ප්‍රමුඛ වූ එක් අයකු නම් අභාවප්‍රාප්ත කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා මහත්තයාය. පෙරේරා මහතාගේ මතවාදවලට මගේ එකඟතාවයක් නොවිණ. මේ නිසාම ඇතැම් විට අප අතර වාද විවාද ද ඇතිවිණ.

එහෙත් මම හැමවිටම එතුමන්ට ගරු කළෙමි. එකක් එතුමන් වැඩිහිටියකු නිසාය. දෙවැන්න එතුමන් හැම විටම සිය මතය දරන ලද්දේ ඉතා අවංක හැඟීමෙන් බව මා විශ්වාස කළ බැවිනි. ඔහු සිනමාව සම්බන්ධව කටයුතු කරන ලද්දේ විශේෂ පෞද්ගලික බලාපොරොත්තු ඇතිව නොවේ. එමෙන්ම ඔහු පෙනී සිටි මතවාදයන් තමාට වාසිදායකව වෙනස් කරන්නට ගියේ ද නැත. අභාවප්‍රාප්ත යසපාලිත නානායක්කාරයන් ද අයත් වූයේ එම ඝණයටමය. කෙසේ වෙතත් ජුරාසික් පාක් තිරගත වන සමය වන විට සිනමා ශාලා කරා ප්‍රේක්ෂකයන් ඇදී ආවේ ඉඳහිටය. එය අකාමකා දමා සිනමා ශාලා ඇතුළත අලුත් ප්‍රබෝධයක් ගොඩ නැඟුවේ ජුරාසික් පාක් චිත්‍රපටයත් සමඟය. වර්තමානයේදී බොහෝ සිනමා ශාලා නව තාක්ෂණයත් සමඟ දිනකට ඇති දර්ශන වාර හතරට අලුත් චිත්‍රපට දෙකක් ප්‍රදර්ශනය කරති. සිංහල චිත්‍රපට සඳහා වෙන් වූ ප්‍රමුඛතම ශාලාව වන කොළඹ රීගල් සිනමාහල පවා අද රාත්‍රී 9.30 දර්ශනය තිරගත කරනුයේ වෙනත් චිත්‍රපටයකි.

වර්තමානයේ සිනමා ශාලාවකට ගොඩ වැදිය යුත්තේ තිරගත වන චිත්‍රපටය කුමක්දැයි විමසා පමණක් නොව එම චිත්‍රපටය තිරගත වන වේලාව ද නිවැරැදිව දැන ගැනීමෙන් පසුවය. චිත්‍රපට රීල් උස්සමින් ප්‍රක්ෂේපණ යන්ත්‍රය පුරවන යුගය හෙමිහිට අභාවයට යන බැවින් චිත්‍රපට දෙකක් නොව හතරක් දිව්වද ප්‍රක්ෂේපණ යන්ත්‍ර ක්‍රියාකරුට අමුතු මහන්සියක් නැත.

1972 වසරේ චිත්‍රපට සංස්ථාව බිහිවීමේදී එකල බොහෝ ශිල්පීන්ගේ එක් අරගලයක් වූයේ දේශීය චිත්‍රපට ප්‍රදර්ශන කාලය වැඩි කර ගැනීමය. එදා මෙන් නොව අද සිනමා ශාලා නැතත් චිත්‍රපට ප්‍රදර්ශනය කර ගත හැකි වග රහසක් නොවේ. පසුගිය සතියේ වාර්තා වූයේ සුනිල් ටී. ප්‍රනාන්දුගේ බොර දිය පොකුණ චිත්‍රපටය ඔහුගේම නිෂ්පාදනයක් ලෙස ඩී. වී. ඩී. වෙළෙඳපොලට නිකුත් කරන බවය. ප්‍රවීණ සිනමාවේදී චන්ද්‍රන් රත්නම් නිර්මාණය කරන ලද නවතම චිත්‍රපටය වන මේ වගේ ආදරයක් සිනමා ශාලාවලට නිකුත් නොකරම ඩයලොග් නාළිකාව ඔස්සේ තිරගත කරවන බව ද වාර්තා වේ. සුප්‍රකට චිත්‍රපට නිෂ්පාදක රාජ් රණසිංහ දැන් චිත්‍රපට තනන්නේ ඩී. වී. ඩී. වෙළෙඳපොලටය. එමෙන්ම විවිධ අන්තර්ජාල මුදාහැරීම්වලට ගොනු වී මුදල් උපයන සිංහල චිත්‍රපට ද එමටය. අපේ රටේ නොව ඕනෑම රටක සිනමා තිර කාලය චිත්‍රපට සඳහා අඩු වෙද්දී විකල්ප මාර්ග ලෙස ගොඩ නැඟෙනුයේ එවැනි ක්‍රමවේදයන්ය.

පසුගිය වකවානුව ඇතුළත මෙරට ඩී. වී. ඩී. වෙළෙඳපොල ප්‍රසාරණය වූ අන්දම පසුගිය ලිපි කිහිපයකදීම මම හෙළි කළෙමි. වර්තමානයේ මෙරට වෙළෙඳපොලෙහි හෝම් තියටර් යන්ත්‍ර යනු සුලබව අලෙවි වන භාණ්ඩයකි. එමඟින් එහි සිංහල චිත්‍රපට සඳහා ඇති ඩී. වී. ඩී. ඉල්ලුම දවසින් දවස ඉහළ යයි. මේ ඉල්ලුම නිසා දවසින් දෙකින් ගැලවුණු සිංහල චිත්‍රපටවලට පවා වඩා විශාල වෙළෙඳපොලක් ඩී. වී. ඩී. අලෙවියේදී ඇතිවිණ. දස වසරකට පෙර ඉතා හොඳ සිංහල චිත්‍රපටයක් ඩී. වී. ඩී. සඳහා මිළ දී ගනු ලද්දේ රුපියල් ලක්ෂ එක හමාරක උපරිමයකට යටත්වය. එහෙත් වර්තමානයේ තත්ත්වය එය නොවේ. ගැනුම්කරුවන් වැඩිවීම හා වෙළෙඳපොල පුළුල් විම සමඟ චිත්‍රපට සඳහා ඉහළ මිලක් ගෙවීමට ඩී. වී. ඩී. ව්‍යාපාරිකයෝ වග බලා ගත්හ. සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි හෝ වේවා ඩී. වී. ඩී. වෙළෙඳපොල යනු නිදා සිටින යෝධයෙක් වැන්න. එහි සතියකට අලෙවි වන චිත්‍රපට සංඛ්‍යාව මිනිය යුතු නැත. සෑම නගරයකම ඇති ඩී. වී. ඩී. අලෙවි මධ්‍යස්ථාන සහ ඒවායේ දෛනික පිරිවැටුම පමණක් ගණනය කිරීම පමණක් සෑහේ. එහෙත් පසුගිය දින කිහිපයේ පිටකොටුවේ ඩී. වී. ඩී. වෙළෙඳපොලට වටා සවාරියක යෙදුණු මට හැඟී යනුයේ මේ වෙළඳාම ඉතා ඉක්මනින් විශාල අර්බුදයකට මුහුණපෑමට ඉඩ ඇති බවය. පසුගිය කාලයේ ඩී. වී. ඩී. සඳහාම නිෂ්පාදනය වූ චිත්‍රපට සමූහයක් විය.

මේ අතරවාරයේ එය අභිබවා සිංහල චිත්‍රපට එම වෙළෙඳපොලට ඇතුළත් විය. මේ අතරවාරයේ වර්තමානයේ ඩී. වී. ඩී. නිෂ්පාදනය ජාවාරමක් බවට පත් වන බව පෙනේ. මෙරට ඩී. වී. ඩී. වෙළෙඳපොල පුරා ඇති චිත්‍රපට අතරින් සියයට අනූ නවයක්ම නීත්‍යානුකූලව වෙළෙඳපොලට පිවිසි චිත්‍රපට නොවේ. විශේෂයෙන් ආනයනික චිත්‍රපට සියල්ලම පාහේ නීති විරෝධී පිටපත්ය. චිත්‍රපට ආනයනය කර විශාල මුදල් වැය කොට සිනමාහලට ගෙන එද්දී ජාවාරම්කරුවන් එක රැයෙන් අන්තර් ජාලයෙන් බා ගන්නා චිත්‍රපට තැටියට නංවති. සාමාන්‍යයෙන් පසු කලෙක හොඳ ව්‍යාපාරිකයන් වූ බහුතරයගේ ඉතිහාසයේ මුල ජාවාරම්කරුවන් හැටියට පෙනීම සාමාන්‍ය කරුණකි. ජාවාරම සහ ව්‍යාපාරය යනු හැමවිටම දෙකකි. ව්‍යාපාරය නීත්‍යානුකූල හා ගෞරවනීය එකක් වන අතර ජාවාරම කූට හා වංචනික කටයුත්තකි. එහෙත් මේ ජාවාරම එයට වඩා වෙනස්ය. එනම් ජනප්‍රිය සිංහල චිත්‍රපට අනුකරණය කරමින්, ඒවයේ නමට සරිලන චිත්‍රපට තැනීමයි. කොටින්ම කිවහොත් සිංහල චිත්‍රපට රැසක නම් අනුකරණය කරමින් චිත්‍රපට නිපදවීමය. එය අපේ නිෂ්පාදකවරුන්ගේ පැත්තෙන් ගත් කළ මර උගුලකි. අනිත් අතට යහපත් චිත්‍රපට අපේක්ෂාවෙන් එය මිලයට ගන්නා රසිකයා ගසාකෑමකි. මහරජ අජාසත් චිත්‍රපටයේ නාමය අනුකරණය කරමින් ඩී. වී. ඩී. වෙළෙඳපොළට පිවිස ඇත්තේ මහරජ බිම්බිසාර පුත් අජාසත් නමිනි. පුදුමය නම් එහි රඟපෑමට අපේ සිනමාවේ නම් දැරූ ඇතැම් ශිල්පීන් ද සම්මාදම් වීමය. සෙනසුරු හතේ මාරුව, බොර දිය පොකුණේ ආශ්වාදය, දරුවනේ මගේ, මයි නේම් ඊස් බින්දු මේ අනුකරණ නාමයන් සහිත චිත්‍රපටයන්ය. එම ඩී. වී. ඩී. කවර පවා මුල් චිත්‍රපටය අනුකරණයන්ය. වර්තමානයේ ඩී. වී. ඩී. වෙළෙඳපොල නිර්බාධ වෙළෙඳපොලකි.

එයට ඇතුළත් වන්නට බාධාවක් නැත. තරුණ සිනමාකරුවකුට තම ආත්ම ප්‍රකාශනය ලෙස චිත්‍රපට නිපදවා වෙළෙඳපොලට ගෙන ඒමටත්, නැතහොත් වෙනත් වල්බූත එළියට දමන්නටත් එය කදිම ඉඩකඩකි. එහි වාරණයක් නැත. මෙබඳු වෙළෙඳපොලකට අනුකරණ නාම යොදමින් ක්ෂණික ලාභ සොයන්නට යාම සමස්ත නැඟී එන ව්‍යාපාරයකට ඉහඳ තැබීමකි. අසූව දශකයේ නැඟී එමින් තිබූ ලාංකික සිනමාව යළි උසුලාගත නොහැකි තරම් ඇද වැටුණේ ද බාල උපක්‍රම හේතුවෙනි. ඩී. වී. ඩී. ව්‍යාපාරය යනු නීත්‍යානුකූල මට්ටමෙන් මෙරට ගොඩ නැඟිය යුතු ඉතා ඉහළ ආදායම් ලැබිය හැකි ව්‍යාපාරයකි. රහසේ පිටපත් කිරීම් හා වංචනික පිටපත් එහි සුලභය. ඒ කිසිවක් අදාල ආයෝජකයන්ගේ සැළකිල්ලට හසු නොවී එයින් ලාභ උපයනවා යන්න සෙල්ලමක් නොවේ. එමෙන්ම මේ කර්මාන්තය විදෙස් මුදල් පවා ඉපැයීමෙහි සමත් එකකි. එහෙත් ප්‍රමිතියක් නැති ව්‍යාපෘතින් මේ සුරබිදෙනගේ ගෙළ සිඳවන්නට සමත්ය.

ලෝකයේ වඩාත්ම ප්‍රබලතම සිනමා කර්මාන්තයන් අතර නයිජීරියානු සිනමාවට ඇත්තේ තෙවැනි තැනය. පළමු ස්ථානය හොලිවුඩ් අත්පත් කර ගනිද්දී දෙවැනි තැන රැක ගනුයේ අසල්වැසි බොලිවුඩයයි. එහි තෙවැනි තැන අයත් වනුයේ නයිජීරියාවටය. නැතහොත් නොලිවුඩ් සිනමාවටය. 2013 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 10 ක ආදායමක් ඉපැයීමට සමත් වූ නොලිවුඩ් සිනමාව දීර්ඝ ඉතිහාසයක් ඇති සිනමාවක් නොවේ. ඔවුනගේ මුල්ම චිත්‍රපටය නිපද වනුයේ 1960 වසරේ පමණය. 1980 වන විට මෙම කර්මාන්තය පැවැතියේ ඇල්මැරුණු ස්වරූපයෙනි. 1992 වසරේදී ක්‍රිස් ඕබ් රාපුගේ ලිවිං ඉන් බොන්ඩේජ් චිත්‍රපටය සමඟ රට පුරා පැතිර ගිය වීඩියෝ සිනමා කර්මාන්තය ලොව විශාලතම සිනමා කර්මාන්තයකට මුල පිරුවේය. එහි ආරම්භයේ තැනුණේ අවම පිරිවැය සහිත ඉතා බාල වර්ගයේ චිත්‍රපට වුවත් විසි වසරක් ගෙවෙන විට එම සිනමා කර්මාන්තය නවීන තාක්ෂණය සමග මුසුව ඉහළ නිෂ්පාදන සංඛ්‍යාවක් පමණක් නොව ඉහළ ආදායමක් ද උපයා ගැනීමට සමත් විය. මෙම සිනමා කර්මාන්තය මුළුමනින්ම යැපුණේ සිනමා ශාලා සංස්කෘතිය ඉවතලමිනි. අද අප්‍රිකානු මහාද්වීපයේ විශාලම සිනමා ව්‍යාපාරය නයිජීරියාවේ නොලිවුඩ් කර්මාන්තයයි. මෙරට සිනමා ශාලා කිහිපයක් නවීකරණය වෙමින් පැවතිය ද ලෝකය හා සැසඳීමේදී එය සීඝ්‍රගාමී ගමනක් නොවේ. සිනමා ශාලා සංස්කෘතිය යනු දැවැන්ත දෙයකි. ජුරාසික් වර්ල්ඩ් නිසි ලෙස රස විඳින්නට සිනමා ශාලා ඇවැසි වුව ද තවදුරටත් ලෝකයේ කිසිදු චිත්‍රපටයක් සිනමා ශාලා සංස්කෘතිය සඳහාම චිත්‍රපට තනන්නේ නැත.

තවදුරටත් ත්‍රිමාණ ටෙලිවිෂනයේ සිසාළ  (SURROUND)  ශබ්ද ක්‍රම සුඛෝපභෝගී භාණ්ඩ ලෙස ගණන් ගන්නේ ද නැත. ටෙලිවිෂනය යනු චිත්‍රපට නැරැඹීම සඳහා තැනූ මෙවලමක් ලෙස පටු අර්ථයෙන් සලකන්නේ ද නැත. සිනමා ශාලා නවීකරණය වන්නටත් එහි ආයෝජන මුදල පමණක් නොව එහි ඇති භූමියේ වටිනාකමට හිලව් වන්නට ආදායමක් උපයන්නටත් එම ශාලාවන් දිනෙන් දින අලුත් විය යුත්තේය. ලෝකය පුරා කවර හෝ රටක තිරගත වන චිත්‍රපටයක් පැය 24 ක් ඇතුළත ගමේ සිනමාහලේ තිරගත කරවීම අද පහසුය. නගරයේ අතිශය සාර්ථකම චිත්‍රපටය දැන් ඔබේ ගමටත් යන්න අද යල්පැන ගිය වෙළෙඳ දැන්වීමකි. එය එක් දවසින් ගමත් - නගරයත් යා කොට තිරගත කළ නොහැකි නම් චිත්‍රපටය යල්පැන යයි. එහිදී දේශීය නිෂ්පාදකවරුන් තම වෙළෙඳපොල පුළුල් කරමින් නව මාවත් සොයා ගනිද්දී සිනමා ශාලා ද අලුත් ප්‍රදර්ශන රටාවන් කරා යා යුතුය. සිනමා ශාලා ත්‍රිමාණ හා නවීන ශබ්ද ක්‍රම උපයෝගී කර ගනිද්දී චිත්‍රපට ප්‍රදර්ශනය පිළිබඳ සම්මතයන් කඩා බිඳ දමති. එදා දින සිය ගණන් පැල් බැඳගෙන දිව ගිය චිත්‍රපට අද කෙතරම් ඉහළ වැය ශීර්ෂයක් දැරුව ද, මාසයක් ඇතුළත ඉහළ ආදායම් උපයෝගී කර ගැනීමට ක්‍රමවේදයක් සැකසි ඇත. එකල ඉන්දියානු සිනමාව බොහෝ චිත්‍රපට ජුබිලි උත්සව පවත්වන ලද නමුත් වර්තමානයේ එබඳු දින ගණන් චිත්‍රපට ප්‍රදර්ශනය වන්නේ නැත. දින ගණන් ගතවෙද්දී ලොකු සිනමාහලෙන් කුඩා සිනමාහලටත් වඩා ජනාකීර්ණ වේලාවෙන් අතිරේක කාලයටත් ආදී වශයෙන් චිත්‍රපට ප්‍රදර්ශනය වෙනස් වේ. සය මසක් ඇතුළත චිත්‍රපටය ටෙලිවිෂනයේ විකාශය වේ. එබැවින් හැම විටම ශාලාව අලුත් චිත්‍රපටවලින් ද , ප්‍රේක්ෂකයන්ගෙන් ද පිරී ඇත්තේය. ටෙලිවිෂනය ද හැම විටම අලුත්ය.

විකල්ප වෙළෙඳපොලේ ඇති සාර්ථකත්වය වටහා ගන්නා නිෂ්පාදකවරු මේ අර්බුදය ගැන කියමින් හඬා නොවැටෙති. නූතන සිනමා ව්‍යාපාරය ජාවාරම් කිරීමෙන් කිලිටි නොකර ගැනීම එහි නියැලී පිරිසගේ වගකීමයි. මෙරට වීඩියෝ වෙළෙඳපොලේ නිර්මාතෘවරයකු වූ එක් අයකු වූ කුමාර කොතලාවල පසුගියදා පැවසූයේ වර්තමානයේ එහි බලවත් ගැටළු මතු වෙමින් පවතින වගය. මේ වෙළෙඳපොල ගොඩ නැඟීමට තරුණ නිෂ්පාදකවරයකු වන සුරංග ද අල්විස්, චමින්ද රණසිංහ මහත් කැපවීමක් කළේය. මේ කවරකු වුව ද එම ව්‍යාපාර අත තැබුවේ අභියෝග හඳුනාගෙන එය නූතන ව්‍යාපාර ලෝකයට සරිලන එකක් වගත් වටහා ගත් හෙයිනි. මෙම ව්‍යාපාරය ලාංකික සිනමාවේ අනාගතය තීරණය කරන මහා පොදු සාධකය බැව් මම විශ්වාස කරමි. එය කූට හා අනියම් ජාවාරම් හරහා බේරා ගැනීම වැදගත්ය. ඒ ඊළඟ ලාංකික පරම්පරාවේ ප්‍රකාශන මාධ්‍ය ගෘහස්ථ සිනමාව බැව් ඉඳුරාම කිව හැකි හෙයිනි. එබැවින් රැකෙනු නැත්නම් තැවෙනු.