වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




එදා හඳමයි අදත් යෞවනයේ

එදා හඳමයි අදත් යෞවනයේ

සිනමා පත්තරකරයකු, නළුවකු හෝ නිළියකගේ වයස මාධ්‍යයට හෙළි කිරිම අවදානම් වැඩකි. බොහෝ නළු නිළියන් තම වයස, බාහිර ලෝකයෙන් වසං කරන්නට නිරතුරු උත්සාහ දරනා බැවින් එවන් හෙළිදරව්වකින් සිදුවන්නේ ඔවුනගේ සායම සේදී යාමය. එහෙත් නළු, නිළියන්ගේ වාසනාවට මෙන් අතීතයේ පටන් පත්තරකාරයන් අතර එබඳු සම්ප්‍රදායක් පැවත එන්නේ නැත. එහෙයින් සිනමා ලොවේ බොහෝ රහස් මෙන්ම නළු නිළියන්ගේ සැබෑ වයස ද පොදු ජනතාවට සදාකාලික රහසකි.

ප්‍රවීණ ගීත රචක ලූෂන් බුලත්සිංහලයන්ට මේ 30 වැනිදාට වයස අවුරුදු හැත්තෑ තුනක් සපිරේ. ඔහු ද නළුවෙක් වුවත් එය සැඟවීමට කරුණක් නොවන්නේ ලූෂන් නමැති ගීත රචකයාට වයස පිළිබඳ ප්‍රශ්නයක් නොමැති නිසාවෙනි.

ලූෂන්ට 73 වැනි විය සපිරෙන විට ඔහුගේ කලා දිවියට අඩ සිය වසකි. ඒ නිමිත්තෙන් ඔහුට බුහුමන් පිදෙන ප්‍රසංගයක් 'අනේ පුංචි කාලිදාස' නමින් මේ 30 වැනිදා සවස 7.00 ට මරදාන ටවර් රඟහලේදී පැවැත්වේ.

ලූෂන් නිර්මාණය කරන ලද 'තාරාවෝ ඉගිළෙති', 'රතු හැට්ටකාරි' නාට්‍යය ගීත ප්‍රාසාංගිකව ඉදිරිපත් කෙරෙන මෙම සුවිශේෂී ප්‍රසංගයේදී ඔහු විසින් රචිත විශිෂ්ට ගීතාවලියක් ද සජීවීව රස විඳීමට සහෘදයාට ඉඩ හසර විවර වේ. 'අනේ පුංචි කාලිදාස' බුහුමන් ප්‍රසංගය සංවිධානය කරනු ලබන්නේ ලූෂන්ගේ දයාබර පුත් හර්ෂ බුලත්සිංහල ඇතුළු තරුණ නාට්‍යය කණ්ඩායමයි. තමන් විසින්ම උපහාර උළෙලවල් සංවිධානය කර ගන්නා කලාකරුවන් සිටිනා රටේ ලූෂන් මේ ප්‍රසංගයේදී සිදුවෙන කිසිවක් දන්නේ නැත. ඒ පිළිබඳ විශේෂ අවධානයක් ද ඔහුට නැත. ඒ ලූෂන්ගේ හැටිය.

ලූෂන් සිය මුල්ම ගුවන් විදුලි සරල ගීතය රචනා කළේ හැටේ දසකයේ අග භාගයේය. 'සීත පෙරෙන දුරුතු රැයේ' නමැති එම ගීතය ගැයුවේ ඉන්ද්‍රා කුමාරි විජේරත්නය. පේරාදෙණිය ලංකා විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබමින් එකල ඔහු එම්. ජී. සුගතදාස නමැති සංගීත ගුරුවරයකු යටතේ බටනලා වාදනය හැදෑරූ බව බොහෝ දෙනකු දන්නේ නැත. කෙසේ වුව ද ලූෂන්ගේ මුල්ම ජනප්‍රිය සරල ගීය වූයේ සුජාතා අත්තනායක ගැයූ 'සඳ බැස නෑ වෙසක් සඳ'ය. ඒ වන විට ලූෂන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිවේදක වරම් ලැබ සිටියේය.

සිය ගීත රචනා කලාවට බෙහෙවින්ම බලපෑ ගීත රචකයන් වූයේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ සහ මහගම සේකර බව ලූෂන් කිහිප වරක්ම ප්‍රකාශ කර තිබේ. මානවසිංහයන්ගේ මටසිලිටි, සෞන්දර්යාත්මක බස් වහරත්, සේකරයන්ගේ සමාජ යථාර්ථවාදී දැක්මත් ලූෂන්ගේ ගී පදවැල්වලට සවිඥානක පූර්වාදර්ශයක් වූ බව ඔහුගේ ගී නිර්මාණ පිරික්සා බැලීමේදී අපට ගම්‍යමාන වේ. ලූෂන්ගේ ගී පදවැල්වලට බොහෝ සෙයින් වස්තු විෂය වූයේ ගැමි සුන්දරත්වය හා දිළිඳු බවය.

මම ඉපදී හැදී වැඩුණේ රත්මලාන ප්‍රදේශයේ. එදා එහි අපමණ ගැමි සුන්දරත්වයක්, ජීවන පැවැත්මක් තිබුණා. ඒ වටපිටාව තමයි මගේ ගී නිර්මාණවල උල්පත වුණේ. එහෙම නැතිව මම හද්දා පිටිසර අමු ගැමියෙක් නෙවේ. ඒත් අද අපි දකින රත්මලානට වඩා ඉතා සන්සුන්, නාගරීකරණයෙන් ඔද්දල් නොවූ පරිසරයක් එදා එහි තිබුණා.

ලූෂන් මා හා එසේ පවසන්නේ අව්‍යාජ සිනාවක් මුවගට නඟා ගනිමිනි. සැබැවින්ම ඒ අව්‍යාජත්වය ඔහුගේ නිර්මාණවල පමණක් නොව සමස්ත දිවිය පුරාවටම දක්නට ලැබෙන්නකි.
 

'පිනිබර යාමේ සැවුළන් හඬලනවා

අම්මා වටකර ලිප ගිනි මැලවෙනවා

කොළඹ රේල්ලුව රජ ගමනට එනවා

නැගිටින් පුතුනේ බිම් මල් හිනැහෙනවා...'

වික්ටර් රත්නායකයන් සංගීතවත් කළ සුනිල් එදිරිසිංහ ගයන මතු ගීතයෙන් දැක්වෙන්නේ ලූෂන්ගේම පුංචි සන්ධියේ ජීවන අත්දැකීමකි. එමෙන්ම නන්දා මාලිනී ගයන 'පිපුනු මලේ රුව', වික්ටර් රත්නායක ගයන 'අම්මා නැති මට', මාලිනී බුලත්සිංහල ගයන 'රජ මැදුරක' වැනි ගීත දරිද්‍රතාවයේ පතුලේ ගිළී සිටි ලූෂන්ගේ කටුක එහෙත් සුන්දර ළමා වියේ ජීවන අත්දැකීම් ඇසුරින් ලියැවුණ ගී පදවැල්ය.

පද රචකයා කවියෙකි. හැම ගීතයක්ම කවියක් විය යුතුය. එබැවින් ගීතයක එන හැම වැකියක්ම කාව්‍යෝක්තියක් විය යුතුය. කවි සිතිවිල්ලක් උපදින්නේ සසල හදවතක් ඇත්තකුගේ සිත්හි පමණකි. 'නැති බැරිකම මුතු මාල හතක් වී කඩුල්ල පැන එයි නුඹ අත කරලන දා' යන සිතිවිල්ල උපදින්නේ තමා අවට ලෝකය සියුම්ව අවබෝධ කොට ගත හැකි සිතක පමණකි.

'පිපුණු මලේ රුව' ගීත සංග්‍රහයට 'කලාත්මක සන්නිවේදනය' මැයෙන් පෙරවදන ලියන මහාචාර්ය ජේ. බී. දිසානායකයන් එම ශාස්ත්‍රීය ලිපියේ තැනෙක ලූෂන්ගේ දුලබ නිර්මාණ ප්‍රතිභාව විග්‍රහ කරනුයේ එලෙසිනි. සමකාලීන විශිෂ්ට ගේය පද රචකයන් අතරින් උපමා, රූපක, කාව්‍යෝක්ති ඉතාමත් බහුලව හා මැනැවින් යොදා ගත් ප්‍රබන්ධකයා ලූෂන් බුලත්සිංහල බව මාගේ විශ්වාසයයි.

විශාරද මාලිනී බුලත්සිංහලගේ ගීත රැසක රචකයා වූයේ ලූෂන්ය. කාගේදෝ කෙප්පයකට මුළා වූ මා මුලදී සිතා සිටියේ ලූෂන් හා මාලිනී යනු අඹු සැමියන් කියාය. එය එසේ යැයි මා විශ්වාස කළේ දෙදෙනාම 'බුලත්සිංහලලා' වූ බැවිනි. එහෙත් පසු කලෙක සත්‍යය අවබෝධ වී මම අතිශයින් ලැජ්ජාවට පත් වීමි.

එය වෙනම කතාවකි. නමුදු ලූෂන් - මාලිනී සුසංයෝගය හමුවේ අපේ ගීත ක්ෂේත්‍රයට අගනා, මියුරු ගීතාවලියක් එක් වූ බව මෙහිලා සඳහන් කළ යුතුය. 'රජ මැදුරක, සැන්දෑ අහස වගේ, අහසින් තරුවක්, පුන් පෝදා සඳ, යමුනා තීරේ' වැනි ගීත ඉන් කිහිපයකි.

ලූෂන් රචිත වඩාත්ම ජනප්‍රිය ගීතය ලෙස මා විශ්වාස කරන්නේ ගුණදාස කපුගේ හා මාලිනී බුලත්සිංහල ගයන 'දම් පාටින් ලා සඳ බැස යනවා' ගීතයයි. සුවහසක් පෙම් හදවත් ප්‍රේමයෙන් මෙන්ම අනුරාගයෙන් ද මුසපත් කළ එම ගීතය සවන්පත් වැකෙන විට ශ්‍රාවකයා තුළ ඇති වෙන්නේ අප්‍රමාණ පහන් සංවේගයකි.

අමරදේව - සේකර, වික්ටර් - ප්‍රේමකීර්ති සුසංයෝගය සේම ලූෂන් - කපුගේ නිර්මාණ එකමුතුව ද අපේ ගී ලොව මිණි පහනක් බඳු යැයි මට සිතේ. කපුගේ ගේ ගී මඟට වැඩි වටිනාකමක් එක් කළ ගී රචකයා ලූෂන් බුලත්සිංහල බව මහාචාර්ය සුචරිත ගම්ලත් ඔහුගේ 'සාහිත්‍ය විචාර හා මාක්ස්වාදී විකට රූප' කෘතියේ සඳහන් කර තිබුණා මට මතකය. 'සුභ ප්‍රාර්ථනා කියමන්' ලූෂන් කපුගේ වෙනුවෙන් ලියූ මුල්ම ගීයයි.

සිය ප්‍රකාශන මාධ්‍ය හරහා කෙතරම් ප්‍රබල සමාජ යථාර්ථයක් ගෙන හැර පෑවද ලූෂන් කිසි විටෙකත් ගීතය හුදු සටන් පාඨ ප්‍රකාශ කරන්නට හෝ සෞන්දර්යයෙන් ස්වායත්ත වූ නිර්මාණ බිහි කරලීම සඳහා හෝ යොදා ගත්තේ නැත. එහෙත් ඔහු කපුගේ වැනි ගායකයන් හරහා සමාජයේ දැවෙන ප්‍රශ්න අලළා ලියූ ගීත මඟින් සබුද්ධික සමාජ විවරණයකට මඟ පාදා ගත්තේය. ඔහු කපුගේ වෙනුවෙන් රචිත 'සුදු නැන්දා, තරුමල් යායම, බිංදු බිංදු තාරකා, මං මුලා වී, දෙතොල නොකී දේ, විළඳ කවා, ආං නගේ සල් අත්තේ (ඉන්ද්‍රාණි බෝගොඩ), මං හින්දා ඔබ (මාලිනී බුලත්සිංහල) වැනි ගීත අද ද රසික මතකයේ නිදන්ගතව ඇත. ලූෂන්ගේ 'තාරාවෝ ඉගිළෙති' නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂවරයා ද වූයේ කපුගේය. එහි මර්සි එදිරිසිංහ ගැයූ 'මඩේ ළඟින තාරාවන්' ගීතය ලූෂන්ගේ ගී පද රචනා කලාවේ උපමා, රූපක භාවිතයෙහි කදිම සංකේතයකි.

වේදිකා නාට්‍ය නිෂ්පාදකයකු මෙන්ම ලූෂන් වේදිකාව මත සිය රංගන කෞශල්‍යය විදහා දැක් වූ රංගවේදියකු ද වේ. 'අශෝකමාලා', 'වහලක් නැති ගෙයක්', 'දුන්න දුනුගමුවේ', 'හරිම බඩු හයක්' වැනි වේදිකා නාට්‍යය ඔහුගේ රංගනයෙන් ප්‍රභාමත් විය.

1967 වසරේදී රෙජී පෙරේරාගේ 'සැඩොල් කඳුළු' චිත්‍රපටයෙන් සිනමා රංගනයට අවතීර්ණ වූ ලූෂන් අනතුරුව වසන්ත ඔබේසේකරගේ 'වෙස් ගත්තෝ' චිත්‍රපටයේ ද කැපී පෙනෙන චරිතයක් නිරූපණය කළේය. 'චූඩා මානික්‍යය' චිත්‍රපටයේ ෆ්‍රෙඩ්රික් නැමකි මැණික් මංකොල්ලකරුවකු ලෙස ඔහු කරට කර රංගනයක් ඉදිරිපත් කළේ ප්‍රවීණ රංගවේදී රවීන්ද්‍ර රන්දෙණිය සමඟිනි. දඬුමොනර, හංස විලක්, ආරාධනා, සිටු දියණිය, කිරි කවඩි, සිරි මැදුර, මී හරකා, ගිනි අවි හා ගිනි කෙළි, ජුලියට්ගේ භූමිකාව, බහුභාර්යා වැනි චිත්‍රපටවලට ද ඔහු රංගනයෙන් දායක විය. ඔහුගේ විශිෂ්ටතම රංගනයක් දැක ගත හැක්කේ ඉදිරියේ තිරගත වීමට නියමිත 'හෝ ගාන පොකුණ' චිත්‍රපටයෙනි.

පරාක්‍රම නිරිඇල්ලගේ 'සිරි මැදුර' චිත්‍රපටයට ලූෂන් රචිත 'කන්‍යාවී' ගීතය සංගීතවත් කරනු ලැබුවේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ය. ගීතයේ සම්මත ආකෘතිය බිඳ හෙළමින් සිනමා ගීත කලාවේ විප්ලවීය වෙනසක් සිදු කළ එම ගීතය ලූෂන් සම්මානනීය ගීත රචකයකු බවට පත් කළේය. කේමදාසයන්ගේ 'දොරමඬලාව' ඔපෙරාවේ පිටපත රචනා කරමින් ලූෂන් සිය කලා දිවියේ වෙනත්ම ඉසව්වක් ස්පර්ශ කළේ ඔහුගේ විරල ප්‍රතිභා ශක්තිය දැයට විදහා පාමිනි.

ලූෂන් කිසි විටෙකත් මුදල් පසුපස හඹා ගිය කලාකරුවකු නොවේ. ඔහුම පවසන පරිදි බොහෝ ගී පදමාලා ඔහු රචනා කරනු ලැබ ඇත්තේ නොමිලයේය.

මගේ බොහෝ ගීත එක් එක් ගායක, ගායිකාවන්ගේ සරල ගී වැඩසටහන් වෙනුවෙන් ලියපුවා. ඒ කාලේ සරල ගී වැඩසටහනකට ශිල්පියෙකුට ගෙවන්නේ රුපියල් දෙසීයක් වගේ මුදලක්. ඒකෙන් ආයේ ගීත රචකයාට, සංගීතඥයාට දෙන්න දෙයක් ඉතුරු වෙනවාද? ඒ නිසා මම ලියූ ගුවන් විදුලි සරල ගීවලට මම කාගෙන්වත් මුදල් අරගෙන නෑ. ඒත් මම ළඟදී දැක්කා එක්තරා නව පරපුරේ ගීත රචකයෙක් කියා තිබෙනවා ඔහු ගීත ලියලා B.M.W  රථයක් මිලදී ගත්තා කියලා.

ලූෂන් එසේ පවසන්නේ සිනහා පිරි මුවිනි. එහි කිසියම් සෝපාහසයක් ගැබ්ව ඇත්දැයි මම විමසිලිමත් වෙමි. නමුදු මා ඉදිරියේ විවරව ඇත්තේ අවිහිංසක කලාකරුවකුගේ කුළුණුබර දෑස පමණය. මට ලූෂන් අයියාගේ එක්තරා ජනප්‍රිය ගීතයක් සිහියට නැඟේ.
 

'කොළොම්තොට නැත මහලු වී

අවන්හල නැත පැරැණි වී

එදා හඳමයි අදත් යෞවනයේ

එහෙත් අප දෙදෙනා

බලන් කැඩපත සොඳුරියේ . . .'

සැබැවින්ම ඔබ තවමත් අපේ ගීත රචනා කලාවේ යොවුන් සඳම යැයි මට සිතේ.