|
මිට නැති කුඩ + ජනශ්‍රැති = රවීන්ද්‍ර ආරියරත්න
‘බල්ලොත් එක්ක බෑ’, ‘චරිතෙ හොරු අරං’ වේදිකාවට සමීප කළ රවීන්ද්‍ර ආරියරත්න නැවත වරක් වේදිකාවට පිවිස ඇත. ඒ ‘මිට නැති කුඩ’ සමඟිනි. පසුගිය දිනවල එහි මංගල දර්ශනය වේදිකා ගතවුණු අතර ඒ පිළිබඳ රවීන්ද්‍ර ආරියරත්න සමඟ කළ කතාබහකි.
‘මිට නැති කුඩ’ නාට්‍යයත් නිර්මාණය වෙන්නේ හාස්‍ය මූලික කරගෙනද ? මා මෙතෙක් නිර්මාණය කළ ‘බල්ලොත් එක්ක බෑ’, ‘චරිතෙ හොරු අරං’ කියන නාට්‍ය දෙකටම වඩා වෙනස් නාට්‍යයක් තමයි ‘මිට නැති කුඩ’ කියන්නේ. මෙය නූතන සම්ප්‍රදාය හා ජන සම්ප්‍රදාය කියන සම්ප්‍රදායන් දෙකේ සංකලනයකින් නිර්මාණය වන්නක්. ජන ශ්‍රැතිය හා එහි අංග භාවිත කරගනිමිනුයි නාට්‍යයේ පදනම බිහි වන්නේ. ඒ ඔස්සේ නුතන නාට්‍ය විධිත් භාවිත වෙනවා. ‘මිට නැති කුඩ’ වැනි වෙනස්ම නිර්මාණයක් වේදිකාවට අරගෙන එන්නට ඔබ සිතුවේ ඔබගේ අනෙක් නිර්මාණවලට ලැබුණු චෝදනා ද? මෙහෙමයි මම නිතරම සිතන්නේ අපූරු දෙයක් කරන්නයි. ඒ කියන්නේ පෙර නොතිබුණු දෙයක් කරන්නයි. ‘බල්ලොත් එක්ක බෑ’ නාට්‍යයට ඒ ආකර්ෂණය ලැබෙන්නත් හේතුවුණේ මගේ මේ සිතුවිල්ලයි. ‘චරිතෙ හොරු අරං’ නාට්‍යයට කලින් නාට්‍යයටත් වඩා අය කැමැති වුණා. නමුත් ‘මිට නැති කුඩ’ නාට්‍යය ඔස්සේ ඒ පැමිණි ගමන්මග වෙනස් කරමින් එහි දිගුවක් නොවී වෙනස් ශෛලියක, වෙනස්ම නිර්මාණයක් ප්‍රේක්ෂකයන් වෙත රැගෙන එන්නයි මට උවමනා වුණේ. ඒ සඳහා ඔබට ජනශ්‍රැතියම තෝරා ගැනීමට විශේෂ හේතුවක් තියෙනව ද ? මගේ නිර්මාණය සඳහා ජනශ්‍රැතියම මා තෝරා ගන්නට සිතුවේ අපේ හද ගැස්ම රැඳීලා තිබෙන්නේ ජනශ්‍රැතියත් සමඟ වීම නිසයි. එවිට ඒ නිර්මාණ ජනතාව අතරට අරගෙන යන්න පහසුයි. අප කියන යම් දෙයක් ඔවුන්ට ප්‍රබල ලෙස දනවන්නටද තිබෙන ඉඩකඩ උපරිමයි. අනික් කාරණය ජනශ්‍රැතිය කියන්නේ නිධානයක් වගේ දෙයක්. ජන කතා, ජන නාට්‍ය, ජන ගී, තේරවිලි ආදී දේ නාට්‍යවල භාවිතාවට ගත්තේ අපි විතරක් නෙවෙයි. අපේ සරච්චන්ද්‍රයන්, දයානන්ද ගුණවර්ධනයන් වැනි නිර්මාණකරුවන් වුණත් ඔවුන්ගේ නිර්මාණවලට ඒවා භාවිත කළා. ඒ පදනමයි, නූතන මේ පදනමයි එකතු කරලා මා අලුත් වැඩක් කරන්න සිතුවා. එහෙම නැතිව ඔබට කරන සමහර චෝදනාවලින් හොඳ නාමය ගන්න නොවෙයි ? මට ඔය චෝදනා කරන බෝහෝ අය මගේ නාට්‍ය නරඹපු අයවත් නොවෙයි. මේ නිසා ඒ චෝදනාවලින් ඈත් වෙන්න සිතාගෙන මේ නාට්‍යය කරනවත් නොවෙයි. මගේ පශ්චාත් උපාධියට මා කරන්නේ ජන නාට්‍ය හා ජනශ්‍රැතිය පිළිබඳයි. ඒ ඔස්සේ කරන ලද පර්යේෂණ කටයුතුත් සමඟ ඇතිවුණු උනන්දුවත්, ඊට මගේ තිබෙන කැමැත්තත් මූලික කර ගැනීම නිසා මට දැනුනු දෙයක් තිබුණා. ඒ මේ ජනශ්‍රැතිය කියන්නේ අපට සමීපදෙයක් බවයි. එමෙන්ම හොඳ සංගීතමය නාට්‍යයක් කාලයකින් වේදිකාවට පැමිණියේ නොමැති වගත් මට හැඟී ගිය කාරණයක්. ඒ අඩුව පිරවීමටත් මට උවමනා වුණා. ඊට අමතරව සංගීතයට කැමැති, සංගීතය හැදෑරුව, සංගීතය විඳීන්න පුළුවන් කෙනෙකු විදියටත් මට සංගීතමය වැඩක් කරන්නටත් හැකියාවක් තිබෙන වගත් හැඟී ගියා. ඒ ශක්තිය මේ කටයුත්තට මා යොදා ගත්තා. වර්තමානය වනවිටත් ජනශ්‍රැතිය ආශ්‍රයෙන් නිර්මාණ කරණයේ යෙදෙන නිර්මාණකරුවන් රැසක් සිටිනවා. මේ බොහෝදෙනා එදා මෙන්ම අදටත් විවිධ පර්යේෂණවල නියැළෙනවා. ඉන් කියැවෙන්නේ මතුපිටින් අතපත ගා මේ නිර්මාණකරණයේ නියැළිය නොහැකි බවයි. ඒ දවස්වල පටන් මා මගේ ශාස්ත්‍රීය පර්යේෂණ කටයුතු සඳහා යොදා ගත්තේ ජනශ්‍රැතියයි. නිබන්ධනයක් කිරීමම සෑහෙන තරම් පර්යේෂණ කටයුත්තක්. ඒ ඔස්සේ මා බොහෝ දේ සොයා ගත්තා. ඒ මගින් තමයි මේ දක්වා පැමිණ ගමන්මග සටහන් වුණේ. ජනශ්‍රැතිය පිළිබඳ කතාබහ කරන විට හැඟෙන්නේ අප තවමත් එහිම සිරවී සිටින වග නොවේ ද? මගේ නිර්මාණය සඳහා මා යොදා ගනු ලබන්නේ ජන සම්ප්‍රදායේ සාරයයි. ඒ ගත් දේවලින් අත්තිවාරම නිර්මාණය කර ගනිමින් වර්තමාන සමාජයේ කථිකා සමඟ සංවර්ධනය වීමක් ‘ මිට නැති කුඩ’ මගින් දැකිය හැකියි. උදාහරණයක් විදියට ජනශ්‍රැතියේ දී භාවිත කරන බෙරය කියන වාද්‍ය භාණ්ඩය මගේ නිර්මාණයේ දී මා භාවිත කරන්නේ නැහැ. සංගීතය ගත්තත් නූතන ක්‍රමවේද සමඟයි තාක්ෂණය භාවිත කරන්නේ. ජනශ්‍රැතියේ හිර වෙන්න අපට අවශ්‍ය නැහැ. එදා තිබුණු බොහෝ දේ අද සමාජයේ රිද්මයට හරි නොයන්නත් පුළුවන්. එහෙම කියලා සජීව ආකාරයෙන් සංගීතය යොදා නොගන්නවා කියලා නොවෙයි මා මේ සඳහන් කළේ. මේ ජනශ්‍රැතියෙන් ඔබ්බට අපට යා නොහැක්කේ ඇයි ? නිර්මාණ කළ යුත්තේ පොළොවේ පය ගහලා. පොළොවේ පය ගහලා නිර්මාණ කරන්නට නම් අප ජනශ්‍රැතිය හැදෑරිය යුතුයි. අද බිහිවුණු හොඳ නිර්මාණ ගන්න ඒ සියල්ලේම ඇත්තේ අපේ ජනශ්‍රැතියයි. සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’, ‘සිංහබාහු’, දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘ගජමන් පුවත’, ‘නරිබෑනා’ වගේ නිර්මාණ අදටත් පවතින්නේ ඒ නිසා. ‘නරිබෑනා’ සංගීතය ගත්තොත් රබන් පද, සවුදම් තමයි වැඩිපුරම භාවිත කරන්නේ. ඒ වගක් නාට්‍යය බලද්දි අපට තේරෙන්නේ නැහැ. එවැනි ආකාරයට නිර්මාණශීලී අයුරින් මේ දේවල් නිර්මාණයකට යොදා ගන්න පුළුවන් නම් එයයි විය යුත්තේ. නමුත් ලෝකයේ නාට්‍ය කලාවත් සමඟ ගත්තොත් අපේ නාට්‍ය කලාව තියෙන්නේ තවමත් පසුගාමී අවධියක වගයි මට නම් හැඟෙන්නේ. තරුණ නාට්‍ය ශිල්පියෙක් විදියට ඔබ මේ කාරණය දකින්නේ කොහොමද ? නිර්මාණශීලිත්වය අතින් බැලුවොත් ලෝකයේ නාට්‍යකරුවන් හා සමකළ හැකි නාට්‍යකරුවන් රැසක් අපට ඉන්නවා. සරච්චන්ද්‍රයන්, දයානන්ද ගුණවර්ධනයන්, හෙන්රි ජයසේනයන් වගේ නිර්මාණකරුවන් ගත්තොත් ඔවුන්ගේ නිර්මාණ බොහොම විශිෂ්ටයි. අපට නැත්තේ තාක්ෂණය පමණයි. ඔපෙරා හවුස් ගිහින් බැලුවොත් එවැනි වේදිකා අපට නැහැ නේ. එහෙම තාක්ෂණයක් තියෙනවා නම් අපිත් එතැනට එනවා. එහෙම වුණත් අපට අද නාට්‍ය පෙන්වන්න වෙලා තියෙන්නේ කිසිම පහසුකමක් නැති පාසල් වේදිකාවක නේ. මේ නිසා ලෝක නාට්‍ය කලාවේ තියෙන කොලිටිය මේ වේදිකාවකට ගේන්න බැහැ. අද ලයනල් වෙන්ඩ්ට් රඟහල පමණයි තියටර් කොලිටිය තියෙන රඟහලක් ලෙස අපට තියෙන්නේ. තාක්ෂණය කියන්නේ එක් අංශයක් පමණයි නේ. නමුත් මට හැඟී ගිය දෙයක් කාරණයක් වුණේ අප තවමත් සිටින්නේ දෙබස් මූලික කරගත්, එකම ආකෘතියක හිරවුණු නිර්මාණ කලාවක නොවෙද යන්නයි? එනමුත් අද නාට්‍ය කියන්නේ විශ්වයටම අමතන භාෂාවක් බවට පත්වෙලා ? මේකට ප්‍රධාන හේතුව ලෙස මම දකින්නේ ඒ දියුණු රටවල තිබෙන නාට්‍ය සංස්කෘතියයි. ඒ වගේ නාට්‍ය සංස්කෘතියක් අපට ඇත්තේ නැහැ. තිබෙනවා නම් කොළඹ අවට පමණයි එවැනි ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් ඉන්නේ. සමහර වෙලාවට අපි ගිහින් නාට්‍යයක් පෙන්වද්දි ජීවිතයේ පළමු වරට නාට්‍යයක් බලන අයත් ඒ අතර ඉන්න පුළුවන්. ඒ වගේ අය ඕනෑතරම් මට මුණ ගැසිලා තියෙනවා. ඒ නිසා අපේ බොහෝ අය නාට්‍ය කියලා දකින්නේ රූපවාහිනියේ යන කසි කබල් ටෙලි නාට්‍ය පමණයි. අද වේදිකාව ගැන අවබෝධයක් නැති පිරිස් ඕනෑතම් ඉන්නවා. දුප්පත් ප්‍රේක්ෂාගාරයක් අපට තියෙන්නේ. එවැනි ප්‍රේක්ෂාගාරයකට අපි අර වගේ හරඹ කරන්නේ කොහොමද ? එහෙම නැතිව අපට දක්ෂ නාට්‍යකරුවන් නොමැති කම නොවෙයි. ‘මිට නැති කුඩ’වලට මෙවර සහභාගි වන රංගන ශිල්පීන් හා ශිල්පිනියන් කවුරුන් ද? හෂිනිකා කරලියැද්ද, සුනිල් තිලකරත්න, වික්‍රම සෙනෙවිරත්න, ප්‍රසාද් සූරියආරච්චි, ප්‍රේම කුමාර දහනායක, ප්‍රදීප් ඇරූගම, වීණාවි සුලක්ඛනා, චාමර රාජපක්ෂ කියන අයයි රංගනයෙන් දායක වෙන්නේ. සංගීතය සඳසිරි අධිකාරී. වේදිකා පරිපාලනය අශෝක ද සොයිසා සමඟ සුමේධ ප්‍රසන්න, අංග රචනය සහ වේදිකා පසුතල නිර්මාණය චාමර රාජපක්ෂ, රංගාලෝකය මිඳු මධුශංක සමඟ ශිරාන් නාලක, නිෂ්පාදනය සහ සංවිධානය සුගත් ජයසිංහ යන කියන නිර්මාණකරුවන් රැසක් සමඟයි මෙවර ‘මිට නැති කුඩ’ වේදිකා ගත වන්නේ. ඔබ මේ වේදිකා නාට්‍යය සඳහා මෙවර තෝරා ගෙන තිබෙන්නේ වෙනස්ම කණ්ඩායමක්. ඊට විශේෂ හේතුවක් තිබෙනවාද ? මගේ අනෙක් නාට්‍ය දෙක සඳහාම ඉන්නේ එකම කණ්ඩායමක්. ඔවුන් සියලුදෙනාම කාර්යබහුල ශිල්පීන්. ‘චරිතෙ හොරු අරං’ නාට්‍යයට දර්ශන ලබා ගැනීමට නොහැකි වුණේ මේ ශිල්පින්ගේ කාර්යබහුලත්වය නිසයි. ඔවුන්ම මේ නාට්‍යයටත් යොදා ගත්තොත් මේ නාට්‍යයත් දිගටම අරගෙන යන්න වෙන්නෙ නැහැ නේ. ඒ නිසයි වෙනත් වේදිකාවේ ඉන්න දක්ෂ පිරිසක් මේ සඳහා දායක කර ගත්තේ. සංගීතමය නාටකයක් ලෙස එහි සංගීතය පිළිබඳ නොවිමසුවොත් අඩුවක් ? මේ නාට්‍යයේ සංගීතයට ප්‍රධාන ස්ථානයක් හිමි වෙනවා. එහි සංගීතය අධ්‍යක්ෂණය කරන්නේ සඳසිරි අධිකාරී. ඔහු බොහොම දක්ෂ සංගීත අධ්‍යක්ෂවරයෙක්. ඔහුමයි මගේ ‘චරිතෙ හොරු අරං’ වේදිකා නාට්‍යයේත් සංගීතය අධ්‍යක්ෂණය කළේ. මේ කාලයේ නාට්‍යවලට සංගීතය අධ්‍යක්ෂණය කරන්න පුළුවන් අය ඉන්නේ අඩුවෙන්. මම එහෙම කියන්නේ නාට්‍යයකට සංගීත අධ්‍යක්ෂණය කිරීමේදී කරන්න තිබෙන කැප කිරීම අනුවයි. සංගීතය බහුල ලෙස යොදා ගැනෙන නාට්‍යයකදි සංගීත අධ්‍යක්ෂවරයා නිරන්තරයෙන් එහි රැඳී සිටිය යුතු වෙනවා. ඒ වගේම නාට්‍ය පිළිබඳත්, සංගීතය පිළිබඳත් මනා දැනුමක් ඔහු සතුවිය යුතුයි. එවැනි තරුණ සංගීත අධ්‍යක්ෂවරයෙක් තමයි සඳසිරි අධිකාරි කියන්නේ. මේ නිසා ඔහුත් සමඟ මට අපූරු කාර්යයක් අවසන් කරන්නට හැකි වූ බව මා සිතනවා. අද බොහෝ නාට්‍යවල සංගීතය විඳීන්නට ලැබෙන්නේ නව තාක්ෂණික අංග සමඟින්. ඔබගේ නිර්මාණයටත් මේ කාරණය පොදු ද? විශේෂයෙන් වේදිකා නාට්‍යයකදි සංගීතය කියන දෙය අනිවාර්යයෙන්ම සජීවව ඇසිය යුතු දෙයක් ලෙසයි මා දකින්නේ. මගේ නාට්‍යයේදීත් එහෙමයි සිදුවන්නේ. ඒත් එහෙම නැතිව තාක්ෂණය භාවිත කරන්න සිදු වන්නේ ප්‍රායෝගිකව ඇතිවන ගැටලු නිසා කියලයි මා නම් සිතන්නේ. ඒ වගේම මගේ නිර්මාණ කටයුතුවලදි උදව් කළ සියල්ලන්ටම ස්තූති කිරීමටත් මා මෙය අවස්ථාවක් කර ගැනීමටත් කැමැතියි.
|