වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




උස්තාද් ඩේවිඩ් පොඩි අප්පුහාමි සොයා ඉන්දියාවට ගිය ගමනක්

උස්තාද් ඩේවිඩ් පොඩි අප්පුහාමි සොයා ඉන්දියාවට ගිය ගමනක්

පසුගිය දිනෙක මා අතට පත් වූ සුවිශේෂ කෘතියක් විය. 'උස්තාද් ඩේවිඩ් - සංගීතයේ දෙවිඳුන් සොයා ගිය ගමන' එහි සඳහන් විය. රචනා කර තිබුණේ ප්‍රේමසිරි වැවේගෙදර විසිනි. එහි තවත් විශේෂත්වයකි. පොත සමඟ සංයුක්ත තැටියක් ද විය. මෙම කෘතියේ සඳහන් වූයේ උස්තාද් ඩේවිඩ් පොඩි අප්පුහාමි නම් සංගීතඥයෙකු සොයා ඉන්දියාවට ගිය ගමනයි.

'උස්තාද්' යනු ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම සංගීතඥයන් වෙත පිරිනැමෙන ඉහළතම ගෞරව නාමයයි. ඩේවිඩ් පොඩි අප්පුහාමි අපේ සිංහලයෙකි. උස්තාද් ඩේවිඩ් පොඩි අප්පුහාමි භාරතීය මහා සංගීතඥයන් අතර දැවැන්තයෙකි. එනම් උස්තාද් ඩේවිඩ් යනු භාරතීය සංගීත ක්ෂ්ත්‍රයේ ඉහළටම ගිය සිංහලයෙකි.

සියඹලාපිටියේ දොන් මිගෙල් අප්පුහාමි සහ එස්. ඩී. අගිදහාමිගේ පුත්‍රයෙකු ලෙසින් ඩේවිඩ් පොඩි අප්පුහාමි 1924 අගෝස්තු 22 වැනිදා උපත ලැබූයේ කුලියාපිටියේදීය. කුලියාපිටිය රෝමානු කතෝලික පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලද හෙතෙම කුලියාපිටිය ද්වි භාෂා මිශ්‍ර පාසලෙන් (වර්තමානයේ සුභාරතී කණිෂ්ඨ විද්‍යාලය) හා කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. ඩේවිඩ් එහි ප්‍රථම ප්‍රධාන ශිෂ්‍ය නායකයා ද විය. ඔහුගේ පළමු සංගීත ගුරුවරයා වූයේ පී. එම්. විජේසිංහය. සංගීතයට සුවිශේෂ හැකියාවක් තිබූ ඩේවිඩ් පොඩි අප්පුහාමි වැඩිදුර සංගීත අධ්‍යාපනය සඳහා ඉන්දියාව බලා පිටත් වන්නේ එඩ්වින් සමරදිවාකර සහ ටියුඩර් සුබසිංහගේ මඟ පෙන්වීමෙනි. අපේ ඩේවිඩ් ඉන්දියාවේ මහා සංගීතඥයෙකු වීමේ පළමු පියවර එය විය.

ඉන්දියාවේ ශාන්ති නිකේතන ආශ්‍රමයේදී සිතාර් වාදනය, තබ්ලා වාදනය, සරෝද් වාදනය සේම කථක් නැටුම් ද මනා ලෙස ප්‍රගුණ කරමින් උපාධි ලද්දේය. අවසන් පරීක්ෂණයේදී හොඳම ශිෂ්‍යයා ලෙසින් තාගෝර් අනුස්මරණ සම්මානය දිනා ගත්තේ ඔහු විසිනි. උස්තාද් අලව්දීන් ඛාන් එකල ඉන්දියාවේ සිටි මහා සංගීතඥයෙකි. ඔහු මයිහාර් ප්‍රාන්තයේ මහරාජා වූ භෛනාත් සිංට පවා සංගීතය උගැන්වූවෙකි. ඩේවිඩ් පොඩි අප්පුහාමි උස්තාද් අලව්දින් යටතේ වසර විසි දෙකක් පුරා සංගීතය හැදෑරූයේ සම්ප්‍රදායික ගුරුකුල ක්‍රමයටය. එනම් ගුරුවරයාට ඇප උපස්ථාන කරමින් ගුරුවරයාගේ සෙවනෙහි රැඳී සිටිමිනි. භාරතීය සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයන් බවට පත් වූ උස්තාද් අලි අක්බර් ඛාන් පණ්ඩිත් රවි ශංකර් ඩේවිඩ්ගේ සමකාලීනයන් විය. අලව්දීන්තුමාගේ දියණිය අණ්නා පූර්ණා ද සමකාලීන දක්ෂ ශිෂ්‍යාවක වූවාය.

අලහබාද් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හා ශාස්ත්‍රපති උපාධිය හැදෑරූ ඩේවිඩ් පොඩි අප්පුහාමි ආචාර්ය උපාධිය ද ලබා ගත්තේ Sounds Relation With Indian Melodies  නිබන්ධනය ඉදිරිපත් කිරීමෙනි. ඔහු උත්තර භාරතීය සංගීතයේ පරතෙරට පැමිණි විශිෂ්ඨයෙකු ලෙස පිළිගැනෙන්නේ ඔහුගේ සංගීත ඥානයෙනි. එසේ නොවූවෙකුට නව රාග තාල නිර්මාණය කළ නොහැකිය. උස්තාද් ඩේවිඩ් ඔහු විසූ මයිහාර් ප්‍රාන්තය නමින් රාගයක් සහ හේම්ගෝපිකා, දුර්ඝාවති නමින් තවත් රාග දෙකක් නිර්මාණය කළේ තම සංගීත ඥානය පතළ කරමිනි.

ග්වාලියර් සංගීත විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙසත්. බෝපාල් ගුවන් විදුලියේ සංගීත අංශයේ ශිල්පීන් වර්ග කිරීමේ විනිසුරුවරයා ලෙසත් සමස්ත ඉන්දීය ගුවන් විදුලියේ ප්‍රමුඛයෙක් ලෙසත් හෙතෙම කටයුතු කළේය. ඔහු ඕල් ඉන්දියා සම්මානය ඇතුළුව සම්මාන රාශියක් දිනා ගත්තෙකි. ඉන්දියානුවන් ඔහුට සළකන්නේ දෙවියන්ට මෙනි. එහෙත් ඔහු ලාංකිකයෙකි. ලංකාවේ එකම උස්තාද්වරයා ඔහුය.

උස්තාද් ඩේවිඩ් පොඩි අප්පුහාමි ගැන තොරතුරු සෙවීමේ උනන්දුවෙන් පසු වූ ඔහු නමින් ප්‍රේමසිරි වැවේගෙදරය. කුඩා කල සිටම වැවේගෙදරට සිනමා නිර්මාණ කිරිමේ වුවමනාව ද තිබිණි. ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ප්‍රාදේශීය වාර්තාකරුවෙකු ලෙස කටයුතු කළ ඔහු සිනමාවට සම්බන්ධ විවිධ පාඨමාලා හදාරන්නේ ද ඒ නිසාමය. උස්තාද් ඩේවිඩ් පොඩි අප්පුහාමි පිළිබඳ තොරතුරු සෙවීමේ පිපාසාවත් සිනමා නිර්මාණකරනයේ අධිෂ්ඨානයත් මල්ඵල ගැන්වීමේ අවසානය ලෙස උස්තාද් ඩේවිඩ් නම් කෘතිය හා වාර්තා චිත්‍රපටය එළි දකියි. මේ අපූරු තොරතුරු අපට හෙළි කළේ ආසියානු තොරතුරු කේන්ද්‍රයේ සභාපති ඈෂ්ලි රත්න විභූෂණයන්ය. ඔහුගේ මඟ පෙන්වීමෙන් ප්‍රේමසිරි වැවේගෙදර සරසවිය හමු විය.

* ඔබ කළ මේ නිර්මාණයන් ලෙහෙසියෙන් කෙනෙකු නොකරන්නට පෙළඹෙන නිර්මාණයන්?

බොහෝ දෙනා වාර්තා චිත්‍රපට නිර්මාණය කරනවා. ඒ වගේම පොත් ලියනවා. මේ කටයුත්ත එයින් වෙනස් වුණේ කවුරුවත් නොදන්න අපේ රටේ අප්‍රකට ඉන්දියාවේ මහා සංගීතඥයෙක් සොයා යාමයි. හරියටම ජීවත් වුණ ඉසව්වක් හෝ නොදැන සිටියත් එතුමාගේ මරණයේ ආරංචියට අනුව මම ඉන්දියාවට යාමට තීරණය කළේ එතුමා පිළිබඳ තොරතුරු අපේ රටට හෙළි කිරීමේ අදහසින්. මම එතුමා ගැන තොරතුරු දැන ගත්තේ අපේ ගෙදර තිබූ සමූහ ඡායාරූපයකින්. එතුමා සහ මගේ පියා ද්විභාෂා මිශ්‍ර පාසලේ සමකාලීනයන් වුණා.

* ඒ අනුව බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ඔබ ගමනට සූදානම් වුණා?

හරිහැටි ලිපිනයවත් නොමැතිව පුද්ගලයෙකුගේ තොරතුරු සොයාගෙන ඉන්දියාවට යන්න මම තීරණය කළා. අපේ රටෙන් ඉන්දියාවට ගොස් එහිදී උස්තාද්වරයෙකු ලෙසින් පිදුම් ලද ඩේවිඩ් පොඩි අප්පුහාමිගේ ජීවන තොරතුරු සොයා ගැනීම මගේ එකම බලාපොරොත්තුව වුණා. ඒ ගමන නම් මගේ ජීවිතයට කිසිදා අමතක නොවන අත්දකීම් රාශියක් එක් කළා. 1998 වසරේදියි එතුමා මියගිය පුවත අපට අසන්නට ලැබුණේ. මේ ගමන සූදානම් කළෙත් 98 දී. සුනිල් රණසිංහ නම් මගේ මිතුරාත් මේ ගමනට එක්වීම මට ශක්තියක්.

* ඒ ගමනේදී ලද අත්දැකීම්?

බොහොම දුෂ්කරතා රාශියක් මැද ගමන ගොනු වුණා. ගමන පටන් ගත්තු තැනම ගුවන් යානය වැරැදුණා. ඒත් අත හැරියේ නැහැ. වෙනත් සමාගමකට ටිකට් එක මාරු කරගෙන ගමන පිටත් වුණා. අපි ප්‍රථමයෙන් ගියේ එග්මෝර් පිහිටි මහාබෝධි සමාගමට. මයිහාර් බලා ගිය ගමනේ විදිසා සිට මයිහාර් දක්වා දුම්රිය ගමන මගේ ජීවිතයේ කිසිදා නොවිඳි දුෂ්කරතම අත්දැකීමක් මට ගෙන දුන්නා. මහාබෝධියේ වෙසෙන භික්ෂූන් වහන්සේලාගෙන් තමයි උස්තාද් ඩේවිඩ්තුමා මයිහාර් හි පදිංචිව සිටි බව දැන ගත්තේ.

දුම්රිය ස්ථානයෙන් පිටතට එන ජන ගංගාව දැක්කාම මේ තරම් මිනිසුන් කොහේ සිට එනවාදැයි මට හිතුණා. ඒ තරම් විශාල ජන ගංගාවක්. දුම්රිය පැමිණිය ද එයට ගොඩ වූ අපට ආසනයක් ලබා ගැනීම නම් දුෂ්කර වුණා. මැදිරියේ බිම පවා මිනිසුන් වාඩි වී සිටියා. බෑග් එක තියන්න තියා අපට කකුල් දෙකවත් තියා ගත්තේත් හරිම අපහසුවෙන්. ඒ මදිවට බර ගමන් මල්ලත් වරක වම් උර, දකුණු උර වගේම ඔළුව උඩත් තියාගෙන හිටියා. ටිකක් හරි ලෙහෙසියකට එතැන තිබුණු සින්ක් එක උඩින් තැබුවත් මිනිසුන් මුහුණ කට සෝදන්න එන විට එය පිටතට ගන්න සිදු වුණා. කොහොම හරි නිදි වර්ජිතව ගමන් මළු ද ඔසවාගෙන ගිය ගමනේදී එදින රාත්‍රී 10. 20 පමණ සිට පසු දින පෙරවරු 10.00 දක්වාම අතිශය දුෂ්කර වූ ගමනක යෙදෙන්නට අපට සිදු වුණා. එය මම මෙතෙක් විඳි දරුණුතම කායික වේදනාව කීවොත් වඩා නිවැරැදියි.

* ඒ වේදනාවේ කෙළවර?

ඒ වේදනාවේ කෙළවර අපේ නෙත් ගැටුණේ සත්කාර් ලොජ් නම් නවාතැන්පලයි. එය මේ ගමනේ සුභාරංචිය ගෙන එන ස්ථානය වේවි කියා මම හිතුවේ නැහැ. එහෙත් අප සුහදව පිළිගත් පිළිගැනීම් කවුන්ටරයේ රැඳී සිටි පුද්ගලයා අපේ තොරතුරු විමසා කී දෙයින් මම විශ්මයට පත් වුණා.

* ඒ ආරංචිය මොකක්ද?

කෙටි දුරකථන සංවාදයකින් පසු ඔහු අපට පැවසූ දෙය මට අදහා ගත නොහැකි වූ දෙයක්. මීට මාස හයකට පමණ මිය ගියේ යැයි සිතා සිටි උස්තාද් ඩේවිඩ් ජීවතුන් අතර සිටින බව කියවෙන සුභ ආරංචියයි. 'උස්තාද් ඩේවිඩ් තුමා මිය ගියේ නම් ඒක මධ්‍ය ප්‍රදේශයේ වැසියන්ට රහසක් වෙන්නේ නැහැ' ඔහු ඉතාම සුහදව ප්‍රකාශ කළා. එය දැනගත් මට ඇති වුණේ දරාගත නොහැකි සතුටක්.

* ජීවතුන් අතර නැතැයි සිතා තොරතරු සොයා එන්න ගිය ඔබට ඔහුව මුණගැසුනු විශ්මයජනක මොහොත?

එතුමා හමුවෙන කල් මම හිටියේ නොඉවසිල්ලෙන්. ඒක ඇත්තටම වචනයෙන් විස්තර කරන්නත් අමාරුයි. අපි එහි ගිය විට ප්‍රථමයෙන් එම නිවසේ දොර විවර කළේ තරුණයෙක්. අනතුරුව ඔහු අපට ගෙය තුළට ආරාධනා කළා. මිය ගියේ යැයි සිතා සිටි ඒ මහා සංගිතඥයා අපි ඉදිරියට පැමිනුණා. මට අදහ ගන්න බැරි වුණා. ලංකාවෙන්ද? එතුමා ප්‍රශ්න කළා. මම උත්තර දුන්නා ද නැද්ද කියලා මතක නැහැ. ඊළඟ පැනයට මගේ පිළිතුර වුණේ කුලියාපිටිය කියලයි. එකවරම එතුමා ඉදිරියට පැන අපව වැළඳ ගත්තේ කඳුළු සලමින්. මගේ නෑදෑයෝ ඇවිල්ලා යැයි උස් හඬින් එතුමා කෑගැසුවා. ඒ අවස්ථාව ගොඩක් සංවේදී වුණා.

එවැනි මහා සංගීතඥයෙකු සමඟ කතාබහ කරන්න ලැබීමත් වාසනාවක්. ශාන්ති නිකේතනයේදී ඉගෙන ගත් කාලය ගැනත් උස්තාද් අලව්දීන්තුමා ඇසුරේ අධ්‍යාපනය ලැබු අයුරුත් උස්තාද් ඩේවිඩ් තුමා අපත් සමඟ විස්තර කළා.

* උස්තාද් ඩේවිඩ් පොඩි අප්පුහාමි නම් සංගීතඥයා මොන වගේ පුද්ගලයෙක්ද?

එතුමා ඉන්දියාවේ ජනතාවගේ ගෞරවාදරයට පත් වූ සංගීතඥයෙක්. භාරතීය ජනතාව එතුමාව දේවත්වයෙන් සළකන්නේ. ඒ වුණත් එතුමා ඉතාම සරළ ජීවිතයක් ගෙවූ නිරහංකාර පුද්ගලයෙක්.

* අනතුරුව ඔබ එතුමා මෙරටට කැඳවා ගෙන එන්නත් කටයුතු යොදනවා?

එතුමා ඉන්දියාවේ ජීවත් වුණත් මව්බිම වූ ලංකාව වෙනුවෙන් අප්‍රමාණ ආදරයක් හිතේ තිබුණා. ඒ කාලයේ ගමනාගමනය හා සන්නිවේදනයේ අපහසුතා නිසා මව් රටෙන් දුරස් වුණත් ජීවිතයේ අවසාන කාලය ලංකාවේ ජීවත්වීම එතුමාගේ එකම බලාපොරොත්තුව වුණා. ඒ වගේම ලංකාවේ සංගීත හා නර්තන පාසලක් ආරම්භ කිරිමත් ප්‍රාර්ථනා අතර වුණා.

උස්තාද් ඩේවිඩ්තුමාගේ තොරතුරු සොයා ගිය ප්‍රථම ගමන යෙදුණේ 1998 දී. ආයෙමත් මම එහි ගියේ 2000 දී. ඒ ගමනේදී එතුමා අපේ රටට කැඳවාගෙන ඒමට කටයුතු යෙදුණත් අවාසනාවන්ත අයුරින් එය වැලකී ගියා. ඉන් පසුවත් නිරන්තරයෙන් මම එතුමා ගැන සොයා බලන්න අමතක කළේ නැහැ. 2002 වසරේ මැයි මස ගත් දුරකථන ඇමතුමකින් දැනගන්න ලැබුණේ ලංකාවේ එකම උස්තාද්වරයා අපේ ඩේවිඩ් පොඩි අප්පුහාමි නම් මහා සංගීතඥයා ජීවතුන් අතරින් සමුගත් පුවතයි.

* එතුමාගේ අභාවයෙන් වසර ගණනකට පසු මේ නිර්මාණ ජනතාව අතරට පත් වෙනවා?

ඇත්තටම ඒ ගමන දුෂ්කරයි. අපි ගියේ ජීවතුන් අතර නැතැයි කියූ පුද්ගලයෙකුගේ තෙරතුරු හොයා ගෙන. අවසානයේදී එතුමා අපට හමු වුණා. වැරැදි ආරංචිය වුණත් සිදු වුණේ හොඳ දෙයක්. ගමන ඉතාම දුෂ්කරයි. අපි ළඟ ගොඩක් සල්ලි තිබුණේ නැහැ. ණය වෙලා තමයි ගියේ. අපි දෙන්නම එක තේ එකක් බිව් අවස්ථා තිබුණා. වඩේ, තෝසේ, ඉටිලි, පරාට සුවඳ දැනුණත් කුසගින්නේ සිටි අවස්ථා දරා ගත්තේ සංවේදී නැති මිනිසුන් ලෙසින්.

2002 වසරේදී අපි ගියේ එතුමා කැඳවාගෙන එන බලාපොරොත්තුවෙන්. ඒ ගමනට එකල වෛද්‍ය විද්‍යාලයෙන් පිට වූ මිතුරෙකු වන ගාමිණී ජයසිංහ සොයුරාත් සම්බන්ධ වුණා. කෙසේ හෝ අවසානයේදී උස්තාද් ඩේවිඩ් වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම නම් ඉතාම අසීරු වුණා. දැඩි දුෂ්කරතා මධ්‍යයේ මේ සියල්ල ඉටු කළත් අවසානයේදී එළි දැක්වීම ඊටත් වඩා අසිරු වුණා. එලෙස සිටියදී තමයි රන්සිළු ආයතනයේ අධිපති රංජිත් ප්‍රේමලාල් මහතා යෝජනා කළේ ග්‍රන්ථයක් සමඟින් වීඩියෝ තැටිය එළිදැක්වීමට. ණය වෙලා හරි කළ දේ ගැන හිතේ තියන්නේ විශාල සතුටක්. මේ කාර්යයට දායක වූ හැමෝටම පිං. උස්තාද් ඩේවිඩ් තුමා සංගීතය වෙනුවෙන් කළේ විශාල සේවයක්. එතුමා අපේ රටේ පුද්ගලයෙක්. ඒ ගැන අපි ආඩම්බර වෙන්න ඕනෑ.