|
එදා තරු හැදුවේ අපි
සිනමාවේ ජ්‍යෙෂ්ඨතම කැමරා ශිල්පී වී. වාමදේවන්
සිංහල සිනමා ක්ෂේත්‍රය තුළ විශිෂ්ට සිනමා කැමරා ශිල්පියෙකු වු ඔහුගේ දස්කම් විස්කම් ගැන යළි යළිත් කීමට අටුවා ටීකා අවශ්‍ය නැත. එදා මෙදාතුර ඔහු සිය සිනමා කැමරාවට හසු කර ගත් රූප පෙලහරයන් එකිනෙක ඔහු ගැන යළි යළිත් සිහිපත් කරනුයේ සාක්ෂි සහිතවය. බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වූ ඔහුගේ සිනමා නිර්මාණයන් අතර අදත් විරාජමානව සිටින ඔහු අන් කවුරුත් නොව වී. වාමදේවන්ය. සිනමා ක්ෂේත්‍රය පුරාවට වාමා යන සුරතල් නාමයෙන් කා අතරත් සමීපතමයකු වී සිටින මේ සුන්දර කැමරා ශිල්පියා සමඟ කලකට පසු කතාබහට එක් වෙමු. * වී. වාමදේවන් අකුරු පෙළ කලකින් රිදී තිරයේ දකින්න ලැබුණේ නැහැ? දැනට අවුරුදු දෙකකට උඩදී ඉඳලා මම චිත්‍රපටයක් කළේ නැහැ. අන්තිමට මම කැමරා කළේ සූර්යා චිත්‍රපටය. තවම ඒක තිරගත වුණෙත් නැහැ. * දැන් ඔබ සිනමා ජීවිතයට සමුදීලද? කොහෙත්ම නැහැ. මට කවුරුවත් චිත්‍රපටයක් කරන්න කතා කළේ නැහැ. * මම හිතන්නේ ඔබ වගේ ප්‍රවීණයකුගේ මඟ පෙන්වීම අද අපේ සිනමාවට අවශ්‍යම වකවානුවක්? ඔබ ඔය කියන කතාව මම පදිංචි වෙලා ඉන්න ප්‍රදේශයේ මිනිස්සුත් කියනවා. මගේ ගෙදර කුණු ටික ගෙනි යන්න එන කම්කරුවත් කියනවා. ලයිට් මීටරය, වතුර බලන්න එන මනු කියවන්නාත් කියනවා. ගෙදරට ලියුම් ගේන පියුම් මහත්තයත් ඔය ටික කියනවා. * මොකක්ද අප්පේ ඔය හැමෝම ඔබට කියන දේ? වාමදේවන් මහත්තයෝ අනේ ගෙදර ඉන්නේ නැතුව අර ඉස්සර වගේ චිත්‍රපටයක් කරන්නකෝ, අන්න ඒවා තමයි පික්චර්. * ඒවා පික්චර් නම් ඇයි ඔබ නිහඬ? මම කැමරා ශිල්පියෙක්. මට චිත්‍රපට නිෂ්පාදකයෙක් ලැබෙනවා නම් මම ඕනෑ වෙලාවක රෙඩි. මට මේ විදියට කියන කොට වුණත් මම කියන්නේ ඔයාලගේ ඉල්ලීම මම එදාටත් වඩා හොඳට අද කරල දෙන්නම්. මට හොඳ නිෂ්පාදකයෙක් මුණ ගස්වන්නකෝ කියලා තමයි. * ඔබ චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ලයෙත් සාමාජිකයෙක් වුණා? ඔව්. මම දෙවතාවක් පසුගිය රජය සමයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කළා. * දෙවතාවක් අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කළත් අපේ සිනමාවේ උන්නතිය ගැන මොන වගේ සුබවාදී ආකල්පයකින් ද ඔබ කටයුතු කළේ? මම චිත්‍රපට සංස්ථාවේ ඒ ගෞරවනීය තනතුර භාර ගත්තේ අඳුරේ අතගාන්න නොවෙයි. මම කර්මාන්තයේ සුබසිද්ධිය වෙනුවෙන් ගන්නට යෙදුණු බොහෝ කරුණු කාරණවලදී අපේ සිනමාවේ අනාගතය ගැන හිතලා බොහෝ තීන්දු තීරණවලට හඬක් නගපු පුද්ගලයෙක්. එයින් එක් කාරණයක් තමයි අපේ සිනමා ශාලා ඩිජිටල්කරණය වීම සම් බන්ධ 2ම් 4ම් සිද්ධිය. * වී. වාමදේවන් දෙමළ සම්භවයක නමක්? ඔව්. වී. කියන්නේ වයිරමුත්තු. මම උපන්නේ 1935 යාපනයේ අච්චිවේලු ප්‍රදේශයේ. * මේ වෙන කොට ජීවිතයේ සුවිශේෂ කඩඉමක් ඔබ සපුරලා? මට පසුගිය විසි දෙවැනිදාට අවුරුදු අසූවක් පිරුණා. මේ වෙන කොට මගේ කලා ජීවිතයටත් අවුරුදු පනස් අටක් සපිරිලා. * සිනමාවට ඔබේ ප්‍රවිශ්ඨය කොයි ආකාරයෙන් ද සිද්ධ වුණේ? මට මතක හැටියට 1957 පමණ. එතකොට මට වයස අවුරුදු විසි දෙකක් විතර. මම කොළඹ ආවේ ඉන්දියාවට ගොස් සිනමා ශිල්පය ඉගෙන ගන්න. ඒ ආපු අවස්ථාවක මගේ ඥාතියකු මාර්ගයෙන් ඒ වෙන කොට ආරම්භ කර තිබූ ලංකා චිත්‍රාගාරයට මම සම්බන්ධ වුණා. ආධුනික කැමරා ශිල්පියෙකු ලෙසින් මම මුලින්ම සම්බන්ධ වුණේ ටී. සෝමසේකරන්ගේ දස්කම චිත්‍රපටයට. ඊට පස්සේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ වනලිය, කවට අන්දරේ, හදිසි විවාහය, ජීවිත පූජාව වගේ චිත්‍රපට කීපයකම සහාය කැමරා ශිල්පියා ලෙසින් කටයුතු කළා. ඊට පස්සේ මා සිනමාස් සමාගමේ විජය චිත්‍රාගාරයට එක් වුණා 1960 දී. * සිනමා කැමරාකරණයේ ඇසූ පීරූ තැන් සොයා යන්නට ඔබට අත්වැලක් වුණේ කවුද? ටී. වයි. එම්. සාමී, එම්. ඩී. සුමනසේකරගෙන් කැමරාකරණයේ ප්‍රාථමික අවබෝධය මම ලබා ගත්තා. දකුණු ඉන්දීය සුප්‍රකට කැමරා ශිල්පී එම්. මස්තාන්ගෙන් මා හට කැමරාකරණයේ බොහෝ දෑ ඉගෙනුමට ලොකු උපකාරයක් වුණා. * චිත්‍රපටයක කැමරාවක් මෙහෙය වූ මුල් අවස්ථාව අද ඔබට මතකද? මට මේ අවස්ථාව ලැබුණේ අහම්බෙන්. මගේ වෘත්තීය ජීවිතය නව මඟකට පෙරලුවේ ඔබ දුටු දා චිත්‍රපටයයි. මේ චිත්‍රපටයේ සහාය කැමරා ශිල්පියා වුණේ මම. ප්‍රධාන කැමරා ශිල්පියා වුණේ ලිනී ද කොස්තා. චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වුණේ ගාමිණී ෆොන්සේකා. චිත්‍රපටයේ අධ්‍යක්ෂ වුණේ ශිවානන්දන්. මොන යම් හේතුවක් නිසා හෝ කොස්තා එදා ෂූටින්වලට ආවේ නැහැ. ගාමිණී මට කතා කරලා කිව්වා වාමා අද තියෙන සීන්ස් ටික ෂූට් කරන්න කියලා. ශිවනන්දන්ට කිව්වා වාමා ඔය කාටත් වඩා හොඳයි කියලා. එදා මම මුලින්ම රූ ගැන්වූයේ ගාමිණි, ජීවරාණි ඉන්න ජවනිකාවක්. * ඔබ තනිව කැමරාව මෙහෙය වූ මුල්ම චිත්‍රපටය වූයේ? ගාමිණී ෆොන්සේකා ප්‍රධාන නළුවා ලෙස රඟපෑ සූර චෞරයා චිත්‍රපටය. ඒ ඇරැඹුමත් සමඟ ආත්ම පූජා, අට වැනි පුදුමය, උතුම් ස්ත්‍රිය, සූරයන්ගෙත් සූරයා, එදත් සූරයා අදත් සූරයා, හොඳම වෙලාව, කවුද රජා ආදී චිත්‍රපට රැසකම මම කැමරාව මෙහෙය වූවා. * ඔබේ මුල්ම වර්ණ චිත්‍රපටය වුණේ? මනික් සන්ද්‍රසාගරගේ රැම්පේජ් ඉංග්‍රීසි චිත්‍රපටයයි. මේ චිත්‍රපටයේ මගේ කැමරාකරණය විදේශීය විචාරකයන්ගේ පවා ප්‍රශංසාවට පත් වුණා. * සම්මානනීය චිත්‍රපට කැමරාකරුවකු ලෙසින් ඔබ අභිමානය පාත්‍ර වූ චිත්‍රපට කැමරාකරුවෙක්? ලංකාවේ පළවෙනි ජනාධිපති සම්මාන උළෙලේදී මට මුල්වරට ජනාධිපති සම්මානය හිමි වුණා. රැම්පේජ් චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන් එවක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා අතින් සම්මාන ලබා ගත්තා. * මේ වන විට චිත්‍රපට කෙපමණ ප්‍රමාණයක කැමරාව මෙහෙයවලා ඇද්ද? චිත්‍රපට හැත්තෑ පහක විතර. සමහර චිත්‍රපටවල කැමරා අධ්‍යක්ෂණයට මගේ නමත් නැතිව තියෙනවා. ඒ වගේ ඒවත් එකකු වෙන කොට චිත්‍රපට සීය පැනලා. * ඔබත් සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාත් අතර තිබුණු සමීප මිතුදම කොහොද ගොඩ නැඟුණේ? ගාමිණී මට කතා කළේ වාමා කියලා. එයා මම සහාය කැමරා ශිල්පියා වශයෙන් කටයුතු කරන කාලේ පටන් මගේ දක්ෂතා ගැන හොඳින් දැන සිටියා. මම සහාය කැමරා ශිල්පියා ලෙස වැඩ කළ ශ්‍රී 296 චිත්‍රපටයේ ගාමිණීගේ බිරිය වූ සුමිත්‍රා රඟපෑවා. ගාමිණී එදා චිත්‍රපට දර්ශන තලයට ආව ගියේ ඇයව හමුවන්න. ඒ ආපු අවස්ථාවල මම ගාමිණීට විහිළු කළා. අපි දෙන්නගේ දීර්ඝකාලීන මිතු දමේ ආරම්භය එතන. ගාමිණීගේ උතුමාණනි චිත්‍රපටයේ ඉඳලා ඔහුගේ සියලු චිත්‍රපටවල කැමරා අධ්‍යක්ෂ වුණේ මම. * ගාමිණී හා තිබෙන මිතු දම නිසාම ද ඔබ කැමරා අධ්‍යක්ෂණයෙන් චිත්‍රපට නිෂ්පාදනයට පිවිසෙන්නේ? මම නිෂ්පාදනය කළ එකම චිත්‍රපටය රෑ මනමාලි. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වුණේ ගාමිණී ෆොන්සේකා. ඔහු ඒ සඳහා කිසිදු මුදලක් මගෙන් ගත්තේ නැහැ. මගේ හෝටල් බිල පවා ගෙව්වේ ගාමිණී. ඒ තරම් සමීප සබඳතාවක් ඔහු හා මා තුළ තිබුණා. ගාමිණී අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතුරින් පරසතු මල්, අන්තිම රැය චිත්‍රපට දෙක හැරෙන්න අනික් සියල්ල මම තමයි කැමරා කළේ. * ප්‍රවීණ කැමරා ශිල්පියකු වගේම අධ්‍යක්ෂවරයකු වු ලෙනින් මොරායස් සිනමාවට හඳුන්වා දුන්නේ ඔබ? ලංකා චිත්‍රාගාරයේ ඉන්න කාලයේ මම දෙමළ වේදිකා නාට්‍යයක් බලන්න ගියා. ඒ නාට්‍යයේ වේෂ නිරූපණ ශිල්පියා වුණේ ලෙනින්. එහිදී මා ඔහුව හඳුනා ගත්තා. ලංකා චිත්‍රාගාරයට කැඳවාගෙන ආවා. මුලින් චිත්‍රපට කීපයක වේෂ නිරූපණ කටයුතු කළා. පසුව ඔහු කැමරාකරණය පිළිබඳ උනන්දු වුණා. කොහොම හරි ඔහු බොක්ස් ඔෆිස් වාර්තා තිබ්බ චිත්‍රපට අධ්‍යක්ෂණයත් කළා. මම ලෙනින් අධ්‍යක්ෂණය කළ සමහර චිත්‍රපටවල කැමරා අධ්‍යක්ෂ වුණා. * ඔබ නිර්භයව වගකීමකින් යුතුව කියන දෙයක් තමයි කැමරා ශිල්පියා තමයි සිනමාවේ ස්ටාර්ලා හදන්නේ කියලා? ඒක තමයි සත්‍ය. අපිට පුළුවන් නළුවො නිළියෝ හදන්නත් විනාශ කරන්නත්. අද ඔය තිරයේ ඉන්න තරු එදා හැදුවේ අපි. එක ලයිට් එකෙන් කැමරා කෝණයකින් පුළුවන් ඒ නළුවා නිළිය නග්ගන්න බස්සන්න. නළුවො නිළියෝ කළේ කියන දේ කරන එක. අපි කළේ රූප නිර්මාණයන් තුළින් ඒ අය උස්සල ගන්න එක. නළුවට, නිළියට හෝල් එකේ විසිල් පාර, චියස් එක දුන්නේ අපි. එදා මෙදා මම මගේ රූප නිර්මාණයෙන් කී දෙනෙකුට විසිල් පාර, චියස් එක දීල ඇද්ද? * සිනමාවේ සම්මානනීය ඇගැයුම් අතර ඔබ ගිලිහී ගිය පුද්ගලයෙක් වුණා කිව්වා නේද? මට ඒ අසාධාරණය සිද්ධ වුණා. මම හිතන්නේ එහෙම මට කළේ මම දෙමළ ජාතිකයෙන් වුණා නිසා කියලා. උතුමාණනි, කොටි වලිගය, බාඳුරා මල්, සාගරයක් මැද, රෑ මනමාලි මේ වගේ චිත්‍රපට රාශියක මට ලොකු අසාධාරණයක් සිද්ධ වුණා. සම්මාන දීමේදී විනිශ්චය මණ්ඩලයේ තීන්දු තීරණ කොහොම වුණත් ඒ අසාධාරණය කවුරුත් එළිපිටම කතා කළා. කොටි වලිගය චිත්‍රපටයට රඟපාපු හැම කෙනාටම එක එක අංශයෙන් සම්මාන ලැබෙනවා. හොඳම කැමරාකරණයට විතරක් නැහැ. ඔන්න බලන්න අසාධාරණය. මම කැමරාවෙන් දැක්ක මගේ රූප නිර්මාණයන් තමයි චිත්‍රපටයක් විදියට විනිශ්චය මණ්ඩලයත් බලන්නේ. ඒත් මම දෙමළ වුණ නිසා මට සම්මාන අකැපයි. ඒත් සරසවිය සම්මාන උළෙලකදී සිනමා කර්මාන්තය වෙනුවෙන් ජීවිතය කැප කළාට එකවරක් පිදෙන රණතිසර සම්මානය මට ලැබුණා. * චිත්‍රපට නිෂ්පාදකයෝ තමන්ගේ චිත්‍රපට භාගෙට නිර්මාණය කර තිබියදී ඔවුන්ගේ කැමරාකරුවන් ඉවත් කර ඔබ ලවා චිත්‍රපට කර ගත් අවස්ථා තිබුණා? එහෙම ඒවා ගොඩක් තිබුණා. ආත්ම පූජා චිත්‍රපටය මුලින් කැමරා කළේ ඒ. වී. එම්. වාසගම්. ඔහු ඉන්දියාවට ගොස් කැමරාකරණය හදාරලා ආපු කෙනෙක්. ඒත් ඔහුට ප්‍රායෝගික අත්දැකීම් තිබුණේ නැහැ. ඒ වන විටත් ඔහු චිත්‍රපටයේ අඩි එකළොස් දහසක් ෂූට් කරලා තිබියදීත් සිනමාස් සමාගමේ අධිපති කේ. ගුණරත්නම් වාසගම් ඉවත් කරලා මට ආත්ම පූජා කරන්න භාර දුන්නා. දුප්පතාගේ හිතවතා චිත්‍රපටයේ රඟපෑ බැප්ටිස්ට් ප්‍රනාන්දු චිත්‍රපටයේ චරිතයට හොඳ නැහැ කිය කියා හිටිය අධ්‍යක්ෂකට මම අභියෝග කොට මුල්ම කැමරා ෂොට් එකෙන් බැප්ටිස්ව හීරෝ කළේ මම. * ඔබේ කැමරාකරණයේ සහායකයා වුණේ කවුද? මගේ සහාය කැමරා ශිල්පියා ලෙස මාත් සමඟ උරෙන් උර ගැටුණේ දක්ෂ සහාය කැමරා ශිල්පියෙකු වූ ජී. ඒ. එච්. ජී. පෙරේරා. ඔහුගෙන් මට ලැබුණු සහාය මගේ රූප නිර්මාණයන්ට සුවිශේෂයි. * පවුලේ තොරතුරු කොහොමද? බිරිය සිත්තිමා, පුතා දර්ශන්, දුවලා තුන් දෙනා සිත්තිමා, තිමලන්, වාසුකී. මේ දරුවෝ හැමෝම අද විවාහකයි. හැබැයි කවුරුවත් නම් මම වගේ සිනමාවට සම්බන්ධ නම් නැහැ. * නිවසේ ලිපිනය වගේම දුරකතකන අංකය මතක් කළොත්? අංක 86, මුහන්දිරම් පාර, කොල්ලුපිටිය, කොළඹ 03. 077-6068254.
|