වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




ටෙලි නාට්‍යයට සහතික මිළක්

ටෙලි නාට්‍යයට සහතික මිළක්

පසුගිය කාලය ඇතුළත විකාශය වූ බොහෝ ටෙලි නාට්‍ය පුරුද්දක් ලෙස මා නැරැඹුවේ නැත. ප්‍රධානතම හේතුව කාල වේලාව පිළිබඳ ගැටළුවයි. රාජකාරි නිම කොට රාත්‍රියේ නිවසට එන විට ටෙලිවිෂන් යන්ත්‍ර මඟින් විකාශය වනු බොහෝ විට මා දුටුවේ ප්‍රේම යාදිනිය. පසුගිය සතියේ එක් දවසක අහම්බෙන් නෙත ගැටුණු එක් ටෙලි නාට්‍යයක බිත්තියේ ඇණ ගැසුවාක් මෙන් සිටි නළු නිළි යුවළක් කට පාඩම් කර ගත් දෙබස් පෙළක් වමාරමින් ප්‍රේම කරති. මේ රූප රාමු සඳහා අධ්‍යක්ෂවරයෙකු සිටියාදැයි මා දන්නේ නැත. එහෙත් මේ රටේ ටෙලි නාට්‍ය ලෙස විකාශය වන්නේ ඒවාද? එහෙත් අපේ ටෙලි නාට්‍ය ඉතිහාසය එතරම් දරුණුද? මේ ගැටළුව ක්ෂේත්‍රයේ තවමත් නිරත එක් ශිල්පියෙකුට මම පැවසීමි. ඔහුගේ පිළිතුර සරළය. දවසට සීන් 12 ක් ගන්න ඕනෑ. නැත්නම් විකුණන්න බෑ.

මෙරට ටෙලිවිෂන් ඉතිහාසයට දැන් අවුරුදු 36 කි. සුඛෝපභෝගි භාණ්ඩයක් ලෙස මෙරටට හඳුන්වා දෙනු ලැබූ ටෙලිවිෂනය මේ අවුරුදු 36 ඇතුළත සාමාන්‍ය ගෘහ භාණ්ඩයක් බවට පරිවර්තනය විය. නිකම්ම කළු සුදු යන්ත්‍රය අද ත්‍රිමාණ හෝ වක්‍ර වී ඇත්තේය. පසුගිය වසර 36 ඇතුළත උපන් බහුතරය ද ජීවිතය දුටුවේද ඔවුන්ගේ සංස්කෘතිය ගොඩ නැගුණේ ද ටෙලිවිෂන් සංස්කෘතියේ අනුමැතියෙනි. කොටින්ම ඔහු හෝ ඇය කෑවේ බීවේ ද විවාහ වූයේ ද ආගම ධර්මය ඇදහුවේ ද තව මෙකී නොකී දේ සිදු කළේ ද ටෙලිවිෂනය ඉගැන් වූ ආකාරයට විනා එයට පෙර දුටු ලෝකය අනුව සිතා නොවේ.

ටෙලිවිෂනයට වසර 36 ක් සපිරෙද්දී මෙරට මුල්ම ටෙලි නාට්‍ය නිර්මාණයට 32 වසර සපිරෙයි. ඒ පළමු ටෙලි වෘතාන්තය ලෙස සැළකෙන ඩී. බී. නිහාල්සිංහයන්ගේ දිමුතු මුතු විකාශය වූයේ 1983 වසෙර්ය. ටෙලි නාට්‍යය යනු අලුත් සංස්කෘතියක් ගොඩ නැඟූවකි. ඒ වන විටත් සිය ජීවිත කාලය ඇතුළත එකදු චිත්‍රපටයක් හෝ නැරැඹුවේ නැති අය මෙරට සිටිය ද ගත වූ තිස් දෙවසරක ඇතුළත ටෙලි නාට්‍යයක එක පරිච්ඡේදයක් හෝ නොදුටුවෙකු මෙරට නැත.

අපේ ටෙලි නාට්‍ය ඉතිහාසය, සිංහල කතානාද චිත්‍රපට ඉතිහාසයට වඩා ඉහළ ජන්මයක් සහිතය. එහි නිර්මාතෘවරුන් දකුණු ඉන්දියාවේ අප්‍රකට චිත්‍රාගාරයක ජීවත් වූ පුද්ගලයන් නොවේ. ලාංකික සිනමාවේ විශිෂ්ට පුරුෂයකු ලෙස සැලකෙන ඩී. බී. නිහාල්සිංහ සෙලියුලොයිඩ් පටය වෙනුවට මැග්නට් පටය යොදා කතා කීමේ කලාවේ පුරෝගාමියා විය. ඒ වන විට ලොව පුරා ටෙලි නාට්‍ය කතා නිර්මාණය වූයේ ද සෙලියුලොයිඩ් පටයේය. කොටින්ම රූපයේ කතා කීමේ කලාව උදෙසා සොලියුලොයිඩ් පටය අතහැර ඩිජිටල් රූගත කිරීමට පෙරාතුව මැග්නට් අන්තර්භවයකට පිවිසයේ මෙරට ටෙලි නාට්‍ය හරහාය. එමෙන්ම එහි මුල් යුගයේ නිර්මාණකරණයට දායක වූවන් අතර පරාක්‍රම නිරිඇල්ල, ධම්ම ජාගොඩ ආදී වූ නම් රාශියක් දැකිය හැක. ඔවුන් සියල්ලම ටෙලි නාට්‍යකරණය සඳහා පරදුවට තබන ලද්දේ ඒ වන විට වේදිකාවේ දී උපයා ගත් කීර්තිමත් නාමයයි. එමෙන්ම ඔවුහු මෙම නව මාධ්‍ය හරහා අපූර්ව වින්දනයක් මෙරට සහෘදයන්ට තිළිණ කළහ. මුල් යුගයේ ටෙලි නාට්‍ය නිර්මාණයට පිවිසි පුද්ගලයන් අතරට වේදිකාවෙන් හෝ සිනමාවෙන් ලද පරිචයකින් තොරව එයට එකතු වූයේ ජයම්පති විමලධර්ම නැමැත්තෙකු පමණකි.

මෙහිලා නම් සඳහන් නොකළ ද ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ පටන් සිනමාකරණයේ නියැලි විශිෂ්ටයන් රාශියක් මෙන්ම තරුණ පරම්පරාවක් ද මෙරට ටෙලි නාට්‍ය කලාව පෝෂණය කළහ. ඇතැම් තැනක ජනප්‍රියත්වයෙන් මෙන්ම නිර්මාණාත්මකභාවයෙන් ද ටෙලි නාට්‍ය නිර්මාණයන් සමකාලීන සිනමාව අභිබවා ගියහ. ටෙලිවිෂන් කලාව හරහා පෝෂණය ලද නිර්මාණාත්මක තරුණයන් පිරිසක් ද සිනමාවට අවතීර්ණ වූහ. ඒ අතර එක් අයෙක් වූයේ ජාතික රූපවාහිනී සංස්ථාවේ වත්මන් සභාපති ආචාර්ය සෝමරත්න දිසානායකය. මේ ලිපියේ අරමුණ මෙම ටෙලි නාට්‍ය කලාව පෝෂණය කළා වූ හා එහි අදටත් පෝෂණය කරන්නා වූ නිර්මාණකරුවන් පිළිබඳ සටහනක් ලියන්නට නොවේ. මේ වන විට විශාල සංඛ්‍යාවක් සෘජුව හා වක්‍රව යැපෙන මෙම කර්මාන්තය පිළිබඳ ලියන්නටය.

තව නොබෝ දිනකින් මෙරට ටෙලිවිෂන් සම්මාන උළෙලක් පැවැත්වීමට සූදානම් වෙයි. ඒ රයිගම් සම්මාන උළෙලය. රාජ්‍ය හා සුමති සම්මාන උළෙල ද මෙරට පැවැත්වෙන ටෙලිවිෂන් සම්මාන උළෙළයන්ය. සිග්නිස් සම්මාන උළෙල ද ටෙලිවිෂන් නිර්මාණ සඳහා සම්මාන පිරිනැමේ. මෙරට වර්තමානයේ ක්‍රියාත්මකව පවතින වෘත්තීය සංවිධාන අතර පැරැණිතම සංවිධානයක් වනුයේ ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය හෙවත් ටෙලිනිසය. මේ සියල්ල තිබියදී මෙරට ටෙලි නාට්‍යකරුන්ගේ හෝ එකී ශිල්පීන් හෝ කර්මාන්තය පිළිබඳ වෘත්තීමය ඇසකින් බලා සතුටු වන්නට කිසිවකුට හැකිද? එක්තරා කාලයක අති විශිෂ්ට නිර්මාණ රාශියක් තිළිණ කළා වූ, ටෙලි නාට්‍ය කලාව ප්‍රේක්ෂකයන්ගේ ඇසින් ඉක්මනින් අහෝසි වන්නට ඉඩකඩක් නැතිද? නැතහොත් තවමත් නොපෙනෙන මඩ වගුරක් මත්තෙන් සුරංගනා සිහින මවමින් ඔවුන් ජීවත් වන්නේද?

මෙරට අලුත් ගැටවර - ගැටවරියන් අතර වර්තමානයේ වඩාත්ම ජනප්‍රිය මාලා නාටකයන් බවට පත්ව ඇත්තේ අසල්වාසී ඉන්දියානු ටෙලි නාට්‍යවලටත් වඩා කොරියානු ටෙලි නාට්‍යයන්ය. ටියුෂන් ගුරුවරු තම වෙළඳපොල සඳහා භාවිතා කරන්නේ එහි රඟන නළු නිළියන්ගේ ඡායාරූපයන්ය. ලාංකික ටෙලි නාට්‍ය කලාව ජනප්‍රියත්වයෙන් තුන් වෙනි තැනට පත්ව ඇත්තේ නම් ඒ කාගේ වරදකින්ද? මේ සඳහා කළ යුත්තේ රසිකයන් අතර ජනප්‍රිය දෙබස් කවා විකාශය කරනු ලබන ටෙලි නාට්‍ය තහනම් කිරීම වැනි මුග්ධ ක්‍රියාවක් නොවේ. එම ටෙලි නාට්‍ය දෙබස් කැවීමෙන් ද අති විශාල සංඛ්‍යාවක් ජීවත් වෙති. දෙබස් කැවීම ද වෙනමම නිර්මාණාත්මක කටයුත්තකි. ප්‍රශ්නය තිබෙන්නේ එහි නොවේ. නිර්මාණාත්මක බංකොලොත්භාවයයි. මේ වන විට විකාශය අහිමිව තිබෙන ටෙලි නාට්‍ය සංඛ්‍යාව දහස ආසන්න වන බව වාර්තා වේ. ඒ අනුව එක් එක් පුද්ගලයන් විසින් ඒ සඳහා ආයෝජනය කරන ලද මුදල එක් කළ විට එය කෝටි ගණනක් විය යුතුය. අනෙක් අතට මෙරට පසුගිය දශක කිහිපය ඇතුළත මුදලින් අගය නොවැඩුන යමක් වී ද ඒ ටෙලි නාට්‍ය කර්මාන්තයම විය. අදට දස වසරකට පෙර මෙරට ටෙලි නාට්‍යයක් සිය කතාංගයකට වියදම් කළ මුදලට වඩා ශතයක්වත් අද ද ටෙලි කතාංගයකට වැය කරන්නේ නැත. මෙකී කාලය ඇතුළත මිළ ඉහළ නොගිය දෙයක් නැත. තේ කෝප්පයක මිළ ඉහළ ගියත් එය සාමාන්‍ය මිනිසෙකුගේ මෙන්ම ටෙලි නාට්‍යයේ ද එදිනෙදා වියදම්වලට හේතු වෙයි. මේ නිසාම ටෙලි නාට්‍ය නිෂ්පාදකවරු සිය වැය ශීර්ෂ කපා දැමූහ. ඉතා ලාභයට ලබා ගත හැකි එකම දෙය නම් ශිල්පීන්ගේ ශ්‍රමයයි. දවසකට දර්ශන දොළහක් පහළොවක් රූගත කළ හැක්කෙකු විනා වෙනත් නිර්මාණශීලී මිනිසකුට එම ක්ෂේත්‍රයෙහි ඉඩක් ඇති වූයේ නැත.

මුල් දශක දෙක ඇතුළත මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වූවෝ බහුතරය ඉතා හොඳ පන්නරයකින් යුක්ත වූවන් බැව් මෙහි මම මුලින් සඳහන් කළෙමි. ඒ නිර්මාණකරුවන් පමණක් නොව එයට දායක වූ රංගන හා කාර්මික ශිල්පීන් ද එබඳු අය වූහ. මුල්ම ටෙලි වෘතාන්තයට දායක වූ දේවිකා මිහිරාණි, අමරසිරි කලංසූරිය මෙන්ම එහි චරිත මැවූ සෙසු පාත්‍ර වර්ගයා සියල්ලම වේදිකාවේ හෝ සිනමාවේ පළපුරුද්ද ඇතිව රංගනයට පිවිසි පිරිසය. ඒ පරම්පරාවෙන් පසු සිනමාවේ ඉහළම නළු නිළියන් ද, වේදිකාවේ අලුත් පරම්පරාව ද එයට එක් වූහ. ඊළඟට නිෂ්පාදන වියදම ඉහළ යාම හා වියදම් අඩු කිරීමේ ක්‍රම රටාව හා අනුගත වූ හොඳම ක්‍රමය වූයේ ඇහින්දාස්ලා රංගනයට පිවිසීමය. මේ අතර සහජ කුසලාතවන් පිරි දෙතුන් දෙනෙක් සිටිති. එහෙත් ඇතැමෙක් එයට පිවිසියේ වෙනත් මාර්ග හා අවශ්‍යතා සපුරා ගන්නටය. වෘත්තීය පළපුරුද්දක් හෝ සුදුසුකමක් නැතිව එන බොහෝ දෙනා තමා රඟපාන ටෙලි වෘතාන්තය කුමක්ද, එහි අධ්‍යක්ෂ පමණක් නොව රඟපාන චරිතය පවා කුමක්දැයි කියන්නට දන්නේ නැත. සමහරුනට චරිත ලැබෙන්නේ අතේ මුදලක් ඇති නිසාය. එයින් නිෂ්පාදන පිරිවැය පිරිමැහෙන නිසාය. සමහරුනට පොත්ත සුදු නිසාය. රංගනය යනු මා අදහන අන්දමට ගෞරවනීය වෘත්තියකි. අතීතයේ සිට රංගවේදීන් ගරු බුහුමුනින් පුදන්නට රසිකයන් පෙළඹුණේ එහි ඇති ගෞරවනීය බව හේතුවෙනි. වර්තමාන ටෙලි නාට්‍ය කලාවේ ඇතැමෙකු එහි ගෞරවය මුළුමමින් කෙලෙසා දමා ඇති වග පවසන්නේ මා නොවේ. එහි නියැලි ජ්‍යෙෂ්ඨයන්මය. පසුගිය වකවානුවේ විකාශය වූ ජී. ශිවගුරුනාදන්ගේ මුතුපලස මෙන්ම දමින්ද ඩී. මඩවලගේ මෙගා ටෙලි නාට්‍යය ද මෙරට ටෙලි නාට්‍ය ව්‍යාපාරයේ අඳුරු පැතිකඩ හෙළි කිරීමට උත්සාහ කළ අවස්ථාවක් විය. එහෙත් මගේ විශ්වාසය නම් මෙරට ටෙලි කර්මාන්තය තුළ ඇති බිහිසුණුභාවය තවමත් කරළියට පිවිසියේ නැත. පසුගිය වකවානුවේ ටෙලි නාට්‍ය අලෙවිකර ගැන්මේදී විවිධ කයි-කතන්දර පැතිරුණ ද, ඒ කිසිවක් ප්‍රසිද්ධියේ එළියට ආවේ නැත.

මෙරට ටෙලි නාට්‍ය රංගනයේ යෙදෙන ඇතැම් නළු නිළියන් තෝරා ගෙන ඇත්තේ චරිතය සඳහා නොව දවස් කුලියට වැඩිම දර්ශන ගණනකට සහභාගිවීමේ ඇති හැකියාව මතය. මේ තත්ත්වයට අද ගොදුරුව ඇත්තේ නවක නළු නිළියන් පමණක් නොවේ. වේදිකාවේ හා සිනමාවේ නම් දැරූ ඇතැම් රංග ශිල්පීන් ද මේ මඩ ගොහොරුවේ එරී සිටින්නේ තම වෘත්තියට ද නිගා දෙමිනි. එපමණක් නොව ඊළඟ පරම්පරාවට ද වැරැදි පූර්වාදර්ශයක් ද සපයමිනි. කලකට ඉහත සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ජිවත්ව සිටියදී එක්තරා දක්ෂ නළුවෙකු ටෙලි නාට්‍යයක රංගනයට ගොස් විඳි දුෂ්කරතා ගැන කියාගෙන ගියේය. ඔහුගේ අඳෙීනාව එතුමන් නතර කළේ එක වචනයකිනි. වර්තමානයේ ඇතැම් විට ටෙලි නාට්‍ය කොතරම් පිරිහී ද කිවහොත් අද අධ්‍යක්ෂ හෙට ටෙලි නාට්‍යයේ නැත. එය මෙහෙය වන්නේ වෙනත් කෙනෙකි. මේ සියල්ලටම බලපෑවේ ටෙලි නාට්‍ය කර්මාන්තයේ සිය වියදම් උපයා ගන්නට ඇති අවහිරතාවන්ය. කලකට ඉහත මේ කර්මාන්තයට ආයෝජනය කරන ලද්දේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික සමාගම්ය. ඔවුන් අනුග්‍රහය දැක් වූයේ ඔවුන්ගේ ප්‍රචාරණය සඳහා වුව ද ඒ නිසාම හොඳ නිර්මාණ බිහි විය. කලකට ඉහත ධර්මසේන පතිරාජයන්ගේ එක් ටෙලි වෘතාන්තයක් හඳුන්වා දිමේදී එහි අනුග්‍රාහක සමාගමේ සභාපතිවරයා අධ්‍යක්ෂවරයාගෙන් විමසා සිටියේ තම ආයතනයේ මතවාදය ද, මෙම ටෙලි වෘතාන්තය ද අහසට පොළවට බඳු ආකල්පයන් ලෙසය. එහෙත් දූ දරුවෝ, කඩුල්ල, පිටගම්කාරයෝ වැනි ටෙලි නිර්මාණ හරහා අනුග්‍රාහකගේ අවශ්‍යතා ද වුවමනාවටත් වඩා ඉෂ්ට වූවා පමණක් නොව, විශිෂ්ට නිර්මාණ බිහි කිරීම සඳහා බාධාවක් නොවීය. මේ සියල්ල එක් තැනක සිදු වූ වැරැද්දකින් අහිමිව ගියේය. මෑත භාගයේ තැනුණු දැවැන්තම ටෙලි වෘතාන්තය ජැක්සන් ඇන්තනිගේ දස්කොන් බිහිවනුයේ ඔහු වටා තිබූ මාධ්‍ය හැකියාවට පින් සිදුවන්නටය. එපමණක් නොව මෑත භාගයේ බලාපොරොත්තු තබා ගත හැකි තරුණ නිර්මාණකරුවන් පිරිස ක්ෂේත්‍රයේ සිටියද ඒ සියල්ල වසා ටෙලි නාට්‍යකට වටිනාකමක් නොවීමය. එයට නිසි වටිනාකමක් නොලැබ එයට එෙරෙහි ඇති සියළු බලවේගයන්ට සාප කළාට වැඩක් ඇතැයි නොසිතමි. එයට විසඳුම් සොයන්නට ටෙලි නාට්‍යකරුවන් යළි ප්‍රසිද්ධ කතිකාවතකට එළැඹිය යුතුමය.

මෙරට ටෙලි නාට්‍ය කලාවේ හැඩ රුව වෙනස් කරන ලද්දේ රාජ්‍ය රූපවාහිනි නාළිකාවලින් බැව් නොරහසකි. ඔවුන් විසින් ලබා දෙන ලද හොඳ ආරම්භය නිසාම ටෙලි නාට්‍ය කලාවක් ලෙස ව්‍යාප්ත විය. එහෙත් එය වඩාත් සාර්ථක අතින් සමෘද්ධිමත් වීමත් සමඟ එහි ප්‍රමිතිය හා නිර්මාණාත්මක ගුණය අඩු වූයේ එය අලෙවි කර ගැනීමේ පමණක් නොව ඒ සඳහා දායක වූ බොහොමයක ආයෝජකයන් ද ඉන් බැහැර කරමිනි. එහි ප්‍රතිඵලය වූයේ ඉතා ලාබයට නිෂ්පාදන අවසන් කිරීමය. බහුතරය ටෙලි නාට්‍ය මිලයට ගන්නේ ඉතා අඩු මුදලකටය. මේ අඩු මුදලට නිෂ්පාදනය කිරීම එයින් ආරක්ෂා වීම සඳහා එකම ක්‍රමවේදය විය. එහෙත් එයින් නිගා දෙනුයේ එදා මෙරට ටෙලිවිෂන් නාට්‍ය කලාවක් ගොඩ නැං වූ යුග පුරුෂයන්ටය ටෙලි නාට්‍ය යනු කලාවක් නොවේ යැයි ඇතැමුන් කැට කඩා කෑ ගසද්දී ඔවුහු එය කලාවක් බව සනාථ කළහ. මේ කබල් ටෙලි නාට්‍ය විකාශය යනු එකී පුරෝගාමීනට කරන සාපරාධී වරදකි. එබැවින් එවට සහතික මිලක් නියම කිරීමේ වැරදක් නැත.