වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 02 වැනිදා බ්‍රහස්පතින්දා




ඉස්සර වාගේ තාමත් මතකයි හෝඩි පොතේ පාඩම්

ඉස්සර වාගේ තාමත් මතකයි හෝඩි පොතේ පාඩම්

එඩ්වඩ් ජයකොඩි ළමා ගී රැගෙන එයි

විශාරද එඩ්වඩ් ජයකොඩි විසින් පවත්වනු ලබන ‘මාරම්බරී’ ඒක පුද්ගල ප්‍රසංගය ලබන 06 වැනිදා කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වීමට නියමිතයි. දරුවන් වෙනුවෙන් නැවුම් ගී නිර්මාණ තිළිණ කරන විශාරද එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී පීරිස් මෙවර විශේෂ ගී එකතුවක් එම වේදිකාවේදී එළිදක්වීමට සූදානම්. සුභාවිත ගීතයේ මිහිර ගෙන එන ‘මාරම්බරී’ ප්‍රසංගය සහ දරුවන්ට තිළිණ වන ‘යාළුයි අපි යාළුයි’ ගීත එකතුව පිළිබඳ විශාරද එඩ්වඩ් ජයකොඩි සමඟින් කළ කතාබහ මෙලෙස සටහන් වේ.

* ඔබ සංගීත ක්ෂේත්‍රයට පැමිණ වසර ගණනාවකට පසුවයි ඒක පුද්ගල ප්‍රසංගයකට සූදානම් වන්නේ ?

ඔව්, මේ වෙනුවෙන් මා වසර ගණනාවක කාලයක් ගත්තා. මාරම්බරී ප්‍රසංගය මම සෞන්දර්ය ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 35ට පමණ පසුවයි පටන් ගත්තේ. ඒක පුද්ගල ප්‍රසංග අපි පාසල් යන කාලයේ නරඹලා තියෙනවා. අමරදේව සූරින්, සනත් නන්දසිරි මහත්මයාගේ, වික්ටර් රත්නායක මහත්මයාගේ, නන්දා මාලනී මහත්මියගේ ප්‍රසංග උන්මාදයෙන් නැරඹුවා. ඒ අතර කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය අපට රසවින්දනය හුරු කළා. මම මූලික අධ්‍යාපනය ලැබුවේ හෙට්ටිමුල්ල ප්‍රාථමික විද්‍යාලය සහ කෑගල්ල ශාන්ත මරියා විද්‍යලයෙන් පසුව වැඩිදුර සංගීත අධ්‍යාපනය සඳහා නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයට ගියා. ඉන් අනතුරුව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේදී අපේ ප්‍රවීණයන් පෙර පරපුරේ දැවැන්තයන් හමු වුණා. ඔවුන් සමඟින් වැඩ කරන්න අවස්ථාව ලැබුණා.

පාසලේදී ඒක පුද්ගල ප්‍රසංග ආසාවෙන් නැරඹු මට අමරදේව සූර්න්ගේ ‘ශ්‍රවන රමණී’ සහ වික්ටර් රත්නායකයන්ගේ ‘ස’ ප්‍රසංගයේ අත්වැල් ගායකයෙක් වෙමින් රට වටේ යන්න ලැබීම මගේ ජීවිතයේ දෛවෝපගත සිදුවීමක්. හැත්තෑව දශකයේ මුල් භාගය පමණ වන විට ගුවන්විදුලි ගායකයෙක් වීමට වරම් ලද මගේ ගීත එම දශකය අග භාගය වනවිට ජනතාව අතරට ගියා. මේ කාලය වන විට කැරකෙන රෝදේ, අකුරු මැකී නෑ, කරදිය ගැඹරේ, නිහඬ කල්පනා, මේ මල් යායේ වගේ ගීත රැසක් ජනප්‍රිය වුණා.

මටත් ඒ කාලයේ ඒක පුද්ගල ප්‍රසංග සඳහා විවිධ ආරාධනා ලැබුණා. ප්‍රවීණයන් සමඟ ඒක පුද්ගල ප්‍රසංග අත්දැකීම් නිසා මට ඒ පිළිබඳ මනා දැනීමකුත් තිබුණා. නමුත් මගේ නිර්මාණ පැස පිරුණා මදි බව මට දැණුනා. ඒ නිසාම ඒ ආරාධනා බොහොම කරුණාවෙන් මම ප්‍රතික්ෂේප කළා. වසර 35ක් පුරා මගේ නිර්මාණ පැස පුරවා ගත්තා. එයට විශේෂම හේතුව තමයි එදා ඒක පුද්ගල ප්‍රසංගවල අප දුටු විවිධත්වය. විවිධ ප්‍රස්තූතයන් ඔස්සේ නිර්මාණය වූ විවිධ සංගීත ශෛලීන්ට අයත් ගීත ඒ ඔස්සේ අපි රසවින්ඳා. ඒ වගේ විවිධත්වයක් වෙනුවෙන් මම මේ වසර 35 ම කැප කළා.

ඒ අනුව විවිධත්වයෙන් යුතු ‘මාරම්බරී’ සමඟින් මම වේදිකාවට පැමිණියා. ආදර ගීත, දේශාභිමානී ගීත, ළමා ගීත, සාරධර්ම පිළිබඳ ගීත, ආගමික පරිසරය දනවන ගීත, උත්තර භාරතීය රාගධාරී සංගීතය, බටහිර සංගීතය, අපේ දේශීය සංගීතය මෙන්ම සරල සංගීතය ආදි මේ සෑම අංශයකින්ම ‘මාරම්බරී’ පොහොසත්. ඒ නිසා ප්‍රේක්ෂකයන් පැයක්, පැය දෙක හමාරක කාලයක් පුරා සිය පවුලම සමඟින් රඳවා ගන්න මට පුළුවන්. සංගීත ශිල්පියෙකුට එවැනි අවස්ථාවක් උදා වෙන්නේ වාසනාවක් විදියට යැයි මම හිතනවා. මීට පෙර ගම් නියම්ගම් රැසක අපි ‘මාරම්බරී’ වේදිකා ගත කර තිබෙනවා. මේවන විට හැත්තෑවකට ආසන්න ප්‍රමාණයක ප්‍රසංග පවත්වා තිබෙනවා.

මෙවර අපි මාරම්බරී ප්‍රසංගය ලබන 06 වැනිදා කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පවත්වන්න සූදානම් කර තිබෙනවා. එහිදී යුග ගී ගායනයෙන් චරිතා සමඟින් දුව ශාරණ්‍යා දායක වෙනවා. කථනය වසන්ත රෝහණ. සංගීත අධ්‍යක්ෂණයෙන් සුසිල් අමරසිංහ දායක වෙනවා.

* ‘මාරම්බරී’ විදෙස් වේදිකාවේ ද සුවිශේෂයි ?

ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ඉතාලිය, කුවේට්, ඩුබායි වැනි රටවල මාරම්බරී ෙවිදිකාගත වුණා. ඉතාලියේදී නගර කිහිපයක ප්‍රසංග දහ තුනක් පැවැත් වූවා. අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඉන්දුනීසියාව වැනි රටවල් කිහිපයකිනුත් මාරම්බරී ප්‍රසංගය වෙනුවෙන් ආරාධනා ලැබිලා තියෙනවා.

* මාරම්බරී ප්‍රේක්ෂකාගාරය කා වෙනුවෙන්ද?

විදෙස් රටවල අපේ බොහෝ ලාංකික වැඩිහිටියන් සුභාවිත ගීත ප්‍රසංග නරඹන්න එන්නේ පොඩි දරුවන් ඔවුන්ව රැකබලා ගන්න මධ්‍යස්ථානවල තියලා. අපි කියන්නේ මාරම්බරී බලන්න මුළු පවුලටම එන්න කියලයි. ළමුන්ට, වැඩිහිටියන්ට එකට හිඳ රස විඳින්න කියලායි. ළමුන් වෙනුවෙන් ස්ථානයක් මාරම්බරී ප්‍රසංගයේ වෙන්වෙලා තියෙනවා.ළමා ගීයක් ගයන විට පොඩි කතන්දරයක් කියලා තමයි ගායනය ආරම්භ කරන්නේ. එහි වැඩිහිටියන්ටත් හිතන්න දෙයක් තියෙනවා. මාරම්බරී ප්‍රසංගයේ වැඩිහිටි ආදර ගීතයක් ගයන විට කියන දේ දරුවන්ට අගුණ නැහැ.

* සුභාවිත ගීතයට අද තියෙන ආකර්ෂණය ?

සුභාවිත ගීතයට අද තවමත් ජනතාව ඉතාමත් හොඳ ප්‍රතිචාර දක්වනවා. පසුගිය පෙබරවාරි මාසයේදී ලන්ඩනයේ ප්‍රසංගයෙන් අනතුරුව තවත් ප්‍රසංග සඳහා ආරාධනා ලැබුණා. එය සංගීත ශිල්පීන් යුවළක් ලෙස අපි ලැබූ වරයක් කියා හිතනවා. විදෙස් රවටල තවමත් අපේ පරපුර වගේම, පෙර හා පසු පරපුර ගයන සුභාවිත ගී වලට තවමත් හොඳ වේදිකාවක් වෙන් වෙලා තියෙනවා. නමුත් ඒ දරු පරපුරෙන් ඇතැම් දරුවන්ට අපේ සිංහල ගීත, ළමා ගීත සහ සාහිත්‍යය පිළිබඳ ඇල්ම සහ දැනුවත්කම ගොඩක් අඩු වූ බව නම් පේනවා. අපේ මාරම්බරී ප්‍රසංගයට එතෙරදී වගේම මෙතෙරදීත් මුලින් පැවසූ අයුරින් මම හැමදාම ආරාධනා කරන්නේ මුළු පවුලටමයි. මාරම්බරී ප්‍රසංගය නිකම්ම ගීත විසි පහක් ගායනා කරලා අවසන් කරන ප්‍රසංගයක් නෙවෙයි.

* එළිමහන් ප්‍රසංග වේදිකාව ගැන අද මොකද හිතෙන්නේ ?

ගෘහස්ත ප්‍රසංග වගේම එළිමහන් ප්‍රසංගත් තිබිය යුතුයි. ඒවා විවිධාකාරයි. මීට කලකට පෙර සුභාවිත ගීත ගැයෙන එළිමහන් ප්‍රසංග තිබුණා. වර්තමානය වන විට එළිමහන් ප්‍රසංගවල සංවරය ගිළිහී ගොස් ඇති බව පේනවා. එළිමහන් ප්‍රසංගවල යහපත් පණිවුඩ දීමට වඩා අයහපත වැඩි දෝ කියා විටෙක සිතෙනවා. නමුත් එළිමහන් ප්‍රසංග හොඳ මාධ්‍යයක්. මමයි චරිතායි එළිමහන් ප්‍රසංගවලට සහභාගි වෙන්නේ නැහැ.

* මාරම්බරී තවත් දක්ෂයන් පිරිසකට අත දෙන වේදිකාවක් ?

වෙනත් ප්‍රදේශයක සංවිධානය වෙනවා නම් එම අදාළ ප්‍රදේශයේ පාසල්වල ළමුන්ටත් මාරම්බරී වේදිකාව විවෘත වෙනවා. මේ ළමයිනුත් අනාගතයේදී මේ ආකාරයේ ප්‍රසංගයක් පැවැත් වූවොත් හොඳයි කියා මට නිතරම හිතෙන දෙයක්. කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේදී වික්ටර් රත්නායක මහත්මයා සහ ෆෙ‍්‍රඩී සිල්වා මහත්මයා ස්ටැන්ලි පීරිස් මහත්මයාගේ සංගීත කන්ඩායම සමඟ පැමිණියා. එදා මට ඒ වේදිකාවේ ගීත දෙකක් ගයන්න අවස්ථාව ලැබුණා. එදා මට ගයන්න මගේ සිංදු තිබුණේ නැහැනේ. ඒ නිසා වික්ටර් රත්නායකයන්ගේ ‘පාවේ වලා’ ගීතයත් ෆෙ‍්‍රඩී සිල්වාගේ ‘කුණ්ඩුමනී’ ගීතයත් ගායනා කළා. එදා ඔවුන් දෙදෙනාම ගොඩක් ප්‍රශංසා කළා. ඒක අදත් මගේ ඇඟටම දැනෙනවා. මට විතරක්ද එහෙම ප්‍රශංසා හිමි විය යුත්තේ ? මගේ ගමේ ඉස්කෝලෙක ළමයෙකුත් හොඳට ගීත ගයනවා නම් මම හරි ආසයි. මමත් ඒ වගේ අවස්ථා ලබා දෙන්න කැමැතියි. ළමුන්ට පමණක් නොවෙයි ඒ පළාත් වල ගුරුභවතුන්ට පවා නිදහස් නිර්මාණ මේ වේදිකාවේ දක්වන්න ඉඩ ප්‍රස්ථාව තියෙනවා.

* මාරම්බරී වේදිකාවේ ළමුන්ටත් විශේෂ ස්ථානයක් හිමිවෙනවා?

පාසලේදී අපි සාමුහික ක්‍රියාකාරකම් වලට යොමු වුණා. ඉන්පසු සරසවි අධ්‍යාපනයේදීත් මම, අපි ලොකු චරිත කියලා හිතන්නේ නැතුව එදා සාමුහිකව වැඩ කළා. ලලිතකලාවේදී උපාධිය අරගෙන පළමුවෙන්ම කොළඹ නාලන්දා විද්‍යාලයේ සංගීත ගුරුවරයා ලෙසින් සේවය කළා. එතැනදීත් යළි මට ළමුන් සමඟ කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. ඉන්පසුව කැලණිය ගුරුකුල විද්‍යාලයේ සංගීත ගුරුතුමා ලෙස සේවය කළා. ඔය අතරෙදි රූපවාහිනය ලංකාවට පැමිණි මුල් කාලයේ ගායනා කියන ළමා වැඩසටහන සිසිර කොතලාවල ඉදිරිපත් කළා. එහි අපි අපේ සමකාලීනයන් වූ රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, බන්දුල විජේවීර, නිර්මලා රණතුංග, නිරංජලා සරෝජනී, බණ්ඩාර අතාවුද, අමිතා වැදිසිංහ වැනි අය ඒ සඳහා දායක වුණා. අපි හැම සතියකම එහිදී ළමා ගීතයක් හඳුන්වා දුන්නා. කොපර කොපර පිපිඤ්ඤා, රජ්ජුරුවෝ උඩයි උඩයි, රන් රඹුටන් යාය පුරා මේ වගේ ගීත බොහොමයක් ඒ ගායනා තුළින් බිහි වූ ගීත.

ළමා ගීත කෙරෙහි විශාල ලැදියාවක් ඒ කාලයේ පටන් අපේ හිත්වල තිබුණා. අපි ගුවන් විදුලියෙන් බිහි වූ ගායන ශිල්පීන් ලෙස සරල ගී ඇතුළු විවිධත්වයක් අපේ ගී වල තිබුණා. අපේ ජ්‍යෙෂ්ඨයන්ගෙනුයි අපි එය ඉගෙන ගත්තේ. ඒ වැඩසටහනක ආදර ගීත, දේශාභිමානී ගීත, බුදු ගුණ ගීත, උපදේශනාත්මක ගීත, ළමා ගීත මේ වගේ විවිධත්වයක් එදා තිබුණා. මට ඒ හැඩය ලබා ගත්න වාසනාව ලැබුණා. චරිතාත් ඒ නිසාම ළමා ගීත, බෞද්ධ ගීත ගැන විශේෂ ඇල්මක් දැක් වූවා.

* ඒ නිසා මෙවර ළමුන් වෙනුවෙන් විශේෂ ගී එකතුවක් නිකුත්වෙනවා?

ඔව්. ඇත්තටම ඒ නිසාම තමයි අපි ‘යාළුයි අපි යාළුයි’ සංයුක්ත තැටිය නිකුත් කරන්න තීරණය කළේ. මේක එඩ්වඩ්, චරිතා දරුවන්ට ගැයූ ගී ලෙස නම් කරලා තියෙනවා. ළමුන්ට වගේම වැඩිහිටියන්ටත් ළමා ගීත ගයන්න පුළුවන්. මේ ගීත එකතුවේ ජනප්‍රිය ගී වගේම අලුත්ම ගී නිර්මාණත් ඇතුළත්. ‘අකුරු මැකී නෑ’, ‘සුළඟක් වී මං එනවා’, ‘චක් ගුඩු ගුඩු’, ‘කටු අකුළේ මල් ඇහැරේ’, ‘මවයි පියයි එකතු වෙලා’, ‘සීනුව වදින තුරා’ වගේ ගීත වගේම මේ දිනවල තිරගත වෙන ‘මගේ යාලු මාළු’ ළමා චිත්‍රපටය වෙනුවෙන් මා ගැයු ගීතය වගේම මේ ගී එකතුව වෙනුවෙන්ම නිර්මාණය කළ ගීත මෙහි ඇතුළත්.

මෙහි පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි, මහාචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ආචාර්ය අජන්තා රණසිංහ, ආචාර්ය සෝමරත්න දිසානායක, කුමාරදාස සපුතන්ත්‍රී, අමරසේන කංකානම්ගේ, මඩවල එස්. රත්නායක, බන්දුල නානායක්කාරවසම්, සූරියකුමාර් මුත්තලගේ, තුෂාර ගුණතිලක සහ ආනන්ද හේවාරංහිඳගේ ගේය පද ලියා තිබෙනවා. පණ්ඩිත් අමරදේව, ආචාර්ය රෝහණ වීරසිංහ, එච්. එම්. ජයවර්ධන සහ ආනන්ද ගමගේ සංගීත නිර්මාණයෙන් දායක වුණා. පෙබරවාරි මාසයේදී ලන්ඩනයේ පැවැති මාරම්බරී ප්‍රසංගයේදී ‘යාළුයි අපි යාළුයි’ සංයුක්ත තැටිය එළිදැක් වූවා. අපේ රටේ දරුවන් වෙනුවෙන් ලබන 06 වැනිදා යළිත් එය කොළඹදී එළිදක්වන්න සූදානම්.

* වර්තමානයේ විවිධත්වයෙන් යුතු ගී නිර්මාණ එළිදකිනවා විරළයි නේද ?

ගීත කියන්නේ ආදර ගීතම නෙවෙයි කියන එක ඔප්පු කරන්න අපට අවස්ථාව ලැබුණා. නව පරපුර ගත්තම වැඩි දෙනෙකුගෙන් ඇහෙන්නේ එකම ප්‍රස්තූතය රැගත් එකම ශෙලියේ ගීත ගොන්නක්. මම ඒ අයටත් කියන්නේ හැම දෙයකින්ම විවිධත්වය ගන්න කියලයි. ගීතවල අනුභූතින්, සංගීත රටා, ඇසුරු කරන සංගීත පද්ධති විවිධ වුණාම කල් ඉකුත්වීමේ දිනය නොමැතිව ගීතය බොහෝ කල් පවතිනවා.

* ළමා ගී නිර්මාණයටත් බොහෝ දෙනා මැළිකමක් දක්වන බවයි පේන්නේ ?

ළමා ගීත වෙනුවෙන් මාර්කට් එකක් නෑ නේද?, වෙළෙඳ පොළ ඈතයි නේද? කියලා මගෙනුත් ඇතැම් අය අහනවා. ඇත්තටම ඈතයි තමයි. දරුවන්ට ආදරය කරන හෙට ලෝකයට ආදරය කරන දෙමවුපියන්ට පමණයි ළමා ගීතයත් වෙළෙඳ පොළත් අතර තියෙන පරතරය නැති කරන්න පුළුවන් වෙන්නේ. මොනවා හරි එකතු කරලා අවර ගණයේ ගීත එකතුවක් කළොත් මේ වෙළෙඳ පොළ පරතරය අපට නැති කරගන්න පුළුවන්. නමුත් එහෙම නැති කළා කියලා අපේ හදවතට ගුණාත්මක සුවඳ දැනෙන්නේ නැහැ. මේ විදියට ළමා ගීත එකතුවක් කරලා නිකුත් කරන එක දුෂ්කරයි.

* ඔබගේ දරුවන් දෙදෙනාම සංගීතයට ලැදියි?

අපේ ළමයි දෙදෙනා ගේ හැකියාවන් විවිධයි. ඒ දෙදෙනාට අපි කවදාවත් බල කළේ නැහැ. ගීත ගායනයට, වාදනයට වගේම රඟපාන්නත් ඔවුන් දස්කම් දක්වනවා. පුතා චන්දීප ගිටාරය, පියානෝව, තබ්ලාව වගේම බෙර වාදනයටත් දක්ෂයි. පුතා මගේ මාරම්බරී ප්‍රසංගයේ ගිටාර් වාදන ශිල්පියා ලෙසින් කටයුතු කළා. මේ දිනවල ඔහු උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විදෙස්ගතව සිටින්නේ. දියණිය ශාරණ්‍යා ටෙලි නාට්‍යවල වගේම ආචාර්ය සෝමරත්න දිසානායකගේ ‘සිරි රජ සිරි’ චිත්‍රපටයේ ප්‍රධාන ළමා නිළි චරිතයත් නිරූපණය කළා. ඔවුන් විවිධයි.

හොඳින් අධ්‍යාපනය ලබනවා. ආගමානුකූලව ජීවත් වෙනවා. මටයි චරිතාටයි ඕනි අපේ ළමයි දෙදෙනා විතරක් එහෙම වෙනවා දකින්න නෙවෙයි. හැම දරුවෙකුටම මෙවැනි පෝෂණයක් අපට ලබා දෙන්න බැරිද කියලා අපි නිරන්තරයෙන් සිතනවා. ඒ වෙනුවෙන් බොහෝ දේ අවශ්‍ය වුණත් ඉන් එකක් ලෙස අපේ ළමා ගීතය සුවිශේෂ වෙනවා. දරුවන් කිහිප දෙනෙකු හෝ මේ ඔස්සේ සුගතිගාමී මඟක යවන්න හැකි නම් එයයි අපට වැදගත්. අපි අපේ දරුවන්ටත් හැමදාම කිව්වේ ලොකු මිනිසුන් වෙන්න නොවෙයි හොඳ මිනිසුන් වෙන්න කියලා.

* දැන් ළමුන් වෙනුවෙනුත් රියැලිටි වැඩසටහන් වෙන් වෙලා. එම වැඩසටහන් හා එහි ප්‍රමිතිය ගැන ඔබේ අදහස ?

ඇත්තටම අපි ගමේ ඉන්න කාලේ අපට ලැබුණු අවස්ථා බොහොම අඩුයි. අදටත් අපි ඒ ගැන කනගාටු වෙන්නේ නැහැ. හැබැයි අද දරුවන්ට මේ අවස්ථා ඇති තරම් තියෙනවා. මේ රියැලිටි වැඩසටහන් වලින් ඇත්තටම නගරයේ දරුවන්ට වගේම ගමේ දරුවන්ටත් අවස්ථා නැති සැමට හොඳ තෝතැන්නක්. නමුත් මේවා හදවත් සුවපත් වෙන ආකාරයෙනුයි කළ යුත්තේ.

රියැලිටි වැඩසටහන් කලාව ලෝකයේම තිබෙන නිසා දැන් අපිත් මේක වැලඳ ගෙන තියෙනවා. කැලයේ පරවෙලා යන මල් වගේ නොවී හැකියාවන් දක්ෂතාවයන් ලෝකයට එළිදක්වන්න හොඳ වේදිකාවක්. නමුත් දරුවන්ගේ රියැලිටි වැඩසටහන්වලදී වැඩිහිටයන් මීට වඩා කල්පනාකාරී විය යුතු බවයි මගේ අදහස. මොකද දරුවන් කුඩා කාලයේ ඕනෑවට වඩා ඔවුන් අගය කරනවා කියන හැඟිමෙන් ඔවුන් පිළිබඳ අධිතක්සේරුවක් කරන එක එතරම් සුදුසු නැති බවයි මගේ හැඟීම. මොකද රියැලිටි වැඩසටහන්වලදී එහෙම වෙනවා. ඒ තක්සේරුව දෙමවුපියන් බොහොම සූක්ෂම අයුරින් තුලනය කරන්න ඕනි. නැත්නම් අවසානයේදී දරුවා සමාජයටත් දෙමවුපියන්ටත් නැති වෙන්න පුළුවන්.

රජයේ වගකිව යුතු ආයතනයකින් මේ පිළිබඳ නිසි අධීක්ෂණයක් කරනවා නම් හොඳ බව මගේ අදහසයි. මේ ළමයි ගයන්නේ එහෙමත් නැත්නම් අදාළ මාධ්‍ය ඒ දරුවන්ට ගයන්න දෙන්නේ ළමුන්ට උචිත ගීත කියා සෙවිය යුතුම වෙනවා. ඇතැම් ළමා රියැලිටි වැඩසටහන් බලන විට අනේ ඇයි මේ ළමයි මෙහෙම ගීත ගයන්නේ කියලා හදපතුලම රිදෙනවා. තමන් විරුද්ධ වුණොත් දරුවන්ට තියෙන අවස්ථාව අහිමි වේ යැයි බියත් දෙමවුපියන් තුළ තියෙන්න පුළුවන්. ඔබටන් දරුවෝ ඉන්නවා. ඔබත් මීට කලකට පෙර දරුවෙක්. ඒ නිසා හොඳ දරු පිරිසක් හෙට මිනිසුන් විදියට සමාජයට දායාද කරන්නට දරුවන්ගේ රියැලිටි වැඩසටහන් මීට වඩා ගුණාත්මක ප්‍රමිතියකින් යුතුව කටයුතු කරන ලෙසින් මම මාධ්‍ය ආයතනවල මාමලා නැන්දලා ගෙන් ඉල්ලා සිටිනවා.

දෙමවුපියන්ගේ වටිනාම වස්තුව දරුවන්. හොඳම දේ දරුවන්ට දෙන්නයි ඔවුන් උත්සහා කරන්නේ. අපි මේ දරුවන්ට තෑගිබෝග අරන් දෙන විට ළමා සාහිත්‍ය කෘතියක් වගේ දෙයක් තෑගි කරන්න පුළුවන්. අපිත් කුඩා කාලයේ ආසා කළ දැනුත් ආසා කරන ළමා ගීත අපේ රටේ තියෙනවා. ඒ වගේ ළමා ගීත මේ දරුවන් වෙනුවෙන් වූ වටිනා තෑගි කියා මා සිතනවා.