වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 02 වැනිදා බ්‍රහස්පතින්දා




ඩිජිටල් නොවුණොත් අපි ඉවරයි

ඩිජිටල් නොවුණොත් අපි ඉවරයි

සිනමා ශබ්ද ඉංජිනේරු, සිනමා ශාලා හිමි පාලිත පෙරේරා කියයි

ඉතා සරල සිද්ධාන්තයක් ගෙන හැර පෑවොත් සිනමාව යනු රූපය හා ශබ්දය මුල්කර ගත් කලා මාධ්‍යයකි. සිනමා කෘතියක නියම ආශ්වාදය ලැබීමට නම් මේ අංගයන් දෙකම සමපාතව තිබිය යුතු වේ. වර්තමානයේ ලොව පුරා ප්‍රචලිතව තිබෙන D. T. S  තාක්ෂණය මෙරට සිනමාහල් පද්ධතියට හඳුන්වා දීමට පුරෝගාමී වූයේ ඔහුය.

නමින් ඔහු පාලිත පෙරේරාය.

තවත් අතකින් ඔහු අපේ සිනමාවට සම්බන්ධය. ඒ සිනමා ශාලා හිමිකරුවෙකු ලෙසිනි. ලිබ(ර්)ටි ලයිට්, කොල්ලුපිටිය, ඇමිටි ලයිට් - මහරගම සහ ස්කයි ලයිට් - මාතර ඔහුට අයත් සිනමාහල් ත්‍රිත්වයයි.

සිනමා ශබ්ද තාක්ෂණවේදියකු හා සිනමාහල් හිමිකරවකු ලෙසින් පාලිතට එකී අංශයන් පිළිබඳ ඇත්තේ පුළුල් අවබෝධයක් හා දැක්මකි. ඒ ඔස්සේ වත්මන් සිනමා ක්ෂේත්‍රයේ යම් යම් ගැටලු සහ අර්බුද පිළිබඳ ඔහු සිය අදහස් පළ කරමින් අප හා කතාබහට එක් වූයේ මෙලෙසිනි.

අපේ සිනමා ශාලා පරිපාලන කටයුතු කරගෙන යන්නේ 'මූවි වීවර්ස් ප්‍රයිවට් ලිමිටඩ්' කියන කම්පැණිය හරහා. මම එහි අධ්‍යක්ෂවරයා. අනුර ජසන්තුලියන එහි සම අධ්‍යක්ෂවරයායි. ලිබ(ර්)ටි ලයිට්, ඇමිටි ලයිට්, වගේම ස්කයි ලයිට් සිනමාහල් තුනම අද ප්‍රේක්ෂකයන් අතර ගොඩක් ජනප්‍රියයි. ලිබ(ර්)ටි ලයිට් සහ ස්කයි ලයිට් සිනමාහල් ඩිජිටල්, 3 D  තාක්ෂණයෙන් යුක්තයි. 'ඇමිටි ලයිට්' මහරගම තවම ඇනලොග් සිස්ටම්. මොකද ඒකේ සිංහල චිත්‍රපට විතරයි පෙන්වන්නේ.

මේ සිනමාහල් අයත් වෙන්නේ කුමන ප්‍රදර්ශන මණ්ඩලවලටද?

ලිබ(ර්)ටි ලයිට් CEL  මණ්ඩලයේ. ස්කයි ලයිට් සහ ඇමිටි ලයිට් සංස්ථාවට අයත් රිද්මා මණ්ඩලයේ. අවශ්‍ය පරිදි E. A. P.  මණ්ඩලය සමඟත් අපි කටයුතු කරනවා.

ඔබ සිනමා ශබ්ද තාක්ෂණය පිළිබඳ විශේෂඥ දැනුමක්, අවබෝධයක් තිබෙන කෙනෙක්. ඒ හරහා තමයි මම හිතන්නේ ඔබ මුලින්ම සිනමාවට සම්බන්ධ වෙන්නේ?

ඔව්. සිනමා ශබ්ද ඉංජිනේරුවෙක් විදිහට තමයි මම සිනමාවට එන්නේ. ඒ 1989 දී. මම හිතන්නේ මම නොගිය කිසිම සිනමාහලක් නැතුව ඇති ලංකාවේ. හැම තැනකම ගිහින් ඒ සේවා කටයුතු මම කරලා තියෙනවා. අද ඒ සිනමාහල් ගොඩක් වැහිලා ගිහිල්ලා. මම සිනමාවට ආපු කාලේ සිනමාහල්වල තිබ්බේ මොනෝ සවුන්ඩ් සිස්ටම් තමයි. ලිබර්ටි එකේ තිබුණේ 70 M. M.  මැග්නටික්. ඒත් ස්ටීරියෝ තිබ්බට Play කරන්න බෑ.

ඇයි ඒ?

89 වෙන කොට අපේ රටේ 70 M. M. මැග්නටික් ෆිල්ම්ස් ගෙන්වන්නේ නෑ. ඒ නිසා Play  වෙන්නේ නෑ. ඔක්කොම තියටර්ස් මොනෝවලින් තමයි දිව්වේ. කොහොම වුණත් 'ස්ටීරියෝ සරවුන්ඩ් සිස්ටම්' එක පටන් ගත්තේ ලිබ(ර්)ටි සිනමාහලේ ජුරාසික් පා(ර්)ක් චිත්‍රපටයත් එක්ක. ඒ සවුන්ඩ් සිස්ටම් එක ෆිල්ම් එකට මම තමයි ඉන්ස්ටෝල් කළේ ලංකාවේ මුල්වරට. සිනෙ සවුන්ඩ්ස්් සේල්ස් ඇන්ඩ් සර්විස් ආයතනය හරහා තමයි මම ඒ කාර්යයට දායක වුණේ. එතනින් තමයි ඒ සිස්ටම්ස් සේරම හැන්ඩ්ල් කළේ. දැන් මම එහි අධ්‍යක්ෂවරයෙක් විදියට වැඩ කරනවා. ඊට පස්සේ මැජෙස්ටික් එකේ දැම්මා. ඉන්දියන්  Company  එකක් තමයි ඒක කළේ්. ඊට පස්සේ ඔප්ටිකල් ස්ටීරියෝ කළේ මැජෙස්ටික්, මිලානෝ - කෑගල්ල වගේ සිනමාහල්වල. 'ජුරාසික් පා(ර්)ක්' චිත්‍රපටයත් එක්ක තමයි 'ඔප්ටිකල් ස්ටීරියෝ ෆෝ ට්‍රැක්ස්' කියන සිස්ටම් එක ලංකාවට ආවේ. ඔප්ටිකල් ස්ටීරියෝ කියන්නේ පට හතරේ ශබ්ද තාක්ෂණයයි. ඒ කියන්නේ සෙන්ටර්, ලෙෆ්ට් සරවුන්ඩ්, රයිට් සරවුන්ඩ් සහ සබ්වූෆර්. ෆෝ පොයින්ට් වන් කියලයි ඒ තාක්ෂණය ආවේ.

ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් තමයි මම හිතන්නේ ජුරාසික් පා(ර්)ක්' බෙදා හැරියේ?

ඔව්. එතකොට චිත්‍රපට සංස්ථාව තමයි චිත්‍රපට බෙදා හැරීම කළේ. 'ජුරාසික් පා(ර්)ක්' ප්‍රදර්ශනය කරනවා නම් සිනමාහලේ සරවුන්ඩ් ඉෆෙක්ට් සිස්ටම් එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෑ කියලා චිත්‍රපට සංස්ථාව කිව්වා. එතකොට ඇතැම් සිනමා ශාලාවල සරවුන්ඩ් සිස්ටම් එකක් හයි කරන්න පටන් ගත්තා. හැබැයි සරවුන්ඩ් ඉෆෙක්ට් එක ගත්තේ මැනුවලි. අර සතා කෑගහන කොට මැනුවලි ඔන් කරලා තමයි සවුන්ඩ් එක ගත්තේ.

l D. T. S තාක්ෂණය අපේ සිනමාවට හඳුන්වා දෙන්නට පුරෝගාමී වුණෙත් ඔබ?

'Digital theatre system'  කියන තාක්ෂණය තමයි අපි D. T. S  නමින් හඳුන්වන්නේ.  D. T. S  මුලින්ම අපි සවි කළේ මැජෙස්ටික් සිනමා ශාලාවේ. D. T. S  සමාගමෙන් නැවත සිලෝන් තියට(ර්)ස් සමාගම මෙම සිනමාහල අරගත්තට පස්සේ තමයි එය නවීකරණය කරලා D. T. S  තාක්ෂණය ඊට යොදා ගත්තේ. මම හිතන්නේ මුලින්ම ඒකේ පෙන්නුවේ 'Lord of the Ring'  චිත්‍රපටය.

l D. T. S කිව්වට බොහෝ දෙනෙක් මේකේ අර්ථය දන්නේ නෑ. සරලව හඳුන්වා දෙන්න පුළුවන් ද මොකක්ද මේ කියලා?

ඔප්ටිකල් ස්ටීරියෝ එකේ ඉඳලා D. T. S  තාක්ෂණයට එනකොට ලොකු වෙනසක් තියෙනවා. ෆ්‍රීක්වන්සි එක වැඩියි. ඔප්ටිකල් ස්ටීරියෝ එකේ ශබ්දය එන්නේ පොඩ්ඩක් මික්ස් වෙලානේ. ඒත් D. T. S  එකේ සීයට සීයක්ම සෙෆරේෂන් සවුන්ඩ් එකක් තියෙන්නේ. මැද ස්පීකරයේ එන ශබ්දය වමෙන්වත් දකුණෙන්වත් එන්නේ නෑ. ඒ කියන්නේ ලෙෆ්ට්, සෙන්ටර්, රයිට් ඇන්ඩ් සබ්වූෆර් 5.1 (ෆයිව් පොයින්ට් වන්) කියන තාක්ෂණයෙන් තමයි අපි D. T. S.කළේ..

ත අපේ සිනමාහල් රැසකටම D. T. S  තාක්ෂණය හඳුන්වා දුන්නේ ඔබ?

මේ වෙනකොට මම අපේ රටේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වෙන විදිහට සිනමා ශාලා හතළිස් හයක් D. T. S  කර තිබෙනවා. නම් වශයෙන් කියන්න ගියොත් දිග වැඩියිනේ.

අද අපේ සිනමාවේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි මේ ඩිජිටල්කරණය පිළිබඳ අවුල?

ඔව්. ඇත්ත වශයෙන්ම.

යෝජනා ඉදිරිපත් වෙනවා. විකල්ප එනවා. ඒත් ප්‍රශ්නය එක තැන පල් වෙනවා?

අද ලෝකයේ බොහෝ රටවල 35ර්ර් සිනමාව අහෝසි වෙලා ඉවරයි. දැන් ඩිජිටල් යුගයට අපි ඇවිත් තියෙන්නේ. නමුත් අපේ රටේ තාම ඒ පිළිබඳ නිසි ක්‍රමවේදයක්, ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙන්නේ නෑ. දැනට අපේ රටේ ඩිජිටල් සිනමා ශාලා තිහක් පමණ තියෙනවා. මේවා කෙරුණේ කිසිදු රාජ්‍ය අනුග්‍රහයකින් තොරව. පෞද්ගලික මට්ටමෙන්. මුලින්ම අපි සිනමා ශාලාවක් ඩිජිටල්කරණය කළේ 'මැජෙස්ටික් 3ච් සුපීරියර්' සිනමාහල ලංකාවේ ප්‍රථම වාතවට.

එහි ගෞරවයත් ඔබට හිමියි?

ඒක කළේ මම. ඒ 2011 වසරේදි. ඒක ඩිජිටල් 2 K - 3D සිස්ටම් එක. දෙවනුවට කළේ සැවෝයි සිනමාහලේ. හැබැයි ඒක කළේ ඊ. ඒ. පී. සමාගමේ එයාලගේ ටෙක්නිකල් ටීම් එකක්. ඊට පස්සේ අපි 'ලිබර්ටි ලයිට්' එක කළා. ස්කයි ලයිට් කළා. Dons Plaza කළුතර කළා. මිනර්වා කළුතර, ජී. කේ. සිනෙමැක්ස් - කල්මුනේ, මිලානෝ - කෑගල්ල, ඡායා - කෑගල්ල වගේ සිනමාහල් දැනට අපි ඩිජිටල් 2K  තාක්ෂණයට හරවලා තියනෙවා. මේ අතරින් 3D කරලා තියෙනවා සමහර සිනමාහල්.

අද ප්‍රේක්ෂකයෝ සිනමා ශාලා කරා නොඑන බවට සිනමා ශාලා හිමියන්ම මැසිවිලි නඟනවා. ඊට විවිධ වූ හේතූන් තිබුණත් මම හිතන්නේ ශාලාවල තිබෙන අඩුපාඩු පිළිබඳ තත්ත්වයත් ඊට ප්‍රබල හේතු සාධකයක්?

ඇත්තටම අපේ සිනමා ශාලාවල නම් අපි ප්‍රේක්ෂකයා වෙනුවෙන් උපරිම දෙයක් කරලා තියෙනවා. නමුත් චිත්‍රපට බෙදා හැරීමේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ. මම චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමයේ සාමාජිකයකු හැටියටත් කටයුතු කරනවා. අපි මේ ප්‍රශ්න හා ගැටලු පිළිබඳ ප්‍රදර්ශකයන්ගේ සංගමයේ රැස්වීම්වල අවුරුදු දෙක හමාරක් තිස්සේ දිගින් දිගටම කතා කළා. ඒත් කනගාටුයි කියන්න තවමත් ඒවාට විසඳුමක් ලැබිලා නෑ. සිනමාවට රජයෙන් කුඩම්මාගේ සැලකිල්ල තමයි ලැබෙන්නේ.

සිනමා ශාලා හිමියකු හැටියට මේ තත්ත්වය ඔබට දැනෙන්නේ කොහොමද?

අද මේ වර්තමානයේ කෙනෙක් සිනමාහලක් පවත්වාගෙන යන්නේ හුදු ලාභදායි ව්‍යාපාරයක් හැටියට සලකලා නෙවෙයි. සමහරුන්ට මේ සිනමා ශාලා ලැබිලා තියෙන්නේ මව්පිය උරුමයෙන්. ඒ නිසා ඔවුන්ට සිනමාව එක්ක සම්බන්ධයක් තියෙනවා. ඒ නිසාම මේකට ආපු කෙනා සිනමාව අතෑරලා යන්නැති ගතියක් තියෙනවා. අන්න ඒ නිසා තමයි බැන බැන හරි මේ ඉන්ඩස්ට්‍රි එකේම රැඳිලා ඉන්නේ. බොහෝ සිනමාහල් පිහිටලා තියෙන්නේ නගර මධ්‍යයේ විශේෂිත ස්ථානවල.

ඇතැම් ඒවා ලොකු වාණිජ වටිනාකමක් තිබෙන ස්ථාන?

ඔව්. ඇත්තටම ඒ වගේ තැනක් ෆුඩ් සිටියකට කුලියට දුන්නා නම් මාසෙකට ලක්ෂ හතරක්, පහක් ගන්නවා. බ්‍රෝඩ්වේ - මාතර එහෙම කළා. බ්‍රෝඩ්වේ සිනමාහල කියන්නේ මාතර ලෑන්ඩ් මා(ර්)ක් එකක්. ඒක කාගිල්ස් Food City  එකට දුන්නා. තවත් සිනමාහල් කීපයක් තියෙනවා වෙනත් බිස්නස්වලට කන්ව(ර්)ට් කරපු.

ප්‍රමුඛත්වය අතින් බැලුවොත් අපිට මුලින්ම කරන්න තියෙන්නේ සිනමාව ඩිජිටල්කරණය කිරීම. නොඑසේ නම් අංකිත තාක්ෂනයට හැරවීම. ඔබට හැඟෙන විදිහට මොනවද ඊට තියෙන බාධක?

අද මම හිතන්නේ සිනමා ශාලාවක් 2K ඩිජිටල් තාක්ෂණයට හරවන්න ලක්ෂ හැත්තෑවක්, අසූවක් පමණ යනවා. සිනමා ශාලාවේ දිග, පළල සහ තිරයේ ප්‍රමාණය අනුව සිනමා ශාලාවක් ශාලාවෙන් ශාලාවට මේ මුදල වෙනස් වෙනවා. කොහොම වුවත් අවම මුදල ලක්ෂ පනස් පහක් විතර වෙනවා. සවුන්ඩ් සිස්ටම් එකට නැතිව.  DTS  තාක්ෂණය තියෙන සිනමාහල්වලට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒත් එහෙම නැති සිනමාහල්වලට තවත් රුපියල් ලක්ෂ පහළොවක් විතර වැය වෙනවා සවුන්ඩ් සිස්ටම් එකට. එතකොට ලක්ෂ හැත්තෑවක්.

සිනමා ශාලා හිමියන්ට පමණක් මේ බර දරන්නට අමාරුයි?

ඒක තනියම ඔවුන්ට කරන්න බෑ. එහෙම දරන්න කියන එක සාධාරණ නෑ. ඒ සාධාරණ නැත්තේ රුපියල් 100 කට ප්‍රවේශ පත්‍රයක් වික්කොත් සිනමා ශාලාවට ඕකෙන් රුපියල් 37.00 යි තියෙන්නේ. ද්‍රවිඩ චිත්‍රපට බෙදා හරින්නන් ඉතාමත් අසාධාරණ විදිහට සිනමා ශාලාවකින් සීයට හැත්තෑ පහක් ඉල්ලනවා. එතකොට සියයට විසි පහයි සිනමා ශාලාවට තියෙන්නේ. සමහර හෝල් සීයට විස්සටත් පෙන්නනවා.

මීට අමතරව සිනමාහල් විසින් 10% ක විනෝද බදු මුදලකුත් ගෙවන්න ඕනෑ නේද?

විනෝද බද්ද කියන්නේ ඉතාම පැරැණි බද්දක්. රුපියල් සීයක ටිකට් එකකින් රුපියල් දහයක් විනෝද බද්ද ඉස්සර වෙලාම අයින් කරනවා. ඊට අමතරව චිත්‍රපට සංස්ථාවට 6% ක ලිවි එකක් ගෙවනවා. එතකොට ඒ දෙක අයින් කරලා තමයි පොතට දාන්නේ. ඒ මුදලින් බෙදා හැරීමේ මණ්ඩලය 10% ක් ගන්නවා. ඉතිරි මුදලින් 45% ක් සිනමා ශාලාවට. 45% ක් චිත්‍රපට නිෂ්පාදකයාට හරි ආනයනය කරපු සමාගමට හරි. ඔය විදිහට බෙදිලා ඉවර වුණාට පස්සේ සිනමා ශාලාවට රුපියල් 37.00 යි ලැබෙන්නේ.

ඒ කියන්නේ රුපියල් සීයකින් සිනමා ශාලාවට ලැබෙන්නේ රුපියල් තිස් හතයි?

ඔව්. 37% යි. මම දන්නවා සමහර සිනමා ශාලාවලත් විනෝද බදු ගන්නවා 20% ක්. ඒ ගන්නේ රුපියල් 250 ක ටිකට් එකකින් නගර සභාව ගන්නවා රුපියල් 50 ක්. පෝස්ටරයක් ගහන්න දෙන්නේ නෑ. හෝල් එකේ කුණු ටික ගෙනි යන්නේ නෑ. අපි අපේ සිනමා ශාලා තුනෙන් මාසෙකට නගර සභාවට බදු ගෙවනවා රුපියල් ලක්ෂ දෙකකට වැඩිය. මේ කර්මාන්තය තරම් බදු ගෙවන වෙන කිසිම කර්මාන්තයක් නෑ. නගර සභාවට මෙච්චර කල් අපි මේ බදු මුදල ගෙව්වා. නගර සභාව කියන්නේ රජය. අපි අමාරු වෙලාවේ ඇයි රජයට අපට උදව් කරන්න බැරි.

විනෝද බදු ක්‍රමය අදට නොගැළපෙන බවයි ඇතැමුන් කියන්නේ?

ඉස්සර සමහර අවස්ථාවල සැලෝලයිඩ් පටය ගිනි ගන්නවා. එහෙම වුණාම යම් කිසි හානියක් වෙන්න පුළුවන් සිනමාහලට නැතිනම් ප්‍රේක්ෂකයාට. එහෙම සිද්ධි වුණා. ඉස්සර නගර සභාවෙන් ෆයර් ඔෆිසර්ස්ලා දෙන්නෙක් ඒ සඳහා යොදවා තිබුණා ඒ වගේ අවස්ථාවන්ට මුහුණ දෙන්න. එතකොට ඔය එම්ප්ලෝයි කරපු දෙන්නට ගෙවන්න තමා අර 10% බද්ද ගත්තේ. දැන් ඩිජිටල් 2ම් පෙන්වන්නේ. හැබැයි තාම විනෝද බදු අය කරනවා. මේක විහිළුවක්.

සිනමාහල් ඩිජිටල්කරණයේදී රජය මැදිහත් විය යුතුයි කියා ඔබ හිතනවාද?

අනිවාර්යයෙන්ම. චිත්‍රපට සංස්ථාව හරහා රජය යම්කිසි සහන පොලියක් මත ණය මුදලක් ලබා දිය යුතුයි. එය සිනමා ශාලා හිමියන්ට කරන පෞද්ගලික උදව්වක් නෙවෙයි. මුළු මහත් සිනමා කර්මාන්තයටම කරන උදව්වක්.