වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 02 වැනිදා බ්‍රහස්පතින්දා




චිත්‍රපට හයක් එකවර හදන නිෂ්පාදකයා මෙන්න...

චිත්‍රපට හයක් එකවර හදන නිෂ්පාදකයා මෙන්න...

ජගත් විශ්ව කුමාර වතියගේ

පසුගිය දවසක දේශීය සිනමාවේ බොහෝ දෙනා අතර කතබහට ලක් වූයේ එකවර චිත්‍රපට හයක් නිෂ්පාදනය කිරීමට සැරසෙන නිෂ්පාදකවරායා පිළිබඳය. ප්‍රවීණ සිනමාවේදී සුගත් සමරකෝන් අධ්‍යක්‍ෂණය කරුනු ලැබූ ‘අපේ කාලයේ පටාචාරා’ චිත්‍රපටය නිපදවමින් සිංහල සිනමාවට පිවිසෙන ජගත් කුමාර වතියගේ නම් වන ඔහු එය තිරගත වන්නටත් පෙර චිත්‍රපට හයක් එකම දිනයකදී නිපදවීම ආරම්භ කළේය. මේ සියල්ල සුගත් සමරකෝන් විසින් තිර රචනය ලියා අධ්‍යක්‍ෂණය කරනු ලැබීම ද විශේෂ සිදුවීමකි.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ තමාගේම ව්‍යාපාරයකට හිමිකම් කියමින් ජීවත්වන ජගත් මාතර තල්පාවිල උපත ලද්දෙකි. ගම්පහ බණ්ඩාරනායක විදුහලේ ඉගෙනුම ලබද්දී සිනමා ලෝලියකු වන ඔහු කලක් හමුදා නිලධාරියකු ලෙස ක්‍රියාන්විතයේද සේවය කලේය. ජගත් නිෂ්පාදකවරයකු වශයෙන් ප්‍රථම වතාවට පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් ‘සරසවිය’ හා හෘදයාංගමව කළ කතාබහකි මේ.

සිංහල සිනමාවට එක් වූ නවතම නිෂ්පාදකවරයා ඔබයි. කලාකරුවෙක් හැටියට ඔබව හඳුන්වනවටද කැමැති, ව්‍යපාරිකයෙක් හැටියටද?

ඇත්තටම මම කැමතියි කලා කරුවෙක් හැටියට හදුන්වනවට. කලාව කියන්නේ බොහොම සුන්දර දෙයක්. දේවත්වයෙන් සැලකිය යුතු දෙයක්. සැබෑවටම කලාව දෙවියොත් එක්ක කරන්න ඕන දෙයක්. ව්‍යාපාරිකයෙක් කිව්වොත් මුදල් හා සම්බන්ධ දෙයක් විතරයි. ව්‍යාපාරයක් හැටියටම කලාව කළොත් මම හිතන්නෙ නෑ සාර්ථක වෙයි කියලා.

ඔබ කලාවට සම්බන්ධ වුණේ ව්‍යාපාරික මනසක් ඇතිව නෙමෙයි කියලද ඔය කියන්නේ?

නෑ, නෑ, කොහෙත්ම නෑ. ශ්‍රී ලාංකිකයෙක් හැටියට මම මොන රටේ හිටියත් අපේ රටට, ඉතිහාසයට සභ්‍යත්වයට හොඳ දෙයක් කිරීම තමයි මගේ මූලික අරමුණ. ඒ වගේම කලාවට ගොඩාක් මං ආසයි. කලාවට මගෙන් විය යුතු සේවයක් හැටියටයි මම මේ නිර්මාණවලට කැප වෙලා සිටින්නෙ.

ඔබ මේවන විට ඕස්ට්‍රේලියාවෙ පදිංචි වෙලා වසර දහනමයක්. මේ කාලය ඇතුළත එහිදී කලා කටයුතුවලට සම්බන්ධ වුණේ නැද්ද?

ඇත්ත වශයෙන්ම මම චිත්‍රපට නිෂ්පාදනයට සම්බන්ධ වෙන්න මූලික හේතුව වුණේ ඕස්ට්‍රේලියාවේ හිටපු එකයි. ලංකාවේ හිටියා නම් මම හිතන්නෙ නැහැ සුගත් සමරකෝන් වගේ දක්‍ෂ අධ්‍යක්‍ෂවරයෙක් මට හමුවෙයි කියා. මම ඒක විශේෂයෙන් කියන්න කැමතියි.

මොකක්ද ඒ කතාවෙ තේරුම?

අපේ රටේ කලාකරුවන්ගේ මොනවා හරි ප්‍රසංගයක් සෑම සතියකම මෙල්බර්න්වල පවත්වනවා. මට මෙහෙට වැඩිය ශ්‍රී ලාංකික කලාකරුවො එහෙදි මුණ ගැසෙනවා. මම පුළුවන් ඉහළම විදිහට ඔවුන්ට සලකන්න අමතක කරන්නෙ නැහැ. සමහර අයට මගේ නිවසේම නවාතැන් දීලා උදවු කරනවා. සනත් අබේසේකර ‘මහින්දාගමනය’ චිත්‍රපටය රැගෙන ඕස්ට්‍රේලියාවට පැමිණි විටත් ඒ සියලු දෙයටම මම උදවු කළා. එහෙම අවස්ථාවක තමයි සුගත් සමරකෝන් අපේ අධ්‍යක්‍ෂවරයා එහිදී මුණ ගැසුණේ.

ඒ කොහොමද?

ඔහුගේ ‘විජය කුවේණි’ චිත්‍රපටයත් රැගෙන එහි නිෂ්පාදකවරයත් සමඟ ඔහු ආවා මෙල්බර්න්වල ප්‍රදර්ශනය කිරීමට. මොවුන් හඳුනා ගන්න ලැබෙන්නෙ ඒ අවස්ථාවේ. කලාවට තියෙන ලැදියාව නිසා බලෙන්ම වගේ හඳුනාගෙන ඔවුන්ට උදවු කරන්න මට අවශ්‍ය වුණා.

මොකද ඔබට චිත්‍රපටයක් කරන්න හිතක් පහළ වෙලා තිබුණද එතකොට?

නැහැ කොහෙත්ම නෑ. ඒවට තියෙන ආශාව නිසයි එහෙම කළේ. ඔවුන් එක්ක එකතු වෙලා විජය කුවේණි දර්ශන වාර ගණනාවක් පෙන්නුවා. බොහොම හොඳ ප්‍රතිඵල ලැබුණා.

ඒ කියන්නේ ප්‍රායෝගිකව විජය කුවේණි ප්‍රදර්ශනය කරන්න ඔබ සම්බන්ධ වුණා?

අනිවාර්යයෙන්ම, ඕස්ට්‍රේලියාවේ ඔවුන් සිටිය මාසෙම මා සමඟයි ගත කළේ. ඒ අයට අවශ්‍ය සෑම තැනම එක්කගෙන ගිහිල්ලා අවශ්‍ය හැම දේටම මම උදව් කළා.

නිෂ්පාදනයට කලින් ඔබ නළුවකු වෙනවා නේද?

ඔව්, දවසක් මම ලංකාවට ආ වෙලාවක සුගත් මගෙන් නිකමට වගේ ඇහුවා අපි චිත්‍රපටයක් කරනවා ‘ඇහැලේපොළ කුමාරිහාමි’ කියලා. කැමැති නම් රඟපාන්න එන්න කියලා.

නිෂ්පාදකවරයෙක් වෙන්නෙ ඔබ මින් පසුව. කොහොමද මේ ආරම්භය සිදුවෙන්නේ?

‘අපේ කාලයේ පටාචාරා’ නිෂ්පාදකවරයා බවට පත් වෙන්න හේතු ගොඩක් තිබුණා. ‘ඇහැලේපොල’ කරන කාලෙ මාස දෙකක් පමණ මම හිටියෙ ලංකාවෙ. ඒ නිසා එහි හැම කටයුත්තකටම මමත් සහභාගි වුණා. ඒ විදිහට චිත්‍රපටය කරලා ටික දවසක් ගත වෙද්දි මම දැක්කා සුගත් සමරකෝන් කියන අධ්‍යක්‍ෂවරයා නැවත චිත්‍රපටයක් නොකරනවා වගේ පෙනුමක් ඔහුගෙ කතා බහෙන්.

ඔය කියන්නෙ ‘ඇහැලේපොළ’ ප්‍රදර්ශනය වෙන කාලෙ?

නැහැ, ප්‍රදර්ශනය වෙන්න කලින්. මාත් සමඟ කතා කරද්දි නැවත චිත්‍රපට කරන්නෙ නෑ කියනවා වගේ කලකිරුණු ස්වභාවයක් මම දැක්කා ඔහුගෙන්.

ඉතින් ඔබ මේ ගැන ඔහුගෙන් ඇහුවද?

නෑ, ප්‍රශ්න කරන්න ගියේ නෑ මට අයිතියක් නැති නිසා. නමුත් මේ වෙනකොට මම දන්නවා මොකක්ද හේතුව කියලා. එහෙම ඉන්න කොට දවසක් මගෙන් අහැව්වා චිත්‍රපටයක් කරන්න කැමැත්තක් නැද්ද කියලා. හැබැයි කිසිම අවස්ථාවක කරමු කියලා බල කළේ නැහැ. මම වචනයක් දුන්නෙ නැහැ. ඔහොම ටික කාලයක් ඉන්න කොට මට අදහසක් ආවා මේ වැඩේට අත ගහන්න ඕනෑ කියලා. නමුත් ඒ අවස්ථාවෙ වත් මේකෙන් සල්ලි හම්බ කරන්න පුළුවන් කියලා අදහසක් ආවේ නෑ. මොකද මගෙ ජීවිත කාලෙදි අමාරු දේ බාර අරගෙන සාර්ථකව නිම කරන්න පුදුම ආසාවක් තියෙන්නෙ.

පටාචාරා මීට කලිනුත් සිනමාවට නැඟිලා තියෙනවා. උදය කාන්තත් මේකම කරන්න සූදානමක් තිබුණා. එහෙම එකක් තෝරා ගන්න බයක් තිබුණේ නැද්ද?

එහෙම චිත්‍රපටයක් තිබුණා තමයි. මම නරඹලත් තියෙනවා. නමුත් ‘අපේ කාලයේ පටාචාරා’ ස්ක්‍රිප්ට් එක කියෙව්වාම හරි අමුතුම ආකාරයකටයි මම දැක්කෙ. බෞද්ධ දර්ශනයේ තියෙන පටාචාරා කතාව අපේ කාලයේ පටාචාරා කතාවේත් තියෙනවා. නමුත් මේක අද කාලයට ගලපා තියෙන විදිහට පුදුම ආශ්වාදයක් ලබන්න පුළුවන් කියලා මට හිතුණා. ඔහු හොඳ ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක් වගේම දක්‍ෂ අධ්‍යක්‍ෂවරයෙක්. මේ කතාවත් කාලෙකට කලින් ලියා තිබුණ එකක්.

ඔබේ පළමු නිර්මාණයේ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලබන්නත් කලින්, නැත්නම් වැඩ අවසන් කරන්නත් කලින් තවත් චිත්‍රපට හයක් බාර ගන්නවා. මෙච්චර විශ්වාසයක් ඇති වුණේ කොහොමද? නැත්නම් මෙහි වගකීම ඔබට වැටහුණේ නැතුවද?

එහෙම කිසිම දෙයක් නෑ. මොකද මේ නිර්මාණ හයේම තිර පිටපත් මම කියවලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේක ලොකු අභියෝගයක්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම ආසයි අභියෝගවලට මුහුණ දෙන්න. ඕන අභියෝගයකට මුහුණ දීලා ජය ගන්න පුළුවන් ඕනම මනුස්සයෙකුට හරි විදිහට වැඩ කරනවා නම්. මොකද මේ නිර්මාණ හය එක විටම කරන්නෙ නෑනෙ.

කොහොමද මේ නිර්මාණ කටයුතු කරන්න සැලසුම් කර තියෙන්නෙ. මේ චිත්‍රපට හයත් පෙර මෙන් ඉතිහාස කතාද?

සේරම නෙමෙයි. මේවා එකින් එකට වෙනස්. ‘තෛ‍්‍රයිලෝක පත්‍රම්, කුවේණිගේ දරුවෝ, අන්ධ සුන්දරී, මහා වංශයෙන් එහා වංශයේ මහා රාවණා, ජුදාස්ට එරෙහ්ව ජුදාස්, බාල දක්‍ෂයෝ’ මේ චිත්‍රපට හයයි. මහා රාවණා, කුවේණිගෙ දරුවෝ ඉතිහාසයට සම්බන්ධයි. අන්ධ සුන්දරී සීරියස් කොමඩි චිත්‍රපටයක්. මැයි මාසෙ මුල අපි ‘තෛ‍්‍රයිලෝක පත්‍රම්’ කියන චිත්‍රපටය පටන් ගන්නවා. කොහොමත් අවුරුදු තුනක් ඇතුළත මේ සියල්ලම නිම කරනවා.

ඒ කියන්නෙ එකක් ප්‍රදර්ශනය කර අවසන් වෙලා ඊළඟ එක පටන් ගන්නවා?

නෑ, නෑ, එච්චර කාලයක් ගත කරන්න බැහැ.

මම අදහස් කළේ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරලා මුදල් ලැබුණට පස්සෙ අනික පටන් ගන්නවද කියා. නැත්නම් කොහොමද මේ පිරිවැය දරන්නෙ. ඔබට ඒකට මුහුණ දෙන්න ශක්තියක් තියෙනවද?

ඇත්ත වශයෙන්ම මම ජීවත්වෙන රට වෙන රටක්. මම ඒ රටේ උපයන මුදල් තමයි මෙහෙ ගෙනල්ලා මේවට යොදවන්නෙ. ඒ කියන්නෙ විදේශ විනිමය. මට බොහොම ආඩම්බරයි මම ඒ රටේ හම්බ කරලා සංවර්ධනය වන රටක් හැටියට අපේ රටට යමක් කිරීමට ලැබීම ගැන. මම බොහොම සන්තෝෂයෙන් තමයි ඒක කරන්නේ. මට ඒකට හැකියාවක් තියෙනවා.

මේවන විට සිනමා කර්මාන්තයේ බොහෝ ප්‍රශ්න තියෙනවා. චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම ඇතුළු සිනමාශාලා පිළිබඳ. පිටපත් පිළිබඳ වගේ?

ඇත්ත. සැප පහසුවට චිත්‍රපටයක් නරඹන්න තමයි කවුරුත් කැමති. ඒ පහසුකම් සැලසිය යුතුයි. ප්‍රධාන කොටම සිනමාශාලා නම් අලුතින් ඉදිවිය යුතුමයි. ඒක තමයි පිටපත් සහ චිත්‍රපට පෝලිම් ප්‍රශ්නයටත් තියෙන හොඳම විසඳුම. සිනමාශාලා අඩුකම මේවාට ප්‍රබල ලෙස බලපානවා. අපි හැමදාම කතාකරන ඩිජිටල්කරණයත් ඉක්මනටම එක් කළ යුතුයි. මේවා සේරම ඇත්ත නමුත් අපි කරන දේ ගැන විශ්වාසයක් තැබිය යුතුයි. අභියෝග බාරගත යුතුයි හරි විදිහට. මම හිතන්නෙනෑ එහෙම හරි විදිහට කළොත් පාඩු වෙයි කියලා. මොකද තවම චිත්‍රපට නිෂ්පාදනය වෙනවනේ. දැන් මිනිස්සු හැම තිස්සෙම කියන්නෙ චිත්‍රපට කර්මාන්තය වැටිලා. කිසිම වැඩක් නෑ කියලා. පාඩුමයි වෙන්නෙ කියන මිනිස්සුම චිත්‍රපට නිෂ්පාදනය කරන්නෙ ඇයි? මේක මම විශ්වාස කරන්නෙ නෑ. මොකද මගේ මේ අධ්‍යක්‍ෂවරයා කරලා තියෙන චිත්‍රපට දෙකම පැහැදිලිවම අපි දන්නවා කොච්චර හොඳට කෙරුණද කොච්චරක් ලාබ වෙලා තියෙනවද කියලා.

වගකීමෙන්ද ඔබ කියන්නේ?

ඔව්, අනිවාර්යයෙන්ම. මොකද මම දැක්කා පිටරටවල ප්‍රදර්ශනය වුණා. ඉතින් ඒක නොවෙන්න හේතුවක් නෑ. වාර්තා තියෙනවානේ හැම තැනම මෙච්චර වියදම් වෙලා තියෙනවා. මෙච්චරක් හම්බකරලා තියෙනවා කියලා. ඉතින් ලාබද පාඩුද කියලා මිනිස්සු එක එක විදිහට කියයි.

ඔබත් එහෙම කියයි ද ඉදිරියේදී?

මම නම් අවංකවම ඇත්ත ඇති සැටියෙන් කියනවා. පාඩු ද ලාබ ද කියලා කෙළින්ම කියන්න ඕනා. ඒ වගේ වාතාවරණයක් තුළ මිනිස්සු කියන එක එක දේවල් අහලා මගේ හිතේ තියෙන ධෛර්යය මං නැති කරගන්නෙ නැහැ. චිත්‍රපට නෙමෙයි මොනම ව්‍යාපාරයක්වත් එහෙම කරන්න බෑ.

මේ චිත්‍රපට හතේ මුහුරත් උත්සවයට ගිනස් වාර්තා නිලධාරීනුත් පැමිණ සිටියා. ඔබට මෙහෙම නිර්මාණ තොගයකට අත ගහන්න හිතුණෙ ඔබේ නමත් ගිනස් එකට දාගන්න හිතිලාද?

අනේ නෑ. මේවා සංවිධානය වෙනකොටවත් අපි දන්නෙ නෑ ගිනස් එකක් ගැන. අපේ අවශ්‍යතාව තිබුණේ එක මුහුරත් උත්සවයකදී මේ චිත්‍රපට හයම නිෂ්පාදනය කිරීමට බාර ගැනීම පමණයි. අවංකව කියනවා නම් මගේ අධ්‍යක්‍ෂවරයා මං ගැන තිබුණ විශ්වාසය නිසාම තිර පිටපත් මට බාර දුන්නා කියන එකයි.

බාර දුන්න නිසාම බාර ගන්නවද?

එහෙම බාර දුන්න පළියටම බාර ගන්න මම කැමති නෑ. ඒ ගැන සොයා බලා කියවලා මට ඇති වෙච්ච විශ්වාසය නිසාම තමයි මම මේ පිටපත් බාර ගත්තේ.

ඒ කියන්නේ එකින් එකට මේ පිටපත් හය ගැනම අධ්‍යයනය කළා?

ඔව්, එහෙම කරන්නෙ නැතුව කොහොමද මම බාර ගන්නෙ. හැම ස්ක්‍රිපිට් එකක් ගැනම අපි එකින් එක සාකච්ඡා කළා. ඒ විතරක් නෙමේ එකින් එක කියෙව්වා.

මහා රාවණා කියන්නෙ ඉතා දැවැන්ත නිර්මාණයක්. වසර 7500 ක ඈත ඉතිහාසයකට යන්න වෙනවා. ඉන්දියානු නළු, නිළියන් සම්බන්ධ කරගන්නා බවත් පැවසෙනවා. මෙහි මුහුරත් උත්සවයෙදි තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ වෙනුවෙන් ඔබට විශේෂ තිළිණයකුත් ප්‍රධානය කළා?

ඔව්, අනිත් නිර්මාණ පහත් හරි මේකත් හරි. රජයක් හැටියටත් මේ ගැන විශාල අවධානයකින් පසු වෙන්නෙ. මොකද රාවණා කියන්නෙ එසේ මෙසේ රජ කෙනෙක් නෙමෙයි. රාවණා ගැන මෙතෙක් කිසිම නිර්මාණයක් කෙරිලා නෑ. ඉන්දියාව චිත්‍රපට ටෙලි නාට්‍ය සිය ගණනක් මේ කතාව ගැන කරලා තිබුණත් රාවණාට දෙන්න ඕන තැන දීලා නැහැ. ඔවුන් හැම තිස්සෙම උස්සන්නෙ රාමාව විතරයි. ශ්‍රී ලාංකිකයො හැටියට අපිත් ට්‍රයි කරන්න ඕනා අපේ රටත් උඩට උස්සලා අපිත් මේ වගේ ශ්‍රේෂ්ඨ ජාතියක් කියලා පෙන්නන්න. ඒ නිසා වත්මන් රජයත් මේ නිර්මාණයට උපරිම දායකත්වය ලබා දෙන්න සූදානමින් සිටිනවා කියන එකත් කියන්න අවශ්‍යයි.

ඒක එහෙම වුණාට අද ඉතිහාස රැල්ලක් ඇවිත් කියා ආඩපාලි ඇහෙනවා?

මටත් ඇහිලා තියෙනවා. ඉතිහාසය කියන්නෙ මොකක්ද? තමන්ගෙ තාත්තා, සීයා, කිත්තා, කිරිකිත්තා, මුත්තා, නත්තා, පනත්තා. ඕවා තමයි ඉතිහාසය කියන්නෙ. ඔවුන් අපට වැඩක් නෑ කියලා අපට කියන්න බෑනෙ. අනිවාර්යයෙන්ම අපි කොහෙන් හරි ආපු මිනිසසු ජාතියක්. මම ජීවත්වෙන ඕස්ට්‍රේලියාවෙ පවා බොහොම කෙටි ඉතිහාසයක් තියෙන රටක්. ඒ පොඩි ඉතිහාසය ගැන ඒ අය කොච්චර වර්ණනා කරනවාද? එහෙම නම් අපිට අපේ ඉතිහාසය ගැන කේච්චර කියන්න දේවල් තියෙනවාද. අද රටේ මිනිස්සුන්ගෙ ඔළු වෙනස් වෙලා තියෙන්නෙ. ඔවුන් සන්තෝෂ වෙන් ඕනෑ මේ හැම නිර්මාණකරුවෙක්ම වළලිලා යන ඉතිහාසයක් මතු කරලා අරගෙන අපේ පරම්පරාවේ අනාගතයට මේවා පෙන්වීම ගැන.

මොකද අද ඉන්න පරම්පරාව මේවා ගැන පොත පත බලන්නවත් ඉගෙන ගන්නවත් කැමැත්තක් නෑ. ඔවුන්ට දැන් අවශ්‍යවෙලා තියෙන්නෙ කම්පියුටර්, අයිෆෝන්, ඩිජිටල් ලෝකයක්. ඔවුන්ගේ වීරයෝ සුපර්මෑන්ලා, ස්පයිඩර් මෑන්ලා තමයි අපේ වීරයො ගැන දන්නෙත් නෑ. ඔවුන් හරිම කම්මැලියි පොත පත කියවලා අපේ ඉතිහාසය ඉගෙන ගන්න. එහෙම අයට මේ වගේ චිත්‍රපටයකින් හරි අපි මෙහෙම ජාතියක් කියලා පෙන්නලා දෙන එක කොයි තරම් වටිනවද? අනික අපේ ඉතිහාසය ගැන අපි නිර්මාණ කරන්නෙ නැතුව වෙන රටකින් ඇවිත් කරන්නෙ නෑනේ. අපේ ඉතිහාසය වටින්නෙ අපිට.

ඒ වුණත් ඔබත් ජීවත් වෙන්නෙ පිටරටක?

ඇත්ත, මම පිටරටක ඉන්නෙ. බුදු සරණයි, දෙවි පිහිටයි මම හොඳට ජීවත් වෙනවා. අවංකව කියනවා නම් සල්ලි හම්බ කරන්න නෙමෙයි මම මෙහෙ එන්නෙ. රටට තියෙන ආදරේට. මිනිස්සු සැපයි කියන හැම දෙයක්ම මම ඉන්න රටේ තියෙනවා. මට ඉන්න පුළුවන් සැපට. ඒක නෙමෙයි ශ්‍රී ලාංකිකයන් හැටියට අපි කළ යුත්තේ. මා ගැන විතරක් හිතලා වැඩක් නෑ. අවංකව කියනවා නම් මගේ හිතේ නෑ මේ චිත්‍රපට කරලා ලොකු සල්ලි කාරයෙක් වෙන්න. පහන් සිතින් කරනව නම් වැඩක් ඒක අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. හොඳ හිතින් කරන ඕනෑම දෙයක් වරදින්නේ නැහැ.

අපි අපේ ඉතිහාසය ගැන කොයි තරම් චිත්‍රපට කළත් අපි විතරයි මේවා නරඹන්නෙ. විදේශිකයෝ අපේ ඉතිහාසය දැනගන්නේ කොහොමද මේවට වැඩ පිළිවෙළක් තවම නෑනේ?

ඇත්ත, විශේෂයෙන් මම මේක කියන්න ඕනා. මගේ මේ බෞද්ධ චිත්‍රපට සේරම මම ජාත්‍යන්තරයට ගෙන යනවා.

ඒ කියන්නේ, ඒකට වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවාද?

සන්තෝෂයෙන් කියන්න ඕනා. පවතින රජය පවා අපට මේ වැඩ පිළිවෙළට උදවු කරනවා. ඒ අය බොහොම කැමැතියි අපේ ඉතිහාසය ඉදිරියට ගෙන යන්න. මගේ ‘අපේ කාලයේ පටාචාරා’ පවා ජාත්‍යන්තරයට යවනවා. ළිඳේ ඉන්න ගෙම්බො වගේ අපි මේකම කර කර ඉඳලා හරියන්නෙ නෑ. මුහුදෙන් එතෙරටත් යන්න ඕනා.

මේ කටයුතුවලට ඔබට අත හිත දෙන පිරිසක් ඇති?

ඇත්තටම මගේ මේ ප්‍රථම නිෂ්පාදනයට කිසිම පෙරහුරුවක් නොතිබුණත් මා ගැන විශ්වාසය තැබූ සුගත් සමරකෝන් මගේ අධ්‍යක්‍ෂවරයාට පළමුව ස්තුති වන්ත විය යුතුයි. ඔහු ලොකු සහයෝගයක් දුන්නා මට. ඒ වගේම මා සමඟ හැමදේටම ළඟ සිටි මගේ සහෝදරයා රෝහණ විපුල කුමාර සහ තවත් ඥාතියෙක් වන අජිත් පි‍්‍රයන්තත් සංජය සමරකෝන්, සමන්ත වීරකෝන්, නලීන්, තුසිත, සුරංග, නෝබට්, බුද්ධික, හර්ෂණ වගේම මගේ භාර්යාව ප්‍රසාදි වතියගේ සිහිපත් කරන්න ඕනා. ඇය ඒ රටේ ඉඳගෙන දරුවො තුන්දෙනාවත් බලාගෙන මට ලොකු සහයෝගයක් දෙනවා. ඇය දන්නවා පිට රටක සිටියත් මගේ එක කකුළක් ලංකාවේ තියෙන්නෙ කියලා. මොකද හැම තිස්සෙම මං කතා කළොත් කතා කරන්නෙ අපේ රට, ජාතිය ගැන. ඇත්තටම මම හිටපු හමුදා නිලධාරියෙක්. ඒ කාලෙත් රටට සේවය කළ කෙනෙක්. තව දුරටත් මට පුළුවන් දෙයක් පුළුවන් කාලයක් කරනවා.

අවසාන වතාවට මම මෙහෙම අහන්නම්. ඔබ හැම අභියෝගයකටම බය නැතුව අත ගහනවා කියනවා. හමුදාවෙ හිටිය නිසාද මේ බය නැති කම?

හමුදාවට ගියෙත් ඒක නිසා වෙන්න ඇති කියලා මම හිතන්නෙ. හමුදාවේ හිටපු නිසා මම ඉගෙන ගත්තා විනය කියන එක. හමුදාවේ ඕන කෙනෙක් නිර්භිතයි, බය නෑ කියලා විශ්වාසයක් තියෙනවා. අනික බයයි කියලා කියන්නෙ මේක යුද්ධයක් නෙමෙයිනේ. මිනී මරාගන්න ප්‍රශ්නෙකුත් නෙමෙයිනෙ. ඔය බයයි කියලා කියන්නෙ පාඩු වෙයි කියන ප්‍රශ්ණෙ හින්දනේ. යම් කිසි කෙනෙකුට මුදල් පාඩු වුණා කියලා, මට මුදල් පාඩු වුණා කියලා මැරෙන්නෙ නෑනේ. මට නැති වෙන්න දෙයක් නෑ. ජීවිතය කියන්නෙ කෙටියි. මැරෙනකොට කිසි දෙයක් අපි අරන් යන්නෙ නැහැ.