|
කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල04 සිට 09 දක්වා ලංකාවේ පැවැත්වෙන එකම ජාත්‍යන්තර නාට්‍ය උළෙල මෙයයි
නාට්‍යවේදී එම්. සෆීර්
කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල මෙවර සිව් වැනි වරටත් මේ මස 4 වැනිදා සිට 9 වැනිදා දක්වා පස්වරු 3.00 සිට 7.00 දක්වා කොළඹ බ්‍රිතාන්‍ය පාසල් රංගන ශාලාවේදී පැවැත්වෙයි. 2012 වසරේ ඉන්ටර් ඇක්ට් ආර්ට් කණ්ඩායමේ ප්‍රධානි නාට්‍ය ශිල්පී එම්. සෆීර්ගේ අදහසක් අනුව ඇරැඹෙන මේ රංග කලා උළෙල අද වන විට බෙහෝ බාධක ජය ගනිමින් දිගු ගමනක ආරම්භය සනිටුහන් කරමින් සිටියි. මේ උළෙලේ වර්තමාන තත්ත්වය පිළිබඳ එම්. සෆීර් සමඟ ‘සරසවිය’ කළ සාකච්ඡාවකි.
* කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල මෙවර පැවැත්වෙන්නේ සිව්වැනි වරටයි. ඒ පැමිණි ගමන් මඟ පිළිබඳ ඔබට පවසන්නට තිබෙන්නේ කුමක්ද? මොන මට්ටමින් හරි අවුරුදු හතරක් මේ නාට්‍ය උළෙල අපි පැවත්වූවා. ඒක ගැන නාට්‍යකරුවන් විදියට අපට තිබෙන්නේ සතුටක්. අනෙක් කාරණය තමයි මේ තරම් කාලයක් අපි මේ ගමන ආවේ රෝස මල් ඇතුරුව පාරක නොවෙයි. ඒ නිසා අදටත් අපි බොහෝ කරදර, බාධක මැද්දේ මේ කටයුත්ත කරගෙන යනවා. එතැනදි අපට සහය දෙන කොටසක් වගේම සහය නොදෙන කොටසක් ඉන්නවා. ඒ වගේම මේ කටයුත්තට අකැමැති කොටසකුත් ඉන්නවා. එහෙම කියලා ඒක ප්‍රශ්නයක් විදියට ගන්නත් අපි සූදානම් නැහැ. මෙහෙම දෙයකුත් තියෙනවා. මම නාට්‍ය උළෙල වසර හතරක් තිස්සේ කරන්නේ පෞද්ගලික වරදාන ලබා ගන්න නෙවෙයිනේ. අනෙක් එක මෙවැනි කටයුත්තක් කළ යුත්තේ හරි නම් රජය මඟින්. පැවතියා වූ හෝ පවතින හෝ එන්න ඉන්නා වූ රජයන් මඟින් තමයි මේවා පවත්වාගෙන යා යුත්තේ. එහෙම තියෙද්දිත් මම මේ කරන වැඩේ අවතක්සේරුවට දමලා වැඩක් නැහැ කියලා කියද්දි සිතන්න යමක් ඔවුන්ට තිබෙනවා. ඒ ඔවුන් සියලු දෙනාම කළ යුතු දේ, ඔවුන්ට කරන්නට නොහැකි වූ දේයි මේ තනි පුද්ගලයෙක් කරන්නේ කියන කාරණයයි. ඉන් අප බලාපොරොත්තු වන්නේ මෙවනි කටයුතු කරන අයව අධෛර්යවත් කිරීම නොව ධෛර්යවත් කිරීමයි. නමුත් අද වනතුරුත් මාව අධෛර්යවත් කළත් ධෛර්යවත් නොකළත් අවුරුදු ගණනක් නාට්‍ය උළෙල පැවැත්වුණා. * ආරම්භක අවධියට වඩා අද වන විට ජාත්‍යන්තර රංග කලා උළෙල තිබෙන්නේ දියුණු මට්ටමකද? ඇත්ත වශයෙන්ම ඔව්. මේ රංග කලා උළෙලට පළමු අවුරුද්දේ ආවේ අයදුම්පත් දහයක් පමණයි. දෙවැනි අවුරුද්ද වන විට ඒක දෙගුණ වුණා. තුන්වැනි අවුරුද්ද වන විට තුන් ගුණයක් වුණා. මේ අවුරුද්ද වන විට හතළිස් ගණනක් දක්වා අයදුම්පත් ප්‍රමාණයක් අපට ලැබිලා තිබෙනවා. මේ කාරණයෙන් පෙනෙන්නේ ගෝලීය වශයෙන් අප පවසන්නට හදන පණිවුඩය ලෝකයට සන්නිවේදනය වී ඇති බවයි. ඒක සුබවාදී ලක්ෂණයක්. * ජාත්‍යන්තර රංග කලා උළෙලක් සංවිධානය කිරීමේදී ඔබ ඇතුළු පිරිස මුහුණපාන ගැටලු මොනවාද? මේ උළෙල කොයි තරම් විධිමත්ව සංවිධානය වුණත් මෙහි තිබෙන සමහර තටු දිග හරින්න බැරි තත්ත්වයක් තමයි උද්ගත වී තිබෙන්නේ. ඒ මේ කටයුත්තේදී අපට තිබෙන යම් යම් සීමාකම් නිසා. උදාහරණයක් විදියට තව මුදල් තිබෙනවා නම් මේ නාට්‍ය නුවර හෝ අනුරාධපුරයේ වේදිකා ගත කරන්න අපට පුළුවන්. ඒ විදියට එකම දවසේ එකම වෙලාවේ ලංකාවේ දිස්ත්‍රික්ක විසි හතරක නාට්‍ය වේදිකා ගත කිරීමට අපට හැකියාව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය සංවිධායක ශක්තිය අපට තිබුණත්, මුදල් හා භෞතික පහසුකම් නොමැතිකමයි අප මුහුණපාන අනෙක් ගැටලුව වන්නේ. භෞතික වශයෙන් එල්ල වෙන අභියෝගයක් විදියට මේ කාරණයත් සඳහන් කළ යුතුයි. උදාහරණයක් විදියට මේ වසරේදී අපට එල්ල වුණු එවැනි අභියෝගයක් නම් ජෝර්ජියාවේ නාට්‍ය කණ්ඩායම පිළිබඳ ගැටලුවයි. ඒ නාට්‍ය කණ්ඩායම සමන්විත වුණේ දහඅට දෙනකුගෙන්. ඒ දහඅට දෙනා මේ උළෙලට පැමිණෙන්නට අවස්ථාව ඉල්ලුවත් ඊට ඉඩ දෙන්නට නොහැකි වන්නේ මූල්‍යමය කාරණය මූලික කරගෙනයි. ඒ තරම් පිරිසකට පහසුකම් ලබා දෙන්නට අපට හැකියාවක් නැති වීම කියන මේ කාරණය හේතු කර ගනිමින්, කණ්ඩායමකට උපරිම වශයෙන් සාමාජිකයන් අටක් පමණ සිටින කණ්ඩායමක් පමණයි රංග කලා උළෙලට තෝරා ගැනීමට අපට සිදු වන්නේ. ඒ නිසා මේ කාල සීමාව ඇතුළේ කොයි තරම් දුරක් පැමිණියත්, මේ වගේ සීමා ජය ගන්නට අපට නෙහැකි වී තිබෙන වග කියන්නේ බොහොම කනගාටුවෙන්. * රංග කලා උළෙලක භෞතික සාධක දියුණු විය යුත්තේ කොහොමද? බිෂොප් විද්‍යාලයේ වේදිකා ගත කරන නාට්‍යයක් බදුල්ලේ ගිහින් වේදිකා ගත කරන්න ඕනෑ කියලා අපි සිතමු. කොළඹ රංග ශාලාවල තිබෙන පහසුකම් බදුල්ලේ නැහැ. ඒ පහසුකම් රංග ශාලාවේ නොමැති වීම නිසා ඒ නාට්‍යය බදුල්ලේ වගේ ප්‍රදේශයක වේදිකා ගත කරන්නට බැහැ. ඒ කියන්නේ මේ ප්‍රදේශවල හොඳ රංග ශාලා පහසුකම් ඇත්තේ නැහැ. කවදා හරි දවසක හිතනවා නම් ඈත ප්‍රදේශවලත්් මේ නාට්‍ය වේදිකා ගත කළ යුතුයි කියලා, මෙන්න මේ භෞතික පහසුකම් දියුණු කළ යුතුයි. ඒ විතරක් නොවෙයි වාහන තදබදයක් නොමැති පාරවල් නිර්මාණය කළ යුතුයි. එහෙම නැතුව පැට්රල් පුච්චමින් බොහෝ වෙලාවක් පාරේ වාහනය නවතා ගෙන සිටිනවා වගේ හැමදාම ඉන්න වුණොත් නාට්‍ය කලාවත් එතැනම තියේවි. * ලෝකයේ පවත්වන ජාත්‍යන්තර නාට්‍ය උළෙලවල්වල තිබෙන ප්‍රමිතිය මේ නාට්‍ය උළෙලේ නැහැ කියලා යමෙක් පැවසුවහොත් ඒ ගැන ඔබ කුමක්ද පවසන්නේ? කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මේක හොඳම නාට්‍ය උළෙලක් නොවේ කියලා. මේක ලංකාවේ තිබෙන හොඳම ජාත්‍යන්තර නාට්‍ය උළෙල නොවෙයි කියලත් තර්ක කරන්න පුළුවන්. ඔව්, ඒක එහෙම වෙන්න පුළුවන්. එහෙම තර්ක කළත් ලංකාවේ තිබෙන එකම නාට්‍ය උළෙල මෙපමණයි නේ. එහෙම වුණත් යුරෝපයේ අපි දැක්කා මාර නාට්‍ය උළෙලක්, එහෙමත් නැත්නම් වෙනත් රටක දැක්ක අපි මේ වගේ නාට්‍ය උළෙලක් කියලා කාටවත් අපට ඇඟිලි දිගු කරන්නට බැහැ. එසේ කරන්නට නොහැකි වන්නේ නාට්‍ය උළෙලක් පවත්වන්නට තරම් පහසුකම් අපට නොමැතිය කියන කාරණය සලකා බැලීමෙදියි. ඒ නිසා මේ උළෙල උසස් මට්ටමින් කරන්නට අවශ්‍ය පහසුකම්වල අඩුවක් අපට තිබෙනවා. ඒ විදියට නාට්‍ය උළෙල මීට වඩා දියුණු මට්ටමකට අරගෙන එන්න නම් අනුග්‍රාහකයන් රැසක් අප හා අත්වැල් බැඳ ගත යුතුයි. වගකිවයුතු ආයතන රැසක් අප හා අත්වැල් බැඳ ගත යුතුයි. එවිට දිනෙක අප හිතන දෙය මේ රට ඇතුළේ සිදු වේවි. මේ උළෙලට ඉදිරිපත් කරන නාට්‍ය සම්බන්ධයෙන් මේ කාරණයත් අනිවාර්යයෙන්ම කිව යුතු වෙනවා. ඒ උළෙලට ඉදිරිපත් කරන නාට්‍ය නුසුදුසු යැයි කිසිවකුටත් තර්ක කළ නොහැකියි යන කාරණය සම්බන්ධයෙන්. මෙහෙමයි කෙනෙකුට හොඳ නොවන නිර්මාණයක් තවත් කෙනෙකුට හොඳ නිර්මාණයක් විය හැකියි. එමෙන්ම මේ උළෙල තරඟකාරී උළෙලක් ද නොවන වග විශේෂයෙන්ම හැමෝම මතක තබා ගත යුතු කාරණයක්. උළෙල පැවැත්වෙන දවස් කිහිපයේ අප නිතරම උත්සාහ කරන්නේ විවිධ වර්ගයේ නිර්මාණ මීට සහභාගි කරවා ගැනීමටයි. * මෙවර ජාත්‍යන්තර නාට්‍ය උළෙලට කොපමණ රටවල් ප්‍රමාණයක් සහභාගි වන්නේද? අපට එන අයදුම්පත් ප්‍රමාණයෙන් වැඩිම ප්‍රමාණයක් පැමිණෙන්නේ ඉන්දියාවෙන්. ඒ නිසා ඉන්දියාවෙන් එන හොඳම නිර්මාණ උළෙලට ගන්නේ කොහොමද කියන ගැටලුවට අප මුහුණ පානවා. ඒ අපේ තිබෙන දින වකවානුත් සමඟයි. මේ නිසා මෙවර ඉන්දියන් නාට්‍ය නිෂ්පාදන තුනක් අප තෝරා ගත්තා. එකක් පූනෙයිවලත්, අනෙක මනිපූර්වලිනුත් අනෙක් එක ගෝවාවලිනුත්. ගෝවාවලින් ඉදිරිපත් වන්නේ ‘සෝල් සෝලෝ නම් පර්යේෂණාත්මක ඉදිරිපත් කිරීම් 06ක්. ඉන්දියාවේ ගෝවා රජයේ සංස්කෘතික හා කලා අධිකාරියේ සහයෝගයෙන්, එරට ශිල්පීන්ගේ සහයෝගයෙන් ඉදිරිපත් වන මේ නිර්මාණවලින් තුනක් අධ්‍යක්ෂණය කළේ මා විසින්. අනෙක් නිර්මාණ තුන ඉන්දියාවේ මහාචාර්ය විද්‍යානිධි වනරාසි විසින් අධ්‍යක්ෂණය කරලා තිබෙනවා. ඊට අමතරව කොරියාවෙන්, බංග්ලා දේශයෙන්, රුසියාවෙන් ආදී රටවල් රැසක නිෂ්පාදන වේදිකා ගතවීමට නියමිතයි. මා දන්නා විදියට මෑත කාලයේ කොරියාවෙන් වේදිකා නාට්‍යයක් ලංකාවට ආවේ නැහැ. ඒ වගේම රුසියාවෙන් වුණත් එහෙමයි. අපි හැම තිස්සේම උත්සාහ ගන්නේ මේ උළෙලට නොපැමිණි රටවල්වල නිර්මාණ තෝරා ගැනීමටයි. නමුත් ඉන්දියාව වගේ රටක් එක පාරටම හලන්න අපට බැහැ. ඒ රට අපේ කලාපයේ රටක්. ඒ නිසා ඉන්දියාව දිගටම තියා ගනිමින් අනෙක් රටවල් තෝරා ගැනීමට අප උත්සුක වුණා. අපේ රටේත් නිර්මාණ කිහිපයක්මත් තෝරා ගැනුණා. මේ නිසා ඒ කාරණා සැලකිල්ලට ගන්නා විටදී සෑම වසරකම නාට්‍ය උළෙලට පැමිණෙන රටවල් වෙනස් වෙනවා. අපේ උත්සාහය වන්නේ ඒ ඒ රටවල්වලට ආවේණික හා ලෝකයේ සෑම විදියකටම තැනෙන අලුත් තාලයේ නිර්මාණ මේ රටට රැගෙන විත් ලංකාව හා ජාත්‍යන්තරය යා කරන පාලමක් තැනීමටයි. ඒ සඳහායි අප මේ උත්සාහයෙන් කටයුතු කරන්නේ. මේ වසරේත් දවස් හතක් නාට්‍ය උළෙල වේදිකා ගත වෙනවා. පොදු මහජනතාවට දවස් හයක් විවෘතයි. ඒ කාලය ඇතුළත නාට්‍ය දොළහක් වේදිකා ගතවීමත් විශේෂයි. පසුගිය වසරේ මෙන් මෙවර ද නාට්‍ය කතිකාව 6 වැනිදා සිට 08 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ සංවාද මණ්ඩපය විවිධාකාරයේ මාතෘකා ඔස්සේ පැවැත්වෙන අතර එය තවත් ප්‍රායෝගික කරමින් සාකච්ඡා, දේශන, වැඩමුළු, අභ්‍යාස ආදියෙන් සමන්විතයි. නාට්‍ය වැඩමුළුව පැවැත් වෙන්නේ 05 වැනිදා සිට 9 වැනිදා දක්වායි. ඇමෙරිකානු නාට්‍ය කණ්ඩායමක් වන ආර්ට් ෆාර්ම් ආයතනය මඟින් සිදු කරන්නට නියමිත එය මෙහෙයවනු ලබන්නේ නාට්‍යවේදී මාසේලා ත්‍රෝබිරිජ් හා ඩික් වීලර් යන අය විසින්. මේ සඳහා සහභාගි වීමට කැමැති අය www.art-farm.org යන විද්‍යුත් ලිපිනයට අයදුම්පතක් එවා කලින් ලියාපදිංචි විය යුතුයි. * මෙවර නාට්‍ය උළෙල නම් කර ඇත්තේ ප්‍රවීණ නාට්‍යවේදියකු වන කේ. බී. හේරත්ගේ නාමයෙන්? ගිය වසරේ නාට්‍ය උළෙල නම් කළේ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාමයෙන්. ඒ සංස්කෘතික අමාත්‍යාංශය කළ ඉල්ලීමකට ඇහුම්කන් දෙමින්. ඒ මඟ යමින් මෙවරත් අපි නාට්‍යකරුවෙකු තෝරා ගත්තා. ඒ කේ. බී. හේරත් නාට්‍යවේදියා. එනම් කේ. බී. හේරත් අභිනන්දන නාට්‍ය උළෙල නමින් මේ නාට්‍ය උළෙල නම් කළා. ඔහුට දෙන්න පුළුවන් උපරිම ගෞරවය ඒකයි කියලයි මා නම් සිතන්නේ. * පාසල් ළමයින් හා විශ්ව විද්‍යාල ළමයින් වෙනුවෙන් විශේෂ පහසුකම් වෙන් කිරීමක් සිදු වී තිබේද? පාසල් ළමයින්ට හා විශ්ව විද්‍යාල ළමයින්ටයි මේ නාට්‍ය උළෙල වඩාත් වටින්නේ. මේ නිසා ඔවුන්ට ටිකට් එකේ මුදලින් සියයයට පනහක් අඩු කළා. එය ඔවුන් වෙනුවෙන් කරන සේවයක් ලෙසයි මා දකින්නේ. මා ඔවුන් සියල්ලන්ටම ආරාධනා කරනවා, එන්න මේ නාට්‍ය උළෙල නරඹන්න කියලා. මේ නාට්‍ය උළෙල නරඹලා ලෝකයේ නාට්‍ය කලාව වගේම අපේ නාට්‍ය කලාවත් කොතැනද තියෙන්නේ කියලා හඳුනා ගන්න මා ඔවුන්ට ආරාධනා කරනවා. කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල පවත්වන දින.
03 වැනිදා - සමාරම්භක උළෙල
|