|
දිය රෙද්ද ඇඳන් චණ්ඩි පාට් දමන උලත් එකයි පිලත් එකයි
ජනප්‍රිය නළුවෙක් චණ්ඩියෙක් වෙලා
මේ දිනවල කොට්ටාව මත්තේගොඩ ප්‍රදේශයේ මහත් කලබලයකි. ඒ අපේ ජනප්‍රිය නළුවකු චණ්ඩියෙකු වී එම ප්‍රදේශයේ සිය අණසක පතුරුවාලමින් ප්‍රදේශයේ බලවතා වීමට උත්සාහ ගැනීමයි. එහෙත් ඔහුට ඇති එකම බාධකය මුළු පළාතේම අණසක පතුරුවාගෙන සිටින කරාපිටියේ දර්ශන් නැමති පාතාලයායි. ඔහු මත් කුඩු ජාවාරමේ නිරතව සිටින්නේ ගෝල බාලයන් රොත්තක් ද සමඟිනි. මා මුලින් කී චණ්ඩියා අඳින්නේ ද අමුතු ඇඳුමකි. ඒ දිය රෙද්දකි. මෙලෙස දිය රෙද්දක් ඇඳගෙන චණ්ඩි පාට් දමන්නේ කවුදැයි සොයා බැලීමට මා එම ප්‍රදේශයට ගියෙමි. ඔහු වෙනින් කවුරුත් නොවේ. රොෂාන් රණවනය. ඔහුට අවශ්‍ය වී ඇත්තේ ඇත්තටම චණ්ඩියකු වීම නොව පළාතේ අණක් ගුණක් නැති කරාපිටිය දර්ශන්ට එරෙහිව නැඟී සිට ප්‍රදේශයේ සිදුවන අකටයුතුකම් නැවැත්වීමයි. මා යන විට ප්‍රදේශයේ පාළු ගොඩනැගිල්ලක අමුතුම දර්ශනයකි. දර්ශන් තම සිතැඟි තරුණියන් බලහත්කාරයෙන් කසාද බැඳ ගැනීමට කටයුතු කරයි. ඔහුගේ ගෝල බාලයන් ඇයව විවාහ ලේකම් වෙත බලහත්කාරයෙන් ඔසවාගෙන එයි. මෙයට දර්ශන්ට අනුබල දෙන්නේ දර්ශන්ගේ ප්‍රබල ගෝලයකු වන ජගත් නැමැත්තෙකි.
මේ අනුව දර්ශන්ගේ බල පරාක්‍රමයට නතු වන විවාහ ලේකම්වරයා අකමැත්තෙන් වුව විවාහය සිදු කරයි. මේ සිදුවීම් පෙළ දිග හැරෙද්දී මා විවාහ ලේකම්වරයාව හඳුනා ගත්තෙමි. ඒ හැරී විමලසේන නම් වූ රංගන ශිල්පියායි. හැරී විමලසේන සිටිනවා නම් මෙය චිත්‍රපට රූගත කිරීමක් බව දැනගත් මා මෙහි සුල මුල සොයන්නට තැත් කළෙමි. ඇත්තටම මුලින් කී චණ්ඩියා වෙනත් කවුරුවත් නොව රොෂාන් රණවන බව මා මුලින් කීවෙමි. රොෂාන් හැප්පෙන්නේ අපේ තවත් දක්ෂ නළුවකු වන දර්ශන් ධර්මරාජ් සමඟය. ඔහු තමයි කරාපිටියේ දර්ශන්ගේ චරිතය රඟනුයේ. රොෂාන් සහ දර්ශන් අතර විරසකය අවුලවන්නට මුල් වන්නේ රාජියාය. ඒ කියන්නේ රජිත හිරාන් හෙවත් අප කවුරුත් හඳුනන පිං පොංය. රාජියා රොෂාන්ගේ නැගණිය සමඟ ප්‍රේම සබඳතාවක් ඇති කර ගැනීමට මාන බලයි. එයට ඇති එකම බාධාව රොෂාන්ය. මේ නිසාම දෙදෙනා අතර විරසකයක් අති වේ. එහි ප්‍රතිඵලය රොෂාන් සහ රාජියා අතර ද්වන්ධ සටනක් ඇතිවීමයි. මේ සටනින් පරාද වන රාජියා පාළු ප්‍රදේශයක යන විට ඔහු දකිනවා ප්‍රදේශයේ මැරයා වන දර්ශන් සහ පිරිවර එකතුව ගමේ පොලීසියේ පොලිස් ස්ථානාධිපතිවරයාව මරා දමන අයුරු. මේ මරණය ගැන සාක්ෂි දීමට ඉදිරිපත් වන්නේ රාජියා. එහෙත් ඔහු කරන්නේ රොෂාන්ව මේ මිනීමැරුමට පටලවා දැමීමයි. මෙයින් ගැලවීමට රොෂාන් පලා යන අතර මේ දර්ශනය ද එදින රූපගත කිරීම කරන ලදී. අපේ සිංහල සිනමාවේ පොලිස් දර්ශනයක් නම් එයට නැතිවම බැරි සැබෑ ජීවිතයේත් පොලිස් නිලධාරියකු වන කීර්ති රංජිත් පීරිස් ප්‍රමුඛ පොලිස් පිරිස රොෂාන්ව අත් අඩංගුවට ගන්නවා.
ඇය තම මිය ගිය සහෝදරයාගේ මරණයට වගකිව යුත්තේ රොෂාන් බව දැන ගනියි ද, රාජියාට රොෂාන්ගේ නැගණියට ප්‍රේම කිරීමට හැකි වෙයි ද. මේ සියල්ල අපට දැනට ප්‍රහේළිකාවකි. එහෙත් මතු යම් දිනක සිංහල සිනමා අඹර බබළවන්නට එන උලත් එකයි පිලත් එකයි චිත්‍රපටය තිරගත වුණාම මේ සියලු ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට ඔබට හැකි වේවි. ඒ සඳහා ඔබ අනිවාර්යයෙන්ම උලත් එකයි පිලත් එකයි නැරැඹිය යුතුම වනු ඇත. ඔබට ඒ සඳහා දිරි ගැන්වීමට උලත් එකයි පිලත් එකයි චිත්‍රපටයේ අධ්‍යක්ෂ හර්ෂ උඩකන්දත්, නිෂ්පාදක චමින්ද රණසිංහත් මේ දිනවල දිවා රෑ නොබලා වෙහෙස වෙමින් සිටියි. මේ චිත්‍රපටය තුළින් අමුතුම රටාවක් සිංහල සිනමාවේ ඇති කරලීමට ගන්නා උත්සාහය ගැන නිෂ්පාදක චමින්ද රණසිංහ මෙලෙස පැවසුවා. ඇත්තටම උලත් එකයි පිලත් එකයි කියන්නේ අමුතුම මඟක් ගත් සිංහල චිත්‍රපටයක් වනු ඇතැයි මට විශ්වාසයි. අද ද්‍රවිඩ චිත්‍රපට දිහා බැලුවාම අපි දකිනවා එහි ඇති රංගන ශෛලිය වගේම සංස්කරණ රටාවන් ප්‍රේක්ෂකයා ග්‍රහණය කර ගන්නා ආකාරය. උලත් එකයි පිලත් එකයි චිත්‍රපටයෙනුත් අපි සියලු දෙනා වෙහෙස වෙන්නේ ඒ වගේ අපූරු දෙයක් අපූරු රටාවක් සිංහල සිනමාව තුළ සනිටුහන් කරන්නයි. චමින්දගේ ඒ බලාපොරොත්තුව ඉටු වෙනු ඇතැයි මට හැඟුණේ ඒ දර්ශන තලයේ මා ගත කළ හෝරා කීපය තුළ රූගත කළ දර්ශන නිසයි. අධ්‍යක්ෂ හර්ෂ උඩකන්දත්, කැමරා අධ්‍යක්ෂ මහේෂ් කරුණාරත්නත් ගන්නා වෙහෙසට අනුපමේය සේවයක් කරමින් එහි කලා අධ්‍යක්ෂ ඩොරික් සමරසුන්දරත්, වේශ නිරූපණ ශිල්පී රසික තෙන්නකෝනුත් උරෙන් උර ගැටී ගන්නා වෙහෙස මල් පල ගැන්වීමට සටන් අධ්‍යක්ෂ සමන්ත මායාදුන්නත් නිෂ්පාදන කළමනාකාර චතුරංග වික්‍රමසිංහ සහ ලලිත් කල්දේරාත් ගන්නා වෙහෙස අපමණය.
උලත් එකයි පිලත් එකයි චිත්‍රපටයෙන් අපේ සිංහල සිනමාවට අලුත්ම නිළියන් තිදෙනෙකු කළ එළි බසිනවා. ඒ රුක්ෂානා දිසානායක, බියංකා ෆොන්සේකා සහ සමාධි පෙරේරා. රොෂාන් රණවන, දර්ශන් ධර්මරාජ්, දමිතා අබේරත්න, කමල් දේශප්‍රිය, මිහිර සිරිතිලක, රජිත හිරාන්, රමණී සිරිවර්ධන, ඩිල්ෂානි පෙරේරා, ජගත් ඇපලදෙණිය, කුමාර වඳුරැස්ස, අනිල් ජයසිංහ, ජයතිස්ස අතුලසිරි, කීර්ති රංජිත් පීරිස්, සුදත් විජේසේකර, හැරී විමලසේන, ප්‍රේමදාස විතානගේ, කුමාර රණපුර, නෙතලි නානායක්කාර, සැනට් දික්කුඹුර, ගයාන් කාංචන, සුනිල් ශාන්ත වනසිංහ, ලලිත් කල්දේරා, ලලිත් නවරත්න. බුද්ධික රණතුංග උලත් එකයි පිලත් එකයි සඳහා රංගනයෙන් දායක වෙති. අධ්‍යක්ෂ හර්ෂ උඩකන්දගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන උලත් එකයි පිලත් එකයි සිනිත් එන්ටට්‍රේන්ට්මන්ට් වෙනුවෙන් චමින්ද රණසිංහගේ දෙවන සාඩම්බර නිෂ්පාදනයයි.
|