වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 02 වැනිදා බ්‍රහස්පතින්දා




සවුන්ඩ් ඔෆ් මියුසික් ගැන අපූරු කතා පෙළක්

සවුන්ඩ් ඔෆ් මියුසික් ගැන අපූරු කතා පෙළක්

ලස්සනම චිත්‍රපටයට පනස් වසරයි

සවුන්ඩ් ඔෆ් මියුසික් ආරම්භක ජවනිකාව ජුලි ඇන්ඩෲස්

සුදෝ සුදු හිමි පිරි කඳු පංති යායකි. මේ කඳු අසල ඇති තණ බිම් මත්තෙන් දුව එන සුරූපී යුවතියකි. හතර වටින් හමා එන සුළඟ වැළඳ ගන්නට මෙන් දෑත් විහිදාලන ඕ ගීයක් ගයන්නීය. ඈ නමින් මාරියාය. ඕස්ත්‍රියාවේ කන්‍යාරාමයක හැදෙන වැඩෙන මේ දඟකාර යුවතියට ලැබෙන්නේ අලුත් රස්සාවකි. ඒ විශ්‍රාමික වැන්දඹු නාවික නිලධාරියකු හා ඉහළ ධනවතෙකු වන ජෝශප් ෆොන් ට්‍රැප්ගේ දූ දරුවන් හත් දෙනාගේ පාලිකාව වන්නටය. ජෝර්ජ් ෆොන් ට්‍රැප් දැඩි නීතිකාරයෙකි.

වියානා නගරයේ සිට එන ඔහු තම දරුවනට අන්දවන්නේ හමුදා ඇඳුම්ය. හැසිරිය යුත්තේ හමුදා නීති අනුවය. තාත්තා කවර තරම් නීතිකාරයකු වුව ද, දරුවන් බලාගන්න ගෙදරට එන පළපුරුදු කිසිවකු දවසක් හෝ එහි නොරැඳී පිටව යයි. ඒ දරුවන් විසින් මොනයම්ම හෝ උප්පර වැට්ටියකින් ඔවුන් පළවා හරිනු ලබන හෙයිනි. මේ පෝරිසාදයන් හත් දෙනා බලා ගැනීම සෙල්ලමක් නොවේ. එහෙත් මාරියා වැනි සුකුමාල යුවතියක් මේ දරුවන් හත් දෙනා ඉතා උපායශීලීව පාලනය කරනු ලබයි. වඩාත්ම උත්ප්‍රාසය නම් ඇය ඔවුනටත් වඩා දඟකාරියකි.

ටික දවසකින් මාරියා දරුවන්ගේ කල්ලියේම සාමාජිකාවක් වන්නීය. එපමණක් නොව ඇය ඉතා සූක්ෂම ලෙස දරුවන් හසුරුවා ගන්නට ද සමත් වෙයි. මේ පුවත එන්නේ ද සවුන්ඩ් ඔෆ් මියුසික් චිත්‍රපටයේය. ලොව එතෙක් මෙතෙක් තැනුණු අමරණීය සංගීතමය චිත්‍රපටය ලෙස සැලකෙන එය සර්වකාලීන බොක්ස් ඔෆිස් චිත්‍රපටයක් ද වන්නේය. පසුගිය මාර්තු 02 වැනිදා එය පනස් වැනි ජන්ම දිනය සැමරුවේය. 1965 වසරේ එහි නිෂ්පාදිත පිරිවැය මිලියන 8.2 කි.

චිත්‍රපටයට සත්‍යය සිදුවීමක් පාදක කොටගත් පසු කලෙක ෆොන් ට්‍රැප්ගේ භාර්යාව වන මාරියා විසින් රචනා කරන ලද ස්ටෝරි ඔෆ් ද ට්‍රැප් ෆැමිලි සිංගර්ස් කෘතිය අනුසාරයෙන් තැනුවකි. එය එම වසරේ ඇකඩමි සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන 3 ක් දිනා ගති. ඇමරිකානු ජාතික කොංග්‍රස් පුස්තකාලයේ චිත්‍රපටය සංරක්ෂණය කර ඇත්තේ සංස්කෘතිමය, ඓතිහාසික හා සෞන්දර්යාත්මක අතින් සැළකිය යුතු නිර්මාණයක් හැටියටය. එහි එන ක්ලයිම්බ් එවරි මව්න්ටන්, මයි ෆේවරිට් තිංග්ස්, ඩූ-රේ-මී, සික්ස්ටීන් ගොයිං ඔෆ් සෙවන්ටීන් වැනි ගීත පනස් වසරකට පසු අද පවා අතිශය ජනප්‍රිය ගීතයන්ය. සුසිල් ප්‍රේමරත්න මල් රේණු පිපිලා ගීතය ගැයුවේ ද සවුන්ඩ් ඔෆ් මියුසික් චිත්‍රපටයේ එන මයි ෆේවරිට් තින්ග්ස් ගීයේ තනුවටය.

මාරියා ගේ සැබෑ මංගල ඡායාරූපය

සවුන්ඩ් ඔෆ් මියුසික් පුවත සිනමා කෘතියකට නැඟෙන්න පෙරාතුව සංගීත නාටකයක් හැටියට පමණක් නොව චිත්‍රපටයක් හැටියට ද කලින් නිෂ්පාදනය වූවකි. මේ කතාව කියන්නට පෙරාතුව මාරියා ෆොන් ට්‍රැප් ගැන ලිවිය යුතු වෙයි. මාරියා ඔගස්තා ෆොන් ට්‍රැප් විවාහයට පෙර හැඳින් වුයේ කුට්ස්චේරා නමිනි. ඇය වාසගමට ෆොන් ට්‍රැප් ගත්තේ විවාහයෙන් පසුවය. තවත් කලක ඈ ෆොන් ට්‍රැප් සිටුවරිය ලෙස ද හැඳින්වූවාය. 1905 ජනවාරි 26 වැනි දින ඇය උපත ලද්දේ ඕස්ත්‍රියාවේ වියානාවේදීය. හත් හැවිරිදි වියේදී ඈ අනාථ දැරියක වූවාය.

රොබට් වයිස්

එහෙත් දහ අට හැවිරිදි විය වන විට ඇය රාජ්‍ය ගුරු විද්‍යාලයෙන් උපාධියක් ලබා ගත්තාය. බෙනඩිකානු නිකායේ නූන්බර්න් කන්‍යාරාමයට ඇය ඇතුළත් වූයේ කන්‍යා සොහොයුරියක වීමේ අරමුණිනි. මේ අතර වාරයේ එනම් 1926 වසරේදී වැන්දඹු, නාවික අණදෙන නිලධාරියකු වන ජෝර්ජ් ජොහනැස් ෆොන් ට්‍රැප්ගේ දරුවන් හත් දෙනාට ගුරුවරියක ලෙස සේවය කරන්නට ඇයට සිදු විය. ඔහුගේ භාර්යාව අගතා වයිට්හෙඩ් එයට තෙවසරකට පෙර මිය ගොසිනි.

ඉතා ටික දවසකින් මාරියා දරුවන් කෙරෙහි දක්වන කරුණාව දයාව ෆොන් ට්‍රැප් සිටුවරයාගේ සිත් ගත්තේය. එබැවින් ඔහු ඇයට විවාහ යෝජනාවක් කළේය. බියෙන් තැති ගත් මාරියා ආපසු නතර වූයේ කන්‍යාරාමයේය. එහෙත් කන්‍යා මව්තුමිය ඇය දෙවියන් විසින් ලබා දුන් ඉරණම භාර ගත යුතු වග පැවසුවාය. ඕ ආපසු පැමිණියාය. පසු කලෙක ඇය සිය ස්වයං චරිතාපදානයෙන් සිය මංගල රාත්‍රිය පිළිබඳ අපූරු සටහනක් තබන්නීය. මම සත්තකින්ම ඔහුට ආදරය කළේ නැහැ. මා ඔහුට කැමැතියි. එහෙත් ආදරය කළේ නැහැ. මගේ සැබෑ ආදරය තිබුණේ ඔහුගේ දූ දරුවන්ටයි. මා ආදරය ඉගෙන ගත්තේ එතැනින්. එයින් පසු මා ඔහුට ආදරය කරන්නට පෙළැඹුණා.

මාරියා හා ෆොන් ට්‍රැප් සිටුවරයා අතර විවාහයෙන් තවත් දරුවන් තිදෙනෙකු උපත ලදහ. 1935 දී ඕස්ත්‍රියාවේ සිදු වූ ආර්ථික පරිහානිය ෆොන් ට්‍රැප් පවුලට තදින් දැනිණ. ඔවුන් ගනුදෙනු කරන ලද බැංකුව හිටි අඩියේ බංකොලොත් විය. මේ පරිහානිය ඕස්ත්‍රියාවට පමණක් නොව මුළු මහත් ලෝකයටම දැනුණු කාරණයක් විය. එයට වඩාත් හේතු වූයේ දෙවන ලෝක මහා සංග්‍රාමයයි. ඔවුනගේ වැඩිපුර දැසි දැස්සන් ද ඉවත් කරන ලද අතර, මහා නිවාසයේ කාමර ශිෂ්‍ය නේවාසිකාගාරයක් බවට පරිවර්නය කරන ලදී. ෆොන් ට්‍රැප් පවුලේ ගායනා විලාශයට කන් දුන් ජර්මානු ගායිකාවක වන ලොට් ලෙහ්මාන් වියනාවේ ගුවන් විදුලියේ දොරටු ඔවුනට විවර කර දෙන ලදී.

සැබෑ මාරියා ෆොන්ට්‍රැප්

මේ අතරවාරයේ නාසි යුධ මෙහෙයුමට ෆොන් ට්‍රැප් කැඳවන ලදී. ඔවුහු ජර්මනියේ මියුනිච් නගරයේදී ආඥාදායකයකු වූ හිට්ලර් ද මුණ ගැසිණ. ඕස්ත්‍රියාවේදී නාසින් විසින් සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් ද ෆොන් ට්‍රැප්ගේ එකඟතාවයක් නොවීය. අවසානයේ ඔවුහු ඉතාලියට ද ඒ හරහා අමෙරිකාවට ද පළා ගියහ. ඔවුන්ගේ මහා දැවැන්ත නිවහන ජර්මානු අණදෙන නිලධාරි හෙන්රිච් හිම්ලර්ගේ නිල නිවාසය බවට පත් කර ගන්නා ලදී. අමෙරිකාවට පළාගිය ට්‍රැප් පවුල් කණ්ඩායම 1938 දී නිව්යෝක් නගරයේ පුරහලේදී ස්වකීය ගායනා ප්‍රදර්ශනය ඇරඹූහ. නිව්යෝක් ටයිම්ස් ඇතුළු පුවත්පත් රැසක විචාරකයෝ ඔවුන්ගේ දර්ශනය ඉහළින් අගය කළහ. ජෝර්ජ් ෆොන් ට්‍රැප් කිසි කලෙක අමෙරිකා පුරවැසිභාවය අපේක්ෂා නොකළ ද, ඔහුගේ පළමු විවාහයේ දරුවන් වන ජොහානා, මාටිනා, මාරියා (ඇයට තිබුණේ ද කුඩම්මාගේ නාමයයි) හෙඩිවින්, අගතා, රූපට් සහ වෝනර් මෙන්ම මාරියා ෆොන් ට්‍රැප් ද එරට පුරවැසිකම ලබා ගත්හ. 1947 දී ජෝර්ජ් පෙණහළු පිළිකාවකින් මිය ගියේය.

1987 දී මාරියා ද මිය ගියාය. ඇයගේ සැමියාගේ මෙන්ම ඔහුගේ දරුවන් අතරින් හෙඩ්වින්, මාටිනා, රූපට් හා වෝනර්ගේ ද සොහොන් අතර ඇයගේ දේහය තැන්පත් කෙරිණි.

මාරියා විසින් 1949 වසරේ ලියන ලද ද ස්ටෝරි ඔෆ් ද ට්‍රැප් ෆැමිලි සිංගර්ස් කෘතිය අතිශය ජනප්‍රිය කෘතියක් වෙයි. 1956 දී එය ද ට්‍රැප් ෆැමිලි නමින් මුල් වරට ජර්මානු භාෂාවෙන් සිනමාවට නැඟිණි. වුල්ෆ් ගැන්ග් ලියබනයිනර් විසින් අධ්‍යක්ෂණය කරන ලද එම චිත්‍රපටයේ මාරියාගේ චරිතය රූත් ලෙවිරික් විසින් ද ෆොන් ට්‍රැප්ගේ චරිතය හෑන්ස් ගොල්ට් විසින් ද නිරූපණය කරන ලදී. මේ චිත්‍රපටය අතිශය ජනප්‍රිය වූයේය. 1950 දශකයේ වැඩිම ආදායමක් ඉපැයූ ජර්මානු චිත්‍රපටය වූයේ එයයි. එහි දෙවැනි කොටස 1958 දී ට්‍රැප් ෆැමිලි ඉන් අමෙරිකා නමින් එළි දැක්විණ. සුප්‍රකට සංගීතඥයන් මෙන්ම බ්‍රෝඩ්වේ

සැබෑ ෆොන්ට්‍රැප් දූදරුවෝ

නාට්‍යකරුවන් දෙදෙනකු වන රිචඩ් රොජර්ස් සහ ඔස්කාර් හැමස්ටන් දෙපොළ, මාරියාගේ කතාන්දරය සවුන්ඩ් ඔෆ් මියුසික් නමින් වේදිකා ගත කිරීමට තීරණය කළහ. මේරි මාර්ටින් සහ තියෝඩර් බයිකල් ප්‍රධාන චරිතය රඟපෑ එම නාට්‍ය එක දිගට වසර තුනක් වේදිකා ගත විය.

එය සිනමාවට නැඟුණේ ඉන් පසුවය. මේ චිත්‍රපටයේ අයි හෑව් කන්ෆිඩන්ස් ගීතය වයද්දී ඒ අසලින් ඇවිද යන්නේ සැබෑ ජීවිතයේ මාරියා ඇගේ දියණිය රෝස්මරී හා වෝනර්ගේ දියණිය බාබරා වීම විශේෂයකි. අද මේ පිරිස අතරින් ජීවත්ව සිටිනුයේ මාරියාගේ බාල පුත් ජොහැනස් පමණි. ඔහු දැන් 76 හැවිරිදි වියේ පසු වෙයි. ඔහු උපන්නේ අමෙරිකාවේදීය.

2008 වසරේදී ඔහු සිය අර්ධ සොහොයුරිය මාරියා (ඇය පසු ගිය වසරේ පෙබරවාරි 18 වැනිදා වසර 99 ක් අයු විඳ මිය ගියාය) හා වෝනර්ගේ වැන්දඹු භාර්යාව වන එරිකා සමඟ ඕස්ත්‍රියාවේ සැල්ස්බර්ග් හි ෆොන් ට්‍රැප්වරුන්ගේ මහ ගෙදර බලන්නට ගියහ. ඕස්ත්‍රියාවේ අත්දැකීම් විඳ තිබුණේ සදාකල් අවිවාහකව සිට මිය ගිය මාරියා පමණි. 2013 වර්ෂයේදී ද සවුන්ඩ් ඔෆ් මියුසික් ටෙලිවිෂන් නිෂ්පාදනයක් ලෙස එළි දැක්විණි. එහි මාරියා ෆොන් ට්‍රැප් ගේ චරිතය නිරූපණ්‍ය කරන ලද්දේ කේරි අන්ඩර්වුඩ් විසිනි. මේ දිනවල එය එච්. බී. ඕ. නාළිකාවේ දැක ගත හැක.

1965 වසරේදී නිර්මාණය කරන ලද ද සවුන්ඩ් ඔෆ් මියුසික් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ රොබට් වයිස් විසිනි. 1914 සැප්තැම්බර් 10 වැනිදා උපත ලැබ 2005 සැප්තැම්බර් 14 වැනිදා වයස අවුරුදු 91 ක්ව සිටියදී මිය ගිය වයිස් ලොව විශිෂ්ටතම සිනමා කෘතිය ලෙස ගැනෙන සිටිසන් කේන් චිත්‍රපටයේ සංස්කරණ ශිල්පියාය. පුවත්පත් කලාවේදියකු ලෙස ජීවිතය අරඹන ඔහු එවකට ලෝකයේ පැවැති ප්‍රධාන සිනමා සමාගමක් වූ ආර්. කේ. ඕ. පික්චර්ස් සමාගමේ රස්සාවක් සොයා ගන්නේ සිය සොහොයුරාගේ මඟ පෙන්වීම යටතේය. බැචිලර් මදර්, ද හන්ච් බැක් ඔෆ් නෙත්‍ර ඩෑම් වැනි චිත්‍රපට රාශියක් සංස්කරණයෙන් දායක වූ ඔහු 1944 වසරේදී කර්ස් ඔන් ද කා ද කැට් පීපල් සමඟ අධ්‍යක්ෂණයට එක් විය. මිය යන විට චිත්‍රපට 40 ක් අධ්‍යක්ෂණය කළ ඔහු 6 වරක්ම හොඳම අධ්‍යක්ෂ ලෙස ඇකඩමි සම්මානයට නාමයෝජනා ලද්දේය. දෙවරක් සම්මාන දිනා ගත්තේය. ඒ 1961 දී වෙස්ට් සයිඩ් ස්ටෝරි සඳහා සහ 1965 දී සවුන්ඩ් ඔෆ් මියයුසික් සඳහාය.

සවුන්ඩ් ඔෆ් මියුසික් චිත්‍රපටය ගැන ලබන සතියේ තවදුරටත්.

චිත්‍රපටයේ පිරිස එදා

චිත්‍රපටයේ පිරිස අද