|
චරිත තුනක් මැවූ රූපවාහිනී චරිතයතිලක් ගුණවර්ධන
ඒ 80 දශකයේ මැද භාගය විය. ජාතික රූපවාහිනිය ස්ථාපිත වී වසර දෙක තුනක් ඉක්ම ගොස්ය. නාට්‍ය අංශයේ ප්‍රධානී ධම්ම ජාගොඩයන්ගේ මඟ පෙන්වීම යටතේ නව මාධ්‍යය භාවිතයෙන් ලාංකේය කලා කෙත අස්වැද්දීමට එම අංශයට අනුයුක්ත කලාකරුවන් යුහුසුළුව රාජකාරි කටයුතුවල නියැලෙන අයුරු අංශයේ දොර ඇර බැලූ ඕනෑම කෙනෙකුට එකල දැකිය හැකි සුලභ දසුනක් විය. ඒ වන විටත් කලා ක්ෂේත්‍රය තුළ විවිධ සුරුවිරුකම් පාන ලද බන්දුල විතානගේ, ලුෂන් බුලත්සිංහල, පරාක්‍රම නිරිඇල්ල, යූ. ආරියවිමල් වැනි කලාකරුවන් අතරෙහි තිලක් ගුණවර්ධන නම් කලාකරුවා ද ජාතික රූපවාහිනියේ නාට්‍ය අංශයෙන් විය යුතු ඓතිහාසික කාර්යභාරයට අත ගසා තිබුණි. මාතර කඹුරුපිටිය ප්‍රදේශයේදී ජන්ම ලාභය ලබන තිලක් ගුණවර්ධනයන් තරුණ වියේදීම කොළඹට සේන්දු වන්නේ සහජයෙන්ම ඔහු සතු වූ කලා නෛපුන්‍යතාව ඔප මට්ටම් කර ගැනිමේ පරම අධිෂ්ඨානය පෙරදැරිවය. මෙම අති උදාර පරමාර්ථය ෂාක්සාත් කර ගැනිම සඳහා ප්‍රවීණ නාට්‍යවේදී ධම්ම ජාගොඩයන් මුණ ගැසීම තිලක් ගුණවර්ධනයන්ගේ ජීවිතයෙහි මහඟු ජයග්‍රහණයක් ලෙස සැලකිය හැක. ලංකාවේ නළු නිළියන් පුහුණු කිරීම උදෙසා ඇති කරන ලද පළමු රංගන පාඨශාලාව වන්නේ ධම්ම ජාගොඩයන්ගේ පූර්ණ කැපවීමෙන් පිහිටුවා ගන්නා ලද ලයනල් වෙන්ඩ්ට් රංග ශාලිකාව වේ. මෙම මහඟු මෙහෙවර සඳහා සංවිධාන කටයුතුවලින් ජාගොඩයන්ට සහය වන්නේ තිලක් ගුණවර්ධනයන්ය. වර්ෂ 71 - 75 දක්වා රංග ශිල්්ප ශාලිකාවේදී පැවැත් වූ නාට්‍ය වැඩමුළු සඳහා සංවිධාන කටයුතුවලට අමතරව දේශකයකු වශයෙන් ද ඔහු සම්බන්ධ වී ඇත. නාට්‍ය විෂය පිළිබඳ ඔහුගේ මෙම පරිචය ප්‍රායෝගිකව දියත් කරන ලද ප්‍රධාන සන්ධිස්ථානය ලෙසට නාට්‍ය ඉතිහාසයේ සනිටුහන් වී ඇත්තේ ඔහු විසින් නිර්මාණය කරන ලද කොන්ත නෝනා වේදිකා නාට්‍යය වේදිකා ගතවීමත් සමඟය. වර්ෂ 1977 දී වේදිකා ගත වූ මෙම නාට්‍යය එම වසරේදී රාජ්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබීය. වේදිකවේදී ධම්ම ජාගොඩයන් විසින් හඳුන ගන්නා ලබන තිලක් ගුණවර්ධනයන් තමා ජාතික රූපවාහිනියේ නාට්‍ය අංශයේ ප්‍රධානියා වූ සැනෙකින්ම නව මාධ්‍යයට පැමිණෙන ලෙසට ඔහුට ආරාධනා කරනු ලබන්නේ නිර්මාණකරණයට සමාන්තරව විහිදී ගිය සංවිධාන ශක්තියක් තිලක් ගුණවර්ධනයන් සතු වූ බැවිනි. ටෙලි නාට්‍යය යන පාරිභාෂික වචනයේ සිට ටෙලි නාට්‍ය මාධ්‍යයට අදාළ බොහෝ පාරිභාෂික වචන සහ එම මාධ්‍යයට සම්බන්ධ නිෂ්පාදන කාර්යාවලියේ පරිපාලන පාර්ශවය සැලසුම් කිරීමේ ප්‍රාරම්භක කාර්යාවලියේදී ධම්ම ජාගොඩයන් තම සහායකයා වශයෙන් සම්බන්ධ කර ගන්නා ලද්දේ තිලක් ගුණවර්ධනයන්ය. තම සුරතේ පැලඳ සිටි සුදු යකඩ වළල්ල ඉහළට පහළට ගමන් කරවමින් ද, දෙතොල රැඳි සිගරට්ටුව උරා හිස් අවකාශයට මුදා හරිමින් ද තමාට භාරදුන් රාජකාරිය නොපිරිහෙලා ඉෂ්ට සිද්ධ කිරීමේදී තිලක් ගුණවර්ධනයන්ට ගත වෙන කාලය පිළිබඳ හැඟීමක් නොවීය. උදේ සිට හවස් වෙන තෙක්ම තම අසුනේ ඒහි පක්ෂව හිඳ ටෙලි නාට්‍යයක පූර්ව නිෂ්පාදන කටයුතු සැලසුම් කිරීමේදී ඔහු විෂද කරන ලද මනා සංවිධාන ශක්තිය හේතුවෙන්ම තම අංශයට අනුයුක්තව සිටි සහෝදර කලාකරුවන්ගේ ටෙලි නාට්‍ය නිර්මාණයන්ගේ පමණක් නොව සෙසු අංශවලට අනුයුක්ත වී නිර්මාණකරණයේ නියැලුණු නිර්මාණකරුවන්ගේ නිර්මාණයන්හි පූර්ව නිෂ්පාදන කටයුතු සිදු කිරීමේ වගකීම බොහෝ විට ඔහු උර මත පැටවිණි. ඔහුගේ විශිෂ්ටතම ටෙලි නාටය නිර්මාණය වන චරිත තුනක් ටෙලි නාට්‍යයේ පූර්ව නිෂ්පාදන අවදියේදී එම ටෙලි නාට්‍යයේ මුල් සහය අධ්‍යක්ෂවරයා වශයෙන් එය මා ලද මහඟු අත්දැකීමකි. ජාතික රූපවාහිනි නාට්‍ය අංශය වෙනුවෙන ඒකාංගික ටෙලි නාට්‍ය කිහිපයක්ම නිර්මාණය කර ඇති තිලක් ගුණවර්ධනයන් සිහින නිම්නය, කුමාරිහාමි, චරිත තුනක්, උතුරු කුරු සුළඟ යන ප්‍රාසංගික ටෙලි නාට්‍යයන් නිර්මාණය කරමින් ලාංකික ප්‍රේක්ෂක ජනතාවගේ කලා රස වින්දනය උසස් තලයකට ගෙන යාමේ ඓතිහාසික කාර්යභාරයට සක්‍රීයව දායකත්වයක් ලබාදුන් බව අවිවාදිතය. සෝමවීර සේනානායක, ධම්ම ජාගොඩ සුසංයෝගය සේම සෝමවිර සේනානායක, තිලක් ගුණවර්ධන සුසංයෝගය ද ටෙලි නාට්‍යය යන කලා මාධ්‍යය ප්‍රේක්ෂක ජනතා හදවත් ප්‍රකම්පනය කරමින් සමාජය ඥානනය කරවීමේ උත්තම කාර්යයට මහඟු දායකත්වයක් සපයා ඇති බව යන්න ටෙලි නාට්‍ය ඉතිහාසයේ ශේෂ කර ඇත. නවකතා මාධ්‍යයට සිනමාව හෝ රූපවාහිනි මාධ්‍යයට ප්‍රතිනිර්මාණ කිරීමේදී ප්‍රති නිර්මාණකරුවා බොහෝ විට අසාර්ථක වී ඇත. එහෙත් කේ. ජයතිලක සූරීන් ගේ චරිත තුනක් නව කතාව ප්‍රස්තූත කරගෙන නිර්මාණය කරන ලද චරිත තුනක් ටෙලි නාට්‍ය නිර්මාණය නව කතාවට සාධාරණත්වය ඉටුකර දෙමින් නිර්මාණය කිරීමට තිලක් ගුණවර්ධනයන් සමත් වීම, ජීවන ආත්මයන් කලා නිර්මාණයන් තුළින් ස්පර්ෂ කිරීමට ඔහු දක්වන ලද ප්‍රතිභාව මනාලෙස විෂද කරයි. තවත් අරවින්ද කෙනෙකු වූ ඉසා ගේ චරිතය රඟපාන සුමින්ද සිරිසේන ඔහු ගේ කලා දිවියේ දී කරන ලද විශිෂ්ටතම රඟපෑම එය ලෙසට සැලකිය හැකිය යන්න බොහෝ විචාරක මතය වේ. ටෙලි නාට්‍ය නිර්මාණකරණයේ දී මෙසේ සුරුවිරුකම් පෑ තිලක් ගුණවර්ධනයන් පසු කලෙක දී ජාතික රූපවාහිනියේ නාට්‍ය අංශයේ අංශ ප්‍රධානී බවට පත් වේ. නාට්‍ය අංශයට පසු කලෙකදී අනුයුක්තව නිර්මාණකරණයේ යෙදුණ දයාරත්න රටගෙදර, විමලරත්න අධිකාරී, සුදත් රෝහණ, අනුර මාධව ජයසේකර, සිඩ්නි චන්ද්‍රසේකර සහ තවමත් එම අංශයේ සේවය කරන සුසිරන් ද සිල්වා, ජනක සුරංජිත් ද සිල්වා, මොහාන් ජී. රංගනාත්, සන්තුෂ ලියනගේ, නලීන් මාපිටිය වැනි නිර්මාණකරුවන් ගේ නිර්මාණ කල එළි දැක්වීම සඳහා අධීක්‍ෂණ සහාය නිබඳව ලබාදෙන ලද්දේ ද තිලක් ගුණවර්ධනයන් විසිනි. ඔහු බොහෝ විට කැමරාව පිටට රැගෙන ගොස් නිර්මාණකරණයේ යෙදීමට වැඩි රුචි කමක් දැක්වීය. බාහිර විකාශන බස් රථය ඈත ගම් දනව්වලට රැගෙන ගොස් ගැමි කලාව ජාතියට ප්‍රදර්ශනය කිරීමේ පරම අදිටනින් යුතුව ගැමි රඟමඬල වැඩසටහන් මාලාව තිලක් ගුණවර්ධනයන් විසින් අධ්‍යක්‍ෂණය කරන ලදී. මෙයට අමතරව දළදා පෙරහැර සජීවිව විකාශය කිරීමට මුල පුරන ලද්දේ ද ඔහු විසිනි. 1993 දී මෙම ඓතිහාසික අවස්ථාව ජපානයට ද සජීවීව සම්බන්ධ කිරීම හේතුවෙන් ඔහු ජපන් රජයෙන් පිදුම් ලැබීය. සිංහල හා හින්දු අලුත් අවුරුදු දින පවත්වනු ලබන මහා සංස්කෘතික උළෙල දිවයිනේ තෝරාගත් ස්ථාන කිහිපයක සිට සජීවීව විකාශය කිරීමට පළමුවරට භාරගන්නේ ද තිලක් ගුණවර්ධනයන් විසිනි. මෙසේ රූපවාහිනී මාධ්‍යයේ යහ පැවැත්ම සඳහා ඓතිහාසික කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරන ලද තිලක් ගුණවර්ධනයන් ජාතික රූපවාහිනියෙන් විශ්‍රාම යනවිට නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් (වැඩසටහන්) තනතුර හෙබවීය. 2005 දී ඔහු ජතික රූපවාහිනියෙන් විශ්‍රාම ගියද රූපවාහිනී මාධ්‍යයෙන් විශ්‍රාම නොගියේය. ඔහු මිය යන තෙක්ම රූපවාහිනි මාධ්‍යයට අවතීර්ණ වීමට බලාපොරොත්තු වන තරුණ තරුණියන්ට සැබෑ ගුරුවරයෙක් වූයේය. ඔහු දිවයිනේ ප්‍රදේශ කිහිපයකම රූපවාහිනී මාධ්‍යය පිළිබඳ වැඩමුළු පවත්වමින් සිටියේය. බාහිර කථිකාචාර්යවරයකු වශයෙන් විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් ට නාට්‍ය හා රංග කලාව විෂය ඔහු විසින් ඉගැන්වීමට පොළඹ වන ලද්දේ 70 දශකයේ දී ඔහු ලද අත්දැකීම්වලට යළිත් පන පොවමිනි. නිතරම සමාජශීලිත්වය ට ඇලුම් කළ තිලක් අයියා කලාවට සම්බන්ධ කිසියම් කතිකාවක් අගනුවර පැවැත්වේ නම් එයට අනිවාර්යයෙන්ම සහභාගී වේ. එහෙත් අදින් පසුව ඒ දසුන කෙදිනකවත් අපගේ දෑසට මුණ නොගැසේ. තිලක් අයියේ ඔබ ගැන කියන්නට බොහෝ දේ ඇත. පොඩි අඩු පාඩුවක් හරි මගෙන් සිදුවුණා නම් සමාවෙනු මැනවි. නාට්‍ය අංශයේ එකට එකතු වී රාජකාරි කරන ලද ධම්ම, බන්දුල, සුදත්ව සොයාගෙන ඔබ නික්ම ගොස් ඇත. ඔබට සුබ ගමන්.
|