වර්ෂ 2014 ක්වූ ජනවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




මං එදා ඒවි කියලා කවුරුවත් හිතුවේ නැහැ

මං එදා ඒවි කියලා කවුරුවත් හිතුවේ නැහැ

දෝණි තැනූ වී. ශිවදාසන්

දිනය – දෙසැම්බර් 19

තැන – ලිබර්ටි සිනමා ශාලාව

වේලාව - සවස 6.26

එදා හරිම අපූරු සිදුවීමක් වුණා. දෝණි චිත්‍රපටයේ මුහුරත් උළෙල. හැමෝම සුබ කටයුත්තට සූදානමින්.

‘ශිවා අයියත් හිටිය නම් කොච්චර හොඳද’

පිරිස අතර බොහෝ දෙනෙක් එහෙම කතා වුණා.

‘කැනඩාවේ ඉඳන් එනව කියන්නේ ලේසිද?’

තව කෙනෙක් ප්‍රතිඋත්තර බැන්දේ ඒ විදියට. මංගල දර්ශනය ආරම්භ කරන්න තිබුණේ 6.30 ට. 6.26 ට එතැනට හිතා ගන්නටවත් බැරි අමුත්තෙක් පැමිණියා. ඒ තමයි ශිවදාසන්. මෙරට චිත්‍රාගාර රසායනාගාර ශිල්පීන්අතර අතිශය දක්ෂතම රසායානාගාර පාලකයකු ලෙස වී. ශිවදාසන් සිනමාවට දායක වූයේ එදවස් වැජඹුණු විජය චිත්‍රගාරයෙන්. දිගු කලක් සිනමා ක්ෂේත්‍රයේ රැඳුණු ශිවා වර්තමානයේ ජනප්‍රිය සිනමාකරුවකු ලෙස ප්‍රකටයි. ශිවදාසන් තමයි දෝණි චිත්‍රපටයේත් අධ්‍යක්ෂවරයා. ඒ අනපේක්ෂිත විශ්මය දනවන පැමිණීම හැමෝටම ගෙන ආවේ ඉහ වහ ගිය ප්‍රීතියක්. එතනින් තමයි මේ කතාව ඇරැඹිය යුත්තේ. මං ශිවදාසන් සමඟ කතාව පටන් ගත්තේ එතනින්.

‘මං එන්නේ නෑ කියලා හිතන් හිටියේ. ඒත් දවසින් දවස ගතවෙද්දී මංගල දර්ශනයට යන්න ඕනේ කියලා හිත කියනවා. නිර්මාණ කරන මිනිස්සු විදියට තමන්ගේ නිර්මාණය නරඹන්න කවුද අකමැති. අන්තිම මොහොතේ ලංකාවට යන්න තීරණය කළා. හැබැයි කවුරුත්ම දන්නේ නෑ මං එනව කියලා. 5.00 ට විතර බැහැලා මං කෙළින්ම ආවේ මංගල දර්ශනයට. එතන හිටිය හැමෝම පුදුමයට පත් වුණා මං දැකලා. ඇත්තටම ඒ මංගල උළෙලට සහභාගී වන්න ලැබීම මට ගෙන ආවේ උතුරා පිටාර ගලන සතුටක්.

දෝණි වෙනස්ම ආකෘතියක් ගත්තු ළමා චිත්‍රපටයක්. ඒ ගැනත් අපි කතා කළා.

ඔව්. පොඩි දරුවන්ගේ චිත්‍රපට බොහොමයක් ලංකාවේ බිහි වුණා. ඒ අතර සෝමරත්න දිසානායක මහත්මයා අති සාර්ථක චිත්‍රපට කරපු කෙනෙක්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ වයස අවුරුදු පහක දරුවෙක්. මේ දරුවා කවදාවත් සිනෙ කැමරාවක් දැකලා තිබුණේ නැහැ. ඒ වගේම රංගනය කියන්නේ මොකක්ද කියලත් ඒ දරුවා දැනගෙන හිටියේ නැහැ. ලොකුම අභියෝගය තිබුණේ එතැන. ඉතිං කොහොම හරි අපි එකතුª වෙලා මේ කටයුත්ත ජය ගත්තා. මංගල දර්ශනය බලල මං එළියට ආවේ හරිම සතුටින්. චිත්‍රපටයක් කරල සතුටක් ලබන එක තරම් වෙන මොනවත් ඕනෑ නැහැ.

‘දෝණි’ චරිතයට සිඟිති දියණිය හමු වූ ආකාරය හරිම අපූරුයි. ඊළඟට ඒ කතාන්දරයට තමයි පිවිසුණේ.

‘උතුම් වෙසක් පෝය දිනක චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවතේ දන්සැලක් තිබුණා. මේ දන්සැල කළේ අපේ මිත්‍රයෙක්. මෙතන ඉන්න කොට කුඩා දරුවෙක් අප පසුකොට ගියා. දෝණි චිත්‍රපටයට දැරියක් සොයමින් සිටි අපි මේ දරුවා දුටුවා. ඉන් අනතුරුව මේ දොණිගේ අම්මා තාත්තා එක්ක කතා කළා. ඉස්කෝලේ අවසර ලබාගෙන පිළිතුරක් ලබා දෙන බව කිව්වත් පිළිතුරක් ලැබුණේ නැහැ. කාලයක් ගත වුණා. අපේ දුරකථන අංකය ඔවුන්ට දුන්නට ඔවුන්ගේ දුරකථන අංකය ලබා ගන්නට අපට බැරි වීම නිසා කිසිදු ආරංචියක් ලබා ගන්න බැරි වුණා. හිටි හැටියේම අපට දුරකථන ඇමතුමක් ආවා. ඒ පණිවුඩයෙන් කියවුණේ මේ පුංචි දරුවා චිත්‍රපටයේ රඟපෑමට කැමැතියි කියන සුබ ප්‍රවෘත්තියයි. එතනින් පස්සේ අපි වැඩ පටන් ගත්තා.

පළමු දවස අමතක නොවන දවසක් නේද. මං ආයෙත් ශිවා අයියව රැගෙන ගියේ අතීත මතක මං පෙතට.

පළමු දවසේ රූගත කිරිම් තිබුණේ නවලෝක රෝහලේ. හොස්පිටල් එක දැක්ක විතරයි මේ දරුවා අඬන්න පටන් ගත්තා. බලද්දීී මීට මාස ගාණකට ඉස්සර වෙලා මේ පුංචි දරුවට ඩෙංගු රෝගය වැළඳිලා ඉඳලා තියෙන්නේ නවලෝක රෝහලේ. ඉතිං ඒ කාලය මත්ක වෙලා දරුවා හොඳටම ඇඬුවා. නමුත් කාලය ගෙවිලා යද්දී සියල්ල හොඳ අතට හැරුණා. දරුවා අපිත් එක්ක මිතුරු වෙලා අපි හරිම සහයෝගයෙන් වැඩ කටයුතුª කළා.

‘ශිවා ළමා චිත්‍රපට කරන්න පටන් අරන්’ බොහෝ දෙනෙක් එහෙම කියනවා.

‘මෙහෙමයි මට මීට වසර ගණනාවකට ඉහතදීත් ළමා චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. නමුත් මං ඒක බාර ගත්තේ නැහැ. ඒකට හේතුව තමයි දරුවෝ එක්ක වැඩ කිරීම අපහසු කටයුත්තක් කියලා මං හිතාගෙන හිටියා. ඒත් සුනිල් ටී. තමයි මගේ ඒ බොරු බිය බිඳලා දැම්මේ. දරුවනේ චිත්‍රපටයට ආරාධනා කරද්දී මං බය වුණා. ඒත් සුනිල් කිව්වා මොනව හරි ප්‍රශ්නයක් තිබුණොත් රී ෂූට් කරමු කියලා. ඒ පදනම මත තමයි කටයුත්ත ඇරැඹුවේ. ඒත් ටික දවසක් යද්දී තේරුණේ වැඩිහිටියෝ එක්ක චිත්‍රපට කරනවට වඩා දරුවන් එක්ක වැඩ කිරීම ලේසියි කියලා. දරුවන් හරහා ලැබුණු ඒ පුහුණුව දෝණිට ආලෝකයක්ම ගෙනාවා.

අද දරුවන් ඉතා දක්ෂයි නේද?

ඔව්. ඒක කිව යුතුමයි. ලංකාවේ ජනප්‍රිය නළු නිළියන් කිහිප දෙනකු අරුණාම ඔවුන් සමඟ ළඟ මේ දරුවෝ තියන්න පුළුවනි. සමහර වැඩිහිටි නළු නිළියන්ට දරුවන් එක්ක රඟපාන්න බැහැ. ඒක තමයි ඇත්ත කතාව. අද ළමයි ජීවත් වෙන්නේ හොඳ අධ්‍යන රටාවක් එක්ක. ඒ වගේම දරුවන් දිනෙන් දින අලුත් ලෝකය වෙත පිය නඟනවා. ඒ නිසා මේ දරුවන් හරිම බුද්ධිමත් වගේම ක්‍රියාශීලීයි.

එදා ළමා චිත්‍රපටයක් කරන්න ලැබුණු ආරාධනාව ප්‍රතික්ෂේප කළ එක ගැන අද මට දුකක් දැනෙනවා.

ළමා චිත්‍රපට මාර්කට් නිසා ද ඔබත් ළමා චිත්‍රපටයක් කළේ?

ඔව්. ඒක නෑ කියන්න බැහැ. මොකද ඕනෑම කෙනෙක් කැමතියි මාර්කට් වෙන දෙයක් කරන්න. ඉස්සර වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට බලන්න ප්‍රේක්ෂකයන් ගියේ දරුවන්ව ගෙදර තියලා. දැන් දරුවන් එක්ක හැමෝම එකතු වෙලා චිත්‍රපට බලනවා. ඒක සතුටට කාරණයක්. මාර්කට් එක වගේම ප්‍රේක්ෂකයන්ට බලන්න දෙයක් දෙන්න තමයි මූලික වෙන්නේ.

විදේශ රටවල ළමා චිත්‍රපට සහ අපේ ළමා චිත්‍රපට වෙනස් වෙන්නේ කොහොමද?

බජට් එක තමයි. විදේශ රටවල දවසකට වියදම් කරන මුදල තමයි අපි මුළු චිත්‍රපටයටම වියදම් කරන්නේ. ඒ හැරෙන්නට වෙනසක් මා දකින්නේ නැහැ. මොකද ලංකාවේ ඉන්න දක්ෂයෝ හරිම නිර්මාණශීලියි.

දිගටම ළමා චිත්‍රපටද කරන්නේ?

එහෙම අදහසක් නැහැ. නමුත් මගේ ඊළඟ චිත්‍රපටයත් අනිවාර්යයෙන්ම ළමා චිත්‍රපටයක්. ඉන් පස්සේ හාස්‍යමය චිත්‍රපටයක් කරන්න මේ දිනවල සැලසුම් කරමින් ඉන්නවා. අල්ලපු ගෙර, ඇමතිකම වගේ චිත්‍රපට ඒ කාලේ කොතරම් ජනප්‍රිය වුණාද? ඒ වගේ චිත්‍රපටයක් නිර්මාණය කිරීම තුළින් ප්‍රේක්ෂකයාට හොඳ රසයක් ලබාදීමට මං බලාපොරොත්තු වෙනවා.

වසර තිහක ඉතිහාසයක් තිබෙන ඔබට වර්තමානය ගැන මොකද හිතෙන්නේ?

සන්තෝසයි. හොඳ චිත්‍රපට බලන්න මිනිස්සු එනවා. මට මතකයි 1989 මගේ පළමු නිර්මාණය වුණ ඔක්කොම රජවරු මිඩ් නයිට ෂෝ පවා දැම්මා. සෙනඟ උතුරන්න හිටියා. එහෙම වෙලත් චිත්‍රපටයෙන් ලාභ හොයන්න බැරි වුණා. ඒක තමයි තත්ත්වය. නමුත් අද තත්ත්වය වෙනස්.

තව චිත්‍රපටයක් හදලද ලංකාවෙන් යන්නේ?

ඔව්. එහෙම තමයි හිතාගෙන ඉන්නේ. එහෙම වුණොත් ඉතාමත් හොඳයි. මොකද මේ කැනඩාවට උපරිම ශිත කාලය. ඒ වගේම මමත් ඉන්නේ නිදහසේ. මං චිත්‍රපටයක් කරලා යනව කියන තැන තමයි මේ මොහොත වන විට ඉන්නේ.

අපි අවසානයට පැමිණියා?

චිත්‍රපටයක් තනියම හදන්න බැහැ. ඒකට හැමෝගෙම උදව් අවශ්‍යයි. මුලින්ම මගේ කණ්ඩායමේ සියලු දෙනාට ස්තුතිවන්ත විය යුතුයි. ඒ වගේම මෙම චිත්‍රපටයේ තිබුණු ප්‍රධානතම අභියෝගය වුණේ නිවාස සංකීර්ණ සෙවීම. ඒ කටයුත්ත සඳහා උදව් දුන් ඉලෝමා යාසින්, රමේෂ් යාසින් වගේම තුමිලන්, අරුන්රාම් යන පිරිසත් මතක් කිරීම වටිනවා. ජයන්ත ධර්මදාස මහතාත් මෙම කටයුත්තට අපට බොහෝම උදව් කළා. මේ සියලුම දෙනාට මං මේ වෙලාවේ ස්තුති කරන අතර මේ චිත්‍රපටය නැරැඹූ හැමෝටමත් ස්තුතිවන්ත විය යුතුයි.