වර්ෂ 2014 ක්වූ ජනවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




පෙරදින මට සුබ උපන් දිනයක් පැතූ අම්මා නොකියාම යන්නට ගියා ය

පෙරදින මට සුබ උපන් දිනයක් පැතූ අම්මා නොකියාම යන්නට ගියා ය

සහන් විජේසිංහ හද පිරි සොවින් පවසයි

චිත්‍රපට අධ්‍යක්ෂවරයකු මෙන්ම නළුවකු ලෙස ද ප්‍රේක්ෂක හද දිනූ සහන් විජේසිංහගේ මැණියෝ පසුගියදා (29 වැනිදා) මිය ගියහ. ඔහුගේ ජීවිතය සොඳුරු කළ, කලා ලොවට මඟ හෙළි කළ ඩබ්ලිව්. එම්. සීලවතී විජේසිංහ වන සිය මෑණියන් පිළිබඳ සහන් විජේසිංහ මෙසේ අතීත ආවර්ජනයක යෙදෙයි.

සත් සමුදුර පත්ලෙහි ගැඹුරටත් වඩා ගැඹුරු වූ ඔබගේ ආදරය මා අතැහැර ගොස් ගත වූයේ දින කිහිපයකි. ඒ දින කිහිපයට මේ මුළු විශ්වයෙහිම පවතින්නේ හිස් බවක් යැයි මට හැෙඟ්. එහි හිස් බව අතරෙහි රැඳුණු හිඩැස පූර්ණය කළ හැක්කේ කෙසේදැයි මම නිරතුරුවම සිතමි.

ඒ සිතුවිල්ල අවසාන වන ඉමෙහිත්, නැවත සිතුවිල්ලක් ආරම්භයෙත් සිටියේ අන් කවුරුත් නොවේ. ඔබමය. අම්මේ ඔබමය. සුවිශාල වූූ ප්‍ර‍්‍රදේශයක අතු පතර විහිදුවමින් සෙවණ දුන් දැවැන්ත වෘක්ෂය අද ගිලිහී වැටී ඇත. යම් සුවිශාල වෘක්ෂයක් සිය සෙවණ හා ආරක්ෂාව ලබා දෙමින් පෝෂණය කළා වූ ශාක අංකුර රූස්ස රුකක් වන්නට ඉඩ හසර පාදමින් ගිලිහී යන්නා සේ, ඔබ ද අප අතැර ගියෙහිය. ඒ ඔබ වැනි වූ සුවිසල් වෘක්ෂයක් සෙවණෙහි ආරක්ෂාව ලබමින් පෝෂණය කළ අප වැනි වූ ශාක අංකුරවලට රූස්ස රුකක් සේ වැඩෙන්නට ඉඩහසර පාදමිනි.

ඔබගේ සෙවණ ලබමින් වැඩුණු ශාක අංකුර වර්ධනය වී රූස්ස රුකක් වීමේ පෙර මඟ ලකුණු පළ වී ඇති ද අපට නම් සිතෙන්නේ තවමත් අප ශාක අංකුර බවකි. ඒ ශාක අංකුර නවය අතර සයවැනියා වූ මා අන් අයට වඩා ඔබගේ ආදරයට පාත්‍ර වූ අංකුරයක් බව පවුලෙහි කිසිවකුටත් රහසක් නොවේ. ඔබ මට බෙහෙවින් ආදරය කළ බව මම දනිමි. ඔබගේ ආදර රාජ්‍යයෙහි වඩා ආදරය හා සෙනෙහස ලැබූ මා දඟකාර කොලුවකු වූයේය. මා කොතරම් දඟකාරකම් කළ ද, ඊට මා කොතරම් දඬුවම් ලැබූව ද මම ද ඔබට බෙහෙවින් ආදරය කළෙමි.

අද මා කලා ක්ෂේත්‍රයෙහි සිටින්නේ යම් තැනක ද එහි පෙර ගමන්කාරිනිය වන්නේ ඔබය.

‘පුතේ උඹ කලාව ගෙනාවේ උපතින්මයි’

කලාවට පිවිසුණු පසුව ඔබේ මුවෙහි නිතර ප්‍රතිරාවය නැගුණු ඒ කියමන මට නිතර නිතර සිහිපත් වෙයි. දැනුදු ඒ ස්වරය ඔබ මුමුනන අයුරු මට ඇසෙන්නා සේය. මා ඔබට ආදරය කළේ යම් සේද ඒ අයුරින්ම මම කලාවට ද ආදරය කරන වග කියමි. ඒ වග ඔබ ද දැන සිටියෙහිය. මා කලාව රැගෙන පැමිණියේ උපතින්ම යැයි කියන්නට හේතුª වූ පුවතත් ඔබ රස කර පවසන අයුරු මගේ සිතෙහි ඇඳී නෑදී යයි.

එදින ඔබ හා පියාණන් මා ද කැටුව පිවිසියේ සිනමාපටයක් නරඹන අදහසිනි. තිරයෙහි දිග හැරුණේ ‘ධීවරයෝ’ සිනමාපටයෙහි දසුන් කිහිපයකි. දරුවකු වූ මා ඔබ දෙපළ සමඟ නැරැඹූ ‘ධීවරයෝ’ සිනමාපටය දෙස බලා සිටියේ ඇසි පිය නොහෙලමිනි. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා රඟපෑ ප්‍රධාන චරිතය කොතරම් කුඩා මා සිත් ගත්තේ ද යත්, නිවෙසට පැමිණි විගසම ඔහු කළ යමක් රඟපා පෙන්වීමට අමතක නොකළ බව ඔබ පුන පුනා පවසන අයුරු මට සිහිපත් වෙයි.

එතැනින් නොනැවතුණු මා ඔහු සරමෙහි කොනක් එක් අතකින් ඔසවා අනෙක් අතින් බෝතලයක් ගෙන කියන කවි පද කිහිපය ද ඒ අයුරින් රඟපා ගායනා කළ අයුරු ඔබ පවසන්නේ රසවත් කතාවක් කියන පරිද්දෙනි. තෙවසරක් තරම් වූ කුඩා අවදියක පසු වූ මා එවැනි දස්කම් දැක් වූයේ කලාවට හිතැත්තෙකු වීමේ ලක්ෂණ කුඩා අවදියෙහි පටන් මා කෙරෙහි වූ නිසා බව මට පසක් වන්නේ මේ මොහොතෙහිය.

ඔබ මට කොපමණ ආදරය කළේ ද යත් මගේ සිතෙහි පිළිසිඳ ගෙන තිබූ චිත්‍රපටයක් කිරීමේ ආශාවට ආශිර්වාද කළ අයුරු මා නෙත කඳුළු නංවයි. ඔබ විසූ මහ ගෙදර විකුණා චිත්‍රපටය කරන්නට එක් ලක්ෂ හතළිස් දහසක් මා අත තැබුූ අයුරු දැනුදු මතකයට නැඟෙන විට මා නෙතට උපදින්නේ කඳුළකි. මගේ පළමු සිනමාපටය වූ ‘විජයග්‍රහණය’ කලඑළි දකින්නේ ඔබගේ සොඳුරු පැතුමෙහි ශක්තියෙනි. එහි එන එක් ගීයක පද ලියැවුණේ ද ඔබ පිළිබඳව වූ ස්නේහයෙනි.

ඒ ගීය ගයන මොහොතක් මොහොතක් පාසා මගේ සිතෙහි ඇඳෙන්නේ ඔබගේ රුවමය. ඔබගේ ගුණමය. කලා ලොවේ සිටිය බොහෝ දෙනාට ඔබ කොතරම් ආදරය කළේ ද යත් ඔබගේ සිත්ගත් පි‍්‍රයතම නළුවා වූයේ විජය කුමාරතුංගය. සන්ධ්‍යා කුමාරිටත්, ජීවරාණිටත්, ගායකයකු වූ එච්. ආර්. ජෝතිපාලයන්ටත් ඔබ එක ලෙස ප්‍රිය කළ බව මම දනිමි.

ඔබ ඔවුනට දැක් වූ ආදරයේ තරම මම දනිමි. එකල රුක්මණී දේවිය ගැයූ දස්කොන්- ප්‍රමිලා ගීතයට දැඩි සේ දැක් වූ කැමැත්ත කොතරම් ද යත් ඔබ ඒ ගීතය ගයන අයුරු මම අසා ඇත්තෙමි. ඔබට මියුරු ස්වරයක් තිබුණි. ඒ මියුරු ස්වරය අප හදවතට රැගෙන පැමිණියේ සිසිලකි. ඔබගේ ස්වරයට මා කෙතරම් ඇලුම් කළේ ද යත් මගේ උපන් දිනයේදී පළමුව අසන්නට මා වඩාත් කැමැත්තක් දක්වන්නේ මෑණියනි ඔබගේ ස්වරයමය. සෑම වසරකම උඳුවප් මස විසි හය වැනිදා උදෑසන දුරකතනයෙන් මා අමතන ඔබ මා හට ආශිර්වාද කරන්නෙහිය.

‘පුතේ ඔබට සුබ උපන් දිනයක්’ ඔබ සුබ පතන්නෙහිය.

එනමුත් මෙවර උඳුවප් මස විසි හය වැනිදා ඔබගේ ඒ මියුරු ස්වරය අසන්නට මා පින් නොකළෙහිය. ඒ ඔබ අසනීප වී සිටියේ ඒ දිනවල බැවිනි. අපි ඔබව වහා රෝහල් ගත කළෙමු. දින කිහිපයක් වචනයකුදු නොතෙපළ ඔබ රෝහලෙහි ඇඳ මතට වී සිටියේ ගිලන්වය. මමත්, ගයනාත් ඔබගේ නිරෝගී සුව පතා මතුගම අනාථ නිවාසයට දානයක් දුන්නෙමු. ඒ දානමය කටයුත්ත අවසානයෙහි මා පැමිණියේ ඔබගේ දුක සැප සොයන්නටය. ඔබගේ මුවඟ සිනහවකින් හැඩ වැඩ වී තිබිණ. මා සිත ඉපදුණේ කිව නොහැකි සතුටකි. මගේ උපන් දිනයට සුබ පතන්නේ නැතිදැයි ඔබේ සුරත අල්ලාගෙන මම විමසීමි. නැවතත් ඔබගේ මුවඟ සැරසුණේ සිනහවකිනි.

‘සුබ උපන් දිනයක්. බුදුසරණයි’ ඔබ මට ආශිර්වාද කළේ ඒ සිනහව මුවඟ රඳවමිනි. ඔබගේ සුබ පැතුමෙන් ප්‍රමුදිත වූ මම ඔබට ඉක්මන් සුවය පැතීමි.

‘හෙට මම එනවා’

සමුගන්නට මත්තෙන් මා ඔබට පැවසුවේ කොපමණ බලාපොරොත්තු රැසක් සිතෙහි රඳවාගෙනද? එහෙත් ඔබව බලන්නට හෙට දිනක් උදා වූ බව සත්‍යයය. නමුදු ඔබ පැමිණියේ කිසිදාක නොඑන යහනක් මත සැතපෙමිනි. ඔබ බලන්නට ඔබගේ දෙණ අසල ඔබ ආදරය කළ අය බොහෝ සිටියෙහිය. එහෙත් ඔබ වෙනදා කරන කතාබහ අද ඔබේ මුවෙඟන් මතු නොවේ. පෙරදා ඔබ මුවඟෙන් නැඟෙන සිනහව මේ මොහොතේදී දිස් වුව ද කිසිදා නොඑන ගමනකට ඔබ මුල පුරා ඇත. මෑණියෙනි, අසූ වන වියෙහිදීම ඒ ගමන යන වග ඔබ සක් සුදක් සේ දන්නෙහිය. මරණයට බිය නොවී මරණය අභියස ඔබ සිනහවකින් මුව සරසා ඊට සමු දුන්නෙහිය. ඔබ කොහේ හෝ යහපත් තැනක මතුª උපදින බවට නම් මගේ සිතෙහි ඇත්තේ දැඩි විශ්වාසයකි. මම ඔබට නිවන් සුව පතමි.