|
මම කොළඹ යන්න ගත්තු තීරණය වෙනස් කළාදිමුතු මුතුට 30යි
අග්නිදිග ආසියාවේ මුල් ටෙලි නාට්‍ය නිළිය දේවිකා මිහිරාණි
‘මම බොහොම නිහතමානීව හැදුන වැඩුන අහිංසක ගැමි යුවතියක්. යෞවනයේ මිහිරියාව සමඟින් මගේ ආදරයට හිමිකම් කිව්වේ ජයසේන. එදා තිබුණු ආර්ථික දුෂ්කරතා නිසාම ඔහු මැද පෙරදිග ගියේ හැමෝගෙම යහපත වෙනුවෙන් මුදල් සොයා ගෙන එන්න. ඒත් කාලය ගත වෙලා ජයසේන ආපහු ආවත් ඒ වෙන කොට දුප්පත් මම ඔහුගේ පවුලට ගැළපුණේ නැහැ. එයාගේ පවුලේ අයට මගේ ගැළපීම මදි වුණා. මම මොන තරම් චිත්ත පිඩාවට ලක්වුණත් ගමේ සංවර්ධන වැඩවලට දායක වෙන ගමන් ගමට සේවයක් කරන්න මට පුළුවන් වුණා. ඒ අතරෙදි අපේ ගමට කොළඹින් ආවේ අලුත් දිසාපති කෙනෙක්. ඔහු මගේ වැඩ කටයුතුවලටත් දුන්නේ ලොකු සහයෝගයක්. ඒ අතරතුරේ ඇති වුණ හිතවත්කමත් එක්ක ඔහුගේ හිතෙත් මං ගැන පැහැදීමක් ඇති වෙලා තිබුණා. ඔහුගේ අම්මත් මට ගොඩක් ආදරේ වුණා. ජයසේනගේ පවුලේ අයගේ වෙනස්කම් දිහා බලද්දී අලුත් ඒජන්ත මහත්තයාගේ අම්මාගේ ආදරේ මට ලොකුවට දැනුණා. ඉතිං මං ගම අතහැරලා ඔවුන් එක්ක කොළඹ යන්න තීරණය කළා.’
‘ඇත්තටම ඒක සුන්දර අත්දැකීමක්’ මේ විදියට මිට දශක තුනකට පෙරාතුව යට ගියාවේ මිහිරියාව සිහිපත් කළේ අපේ ටෙලි නාට්‍ය වංශ කතාවේ ප්‍රථම නිළිය. ඔබ කාගේත් ආදරය දිනා ගත් දේවිකා මිහිරාණි. මෙරටට ටෙලි නාට්‍ය කලාව හඳුන්වා දෙමින් ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ අධ්‍යක්ෂණය කළ ‘දිමුතු මුතු’ ටෙලි නාට්‍යයේ නන්දාගේ චරිතයට පණ දුන්නේ ඇයයි. මේ වසරේ තිස් වසරක් සපුරණ දිමුතු මුතුª හට දායක වෙමින් මෙරට ප්‍රථම ටෙලි නාට්‍ය නිළිය ලෙසින් අභිෂේක ලැබීමේ භාග්‍ය හිමි කරගත් ඇය එදා ඒ සුන්දර අතීතය යළිත් ආවර්ජනය කළේ මේ අයුරින්.
‘ආචාර්ය ඩී. බී. නිහාල්සිංහයන් දවසක් වාහනයක් එවලා තිබුණා ඇවිත් ඔහුව හමුවෙන්න
කියලා මම එවෙලේම ගියා එතුමා හමු වෙන්න. එතැනට යන තුරුත් මට හිතාගන්න බැරි වුණා
ඒ වෙලාවේ පුදුම හිතුණේ නැද්ද? මොකද නැත්තේ. මට හිතා ගන්නවත් බැරි වුණා. හරිම පුදුමයි. ඒ කලෙත් මම වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක් තමයි. ඒ ඉතිං ගොඩක් ජනප්‍රිය නැහැනේ. ඉතා දුර බැහැර ප්‍රදේශවලට ගිහින් තමයි වේදිකා නාට්‍යය කළේ. අනික ඒ කාලේ ගොඩක් ජනප්‍රිය නිළියන් සිටියත් මේ පුංචි දේවිකාට ඒ සුවිශේෂ අවස්ථාව ලබා දීම ගැන හැමදාම මම නිහාල්සිංහ මහත්මයාට පින් දෙනවා. ඉතිං ඒ වෙලාවේ මම එතුමාගෙන් ඇහුවා කොහොමද මාව හොයා ගත්තේ කියලා. ඒ කාලේ මං විජයගේ ‘කුස පබාවතී’ සහ ඩග්ලස් සිරිවර්ධනගේ ‘සුබ සැන්දෑවක්’ වේදිකා නාට්‍යවල රඟපෑවා. එතුමා ඒ නාට්‍ය දෙකම බලලා තිබුණා. ඒ රංගනයන් දැකලා තමයි එතුමා මට මේ වගේ භාරදූර වගකීමක් දෙන්න තීරණය කරලා තිබුණේ.
ඔබවම තෝර ගන්න හේතුව මොකක් ද කියලත් අහුවේ නැද්ද? ඇයි නැත්තේ. ඒත් එදා නම් ඇහුවේ නැහැ. ඊට පස්සේ නම් එක සැරයක් නෙවෙයි කිහිප වතාවකදීම මම ඒ ගැන ඇහුවා. එතුමා ඒ හැම වතාවකම කිව්වේ ‘මම මුතුවක් හොයා ගත්තා. ඔප ගැන් වූවා. ඒක තමයි ‘දිමුතු මුතු’ කියලා.
එදා ටෙලි නාට්‍ය කියන මේ නුහුරු අත්දැකීමට කොහොමද මුහුණ දුන්නේ? ඇත්තටම වේදිකා නාට්‍ය නිළියක් වුණ මට කැමරාව ඉදිරියේ මේ වගේ අත්දැකීම් එදා තිබුණේ නැහැ. ඒක නුහුරු අත්දැකිීමක්. මුලින්ම අහසේ පාවෙනවා වගේ තමයි දැනුණේ. නිහාල්සිංහයන් නම් බොහොම කාරුණික මිනිස් බවෙන් පිරි අධ්‍යක්ෂවරයා ලොකු අත්වැලක් වුණා. රූගත කිරීම් තිබුණේ කුරුණෑගල පොතුහැර. බුදුන් වැඳලා දෙවියන් සිහිපත් කරලා එහෙම තමයි එදා අපි වැඩ ආරම්භ කළේ. සිරිනාථ වික්‍රමසිංහ තමයි කලා අධ්‍යක්ෂ වුණේ. මට මුලින්ම තිබුණේ පන් පැදුරක් වියන දර්ශනයක්. නැසීගිය ශ්‍රේෂ්ඨ රඟන ශිල්පිනියක වන ශාන්ති ලේඛා සමඟ තමයි පළමු දර්ශනය තිබුණේ. මම පැදුරක් වියන කොට ඈත වෙල් යාය මැදින් දිමුතු මුතු හි මගේ පෙම්වතා වූ ජයසේන එන දර්ශනයක් රූගත කළ යුතුව තිබුණා. එදා ජයසේන වුණේ ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය. ඉතිං මම පැදුරු වියන්න දැනගෙන හිටියේ නැහැ. ශාන්ති අක්කයි, සිරිනාථ අයියයි මට පැදුරු වියන හැටි කියලා දුන්නා.
අදත් එක්ක බලද්දී එදා තාක්ෂණය දියුණු නැහැ. අපේ ඇඟ ඇතුªළේ මයික් එක ගැට ගහලා කකුලේ
මාපට ඇඟිල්ලේ වයර් එක ඔතලා එය යම් දුරක් දක්වා ගෙනවිත් තිබුණා. අපට
එතුමාගේ අධ්‍යක්ෂණය ගැන අද යළිත් සිහිපත් කළොත්? නිහාල්සිංහ මහතා කාරුණික බවෙන් පිරිපුන් පුද්ගලයෙක්. එතුමා කාගෙවත් හිතක් රිද්දුවේ නැහැ. කවදාවත් කෙනෙකුගේ අඩුපාඩුවක් තවත් කෙනෙකුට ඇහෙන්න කිව්වේ නැහැ. එතුමා උපදෙස් දුන්නෙත් අඩු පාඩු පෙන්නලා දුන්නෙත් කාගෙවත් හිතක් නොරිදෙන විදියටයි. ඇත්තටම මේ තරම් දුරක් එන්න ඔහුගේ ඒ කාරුණික අධ්‍යක්ෂණය තමයි මූලිකම හේතුව වුණේ. එදා ඒ නුහුරු අලුත් අත්දැකීමට එතුමා මහ මෙරක් වගේ හිටියා.
දිමුතු මුතු ලංකාවේ ටෙලි නාට්‍ය වංශ කතාවේ ආරම්භය. මිට දශක තුනකට පෙරාතුව ටෙලිවිෂනය පවා ආගන්තුක වුණ අවධියක නන්දාට ලැබුණු ප්‍රතිචාර මොන වගේද? මෙරට මුල්ම ටෙලි නාට්‍ය නිළිය වෙන්න ලැබීම මගේ ජීවිතයේ සුවිශේෂම කාරණාවක්. මෙරට විතරක් නෙවෙයි දකුණු ආසියාවේ මුල්ම ටෙලි වෘත්තාන්තය වුණෙත් දිමුතු මුතු. මට මතකයි දිමුතු මුතු මුලින්ම විකාශය වුණේ බදාදා දවසක. අපේ රටට වැදගත් වූ මේ ටෙලි නාට්‍යය විකාශය ගැන එදා රාත්‍රී ප්‍රවෘත්ති විකාශයටත් ඇතුළත් කරලා තිබුණා. ජාතික රූපවාහිනි සේවයේ එදා ප්‍රවෘත්ති නිවේදනය කළේ සුමනා නෙල්ලම්පිටිය. එහිදී මෙරට ප්‍රථම ටෙලි නාට්‍ය නිළිය මම කියලත් කිව්වා. ඒ වෙලාවේත් මට දැනුණේ අප්‍රමාණ සතුටක්. එදා ඒ ප්‍රවෘත්තිය නැරැඹුවත් පටිගත කරගන්න නොලැබීම ගැන නම් මට තියෙන්නේ ලොකුª දුකක්. පළමු කොටස විකාශය වුණාම ඩී. බී. නිහාල්සිංහ මහතා මට ලස්සන රෝස මල් බාස්කට් එකක් ගෙදරට එවලා තිබුණා. ඒකත් මගේ ජීවිතයේ ලැබූ සුවිශේෂම තෑග්ගක්.
ඒ වගේම හිතාගන්න බැරි තරමට රසික ප්‍රතිචාරත් ලැබුණා. තෑගි බෝග ගොඩක් අපේ ගෙදරට එවලා
තිබුණා. එදා අද වගේ ජංගම දුරකථන එහෙම තිබුණේ නැහැනේ. ලියුම්වලින් තමයි සුබපැතුම්
ලැබුණේ. ලියුම් බෙදන කෙනා අපේ ගෙදරට එක දවසකට දෙපාරක්ම ආපු දවසුත් තිබුණා. ඇත්තටම ඒ
රසික ප්‍රතිචාරවලට නම් නිහතමානී පුංචි ආඩම්බරයකුත් හිතේ තැන්පත් වෙලා තියෙනවා.
දිමුතු මුතු විකාශය වූ 1984 වසරේදී විජය පුවත්පත් සමාගම විසින් සංවිධානය කළ සම්මාන
උළෙලකදී දක්ෂතම නිළිය සහ ජනප්‍රියතම නිළිය නම් සම්මාන දෙකම මට ලැබුණා. ඒ දිමුතු
මුතු හි නන්දා නිසා. දිමුතු
අද වන විට දශක තුනක් ගත වෙලා. ආපහු හැරිල බලන කොට මොකද හිතෙන්නේ? එදා අපි ටෙලි අත්දැකීමක් විදියට නෙළා ගත්තේ වේදිකාවේ පළපුරුද්දෙන් ලද අස්වැන්නයි. මම විතරක් නෙවෙයි අමරසිරි කලංසූරිය, ශාන්ති ලේඛා, අනුර මැදගොඩ, හයසින්ත් විජේරත්න, රූපා ගෝමස්, රමණී ෆොන්සේකා, චිත්‍රා වාකිෂ්ඨ, චන්ද්‍රා කළුආරච්චි ඇතුළු අපි හැමෝම මෙහි කොටස්කාරයෝ. අපි හැමෝම එදා එකට වැඩ කළේ. කා අතරත් හොඳ සමගියක් බැඳීමක් තිබුණා. ඒ වගේම නියම වෙලාවට වැඩ කළා. රංගනයේදී විනයයි කාලයයි ඉතාම වැදගත්. එදා හැමෝම අතරේ ලොකු එකමුතුවක් තිබුණා. ඒ එකමුතුකම අද කාලයේ තියෙනවාද කියන එක නම් ප්‍රශ්නයක්. සමහර විට තියෙන්නත් පුළුවන්. නමුත් එදාට වඩා අද තාක්ෂණය නම් ඉහළයි. ඒ වගේම එදා තිබුණේ එක ටෙලි නාට්‍යයි. අද එහෙම නැහැ. පැය භාගයෙන් භාගයට විවිධ නාලිකාවල ටෙලි නාට්‍ය රැසක් විකාශය කෙරෙනවා. තෝරා බේරාගෙන නැරැඹීම තියෙන්නේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ අතේ.
අපේ රටේ ප්‍රථම ටෙලි නාට්‍ය නිළිය දැන් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයෙන් ඈත්වෙලා කියලා මම කිව්වොත්? එක වැරැදියි. මම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයෙන් ඈත් වෙලා නැහැ. මොන දේ වුණත් මම මුල් තැන දෙන්නේ මගේ පවුලට. මගේ ආදරණීය සැමියා විජය නන්දසිරි, දුව නවාංජනා, පුතා රසාංජන වගේම දුවගේ මහත්තයා සනත් චමින්ද පුතාත් අපි හැමෝම ගොඩක් සතුටින් ජීවත් වෙන්නේ. එතැනදි මට මගේ පවුල විශේෂයි. ඒ හැරුණාම ලැබෙන විවේකය අනුව රූපවාහිනිය වගේම වේදිකාවටත් කාලය වෙන් කරනවා.
ඇත්තටම එදා නන්දා ගම අතහැරලා කොළඹ ගියාද? අනේ නැහැ. කවුරු මොනවා කිව්නත්, මොන දේ වුණත් ජයසේනගේ ආදරේ බිංදුවක්වත් නම් අඩු වුණේ නැහැ. ඒ නිසා මම කොළඹ යන්න ගත්ත තීරණය වෙනස් කළා.
|