|
ජීවිත තුනක් එක් කතාවක් "කර්ම"
කටුකත්වය මෙන්ම
බලාපොරොත්තුව දෝතදරාගත් පියල් තම සිහිනයදෙවුරේ එල්ලා ගනිමින්කොළඹට පැමිණියේය.නාට්‍යකරුවකු වීම හිත තුළ ගුලි කොට ඔබා ගත් පියල් සිහිනය දිගේ බොහෝ දුර ඇවිද්දේය. නිරතුරුවම නාට්‍යකරුවකු වීම ජීවිතය කරගත් හේ තමාගේ නවාතැන් පොළ සිතිවිලි වේදිකාව බවට පත්කර ගත්තේය. තමාගේ දිගු, පුළුල් නිශ්කලංක නවාතැනහි බිත්තියෙන් එහා පස ජීවත් වූයේ පෙම් යුවළකි. පෙම්වතා නදීය. නදී ලංකාවේ නමගිය සංගීතඥයෙකි. වෙනස්ම හැඩයක වෙනස්ම ආරක සංගීතය අතර ජීවත් වූ නදීගේ පෙම්වතිය අමන්දාය.
නදී සමඟ එක් නිවෙසේ වෙසෙන අමන්දා පිළිබඳ පියල්ගේ පාවෙන සිත ඇදී යන්නේ ටික කලක් ඇවෑමෙනි. බිත්තියෙන් වෙන් වූ කාමරයේ පෙම් යුවළක් ගෙවන ජීවිතය ගැන සිතන පියල්, අමන්දාට ප්‍රේමයෙන් පසුවන්නේ තමාගේ ජීවිතයේ ස්වයං වරදකාරී හැඟීම් පහකර ගැනීමේ අටියෙනි. තමාගේ ජීවිතයේ ඇති වූ රික්තකය පුරවා ගනු වස් පියල් කෙමෙන් අමන්දාගේ ජීවිතයට එබෙයි. මේ අතරතුර අමන්දා පියයුරු පිළිකාවකින් පෙළෙණ බව දැනගන්නා නදී අමන්දා වෙනුවෙන් පෙර තිබූ ඇල්ම සහ සෙනෙහස සීමා කරයි. කෙමෙන් ශේෂ වන ප්‍රේමය හමුවේ අමන්දාගේ ජීවිතය ගලා යයි. තමන්ගේ බාහිර රූපශ්‍රීය ක්‍රමයෙන් වියැකී ගිය ද වෙනස් නොවන පියල්ගේ ප්‍රේමය හුදු ලිංගික කාරණයක් බව සිතන අමන්දා පියල් සමඟ බැඳේ. අමන්දාට අවශ්‍ය වන්නේ පියල් ඉන් මුදාලීමය.
තනි බිත්තියකින් වෙන් වූ නවාතැන් දෙකක්. එක් පසෙක තනිකඩ තරුණයෙක්.
අනෙක් පස වසර ගණනකට පසු හමු වූ පෙම් යුවළක්. ඔවුන්ගේ ජීවන අරගලය කෙසේ නිමා වේවිද?මේ
පැනයට පිළිතුරු සොයන චිත්‍රපටය කර්ම නම් වෙයි.
බිත්තියෙන් එහා ජීවිතවලට එබී බලන තනිකඩයාගේ ජීවිතයත්, අනෙක් පස පමා වූ යෞවනයේ මඟහැරුණු බලාපොරොත්තු, මේ සියල්ල අතරතුර තනිකඩයා හා බිත්තියෙන් එපිට ගැහැනිය ඔවුනොවුන්ගේ ජීවිත තුළ තමන්ගේ අවකාශය දැකීමත්, අවසානයේ අනුන්ගේ ජීවිත තුළ තමන් සෙවීමට උත්සාහ කළ තිදෙනා එකිනෙකාගේ ජීවිත විනිවිද දැකීමත් එකම චිත්‍රපටයකට ගොනු වී තිබේ. විවිධ හැලහැප්පීම්, කඩඉම්, සිතිවිලි සහ ප්‍රේමය ඔස්සේ දිවෙන කර්ම අන්තර් ජාතික සම්මාන කිහිපයකින් පිදුම් ලත් චිත්‍රපටයකි.
රංගනය –
මිෂෙල් හර්ෆ්ට්, ජගත් මනුවර්ණ,
නදීක ගුරුගේ
|