|
ජොනී ඩෙප්ගේ හාස්‍යජනක වැම්පයර රංගනය dark shadows
බානබස් යන්නට සූදානම් වන්නේ නැවකිනි. ඔහු දෙස ඒකාකාරී බැල්මකින් බලා සිටින සම වයසේ කුඩා ගැහැනු ළමයෙකි. ඈ ඇන්ජලීක් ය.බියක් නොමැති සෘජු බැල්මත්,අනවශ්‍ය තරම් වූ උනන්දුවත් අපට ඈ මතකයේ තබා ගැනීමට බල කරයි.
බානබස් නැව් නඟින දා ඔහු දෙස අතිශය හැඟීම්බරව බලා සිටි ඇන්ජලීක් යළි පෙනී සිටින්නේ මේ අතරය. තරුණයෙකු වූ බානබස්ව නොනවත්වා සිප ගනිමින් ඇන්ජලීක් අයදින්නේ 'මම ඔයාට ආදරෙයි ඇන්ජලීක්,මට ඔයාව ඕනේ' යනුවෙන් පවසන ලෙසයි. තරුණ බානබස් ආදර මායමෙන් උමතු නොවන්නෙක් වන අතර ඇන්ජලීක් යනු හුදෙක් ස්ත්‍රී ශරීරයක් ලෙස පරිහරණයට පමණක් යොදා ගනියි. සිනමාපටයේ මූලික ගැටුම පටන් ගන්නේ බානබස්ගේ උත්තරය මතය. 'ඇන්ජලීක් මට සමාවෙන්න..මං එහෙම කිව්වොත් ඔයාට අහන්න සිද්ධ වෙන්නෙ බොරුවක්.' ගිනි පිටවෙන ඇස් සහිතව බානබස් දෙස බලා සිටින ඇන්ජලීක් තම පවුලට උරුම මායාකර්ම භාවිත කරමින් බානබස්ගේ මවුපියන් ඝාතනය කෙරෙයි. තරුණ බානබස් අඳුරු මායාකර්ම සහ සාප කිරීම් පිළිබද කරුණු සෙවීමට පෙළඹෙන්නේ මීට පසුවය. එනම් තම මවුපියන්ගේ මරණය හදිසි අනතුරක් නොවන බව තරයේ විස්වාස කරන ඔහු පැරැණි පොත් කියවමින් අඳුරු මායාකර්ම පිළිබද අවබෝධයක් ලබා ගැනීමට උත්සාහ කරයි. 'ඩාක් ෂැඩෝස්' යනු 2012 වසරේ තිරගත වූ භයානක හාස්‍යජනක සිනමාපට ගණයට වැටෙන්නකි. 1966 ත් 1971 ත් අතර කාලය තුළ රූපවාහිනී නාටකයක් ලෙස විකාශනය වූ ඩාක් ෂැඩෝස් ඇසුරින් නිපදවූ ඒ නමම ඇති සිනමාපටය අධ්‍යක්ෂණය කළේ ටිම් බර්ටන් විසිනි. ප්‍රකට සිනමා නළු ජොනී ඩෙප්,මයික් ෆෙෆර්,ඊවා ග්‍රීන් ආදීන් රඟන ඩාක් ෂැඩෝස් ඉහළට ඔසවා තබන්නේ ජොනී ඩෙප් ගේ අසාමාන්‍ය රංගනයයි. ඇන්ජලීක් නම් මායාකාරී පෙම්වතිය විසින් බානබස් ආදරය කළ සියලු දෙනා විනාශය කරා ගෙන යන අතර අවසන ඈ විසින් බානබස්ව වැම්පයරයෙකු බවට පරිවර්තනය කෙරෙයි. බානබස්ගේ සිත ගත් සැබෑ පෙම්වතිය කඳු මුදුනකින් බිමට පනින ලෙස ඇන්ජලීක් ඈ මායා බලයෙන් මෙහෙයවයි. තම පෙම්වතිය නිසැකවම මිය ගිය බව දුටු බානබස් සැබෑ පෙම්වතෙකු ලෙස ඒ ගිරි හිසෙන්ම බිමට පනියි. එහෙත් ඇන්ජලීක් නොනවත්වාම ඔහුට ආදරය කරයි. පහසුවෙන් බානබස්ව මරා දැමීමට හැකියාව තිබියදීත් මායාකාරිය ඔහුව වැම්පයරයෙකු බවට පත් කර සදාකාලික දුකකට හෙළයි.
වැම්පයරයෙකු ලෙස ජොනී ඩෙප් කරන රඟපෑම ගැන මෙහිදී සදහන් කළ යුතුමය. ප්‍රකට ජැක් ස්පැරෝ චරිතයත් මෑඩ් හැටර් චරිතයත් අතර මධ්‍ය ලක්ෂකය පිහිටන බානබස් කොලින්ස් චරිතය සිනමාපටයට වැටී ඇති ලොකුම ආලෝකයයි. අසාර්ථක වැම්පයර ගණයේ චිත්‍රපටයක සාර්ථක රඟපෑමක් ඉදිරිපත් කරන ජොනී ඩෙප් සිනමාපටය වැටී ඇති අගාධයෙන් එය ගොඩ ගැනීමට තැත් කරයි. වසර දෙසීයක හිස්තැනකින් පසුව ඔහු හැසිරෙන විප්‍රකාර ස්වාභාවය හාස්‍ය ජනිත කරයි. මේ අනිවාර්ය හාස්‍යයකි. නමුත් වැම්පයර් ඩයරීස් ටෙලි කතා මාලාව සහ ට්වයිලයිට් සිනමා කතා මාලාව අති සාර්ථක ලෙස තිරගත වන කාලයක වඩාත් සාර්ථක වැම්පයරයන් ඉදිරිපත් කරන ඔවුන් සමඟ සටන් වැදීමට ඩාක් ෂැඩෝස් උත්සාහ කර නොමැති සැටියකි. ඉර එළියට පිළිස්සෙන බව මේ සිනමාපටයේ එක් තැනක පෙන්වන අතරම තවත් තැනක බානබස් දහවල් කාලයේ සිය පාරම්පරික මත්ස්‍ය නිෂ්පාදනාගාරය නැරඹීමට යන දර්ශනයක් පෙන්වයි. ඔහු අව් කණ්ණාඩි කුට්ටමක් පැළැද සිටින මුත් මුහුණ නිරාවරණය කරගෙන සිටියි. ඔහුව ඉර එළියට පිලිස්සෙන්නේ නැත. මහත් විප්‍රකාර ලෙස හැසිරෙන බානබස් වැම්පයරයෙකු බව අධ්‍යක්ෂවරයාට අමතක වී ඇති සැටියකි. සජීවීකරණ ප්‍රයෝග ඉතාමත් සූක්ෂමව යොදාගෙන ඇති මුත් චිත්‍රපටයේ පැරැණි ස්වාභාවයෙන් මිදීමට බැරුවාක් මෙනි. එනම් චිත්‍රපටයට අදාල පැරැණි ටෙලි කතා මාලාව ඉක්මවා යාමට නොකැමැති සෙයකි. එසේම ත්‍රාසයත්,හාස්‍යයත් එකම වර වැම්පයරයෙකුගෙන් බලාපොරොත්තු වීමට ගොස් එකම විට ත්‍රාසය හෝ හාස්‍ය අහිමි කර ගැනීමට සමත් වීමද කණගාටුදායකය. ජොනී ඩෙප් ගේ අති විශිෂ්ට රංගන කුසලතාවය නාස්ති වී යාමට ඩාක් ෂැඩෝස් ඉඩ දී තිබීම විස්වාස කළ නොහැකිය.
එහෙත් ඩාක් ෂැඩෝස් බොක්ස් ඔෆීස් වාර්තා තබමින් තිරගත වී තිබේ. අමෙරිකානු ඩොලර් මිලියන 236 ක් උපයාගෙන ඇති අතර ධනාත්මක සහ සෘණාත්මක විවේචන සම සමව ලැබී ඇත. විශේෂයෙන්ම සිනමාපටයේ වස්තු බීජය ප්‍රසාරණය නොකරමින් වෙනත් අන්ත කරා ගමන් කිරීමත්,චරිත ප්‍රමාණාත්මක ලෙස මතු කර නැති බවත් මූලිකම චෝදනාවයි. සිනමාපටය කෙරෙහි ලත් ධනාත්මක විවේචන අතර කැපී පෙනුනේ පැරැණි සෝප් ඔපෙරා ගණයේ ටෙලි කතා මාලාව අති සාර්ථකව සිනමාවට නඟා ඇත යනුවෙනි. බානබස් චරිතය ජීවමාන කිරීමට ජොනී ඩෙප් දක්වා ඇති ශිල්පීය දක්ෂතාව ඊළඟ කාරණයයි. විශේෂයෙන්ම වසර 200 කට පසුව සමාජයට පිවිසෙන බානබස් ලබන සංස්කෘතික ගැස්ම වඩාත් හාස්‍යජනක ලෙස ප්‍රේක්ෂකයාට ලබා දීම කැපී පෙනේ. ඩාක් ෂැඩෝස් යනු ජොනී ඩෙප්ගේ ළමා වියේ සිහිනයක්ව පැවැති ටෙලි කතා මාලාවකි. එහි බානබස් චරිතය රඟපෑමට ලැබීම ඔහුගේ සිහිනයක් සැබෑ වීමක් ලෙස සැලැකූ ජොනී ඩෙප් මේ සිනමාපටය තැනීමට වඩාත් උනන්දුවක් දැක් වූ එක් අයෙකි. බාධක රාශියක් මැද ජෝන් ඕගස්ට් ලවා සිනමා තිරපිටපත ලියා ගනිමින් ලහි ලහියේ සිනමාපටය තැනීම ආරම්භ කර ඇත. මේ අර්ථයෙන් ගත් විට ඩාක් ෂැඩෝස් වර්තමාන සිනමාවේ කැපී පෙනෙන සළකුණක් තබා ඇත. එහෙත් එය මැකී නොයන තරමේ බරපතල මුද්‍රාවක් නම් නොවනු ඇත. ජොනී ඩෙප් ගේ බානබස් චරිතයේ සිහිනය සැබෑ වීම හැරුණු කොට වැම්පැයර් ඩයරීස් කතා මාලාවේ ඩේමන් රඟන ත්‍රාසජනක වැම්පයර ප්‍රතිරූපයක් ප්‍රේක්ෂකයාට මින් නොලැබී ඇත. සාපේක්ෂව කිරා මැන බැලීමේ පුරුද්ද සහිත ප්‍රේක්ෂකයා වඩාත් විප්ර කාර වැම්පයරයෙකුට සමහර විට මනාපය ප්‍රකාශ කළ හැකිය. ඒ මනාපය නිසැකයෙන්ම හිමි වන්නේ ජොනී ඩෙප්ටය.
|