වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ පුතා ජීවත්ව සිටියානම් දරුවනේ හැදෙන එකක් නැහැ

මගේ පුතා ජීවත්ව සිටියානම් දරුවනේ හැදෙන එකක් නැහැ

වැඩිම චිත්‍රපට ගණනක් තැනූ නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු කියයි

චිත්‍රපට පහක් උදෙසා, එකවර අර්ථපති දායකත්වය පුද කළ නිෂ්පාදකයකු අපේ සිනමාවේ වේ නම් හේ නිසැකයෙන්ම සුනිල් ටී. ප්‍රනාන්දු පමණක්ම විය යුතුය.

E. A. P. මණ්ඩලයේ සිනමාහල් රැසක මේ දිනවල සාර්ථකව තිරගත වන ‘දරුවනේ’ ඉන් එක් චිත්‍රපටයකි. ‘ජීවිතේ ලස්සනයි’, ‘දෝණි’, ‘කොස්තාපල් පුඤ්ඤසෝම’, ‘තන්හා රති රඟා’ යන සෙසු චිත්‍රපට ද මේ වන විට මුළුමනින්ම රූගත කොට අවසන්ය.

මේ සියල්ල අස්සේ සුනිල් ටී. ගේ ඊළඟ නිෂ්පාදනය වන ‘රන්ජා’ චිත්‍රපටයේ වැඩ කටයුතු ද පසුගියදා ආරම්භ කෙරිණ.

ඔහු නිපයූ චිත්‍රපට සියල්ල එක්තැන් කළ විට එහි එකතුව පනස් පහකි. එය එක් පුද්ගලයකු නිෂ්පාදනය කළ වැඩිම චිත්‍රපට සංඛ්‍යාව ලෙස ලාංකේය සිනමා වංශයේ සනිටුහන් වේ. සිනමා කර්මාන්තය කඩා වැටී, නන්නත්තාර වී ඇතැයි පැවසෙන යුගයක ඔහු තම චිත්‍රපටවලින් ලාභ උපයයි. එපමණකින් නොනැවතී සිනමා කර්මාන්තයේ පැවැත්ම උදෙසා අප්‍රමාණ දායකත්වයක් ලබා දේ.

මේ, ඒ සුනිල් ටී පසුගිය දිනෙක අප හා සංවාදගත වූ අයුරුය . . .

ඔබේ ‘දරුවනේ’ චිත්‍රපටය දින 50 සීමාව පසු කරමින් තවමත් සාර්ථකව තිරගත වෙනවා. ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාර පිළිබඳ මුලින්ම කතා කළොත්?

ඉතාම සතුටුයි. ‘දරුවනේ’ ඉතාම සාර්ථකයි. ඒ සාර්ථකත්වය මම හිතුවාටත් වඩා ලැබුණා. මොකද මගේ මෙතෙක් ප්‍රදර්ශනය වූ චිත්‍රපට පනස් එකත් හරි, මේකත් හරි. විශේෂයෙන්ම මගේ පුතා ‘රිකී’ නැති වුණාට පස්සේ මම හදපු පළමුවැනි චිත්‍රපටය මේක. ඒ කතාවට පාදක වෙලා තියෙන්නේ රිකී ගේ ජීවන රටාව. මම ගොඩක් කනගාටුවෙන් හිටියේ පුතා නැති වුණාට පස්සේ. ඒත් ‘දරුවනේ’ චිත්‍රපටයට මේ විදිහට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන එක ගැන මම ඉතාම සතුටට පත්වෙනවා.

ළමයින් සඳහා යැයි කියා තැනෙන චිත්‍රපටවල බොහෝ විට අප දකින්නේ වැඩිහිටි තේමාවල්. ‘දරුවනේ’ ළමයින් සඳහා පමණක්ම ද?

මම මේක ළමා චිත්‍රපටයක් කියලා හැදුවා නෙවේ. ඇත්තෙන්ම මේ චිත්‍රපටයේ තියෙන්නේ දරුවන්ගෙන් දෙමව්පියන්ටත්, දෙමව්පියන්ගෙන් දරුවන්ටත් යන පණිවිඩයක්. දෙමව්පියන් වශයෙන් දරුවන් යහමගට ගන්න තමයි ඕනෑම වෙලාවක වැඩ පිළිවෙලක් යොදන්නේ. නමුත් දෙමව්පියන්ගේ වැරැදි හදන්න කිසිම කෙනෙක් නැහැ. මේ චිත්‍රපටයේදී දෙමව්පියන්ට දරුවන්ගෙනුත් පාඩමක් ඉගෙන ගන්න තියෙනවා. ඉතිං ඒකයි මේකෙ විශේෂත්වය. මේ කතාව නිර්මාණය වුණේ මගේ අතින්. වී. සිවදාසන්ට මම ආරාධනා කළා මේ චිත්‍රපටය හදන්න. ඔහු කැනඩාවේ ඉඳලා ඇවිත් තමයි ‘දරුවනේ’ නිර්මාණය කළේ.

ඔබේ අනෙක් චිත්‍රපටත් හරි ‘දරුවනේ’ චිත්‍රපටයත් හරි කියා ඔබ කිව්වා. එයින් අදහස් කළේ මින් පෙර ඔබ නිෂ්පාදනය කළේ වැදගැම්මකට නැති චිත්‍රපට කියාද?

එයින් මම අදහස් කළේ එහෙම දෙයක් නෙවෙයි. මම හදපු ගොඩක් චිත්‍රපට තියෙනවා සාර්ථක වෙච්ච. උදාහරණයකට ගත්තොත් ‘මමයි රජා’, ‘චණ්ඩි රජා’, ‘ජය අපටයි’ වගේ චිත්‍රපට. ඊට පස්සේ ආපු ‘ඇගේ වෛරය’ චිත්‍රපට රැල්ල. මේවා සේරම සාර්ථක වුණා. නමුත් මේ චිත්‍රපටය මට වැඩියෙන් දැනුණා. හේතුව මගේ පුතා හින්දා. මගේ පුතා ජීවතුන්අතර හිටියා නම් මේ චිත්‍රපටය හැදෙන්නේ නෑ. එයා නැති වුණාට පස්සේ තනියම ඉන්න කොට ආපු සිතිවිල්ලක් උඩ තමයි මේ චිත්‍රපටය හැදුවේ.

‘ඇගේ වෛරය’ හරහා අපේ සිනමාවේ කාම රැල්ලක් ආරම්භ වුණා කියා ඇතැමුන් පවසනවා. මේ චෝදනාවට ඔබ හවුල්කරුවෙක්ද?

නෑ. ඒක ඒ වකවානුවේ මිනිස්සු ඉල්ලපු දේ.

අද පසුතැවීමක් නැද්ද ඒ ගැන?

නෑ, මම කනගාටු වෙන්නේ නෑ. මොකද මම ව්‍යාපාරිකයෙක්. ඒ කාලේ ඔය බැනපු හැම දෙනාම මේ චිත්‍රපට බැලුවා. බැන, බැන ගිහින් බලන්න ඒ මිනිස්සුන්ට මොකක් හරි වැදගත්කමක් තියෙන්න ඇතිනේ. ඒ බලපු නිසානේ චිත්‍රපට දිව්වේ. ලංකාවේ කොයි තරම් හොඳ චිත්‍රපට තියෙනවද දුවපු නැති. ඒ ගැන කවුරුවත් කතා කරන්නේ නැහැනේ. අද මම ගැන කවුරුත් කතා කරන්නේ මට සල්ලි තියෙනවා, සිනමා ශාලා තිබෙනවා, චිත්‍රපට හදනවා , ඒ නිසානේ. නමුත් මම චිත්‍රපට ෆේල් වුණ කිසි වටිනාකමක් නැති, පාරේ යන හිඟන්නෙක් ගාණට හිටියානම් කවුරුවත් මා ගැන කතා කරන එකක් නෑ. අර පල ඇති රුකටනේ වවුල්ලු වහන්නෙත්.

අද අපේ සිනමාවේ අර්බුදයක් තියෙන බව බොහෝ දෙනෙකු කියනවා. එහෙමද?

චිත්‍රපට පනස් පහක් මම මේ වෙනකොට හදලා තියෙනවා. ඉදිරියටත් හදනවා. මට කවදාවත් අර්බුදයක් කියන එකක් දැනිලා නෑ. එහෙම අර්බුදයක් තිබුණා නම් මට චිත්‍රපට කරන්න බැරි වෙනවා. ඒ නිසා ඔය අර්බුදයක් කියන්නේ මොකක්ද කියලාවත් මට තේරෙන්නේ නෑ. ප්‍රේක්ෂකයෝ චිත්‍රපට බලනවා. සිනමා ශාලාවල සහයෝගය මට ලැබෙනවා. ඒ වගේම වියදම් කරන මුදල් මට යහමින් ලැබෙනවා.

එතකොට මේ අර්බුදය මවාපෑමක්ද?

හැම දෙයක්ම දැනගෙනයි යමක් කළ යුත්තේ. මනා කළමනාකාරිත්වයකින් ඕනෑම දෙයක් කළොත් අපට ඒක සාර්ථක කරගන්න පුළුවන්. තමන් කරන්නේ මොනවාද, තමන් යන්නේ කොහාට ද කියලා හරියටම දන්නවා නම් අපි නියම සුදුසු තැනට යයි. යන්නන් වාලේ ගියොත් අපි අතරමං වෙයි. අවබෝධයෙන් කටයුතු කළොත් ඉලක්කය සපුරා ගන්න අපට හරිම ලේසියි.

නමුත් ඔය අවබෝධය අද බොහෝ අයට නැහැනේ?

සිනමාව කියන්නේ සාමුහික මාධ්‍යයක්. ඒක කාගෙවත් පෞද්ගලික බූදලයක් කරගන්න නරකයි. එහෙම කළොත් ලෝකයා නෙවෙයි තමුන්මයි රැවටෙන්නේ. අපි ක්‍රිකට් ගහනවයි කියමුකෝ. අපි රට වෙනුවෙනුයි ක්‍රීඩා කරන්න ඕනෑ. තමන් වෙනුවෙන් ගැහුවොත් මැච් එකයි, දෙකයි, ගෙදර තමයි යන්න වෙන්නේ. ඒ වගේ අපි චිත්‍රපට හදන්න ඕනෑ මේ රට වෙනුවෙන්. අපේ ප්‍රේක්ෂකයෝ වෙනුවෙන්.

සිනමාව හා ප්‍රේක්ෂකයා අතර පාලම ඉදි කරන්නේ විචාරකයන්. නමුත් අපේ විචාරකයන්ගෙන් ඔබේ චිත්‍රපටවලට සුගතියක් වුණේ නැහැ නේද?

ඔය විචාරකයන් මම එදා ගණන් ගත්තෙත් නෑ. අද ගණන් ගන්නෙත් නෑ. ඉස්සරහටත් එහෙමයි. මම විචාර උඩ, ඒවා පදනම් කරගෙන චිත්‍රපට හදන කෙනෙක් නෙවේ. විචාරකයා කියන්නේ තනි පුද්ගලයෙක්. ලංකාවම නියෝජනය කරන පුද්ගලයා නෙවේ. එහෙම ලංකාවම නියෝජනය කරන්නේ ජනාධිපතිතුමා. එතුමා අපට යම් දෙයක් කිව්වොත් අවධානය යොමු කරන්නට වෙයි. ජනාධිපතිවරයා හා විචාරකයා කියන්නේ අහසට පොළොව වගේ. විචරකයෝ අපට මුදලට ගන්නත් පුළුවන්.

ඔබ එහෙම අරන් තියෙනවද?

නැහැ . . . ඒක අවශ්‍යය කතන්දරයක් නෙවෙයි. මාධ්‍ය ලෝකයේ කවුරුත් මගේ හිතවත්තු. ඔවුන් එක්ක සුහදව වැඩ කරනවා. ඒ කවුරුත් මට මුදලට ගන්නත් බෑ. නමුත් මම කියන්නේ හරි විචාරයක් මම තවම දැකලා නැහැ. මාව ගොඩක්ම විවේනය කළේ අජිත් ගලප්පත්ති කියන විචාරකයා. ඒ මනුස්සයත් අද මගේ හිතවත්ම මිත්‍රයෙක්. නමුත් මාව හොඳටම විනාශ කරලා දාපු කෙනෙක් තමයි අජිත් කියන්නේ.

‘දරුවනේ’ චිත්‍රපටයෙන් පසු ඔබේ චිත්‍රපට පෝලිමක් ප්‍රදර්ශනයට සූදානම්. ඒ ගැන කතා කළොත්?

ඔව්, ‘ජීවිතේ ලස්සනයි’ චිත්‍රපටය මේ නොවැම්බරයේදී ප්‍රදර්ශනයට සූදානම්. ලබන අවුරුද්දේ ‘දෝණි’ තිරගත වේවි. ඊට පස්සේ අනු පිළිවෙලට සෙසු චිත්‍රපටත් ප්‍රේක්ෂකයා හමුවට ගෙනෙනවා.

මේ චිත්‍රපට විවිධ තේමාවන් යටතේ නිර්මාණය වූ ඒවා?

මට දැන් අවශ්‍යය විවිධ තේමාවන් ඔස්සේ විවිධ පුද්ගලයන් හරහා චිත්‍රපට නිර්මාණය කර ගන්නයි. ඒ අනුව සුදේශ් වසන්ත පීරිස්, වී. සිවදාසන්, උදයකාන්ත වර්ණසූරිය සහ මුල්වරට අපේ සිනමාවට අධ්‍යක්ෂවරයකු ලෙස දොරට වඩින නිලේන්ද්‍ර දේශප්‍රිටත් මම නිෂ්පාදන දායකත්වය ලබා දුන්නා.

වෙනසක් දැනෙනවාද?

මම වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් කළේ සුනිල් සෝම පීරිස් එක්ක. එක තැනක කොටු වෙච්ච ගතියක් මට දැනුණා. අද මට ලොකු ෆ‍්‍රීඩම් එකක් තියෙනවා. විවිධ අධ්‍යක්ෂවරුන්ගේ විවිධ සිතුම් පැතුම් තියෙන්නේ. ඒ සිතුම්, පැතුම් එක්ක යන එක හරි ලේසියි කියා මට හිතෙනවා.

ඒ නිසාද සුනිල් සෝම පීරිස් අමතක කළේ?

නෑ . . . නෑ . . . මම ඔහු අමතක කළේ නෑ. ‘ජීවිතේ ලස්සනයි’ චිත්‍රපටයට මම ඔහුට යම් මුදලක් ගෙවලා, අවසරය අරගෙන තමයි ඔහුගේ පුතා සුදේශ් වසන්තට මේ චිත්‍රපටය බාර දුන්නේ. මොකද තරුණ ජවය මේ වෙලාවේ අවශ්‍යය නිසා. ඉතින් සුනිල් සෝමත් ඒක පිළිගත්තා. ඕනෑනම් ඔබට අහන්න පුළුවන් මම එයා වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ කියලා. මගේ M. P. L.  කම්පැණියේ එයාව මම ඩිරෙක්ටර් කෙනෙක් කරලා තියෙනවා. මාසික ආදායමක් එයාට හදලා දීලා තියෙනවා. අනෙක මම සුනිල් සෝම එක්ක කරපු චිත්‍රපටවලට ඔහුට ගෙවලා තියෙනවා.

එතකොට දැන් සෝනියා දිසා එක්ක ඔබේ සම්බන්ධයක් නැද්ද?

කළුතර සිනමා ශාලාවෙන් රුපියල් ලක්ෂ සීයක මුදලක් දුන්නා. එතකොට අපි දෙන්නට අයිතිය තිබූ චිත්‍රපට ඔක්කොම තිස්ස නාගොඩවිතාන මහත්තයට විකුණලා එයාට ඒකෙන් ෂෙයාර් එක දුන්නා. මහබාගේ පර්චස් තිස් නවයක් එක්ක තට්ටු තුනක නිවසක් හදලා දීලා තියෙනවා. එතකොට මම කරපු ව්‍යාපාරවලින් 50% ක් එයාට අනිවාර්යයෙන් දුන්නා. එයාගෙත් නරක වෙලාවට එයා ඒ මුදල් ගෝල්ඩන් කී ආයතනයේ තමයි තැන්පත් කළේ. ඉතින් එතනින් එයාට ඒ සල්ලි ලැබුණේ නෑ. ඒකෙන් එයා යම් අපහසුතාවයකට පත්වෙලා ඉන්නවා කියලා මට ආරංචියි. ඒ කෙසේ වෙතත් එයා ලංකාවට ආපුවම මම තමයි තාමත් එයාට සියලුම පහසුකම් සපයන්නේ. අපේ හිතවත්කම සහ අන්‍යෝන්‍ය බැඳීම තවම තිබෙනවා.

ඩිජිටල් තාක්ෂණය පිළිබඳ වර්තමානයේ අපේ සිනමාවේ තියෙන්නේ දැඩි ආන්දෝලනයක්. චිත්‍රපට නිෂ්පාදකවරයෙක් හැටියට මේ ප්‍රශ්නයට ඔබ මැදිහත් වෙන්නේ කොහොමද?

නිසි අවබෝධයකින් තොරවයි සමහරු මේ ගැන අදහස් දක්වන්නේ. අපි අනිවාර්යයෙන්ම නවීන තාක්ෂණයට යා යුතුයි. ඒත් නිසි වැඩ පිළිවෙලක් ඇතිව. ඩිජිටල් තාක්ෂණයට යන කොට අපට සිනමාහල් වර්ග කරන්නට වෙනවා A, B, C, කියා. ඒ ඝනයට වැටෙන්නේ සැවෝයි, ලිබර්ටි වගේ සිනමාහල්. A ගණයට ඇතුළත් කරන්න පුළුවන් නගරබද සිනමා ශාලා. B ගණයට වැටෙන්නේ ගමේ සිනමාහල්. එතකොට මේ හැම සිනමා ශාලාවක්ම ඩිජිටල් කරන්න ප්‍රායෝගිකව අපට පුළුවන්ද?

ඔබ කියන්නේ ඒ සඳහා සිනමා ශාලා තෝරා ගත යුතුයි කියලනේ?

ඔව්, අපි හිතමු වෙලින්ටන් – කන්තලේ කියලා. එහෙට දාන මැෂින් එකයි, සැවෝයි - වැල්ලවත්තට දාන මැෂින් එකයි දෙකම එකම ගණන්. ලක්ෂ දෙසිය පනහක් කියමු. සැවෝයි එකට පුළුවන් වුණාට වෙලින්ටන් සිනමාහලට ඒ වගේ මුදලක් ඔරොත්තු දෙනවාද? ඔන්න ඕකයි ප්‍රශ්නේ. අපේ ඉන්න ඉහළ නිලධාරීන්ගේ මනස අද ශූන්‍යය වෙලා. බිංදුවේ තියෙන්නේ. ඉතිං කොහොමද සිනමාව දියුණු වෙන්නේ. සිනමාව ගැන දන්න, නෙගටිව් පොසිටිව් හඳුනන වගකිව යුත්තෝ ඉන්න ඕනෑ සිනමාවේ දියුණුවක්, වර්ධනයක් ඇති වෙන්න.

චිත්‍රපට සංස්ථා සභාපතිවරයාටත් ඔය චෝදනාව අදාල ද?

ඔහුට සම්පූර්ණයෙන් මේකට විසඳුම් දෙන්න බැහැ. අපි සියල්ලන්ම එකතු වෙලා එක මතයකට ගොඩ නැගුණොත් අපට සෑහෙන ගමනක් යන්න පුළුවන්. නැතිනම් හැමදාම අරයට, මෙයාට කේළම් කිය, කිය ඉන්න කොට කාලය ඉවරයි. ඊට පස්සේ පුටුව මාරු වෙලා අලුත් සභාපතිවරයෙක් එනවා. එයා එයාගේ වැඩ පටන් ගන්න කොට පෙරහැර ගිහින් ඉවරයි. ඊට පස්සේ කාවඩි නටලා වැඩක් නෑ.

එතකොට සමහරු කියනවා චිත්‍රපට සංස්ථාව මැදිහත් වෙන්නේ නෑ කියලා මේ ප්‍රශ්නවලට. ඒ අවශ්‍යය සක්‍රීය දායකත්වය ලැබෙන්නේ නෑ කියලා. එහෙම සංස්ථාවකින් වැඩක් තියෙනවද?

මට පෙනෙන විදිහට වත්මන් චිත්‍රපට සංස්ථා සභාපතිවරයාගේ අත් බැඳලයි තියෙන්නේ. වැඩක් කරන්නම බෑ.

සංස්ථාව පෞද්ගලීකරණය කරන්න ඕනෑ. මොනිටර් බොඩි එකක් වශයෙන් සංස්ථාව තියාගෙන ඒකෙ සභාපති වශයෙන් කෙනෙක් පත්කළාට කමක් නෑ. මේ සිනමා මණ්ඩල අහෝසි කරන්න ඕනෑ. ‘දරුවනේ’ චිත්‍රපටයට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමාහල්වල මට මුදල් ගෙවලා ඉවරයි. ඒත් සංස්ථා මණ්ඩලයේ සිනමාහල්වලින් මේ වෙනකල් සත පහක්වත් ලැබිලා නෑ. ඕකයි තත්ත්වය. ඒ මුදල් ගන්න මාස හය, හතක් යනවා. සංස්ථාවෙන් මට ලැබෙන සහයකුත් නෑ. ඉල්ලුවත් එයාලා දෙන්නෙත් නෑ. ඉතින් මම, මගේ පාඩුවේ වැඩ ටික කරගෙන යනවා.

කාගෙත් දුක දැනෙන, කාටත් පිහිට වෙන සංවේදී පුද්ගලයෙකු හැටියට තමයි සුනිල් ටී. ප්‍රනාන්දු මේ ක්ෂේත්‍රයේ තවත් විදිහකට ප්‍රසිද්ධ. ඔබ දකුණු අතින් ගන්න දේ වම් අතින් දෙන ජාතියේ පුද්ගලයෙක්. මේ පරිත්‍යාගශීලී ගුණය ඔබට ඇති වුණේ කොහොමද?

ඒක ඇත්තෙන්ම මගේ මව්පියන්ගෙන් මට ලැබුණ දෙයක් වෙන්නැති. මොකද අපි හැමෝම මැරෙන මිනිස්සු. යනකොට මේ ඔක්කොම දාලා යනවා. අපි ගෙනියන්නේ කරපු හොඳ, නරක විතරයි. අපි සුඛෝපභෝගී විදිහට ජීවත් වෙනවා නම්, අපි සතුටෙන් ඉන්නවා නම් ඒකෙන් කොටසක් තව කෙනෙකුට දුන්නට ප්‍රශ්නයක් නෑ. උදාහරණයකට ගන්න මගේ කලමනාකරු. ඔහුට සිනමා ශාලාවක් දාන්න ඕනෑ කිව්වා. මම එයාගේ ඇල්පිටිය ගමේ සිනමා ශාලාවක් දාන්න අවසර දුන්නා. ඔහුත් සිනමා ශාලා හිමියෙක් අද. එයා අද සතුටෙන් ජීවත් වෙනවා. ඒකෙත් මගේ ‘දරුවනේ’ චිත්‍රපටය පෙන්වනවා. ඒ නිසා කෙනෙක් සතුටු කරන්න පුළුවන්නම් මම ඒක නොපැකිලව ඉටු කරනවා. ඒකයි මිනිස්සු මට ආදරේ.

පහුගිය කාලේ ඔබ ජීවිතේ ඉතාම කටුක අත්දැකීමකට මුහුණ දුන්නා. නමුත් ඔබ ඒ දුක දරාගෙන ලොකු ආත්ම විශ්වාසයකින් අද ජීවිතේ දිහා බලනවා?

මගේ ජීවිතය ගත්තොත් ඒක මට අයිති නෑ. මම කතෝලිකයෙක්. මගේ පුතා, දුව මට අයිති නෑ. මගේ බිරිඳ මට අයිති නෑ. මට මාව අයිති නෑ. දෙවියන් වහන්සේ අඬගහපු වෙලාවට මේ ඔක්කොම දාලා අපි යන්න ඕනෑ. ඒ නිසා ඉන්නකල් හොඳීන් සතුටෙන් ජීවත් වෙන්න ඕනෑ. හැම කෙනෙකුටම ආදර්ශයක් වෙන විදිහට ජීවත් වෙන එක තමයි මගේ අභිප්‍රාය. අනෙක් අයටත් කියන්න තියෙන්නේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය සිත්වලින් අතුගාලා දාන්න. ඉන් පස්සේ මනස සරලව සුන්දරව තියා ගන්න. එතකොට මේ හැම දේම ලැබෙනවා.