වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




ගාමිණී අට අවුරුද්දක්

ගාමිණී අට අවුරුද්දක්

කලකට ඉහත සිනමාහල යනු අරුම පුදුම දෙයක් වූයේය. ගෙවල් වල නොපෙන්වන රූප කතන්දර එකී දැවැන්ත ශාලාවේ පෙන්වනු ලැබීය.

යකඩ කට බැඳ ගත් මෝටර් රථ ගම් දනව් සිසාරා ළඟම ඇති ඔබේ සිනමාහලේ පෙන්වනු ලබන චිත්‍රපටයේ විස්තර රස කර කියවීය. එයින් මෙන්ම ගෙදර ඇති මහන මැෂිම හැරුණු විට වටිනාම වැඩ කරන යන්ත්‍රය වූ රේඩියෝව ද කියන ලබන වර්ණනාත්මක විස්තරයෙන් වසඟ වන අප ඔබේ යැයි ඔවුන් කියන බැවින් මගේ යැයි සිතන සිනමාහලට රොක් වන්නට කල් ගත්තේ නැත. මගේ යැයි සිතා සිටිය ද එහි වටා සිටින මහ ජනසන්නිපාතය දකිනා විට අප වෙව්ලා යන්නට පටන් ගනියි.

සිනමාහලේ ආරක්ෂක නිළධාරින් ලෙස නම්බු දරා සිටින පළාතේ එකල සිටින චණ්ඩින් දෙකේ දෙකේ පොලු අතැතිව ඔබේයැයි හඳුන්වා දුන් සිනමාහලේ සිටින අප වැන්නන් හසුරුවයි.

කෙසේ හෝ චිත්‍රපටය මුල් දිනයේ නැරඹීම අපේ වෑයමයි. එහි සිටිනුයේ අපේ වීරයාය.එහෙත් පසුගිය දශකය ඇතුළත මේ සියල්ල වෙනස් ව ගොසිනි. සිනමාහල අපේ නොවුනත් සිනමාව අපේම වී ඇත්තේය.

ඒ සිනමාහල ගෙදර ට පැමිණි බැවිනි. එදා සිනමාහලේ තිබූ බොහෝ සුපිරි නාද රටා පමනක් නොව සිනමාහලට නොපැමිණි චිත්‍රපට පවා ගෙදරට එන්නට පටන් ගත්තේය.

එපමනක් නොව කිසි දවසක චිත්‍රපට වල නොදුටු අලුත්ම තරු අප වෙනුවන් ආදරය ගැන කියන්නටත් හඬා වැටෙන්නටත් පටන් ගෙන කතන්දර වල පෙනී සිටිති. අපේ ගෙදරට ඇවිත් කතා කියන කතා කරන මේ තරු ගැන ඕපාදූපයක් වෙතොත් අදම එය දැන ගන්නට අප කැමතිය. එහෙත් ඔවුන් ගැන හෙට අසන්නට නොලැබේ.

අපට දැන ගන්නට වුවමනාවක් ද නැත.එහෙත් සිනමාහලේ අපට සිටි වීරයා තවමත් අමරණීයව අප මනසේ සිතුවම් මවයි.ඔවුන් ගැන අප ඇසූ කතා අද ට වඩා වෙනස්ය.

ඒවායේ කිසියම් ගරුත්වයක් ගැබ්ව තිබිණ,ඔවුන් ගෘහ මෙවලමක් ලෙස අපට නොහැඟිණ. එබැවින් ඔවුන් අපට වීරයන් වූහ. එදත් සූරයා අදත් සූරයා මට සිහිපත් වෙයි.

"ඉන්ස්පෙක්ටර් කෙහෙම්මල් නීතියක් ගැන කතා කරනවා.මං මගේ දරුවාගේ ජීවිතය ගැන කතා කරනවා."

යළි අවනීතිය අතට ගන්නට සැරසෙන ඔහුට අවවාද කරන යුක්ති ගරුක පොලිස්නිළධාරියා හමුවේ ඔහු නොපැකිලවම කියා සිටියි.ඉදිරියට අඩියක් තබන ඔහු අප දෙස හැරෙයි.

"මට දැන් තියෙන්නේ එකයි.උන්න ද මැරෙනවද කියන එක විතරයි"

ඒ වදන් අපට උත්තේජනයකි.අප අතරින් විසිල් එකක් ගසන්නට සමතෙකු ඒ මොහොතේම එයට ප්‍රතිචාර දෙන්නේ හදවතිනි. බැරි අප අත් පොලසන් දී සතුටු වෙමු.ඒ ඔහු අපේ වීරයා වූ බැවිනි.මේ වීරයා තවම ජීවමානය.ගෙදරට ආ හිතවතා දවසින් දෙකින් අමතකව ගොසිනි. එහෙත් අපේ වීරයා තවම ජීවමානය. සැබැවින් නම් ඔහු අප අතැර ගොස් මේ තිස් වනදාට වසර අටකි.එදා තිස් වැනි දින බ්‍රහස්පතින්දාවකි. මෙදා ඉරිදාවකි.

ඔහු නමින් සෙම්බුගේ ෂෙල්ටන් ගාමිණී ෆොන්සේකාය. උපන්නේ 1936 වසරේ මාර්තු 21 වැනි දිනය. මුලින් ඉගෙන ගත්තේ දෙහිවල ප්‍රෙස්බිටීරියන් විදුහලේය.අනතුරුව ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලිනි.ඔහු සිනමාවට එක්වනුයේ රේඛාව චිත්‍රපටයේ කාර්මික ශිල්පියකු හැටියටය.ඔහු එහි සුළු පෙනී සිටීමක් ද සිදු කරයි.එය චරිත නිරූපණයක් නොවේ.

ඒ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ සොයා ගැන්මක් ලෙසටය.අනතුරුව ආචාර්ය ලෙස්ටර්ගේම වාර්තා චිත්‍රපටයකින් රංගනයට පිවිසෙන ඔහු දෛවයොගය චිත්‍රපටයේ මානමූල ලෙස මුල් වරට ප්‍රධාන ධාරාවේ චිත්‍රපටයක චරිත නිරූපණයට එක් වෙයි.එය සාර්ථක ඇරඹුමක් ලෙස ගිණිය නොහැක්කේ එහි එන මියුරු ගී විනා චිත්‍රපටය සාර්ථක නොවූ බැවිනි.

ඔහුගේ රංගන ජීවිතයේ ආරම්හයම සමකාලින සෙසු සියළු නළුනිළියන්ගේ ආරම්භයට වඩා වෙනස්ය.ඔහු සිනමාවේ අත් පොත තබනුයේ මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් අතිනි.එය ද සිංහල සිනමාවට සිනමාව හඳුන්වා දුන් රේඛාව චිත්‍රපටයෙනි.එනයින් බලන කළ ඔහු ආචාර්ය ලෙස්ටර් ගේ මුල්ම ගෝලයා ලෙස ද අබිසෙස් ලබයි.

එය සමකාලින සෙසු නළුවන්ට නොලැබෙන වරප්‍රසාදයකි.එයට පෙර ඔහු තවත් පුරෝගාමී සිනමාකරුවකු වූ සිරිසේන විමලවීරයන් සොයා ගිය දආපසු එන්නේ බලාපොරොත්තු කඩවුණ තරුණයකු හැටියටය.

එය ඔහුගේ වාසනාවට සිදුවූවක් ද නැතහොත් සිනමාවේ වාසනාවට සිදුවූවක් දැයි සිතා ගැන්ම අපහසුය.එමෙන්ම ඔහු සිනමාවට අත්පොත් තබනුයේ නළුවකු ලෙසට නොව කාර්මික ශිල්පියකු ලෙසටය. එබැවින් දෙවැනුව ඔහුට එහිලා ලැබෙන මහත්ම වරප්‍රසාදය නම් ලෝ පතළ සිනමා කෘතියක් වූ බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි චිත්‍රපටයට සහාය ශිල්පියකු ලෙස වැඩ කිරීමට ඉඩ සැලැසීමයි.

සිනමා පාසලක් නැති රටක එය ඔහුට සිනමා සරසවියක් වනුයේ එම චිත්‍රපටයේ ප්‍රධාන සහාය අධ්‍යක්ෂ ගස් ඔගස්ටින් සමග කටයුතු කිරීමට ඉඩ සැලසෙන බැවිනි.ඔගස්ටින් එකල ලොව සිටි අංක එකේ සහාය අධ්‍යක්ෂවරයෙකි.

එමෙන්ම බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ චිත්‍රපටයක පරිපූර්ණත්වය පිළිබද ඉතා දුෂ්කර කැප වීමක යෙදෙන සිනමාකරුවක් හැටියට පතල නමක් දිනූ ඩේවිඩ් ලීන් ය.තෙවැන්න ඔහු මුල් වරට චරිතයක් රඟනුයේ වාර්තා චිත්‍රපටයක වීමය.සිව්වැන්න ඔහු චරිතාංග රංගනයේ යෙදෙන දෛවයෝගය සෙසු සමකාලින චිත්‍රපට මෙන් දකුණු ඉන්දිය චිත්‍රාගාරයක නොව උතුරු ඉන්දියාවේ චිත්‍රාගාරයක නිර්මාණය වීමය.

එය ද ඉන්දිය සිනමාවේ වැදගත් චිත්‍රාගාරයක් වූ පූනා වේ ප්‍රභාත් චිත්‍රාගාරයේ ය.එහි කැමරාව මෙහෙය වූයේ එදවස හින්දි සිනමාවේ පතාක යෝධයන් වූ මිස්ට්‍රි සොහොයුරන්ගෙන් කෙකෙනකු වූ කේකි මිස්ට්‍රිය.

එහි ගාමිණීගේ රංගනය ඒ වන විට මෙරට ජනප්‍රියම සිනමා විචාරකයා ව සිටි ජයවිලාල් විලේගොඩ ගේ නිර්දය විවේචනයට ලක් වූයේය.කොටින්ම ඔහු පැවසුවේ මේ අලුත් නළුවා වෙනුවට පඹයකු යොදා ගත්තා නම් කදිම බවය.

එහෙත් එයට වඩා සිනමාව පිළිබඳ දැන සිටි මිස්ට්‍රි පවැසුවේ අමෙරිකන් බෝයි (මිස්ට්‍රි මේ අලුත් ඉලන්දාරියාට ආදරයට පැවසූ නම) ඔහේ කවද හරි තමන්ගේ රටේ නම තියන නළුවා වන බවය. විලේගොඩට වැරදිණ. මිස්ට්‍රිගේ අනාවැකිය හරි ගියේය.ඊළඟ අවුරුදු ගණන ඇතුළත මෙරට සිනමා රංගනයේ පූර්වාදර්ශය ඔහුය.

ඔහු රඟ පෑ චිත්‍රපට පෙන්වද්දී ශාලා ජනයාගෙන් පිරී ඉතිරී යන්නට පටන් ගත්තේය.සංදේශයේ ඔහු රඟපෑවේ දෙවන චරිතයයි. එහෙත් වීරයා පසු කොට රූපයේ ග්‍රහණය තමා සතු කර ගැනීමේ පිළිවත ඔහු දැන සිටියේය.

ප්‍රධාන නළුවා දෙබස් වලින් සිය චරිතය ගොඩ නගද්දී ඔහු එම රූපයේ ම සිටි ඉරියව්වෙන් කළ අභිනයෙන් රූපයේ වැඩි අවධානය තමා සතු කර ගැනීමේ සිනමා රංග කලාව මනාව ගොඩ නංවා ඉස්මතු කළේය.ඒ සිනමාව පිළිබඳ ඔහු දැන සිටි බැවිනි.ඔහු මුල් වරට ප්‍රධාන චරිතයට පිවිසෙන්නේ පිරිමියෙක් නිසා තුළින් වුවද ඔහු සුපිරි තරුවක් බවට පත් කරලනුයේ රන්මුතුදූවය.

රන්මුතුදූව ට පනස් වස පිරුණේ ගිය මාසයේය.ඒ අනුව ගාමිණී සිනමාවට අවතීරණය වී වසර පනස් හයක් ද ඔහු සුපිරි නළුවකු බවට පත්ව පනස් වසරක් ද පිරෙන්නේ මේ වසරටය.එහෙත් ගාමිණී යනු හුදෙක් සිනමා නළුවකු පමනක් නොවේ.

ඔහු සිනමා රසිකයන් වූ අපට වීරයක් වන්නාසේම සිනමා බහුශ්‍රැතයන් හමුවේ අග්‍රගණ්‍ය නළුවකු වන්නේ ය.ඔහු සිනමාවට පිවිසි මුල් වසර කිහිපය ගත වද්දී ඒ වන විට අපේ සිනමාවේ පුරෝගාමි රංග කාර්යයෙහි නියැළි ඉන්දිය අනුකාරක නළුවන් රැසකටම අනාගතය අහිමි විය.පළමු වරට ටීෂර්ට් එකකින් හෝ නැතිනම් උඩුකය නිරාවරණය කොටගෙන සිනමාවට පිවිසියේ ඔහුය.

කොටින්ම අපේ සිනමා වේ කොල්ලා පුරුෂයකු බවට පත් කළේ ගාමිණීය.ගම්පෙරළියේ ජිනදාස,පරසතු මල් බොනී,නිධානයේ විලී, වැලිකතරේ වික්‍රම වැන්නන් මෙන්ම ධීවරයෝ ෆ්‍රැන්සිස්,චණ්ඩියා හි චුට්ටේ,ගැටවරයෝ බන්දු,නැතහොත් සූර චෞරයා,සූරයන්ගෙත් සූරයා,හිත හොඳ මිනිහෙක්,කවුද රජා?, ආදි වූ සියකට ආසන්න ඔහුගේ අනේක විධ චරිත නිරූපණයන් එකින් එක වෙනස් වූයේය.

එකම ආකාරයේ වීර චරිත දෙකක් රඟපෑමේ දී ඔහු විසින් පළ කරන ලද්දේ එකිනෙකට වෙනස් ඉරියව්ය.එබැවින්ම ගාමිණී රඟපෑ අහවල් චරිතය අහවල් චරිතයෙන් වෙන් කොට ගැනීම ඔහුගේ මරණයෙන් අට වසරක් ගෙවුන ද අසීරු කටයුත්තක් නොවේ.

සිනමාකරුවකු ලෙස ඔහු හිතුවක්කාරයකු බැව් ගැනෙනුයේ පරසතු මල් චිත්‍රපටය නිසාවෙනි. වයස අවුරුදු 28 ක් තරම් ගැටවර වියේ දී ඒ දින වල කිසිදු ප්‍රෙක්ෂකයකු වැළඳ ගනිතැයි නොසිතන චිත්‍රපටයක් නිර්මාණය කරන ඔහු අපට පවසන්නේ සිනමාකරුවන් යනු ඉල්ලන දේ දෙන්නන් නොව තමන් තනන දේ ඉල්ලන්නට වග බලා ගන්නන් බැව්ය.

උතුමාණෙනි තරම් නිර්භීත සිනමා ප්‍රකාශනයක් මෙරට සිනමාවේ දුර්ලභය. ඔහු නීතියේ ආධිපත්‍යයේ ඇතැයි සැලකෙන ඇතැම් කරුණු පිළිබඳ ප්‍රශ්ණ කරන්නට යන්නේ සෘජුවමය.

සිනමා ශිල්පින්ගේ අයිතිය වෙනුවෙන් ඔහු හඬ නගන්නේ තම වෘත්තිය අනාගතය අනතුරේ හෙළමිනි. අද ඇතැම් විට සිනමා නළු නිළියන් හා කාර්මික ශිල්පීන් විඳීන යම් වරප්‍රසාදයක් වෙතොත් එහි බහුතරයක් පිටිපස ඇත්තේ ගාමිණී ෆොන්සේකා නම් මහා නළුවාණන් කළ අරගලයන් නිසා බැව් අද ඒ සියල්ල භුක්ති විඳීන බොහෝ දෙනා නොදනිනිති. ඒ වෙනුවෙන් ඔහුට කරන්නට සිදු වූ කැපවීම් විශාලය.

මිය යන්නට මත්තෙන් දස වසරක පමණ කාලයක් ඔහු රඟපෑ චිත්‍රපටයක් අලුතින් තැණුනේ නැත.ඔහු අවසන් වරට රඟපෑවේ අන්තිම රැය චිත්‍රපටයේය. එය ඔහුගේ අවසන් අධ්‍යක්ෂණය ද විය. එහෙත් එයට වසර කිහිපයකට පෙර ගාමිණී රඟ පෑ බොහෝ චිත්‍රපට විනාශ වූයේය.

මිය යන්නට මත්තෙන් අලුත් චිත්‍රපටයක රඟපාන්නට ඔහු කැමති වුවද එහි වැඩ ඇරඹුනේ නැත.ඔහු රඟපෑ චිත්‍රපට ජය කෙහෙළි නංවමින් වැඩි පුරම පෙන්වූ ගාමිණී සිනමාහල ද එම ගින්නට ම හසු විය.

එල්ෆින්ස්ටන් සිනමාහල නාට්‍ය සඳහා වෙන් විය.ගාමිණී විසින් සටන් කොට ලබා ගත් සිනමා නළුනිළියන්ගේ අයිතින් අදාල ශිල්පින් විසින් ම පාවා දෙනුයේ ඇතැම් නිර්මාණයන්ට දවස් කුලියට වැඩ කරන කම්කරුවන් වෙමිනි.

එහෙත් ගාමිණී ෆොන්සේකා යන නම අට වසරකට පසු වද සිනමා රසිකයන්ගේ සිත් හි ආදරණීය සිහිවටනයක් ව පවතී. එය බිඳ වැටුණු අහිමි වූ සිනමාහලක රූපය අභිබවා නැගී සිටියි.

එහි හඬ ද ඒ සමාන රූප කාය ද යළි සිනමාවේ නොපෙනෙන බව ඇත්තය. ඒ සිනමාව තව දුරටත් යථාර්ථයක් නොවන බැවින් එයට ආදේශක බිහි වන්නේ ද නැත.අවශ්‍ය වන්නේ ද නැත. ගාමිණී ෆොන්සේකා යනු සිනමාවේ බිහි වූ එබඳු එකම ගාමිණී බැවිනි