වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය වෙනුවෙන් කලාකරුවෝ පෙළ ගැසෙති

සරසවිය වෙනුවෙන් කලාකරුවෝ පෙළ ගැසෙති

සරසවිය පුවත්පත නවතා දැමීමටඑරෙහිව එදා කලාකරුවන් අත්සන් කළ පෙත්සම

අදාළ මංගල ඡායාරූපයේ පත්තරය බ්‍රහස්පතින්දා වෙළෙඳ පොළට ගිය පසු පසුදාම මට යම් තැනැත්තියක් දුරකථනයෙන් කතා කළේය. ඇය මෙවැන්නක් මා හා පවසා සිටියාය. ඇයි මහත්තයෝ අරපින්තූරේ පත්තරේ පළ කළේ.

ඔය නිළිය විවාහ වෙලා ඉන්නේ මගේ මහත්තයත් එක්ක. මට කමක් නෑ මහත්තයෝ මාව දාල ගිහින් මගේ මහත්තයා නිළියක් බැද ගත්තට. ඒත් මහත්තයෝ ඔය නිළිය බැන්ද මගේ පුරුෂයාට දාව මට ගෑනු ළමයි තුන්දෙනෙක් ඉන්නවා.

අද ඒ ළමයින්ට පාරේ බැහැලා යන්න බෑ. ඉස්කෝලේ යන ඒ දරුවෝ තුන්දෙනාට මේ පත්තරේ ගිය ෆොටෝ පෙන්නල පාසලේ අනිත් දරුවෝ විහිළු කරනවලු උඹලගේ තාත්තා උඹලව දාලා ගිහින් නිළියක් බැඳලා කියලා.

මහත්තයටත් දරුවො ඇති. මමත් මගේ දරුවොත් ඔය පින්තූරේ පත්තරේ ගිය නිසා මානසිකව සමාජයෙන් විඳින අපවාද නිමක් නෑ. ඇය මෙලෙස කියාගෙන යන විට එයින් සිදුව තිබූ වැරැද්ද මට ද වැටහිණි.

ඇය කියන කතාව ද ඇත්තය. එය පත්තරයේ පළ කළේ හුදෙක් නිළියගේ ජනප්‍රියත්වය පදනම් කරගෙන මිස ඇය විවාහ වී සිටි පුද්ගලයා පිළිබඳ සෙවීමක් නොකරය.

ගිය දේ ඇතුන් ලවා වත් ඇද්ද විය නොහැක. මා අතින් සිදු වූ දෙයට ඇයටත් ඇගේ දරුවන්ටත් සිදුව තිබූ අපවාදයන් වෙනුවෙන් මම සමාව ඉල්ලුවෙමි.

මා කොතකුත් ඇයගෙන් සමාව ඉල්ලුව ද ඔවුන්ට මා අතින් සිදුව තිබූ වැරැද්දට එය විසඳුමක් නම් නොවිණි යන්න මගේ හිත මටම කියන්නට විය.

සමයේ මෙරට එකම ජාතික කලා පුවත්පත වූ සරසවිය නවතා දැමීමට ලේක්හවුස් ආයතනයට දේශපාලනයෙන් හිස උදුම්මවා ගත් ඕපපාතිකව පැමිණි නිලධාරීන් කිහිප දෙනකු දැඩි උත්සාහයක් ගත්තේය.

එහිදී පුවත්පත රැක ගැනීම සඳහා විවිධ වූ ක්‍රියා මාර්ග කිහිපයක් ගැනිණි. එවක රටේ රාජ්‍ය නායිකාව වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියයි. ඇය අතිශයින් ජනාදරය දිනූ විජය කුමාරතුංගයන්ගේ බිරිය විය.

මේ වන විට විජය කුමාරතුංගයන් ජීවත් නොවූවද විජය සිනමාවට පිවිසියේ ද සරසවිය පුවත්පත හරහාය. විජය කුමාරතුංගයන්ගේ අනුස්මරණ දිනය නිමිති කොට සරසවිය පත්තරයේ විශේෂ පාඨක තරගයක් මම ඇතුළත් කළෙමි. ඒ සඳහා එවක පාලන අධිකාරියේ ද යම් සහායක් ලබා ගතිමි.

විශාල වටිනාකමකින් යුතු තෑගි පිරිනැමීමක් මේ තරගයේ ජයග්‍රාහකයන්ට පිරිනැමීමට නියමිතව තිබුණි. මෙය හුදෙක් මා යෝජනා කර පුවත්පතේ පළ කරන්නට යොදා ගත්තේ රාජ්‍ය නායිකාවගේ අවධානය සරසවිය වෙත නතු කර ගැනීමටය.

ඔය අතරේ සරසවිය පත්තරය නිකුත් කිරීම ජාතික චිත්‍රපට සංස්ථාවට භාර දිය යුතු බව ඕපපාතික පාලන අධිකාරීයේ ආතක් පාතක් නැති කිහිප දෙනෙක්ම විසින් යෝජනා කොට තිබිණ. එයට දේශපාලනික වශයෙන් ද එවක ජනමාධ්‍ය ඇමැතිවරයාගෙන්ද අනුමැතියක් ලැබිණ. සරසවිය කර්තෘවරයා ලෙස එයට මම තදින්ම විරුද්ධ වීමි.

කෙසේ වෙතත් මේ අවස්ථාවේදී රාජ්‍ය මට්ටමේ රැකවරණයක් අපට ලබා දුන්නේ එවක ජනාධිපති මාධ්‍ය උපදේශක වශයෙන් කටයුතු කරනු ලැබූ සනත් ගුණතිලකයන්ය. ඔය අතරේ සරසවිය මුද්‍රණය අත්හිටවමින් මා වෙත පාලන අධිකාරිය ලිපියක් එවනු ලැබිණ.

ඒ ලිපිය අද වන තුරුත් මා සතුව ඇත. ඒ මොහොතේ මා සනත් ගුණතිලක හා එක්ව රාජ්‍ය නායිකාවගේ අවධානයට මෙම භාරධූර ප්‍රශ්නය යොමු කිරීමට අවශ්‍ය කෙටුම්පත් සකස් කළෙමි.

විජය කුමාරතුංගයන්ගේ බිරිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගේ පාලන සමයේ තම සැමියා ජනපි‍්‍රය තලයට රැගෙන ආ එකම පුවත්පත වූ සරසවිය තමන්ගේම රජය යටතේ වසා දැමීම හේතුවෙන් ඇතිවන විශාල අපකීර්තිය එනුයේ චන්ද්‍රිකා මහත්මිය වෙත බවත් දේශිය සිනමා කර්මාන්තයේ පුනර්ජීවනයට යෝධ හස්තයක් වූ සරසවිය පුවත්පත වසා දැමීම එම චිත්‍රපට කර්මාන්තයටම කළ මහා විනාශයක් බවත්, මෙම තත්ත්වය විපක්ෂයටත් හොඳ ආයුධයක් බවත් මම පවසා සිටියෙමි.

කලාකරුවන් වෙනුවෙන් හඬක් නැඟීමට තිබූ එකම ජාතික කලා පුවත්පත වසා දැමීම නිසා කලකිරීමට පත්වන කලාකරුවන්ගෙන් එල්ල වන අපවාදයන්ගෙන් ද රජයට ගැලවීමට මඟක් නොවන බව මම පෙන්වා දුන්නෙමි. විජය කුමාරතුංගයන් පිළිබඳ රචනා තරගයක් අරඹා ඇති අවස්ථාවක එය අතරමඟ නතර කර දැමීමෙන් පාඨක අප්‍රසාදය කීර්තිමත් නමක් දිනා සිටින ලේක්හවුස් ආයතනයට මහත් කැලැල් සහගත දෙයක් බවද මම පෙන්වා දුන්නෙමි.

මේ අතරේ ලෙස්ටර් - සුමිත්‍රා ප්‍රමුඛ මුළු කලාකරුවන්ම සරසවිය රැක ගැනීම සඳහා පෙත්සමක් අත්සන් කිරීම ඇරැඹිණි. ඔය අතරේ මා ඉල්ලා සිටියේ අඩුම තරමින් විජය කුමාරතුංග රචනා තරගය අවසන් වනතුරු මෙම පත්තරය මුද්‍රණය කිරීමට අවසර දෙන ලෙසය.

ඒ අනුව සති කීපයකට කට වචනයේ අවසරයක් ලැබුණි. මා සරසවියේ සිටින කාලය පුරාවට නැවතත් සරසවිය මුද්‍රණය කරන ලෙස කියා පාලන අධිකාරියෙන් ලියුමක් ලැබුණේ නැත. සරසවිය නතර කිරීමට ලියුමක් ආවා මිස එය මුද්‍රණය කරන්නට කියා අදටත් ලියුමක් නොලැබීම විමතියට කරුණකි.

2000 වසරේ නැවතත් මම සිළුමිණ මුල් පුටුව හිමිවීමත් සමඟ සරසවියේ මුල් පුටුවට සමු දුනිමි. එකම ජාතික කලා පුවත්පත වූ සරසවිය විරාජමාන වී සිටිනවා දැකිම මා කවදත් අපේක්ෂා කළ දෙයක් විය.

කලාකරුවන්ගේ චිරජීවනය වෙනුවෙන් කැප වූ සරසවිය ආ මේ ගමනේ දී අදමයන් විසින් සරසවිය විනාශ කරන්නට තැත් කරද්දී එය වලකාලමින් යළිත් කලාව වෙනුවෙන් කැප වෙන්නට එයට හුස්ම පොදක් එක් කරන්නට මට හැකි වීම ගැන මා අදත් හද පත්ලෙන් සතුටු වනුයේ නිහතමානීවය.

එදා මෙන් අදත් හෙටත් මතුවටත් අඩසිය වසක් නොව සියක් වසක් ආයු ලැබ සරසවිය කලාවේ අභිවෘද්ධියට සරසවියක් වී මතුවටත් කලාවේ උන්නතියට මහඟු මෙහෙවරක් ඉටු කරත්වා!