|
2012 ත්‍රිමාන සජීවිකරණයත් සමඟ නැවතත් නීමෝ ආයෙමත් සොයා යෑම
ඔවුන්ගේ පෙර චිත්‍රපට වන ටෝයි ස්ටෝරි, මොනස්ටර්ස් ඉන්ක්, අ බග්ස් ලයිෆ්වල වැනි කොමඩි රංගයන්ගෙන් ද සමන්විත මෙහි අප පෙර නොදුටු බලාපොරොත්තුª නොවූ සුන්දරත්වයක් ද එකතු කරන්නේ වර්ණ සහ ස්වාභාවිකත්වයේ සුසංයෝගයෙන්. චිත්‍රපටයම වාගේ සිදුවන්නේ මුහුද යට. නිවර්තන කලාප මාළු, ගස්, කොරල්, ගල්පර ආදියෙන් පිරුණු ඕස්ට්‍රේලියාවට නුදුරින් පිිහිටි මේ නොගැඹුරු මුහුදේ සිදුවන රසවත් කතා පුවතක් මේ ෆයින්ඩින් නීමෝ චිත්‍රපටය තුළින් දිග හැරෙනවා. මේ ආකර්ෂණීය දර්ශනීය සජීවීකරණයම පමණක් ප්‍රේක්ෂකයාගේ නෙතට උළෙලක් වන්නේ චිත්‍රපටයේ කතාවට අවධානය යොමු කිරීමටත් කලින්. මෙහි කතාව පික්සාර් විසින්ම ගෙතූ කතාවක්. මෙහි ක්‍රියාදාම මඟින් දරුවන් සතුටු වන අතර දෙමව්පියන්ද සතුටු වන්නේ මෙහි ඇති හාස්‍යය සහ මානව (නැතහොත් මත්ස්‍ය) කොමඩි නිසයි. මෙහි කතාව කුඩා නීමෝ නම් මාළුවෙකුගේ වික්‍රමාන්විත ක්‍රියා වටා ගෙතෙනවා. මේ කුඩා නීමෝට ලොකු වරල් නැති නමුත් ඔහුගේ කුතුහලය නම් අති විශාලයි. ඔහුගේ පියා වන මාර්ලින් තම පුතු (නීමෝ) ගැන මහත් විමසිල්ලෙන් සිටින්නේ නීමෝ ඔහුට ඉතිරිව ඇති එකම වස්තුව නිසයි. නීමෝ ඉපදෙන්නට පෙර ඔහුගේ මව සහ අනෙකුත් සියලුම බිත්තරත් බැරකුඩා මාළු විසින් ගිල දමා තිබෙනවා. එම නිසා මාළු තාත්තා වන මාර්ලින් හැම තිස්සේම කම්පාවෙන් තම පුතා පස්සේම ඇහැ ගහගෙන සිටිනවා. නීමෝ ඉස්කෝලේ යන පළවෙනි දවසේදී තාත්තා ඔහුට හොඳ හැටි අවවාද කරන්නේ තම පංතියේ අනෙකුත් මාළු ළමයින් සමඟම ගැවසෙන ලෙසත්, ගැඹුරු මුහුදට නොයන ලෙසත් ඔහුට අවධාරණය කරමින්. නමුත් කෙළිලොල් නීමෝට ඉස්කෝලේ ගිහින් ටික වේලාවකින් මේ සියල්ල අමතක වෙනවා. අවසානයේ මාළු දැලකට අසුවන නීමෝ නතර වෙන්නේ සිඩ්නි නුවර දත් දොස්තර කෙනෙකුගේ කරදිය මාළු ටැංකියේ. නීමෝගේ පියා මාර්ලින් ඉතා නිර්භය ලෙස තම පුතා සොයා පීනා යනවා මහා සාගරයේ. එහිදී ඔහුගේ සහායට තවත් නිල් පැහැති ඩෝරි නම් ගැහැනු මාළුවෙක් ඔහුට එකතු වී මේ නීමෝ සොයා යෑමේ කර්තව්‍යයට උර දෙනවා.
ඩෝර් (එලන් ඩිජෙනරස්) ඉතාම උපකාරී උද්යෝගිමත් ඒ වගේම මොළේ අමාරුවකුත් තියෙන (ඇයට හැම දේම මතකයේ තිබෙන්නේ සුළු වෙලාවයි. ඇය කෙටි කාලීන මතකය නැතිවීමේ රෝගයෙන් පෙළෙනවා). තොරතෝංචියක් නැතිව කියවන ගැහැනු මාළුවෙක්. අධ්‍යක්ෂක / රචක ඇන්ඩෘ ස්ටැන්ටන් ප්රමුඛ පික්සාර් පරිගණක සජීවිකරණ කණ්ඩායම මුහුද යට ලෝකයක් මවා තිබෙන්නේ සිහින ලෝකයක බඳු විචිත්රත්වයකින්. එය දකින ප්‍රේක්ෂකයින්ට මුහුදේ කිමිදෙන්නට ආසාවක් ඇති වුවහොත් එය පුදුමයට කාරණයක් නොවේ. චිත්‍රපටයේ කතාව තවත් රසවත් වෙන්නේ එය මුහුදෙන් මෑත්ව නීමෝට වෙච්ච දේ කියන්නට අර දත් දොස්තර ගේ ලොකු මාළු ටැංකියට මාරු වූ විටයි. එහිදී අපට ටැංකියකට කොටු වී සිටින මාළු ටික දැකගන්නට ලැබෙනවා. එහි සිටින මාළු වැඩිමහල්ලා (විලියම් ඩෙෆෝ) සැලසුම් කරන්නේ ටැංකියෙන් පැන මුහුදට ආපසු යාමේ සැලැස්මක්. විචාරය කියවන ඔබට හිතෙන්නට පුළුවන් කාර්යාලයක තිබෙන මාළු ටැංකියක ඉන්න මාළු, කාර්යාල ජනේලයෙන් එළියට ගොස් පාරත් පැන මුහුදට ආපසු යන්නේ කෙසේද කියා. කතාවේ සුන්දරත්වයත් එයමයි. මාළුන්ට එය කළ හැකි බව විශ්වාසනීය අන්දමට සිනමාකරුවන් ඉදිරිපත් කරන සැටි ඔබගේ මුව විවර කරවන්නට පුළුවන්. මේ ටැංකියේ මාළුවන්ට එම කර්තව්‍ය සඳහා උදව් කරන්නේ එළියේ සිටින කරවැල් කොකෙක් (ජෙෆ්රි රෂ්). කරවැල් කොකුන් සාමාන්‍යයෙන් මාළුන් කන බව මිසක් උපකාරී කරන බවක් ඔබ අසා නැති නිසා මේ ගැන මවිතයට පත්වන්නට පුළුවන්. නමුත් මේ චිත්‍රපටයේ සමහර චරිත ශාක භක්ෂකයන්, එහෙමත් නැතහොත් සිල් ගත්තාක් මෙන් ශාක පමණක් ආහාරය ගැනීමට පුරුදු වූවන්. මාර්ලින් සහ ඩෝරි නීමෝ සොයා යන ගමනේදී ඔවුන්ට මාරක මිණී මෝරුන් තිදෙනෙක් හමු වෙනවා. අවසානයේ ඔවුනුත් කෙසේ හෝ මාළු කෑම අත් හරින්නට හිත් හදාගෙන ඒ සඳහා කුඩා සමිතියකුත් පිහිටුවා ගන්නවා.
වසර 2003 දී මේ චිත්‍රපටය නරඹන්නට ඔබට නොහැකි වූවා නම් 2012 ත්‍රිමාන සජීවිකරණයත් සමඟ නැවතත් තිරගත වන ෆයින්ඩින් නීමෝ නොවරදවාම නරඹන්න. දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් එය අමතක නොවන දසුනක් සිත තුළ රඳවන්නට නිසැකවම සමත් වේවී. නීමෝ යන නම ගැන ඔබ සැලකිලිමත් වෙනවා නම්, මේ නම මුලින්ම අප කියවූයේ විද්‍යා ප්‍රබන්ධ රචක ජුල්ස් වර්න්ගේ 20000 ලීග්ස් අන්ඩර් ද සී නම් 1870 පළ වූ නවකතාවෙහිය. එහි කතා නායකයා සබ්මැරිනයක් මුහුදු පතුලට පදවන ඉන්දියානු මහාරාජා කෙනෙකුගේ පුතෙකු වූ ඩක්කාර් කුමාරයා නැතහොත් කපිතාන් නීමෝයි. මේ චිත්‍රපටයත් මුහුදේ කතාවක් බැවින් එහි කතා නායකයාට ගැළපෙන නමක් තේරීමේදී පික්සාර් නිමැවුම්කරුවන් නීමෝ යන නම යොදා ගත්තා. චිත්‍රපටය ආරම්භ වී සැනෙකින් එයට ආසක්ත වන ප්‍රේක්ෂකයාට මෙය සජීවිකරණ චිත්‍රපටයක් යැයි යන්න අමතක වෙනවා. අප මේ බලන්නේ මාළුන්ගේ ජිවිත ගැන නේද යන්න අමතක වෙනවා. ඔවුන් අත්විඳී මානව පුරුදු සියල්ලක් ද මෙහිදීත් දැකිය හැකි අන්දමට චිත්‍රපටයේ චරිත ඔවුන්ට ලං වෙනවා. කාටුන් චිත්‍රපටයක් නරඹා මෙතරම් තාත්ත්වික සිනමා අත්දැකීමක් අත්විදින්නේ කෙසේදැයි සැක හැර දැනගන්නට නීමෝ නරඹන ඔබ වාසනාවන්ත වේවි. ඇන්ඩෲ ස්ටැන්ටන් හා ලී උන්ක්රිච් මෙහි අධ්‍යක්ෂවරුන්ය.
|