|
සනත් මල්කාන්ති බෲනායි දේශයටහරිම සුන්දර සංචාරයක් . .
විදෙස් රටකට යාම කෙනෙකුට සිහිනයක් වුවත් අපේ කලාකරුවන් බොහෝ දෙනෙකු හට එය එතරම් අරුමයක් නොවේ. විශේෂයෙන්ම එවැනි අවස්ථා බහුලව උදා වන්නේ ගායක, ගායිකාවන් හා වාද්‍යය ශිල්පීන් හටය. සනත් හා මල්කාන්ති නන්දසිරි ද එසේ නිතර එතෙර සංගීත ප්‍රසංග සදහා ආරාධනා ලබන ගායන ශිල්පීන් යුවළකි. එය එසේ වන්නේ තවමත් විවිධ රටවල වෙසෙන ශ්‍රී ලාංකික රසිික ජනතාව ඔවුනගේ ගී රස විඳීමට දක්වන අසීමිත කැමැත්ත නිසාවෙනි. පසුගිය දිනෙක ඔව්හු සයුරෙන් එහා වෙසෙන ලක්වැසි සහෘද රසකාමීන් මියුරු ගීයෙන් සනහාලන්නට ගියේ වෙනස්ම දේශයකටය. ඔවුන් ඒ රටට සැබෑම ආගන්තුකයෝ වූහ. ඒ සනත් – මල්කාන්ති තබා වෙනත් කිසිදු ලාංකික සංගීත ශිල්පියකු මෙතෙක් ඒ රටෙහි ගී ප්‍රසංගයක් පවත්වා නොමැති නිසාවෙනි. මේ රටට කියන්නේ ‘බෲනායි දරුසලම්’ කියලා. ලංකාවේ කිසිදු සංගීත ශිල්පියෙක් මෙතෙක් මේ රටට ඇවිත් සංගීත ප්‍රසංගයක් පවත්වා නැහැ. ‘බෲනායි ශ්‍රී ලංකා සංස්කෘතික සංගමය’ කියලා ඒ රටේ අපේ ලාංකිකයන් විසින් පිහිටුවා ගත් සංගමයක් තියෙනවා. මේ ප්‍රසංගය සංවිධානය කළේ ඒ සංගමය මගින්.
මේ අය කිසිම ආර්ථික වාසියක් බලාගෙන නෙවේ මේ ප්‍රසංගය කළේ. අපේ සංස්කෘතිය, අපේ ගීත සාහිත්‍ය ගැන ඒ රටේ අයට පෙන්වන්න. සිංහල, මුස්ලිම් ඇතුලු ශ්‍රී ලාංකිකයන් තුන්සිය දෙනෙකු බෲනායිවල සේවය කරනවා. ඉන් එකසිය පනහක පිරිසක් ‘ශ්‍රී ලංකා සංස්කෘතික සංගමයේ’ සාමාජිකයන්. අපේ සියලුම ලාංකිකයන් එහෙ රැකියා කරන්නේ ඉංජිනේරුවෝ, දොස්තරවරු, විශ්ව විද්‍යාල මහාචාර්යවරු විදිහට. සේරම උසස් රැකියා. ‘බෲනායි දරුසලම්’ ලෝකයේ ධනවත්ම රාජ්‍යයක් නේද? ඔව්, ඇත්තෙන්ම ලෝකයේ තුන්වැනි ධනවත්ම රාජ්‍ය විදිහටයි බෲනායි දේශය සැළකෙන්නේ. ඒ අයගේ ප්‍රධාන ආදායම් මාර්ගය පෙට්‍රල්. මුලින්ම ඒ රටේ තොරතුරු ටිකක් අසංක මල්ලිට කියලා ඉඳිමු?
මේ රට දිගින් සැතපුම් හැත්තෑවයි. පළලින් හැතැප්ම පනහයි. සම්පූර්ණ ජනගහනය ලක්ෂ තුනයි. ලක්ෂයක් පමණ දෙනා විදේශිකයෝ. මේ රටේ තණකොල ගහේ පටන් සෑම දේම අයිති රජ්ජුරුවන්ට. බෲනායිවල පොල්, දෙල්, කෙසෙල්, පුවක්, කොස් වගේ ගස් තියෙනවා. හැබැයි ලංකාවේ වගේ මහ විශාල පොල්වතු නෑ. තැන් තැන්වල ලස්සනට වගේ වවලා තියෙනවා. බෲනායි රට බැලු බැලූ අත හරිත වර්ණයෙන් දිදුලනවා. අපි බෲනායි රජ මාළිගය නරඹන්න ගියා. මෙච්චර රට රාජ්‍යවල ගිහින් තිබුණත් මිහිපිිට මේ තරම් වටිනා වස්තුවක් අපි දැකලා නැහැ. ඒ මාළිගාවේ කාමර 1111 ක් තියෙනවා. ඒ කාමර සියල්ලම එක වගේ ෆර්නිෂ් කරලා තියෙන්නේ. රජ්ජුරුවන්ට විශේෂ කාමරයක් කියලා නෑ. තමන්ට කැමැති කාමරයක් පරිහරණය කරනවා. ඒ හැම එකකම පහසුකම් එක වගේ. එතකොට බෲනායි රජතුමාගේ අශ්ව ගාලේ අශ්වයෝ 1001 ක් ඉන්නවා. එයා දවසේ වැඩ ආරම්භ කරන්නේ අශ්ව ගාලට ගිහින්ලු. වෙළඹක් පැටියෙක් බිහි කළොත් අශ්ව ගාලෙන් වහාම අශ්වයෙක් ඉවත් කරන්න ඕනෑලු. ඒකයි රජතුමාගේ නීතිය. ඇයි ඒ? ඇයි එහෙම නොකළොත් අශ්වයෝ 1002 ක් වෙනවානේ. හදිසියේ අශ්වයෙක් මළොත් පැය විසි හතරක් ඇතුළත තව අශ්වයෙක් ගේන්න ඕනෑ ලෝකයේ කොහේ හරි රටකින්. ඒ වගේම රජතුමාට වෙනම ගුවන් යානයක් තියෙනවා. දෙසීය දෙනෙකුට විතර ඒකෙ ගමන් කරන්න පුළුවන්. ගුවන් නියමුවත් මෙයාමයි. ලෝකයේ ඕනෑම රටකට යන්න වීසා අවශ්‍යය නැහැලු මෙයාට. ගුවන් තොටුපළට ආවාම තමයි එතන ඉන්න සේවකයෝ පවා දැනගන්නේ රජතුමා යන්න හදන රට. රටේ ජනතාව රජතුමාගෙන් කවදාවත් ප්‍රශ්න කරන්නේ නැහැ. ඒ කියන්නේ මිනිසුන්ට දැවෙන ප්‍රශ්නත් නැහැනේ. රජුත්, රටවැසියාත් අතර තිබෙන්නේ මොන වගේ සම්බන්ධයක්ද?
ඔය තරම් ධනවත් රටක අඩු ආදායම්ලාභියෝ ඉන්නවාද? අඩු ආදායම්ලාභියෝ කියන්නේ ඒ රටේ මාසයකට ලක්ෂ දහයක් විතර පඩි ගන්න අය. අපි ඒ නිවසක් බලන්න ගියා. කාමර හතරක් තියෙනවා. ටොයිලට් තුනක් තියෙනවා. නිවස සම්පූර්ණයෙන් වායු සමීකරණය කරලා.ඊ. ඍ, ෆ‍්‍රිජ් සේරමත් එක්ක තමයි නිවස දීලා තියෙන්නේ. රටේ පුරවැසියන්ගේ අභිමානයට කැලලක් වෙයි කියලා, නිකම්ම දුන්නා නොකියන්ට මාසිකව ඉතා සුළු මුදලක් ඔවුන්ගෙන් අයකර ගන්නවා. අපි ගියා පෙට්‍රල් ලිං බලන්න. අපි ගියේ මහ විශාල ලිං කියලා හිතාගෙන. පාර දෙපැත්තේ අර ආඬි ලිං වගේ ඒවා සීයක් දෙසීයක් තියෙනවා. ඒ බොර තෙල් පොළව යටින්ම යනවලු ටැංකිවලට. ඒ සේරම ස්වයංක්‍රීයව සිදු වෙන්නේ. කිසිම මිනිස් ශ්‍රමයක් යොදවන්නේ නෑ. ඒ ටැංකිවලින් කෙලින්ම නැව්වලටලු තෙල් ගහන්නේ. එහෙ ශ්‍රී ලාකිකයන්ගෙන් ඔබට ලැබුණු ආගන්තුක සත්කාර?
ප්‍රසංග කීයක් පැවැත්වුවාද? 27 වැනිදා තමයි ප්‍රධාන ප්‍රසංගය බෲනායි විශ්ව විද්‍යාල ශාලාවේ පැවැත්වුණේ. ශ්‍රී ලාංකිකයන් දෙසිය පනස් දෙනෙකු පමණ ප්‍රසංගය නරඹන්නට ආවා. එදා මගේ උපන් දිනය. ඉතිං ප්‍රසංග වේදිකාවේ කේක් ගෙඩියක් කපලා උපන් දිනය සැමරුවා. මල්කාන්ති අක්කා එසේ පැවසුවේ තුටු හසරැල්ලක් මුව රඳවා ගනිමිනි. ඒ ප්‍රසංගයට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. අපිත් එක්ක වාද්‍ය ශිල්පියෝ තුන් දෙනෙක් බෲනායිවලට ගියා. ගාමිණී පතිරණ, කරුණාරත්න ජයසිංහ සහ නිමල්සිරි කුරේ. එහෙදි දොස්තර බලල්ල ඇතුළු තවත් කීප දෙනෙකු වාදනයෙන් සහය වුණා. තවත් ප්‍රසංගයක් පැවැත්තුවා නේද? මම මල්කාන්ති අක්කාගෙන් යළිත් විචාළෙමි. ප්‍රධාන ප්‍රසංග නරඹන්නට නොහැකි වූ අය වෙනුවෙන් අපි තවත් ගෘහස්ත ප්‍රසංගයක් පැවැත්වුවා. ඒකත් ගොඩක් සාර්ථකයි.
සමුගන්නා මොහොතේදී මල්කාන්ති අක්කා අපෙන් විශේෂ ඉල්ලීමක් කළාය. ඒ ඔවුන් වෙනුවෙන් මේ ප්‍රසංගය සංවිධානය කරමින්, ආගන්තුක සත්කාරයෙන් පුදමින් ළෙන්ගතු වූ සහෘද පිරිස සිහිපත් කරන ලෙසය. විශේෂයෙන්ම ස්තුති කරන්න ඕනෑ පිරිසක් ඉන්නවා. ප්‍රසංගය සංවිධානය කළ ධම්මික හේවගේ, බිරිඳ ෂෙරෝන්, සංගමයේ සභාපති වෛද්‍ය අහමඩ් මැකී, ඔහුගේ බිරිඳ, දියණිය, සේනක විජේසුන්දර, හේරත් දිසානායක, මුස්තාක් රේමන්, සදූල් මාස්වා, දොස්තර සෙනරත් කොළඹගේ, බිරිය ගයා, අලවත්තගේ චන්ද්‍රසේන, පැට්‍රීෂියා, චන්ද්‍රතිලක ද සිල්වා, වින්ධ්‍යා නිශාන්ති, රේණුකා, චන්දන හා ධනුෂ්ක, ආශා දෙපළ, මේ හැමෝටම ගොඩාක් ස්තුතියි. |