|
මුල්ම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය තිරගත වී මේ වසරට වසර 50 යි සුදුලූනු නිසා බොන්ඩ් අමාරුවේ
දෘශ්‍ය ප්‍රයෝග ද ඇතුළත් මෙම දර්ශන බොහොමයක් අධ්‍යක්ෂණය කෙරුණේ සංස්කරණ ශිල්පී ජෝන් ග්ලෙන් අතින්. හිම ක්‍රීඩාවේ දක්ෂයකු වුවත් ලැසන්බි වෙනුවට මෙම අවදානම් ජවනිකා සඳහා අතිරේක නළුවකු යොදා ගන්නට නිෂ්පාදකවරු තීරණය කළේ රක්ෂණ සමාගම්වල බලපෑම නිසයි.
එහෙත් අධ්යක්ෂ පීටර් හන්ට්ගේ මතය වූයේ ලැසන්බි තවදුරටත් බොන්ඩ් චරිතයේ රැඳී සිටියේ නම් ඉදිරි කාලයේදී වඩා අපූරු බොන්ඩ් කෙනකු ඔහු තුළින් නිර්මාණය කර ගැනීමට තමාට හැකියාව තිබුණු බවයි. මේ අතර දර්ශන තලයේ නොයෙක් කට කතා ද පැතිරෙන්නට වුණා. ප්‍රධාන නිළි ඩයනා සුදුලූනුු අනුභව කොට පැමිණෙන නිසා ඈ සමඟ පෙම් ජවනිකා රඟපෑමේදී තමා අසීරුතාවයට පත් වූ බවට ලැසන්බි චෝදනා කළා. හන්ට් ලැසන්බි හට පිළිතුරු ලෙස කියා සිටියේ ‘ඒ ඩයනාගේ විහිළුවක්’ බවයි. දින 56 ක් තිස්සේ හිමපතනයෙන් පීඩා විඳිමින් සිදු කළ ස්විට්සර්ලන්තයේ රූගත කිරීම්හමාර කොට නිෂ්පාදක කණ්ඩායම ආපසු එංගලන්තයට පැමිණියේ 1969 මාර්තුවේදී. ඉදිරි රූගත කිරීම් සිදු කළේ පෘතුගාලයේ ලිස්බන් සහ ලන්ඩන් හි පයින්වුඩ් චිත්‍රාගාරයේදී. ජේම්ස් බොන්ඩ් කතා මාලාව තුළ ප්‍රථම වතාවට බොන්ඩ් සැබෑවටම තරුණියක් හා පෙමින් බැෙඳන සහ ඇය නීත්‍යානුකූලව විවාහ කරගන්නා දර්ශනයක් මෙම චිත්‍රපටයේ ඇතුළත් වෙනවා. ‘යූ ඔන්ලි ලිව් ට්වයිස්’ චිත්‍රපටයේ ඔහු ජපන් ළඳක් හා විවාහ වන්නේ ප්‍රතිවාදීන් නොමග යැවීමට මිස සැබෑවට නොවේ. නමුත් මෙහිදී බොන්ඩ් තමා පෙම් කරන ‘ට්‍රේසි ඩ්රැකෝ’ නම් රූමත් කෝටිපති තරුණිය විවාහ කර ගත්ත ද චිත්‍රපටය අවසන් වන්නේ මංගල ගමනේදී ඇය සතුරන්ගේ වෙඩි පහරකින් මිය යෑමත්, බොන්ඩ් ඇය වැලඳගෙන වැලපෙන අයුරුත් දැක්වෙන ජවනිකාවකිනුයි.
එහෙත් බොන්ඩ් සහ ට්‍රේසි ගේ පෙම් ජවනිකා පසුබිමේ ලුවී ආම්ස්ට්‍රෝන්ග් විසින් ගැයෙන ආදර ගීතයක් චිත්‍රපටයට ඇතුළත් කෙරුණා. ගීතය පටිගත කෙරෙද්දී දැඩි ලෙස රෝගාතුරව සිටි ලුවීගේ මුල් ගායනයෙන්ම බැරී සෑහීමකට පත් වීම විශේෂත්වයකි. ලුවී විසින් ගායනා කොට පටිගත කරන ලද අවසාන ගීතය එය වන අතර ඊට දෙවසරකට පසු ඔහු ජීවිතයෙන් සමුගෙන ගියා. පසුගිය බොන්ඩ් චිත්‍රපටවල සජීවී රූප රාමු භාවිත කරමින් නාමාවලිය නිර්මාණය කර තිබුණේ ‘ඩොක්ට මෝ’, ‘තන්ඩබෝල්’ සහ ‘යූ ඔන්ලි ලිව් ට්වයිස්’ සිනමාපටවල දර්ශනීය නාමාවලී නිර්මාණය කළ මොරිස් බයින්ඩර් විසින්. ඉදිරි බොන්ඩ් චිත්‍රපට 7 ක් දක්වා රඟපෑමේ ගිවිසුම් අත්සන්කර සිටි ජෝජ් ලැසන්බි චිත්‍රපටය තිරගත කිරීමටත් පෙර ‘ජේම්ස් බොන්ඩ් යනු කිසි වැදගැම්මකට නැති පැතලි චරිතයක්’ යැයි කියමින් රඟපෑමෙන් ඉවත් වුණේ හැරී සහ බ්රොකොලි ඇතුළු ඉඔන් ප්රඩක්ෂන්ස් සමාගම ඉදිරියේ තවත් ප්‍රශ්නාර්ථයක් ඉතිරි කර තබමින්. 1969 දෙසැම්බර් 18 දා ලන්ඩනයේ ඕඩියන් ශාලාවේදී ප්‍රථම මංගල දර්ශනය පවත්වන්නට යෙදුන අතර ජෝජ් ලැසන්බි එයට සහභාගි වුණේ ඝන යටි රැවුලක් සහ උරහිස තෙක් දික් වූ කොණ්ඩයක් වවාගෙනයි. ඔහු මාධ්‍යයට පැවසුවේ බොන්ඩ්ගේ පෙනුම තමා තුළින් දිස්වනවාට අකමැති හෙයින් එසේ පැමිණි බවයි. හැරී සහ බ්‍රොකොලිගේ විරෝධතාවය සහ ඇවිටිල්ල නොතකා මෙසේ පැමිණීමෙන් ප්‍රකට වූයේ දෙපාර්ශවයන් අතර ඇති වී තිබුණු නොරිස්සුම් ස්වභාවයයි. ප්‍රථම වරට චිත්‍රපටය ස්ටීරියෝ ඩොල්බි ක්‍රමයට හඬ ගන්වා තිබූ හෙයින් ඕඩියන් සිනමා ශාලාවේ ශබ්ද විකාශන පද්ධතිය නව තාක්ෂණයට අනුකූලව අලුත්වැඩියා කිරීමට පියවර ගෙන තිබුණා.
ලන්ඩන් නගරයේ ගොඩනැගිලි පියැසි මත සහ රෝයල් මේල් උමං දුම්රිය මගෙහි රූගත කෙරුණු ලුහුබැඳ යන ජවනිකා සංස්කරණයේදී ඉවත් නොකෙරුණේ නම් චිත්‍රපටය තවත් දික්වීමට ඉඩ තිබුණි. චිත්‍රපටයේ ධාවන කාලය විනාඩි 140 කි. ඩොලර් මිලියන 7 ක පිරිවැයකින් නිපැයූ චිත්‍රපටයේ ආදායම මිලියන 64.6 කි. ඇමෙරිකාවේ එහි ආදායම ඩොලර් මිලියන 22.8 ක් වූ අතර මිලියන 14.7 ක ප්‍රේක්ෂක පිරිසක් චිත්‍රපටය නරඹා ඇත. අනෙකුත් බොන්ඩ් චිත්‍රපට හා සසඳන විට ඉතාම අඩු ආදායම් ලැබූ චිත්‍රපටය ලෙසට මෙය හැඳින්විය හැකිය. ලැසන්බිගේ රඟපෑම් ලන්ඩන් ඩේලි මිරර්, ද ගාඩියන් සහ ඔබ්සර්වර් පුවත්පත්වල සිනමා විචාරකයින්ගේ නිර්දය විවේචනයන්ට ලක් වුණා. ඇතැමකුගේ මතය වූයේ මෙය හොඳම බොන්ඩ් චිත්‍රපටය මෙන්ම බොන්ඩ් චිත්‍රපට මාලාව මෙයින් අවසන් විය යුතු බවයි. විචාරයේ යෙදුණු සමහර කාන්තා මාධ්‍යවේදිනියන්ගේ අදහස නම් ඔහු සුපිරිතම බොන්ඩ් නොවුණත්, ඔහුගේ කඩවසම් පෙනුමෙන් බොන්ඩ් චරිතය වර්ණවත් වූ බවයි. කරුණු කෙසේ වෙතත් නොයෙකුත් විවේචන මධ්‍යයේ 1970 ගොල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී වසරේ නවක තරුව ලෙස නිර්දේශිත නාම අතරට එක්වීමට තරම් ලැසන්බි වාසනාවන්ත වුණා. ‘හෝම් වීඩියෝ’ වෙළෙඳපොළේ ප්‍රේක්ෂකයින් අතර ආකර්ෂණීය ස්ථානයක් දිනාගත් චිත්‍රපටයක් ලෙස ‘ඔන් හර් මැජෙස්ටිස් සීක්රට් සර්විස්’ චිත්‍රපටය හැඳින්විය හැකියි. එක් වරම සීඝ්‍ර අවපාතයකට ලක් වූ බොන්ඩ් සිනමාව නැවත ගොඩ ගැනීම එහි නිර්මාතෘවරුන් වන හැරී සහ බ්‍රොකොලිගේ උර මත පැටවුණු මහත් වගකීමක් වුණා. කෝටි සංඛ්‍යාත බොන්ඩ් රසික පිරිසක් නොබවසිල්ලෙන් බලා සිටියේ ඔවුන්ගේ ඊළඟ පියවර කුමක් ද යන්නයි. එම අභියෝගය ඔවුන් ජය ගන්නේ කෙසේද? ලබන සතියේ . . . දියමන්ති සදාකාලිකයි. ඩයමන්ඩ්ස් ආ ෆො එවර්. |