වර්ෂ 2012 ක්වූ අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවියෙන් සරසවියට පැමිණි සෝමවීර සේනානායක

50 ස්වර්ණ ජයන්තිය අබිමුව

සරසවියෙන් සරසවියට පැමිණි සෝමවීර සේනානායක

මගේ මතකය හරි නම් වර්ෂය 1962 විය යුතුය. දිනමිණ, සිළුමිණ ලේක්හවුස් පුවත්පත්වල සරසවිය නමින් පුවත්පතක් එළි දැක්වීමට යන බව සඳහන් දැන්වීම් පළ විය.

කලාව, සාහිත්‍ය, ආදියට මුල් තැනක් දෙන පුවත්පතක් බවද එම දැන්වීම් ප්‍රවෘත්තියෙහි සඳහන් විය. මෙම වකවානුවේ මා රුවන්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විශ්ව විද්‍යාල ප්‍රවේශ පන්තියේ ඉගෙන ගන්නා කාලයයි. කලාව හා සාහිත්‍ය පිළිබඳ විශේෂ ඇල්මක් උනන්දුවක් ඒ වකවානුවේ මා තුළ ද තිබිණි.

මේ අලුත් පත්තරය නිකුත්වන දවස වනතුරු මම ඇඟිලි ගනිමින් සිටියෙමි. මා පාසල් ශිෂ්‍යයකුව සිටින අවධියේ විවිධ මාතෘකා ඔස්සේ එවක තිබූ පුවත්පත් සඟරා ආදියට ලිපි ලිව්වෙමි. ඒවා නිතර එම පුවත්පත් හා සඟරාවල පළ විය.

මේ නිසාම මට අලුතින් එළිදකින සරසවිය පුවත්පත කෙරෙහි විශේෂ ආශාවක් ඇති වූයේ එය කලාවට සාහිත්‍යයට ප්‍රමුඛතාවය දෙන බව සඳහන් කර තිබීම නිසාය. මේ පත්තරය එළි දකින දවස කිට්ටු වෙන විට මම රුවන්වැල්ල ලේක්හවුස් පත්තර ඒජන්සියට කලින්ම මුදල් ගෙවා පත්තරයක් වෙන් කළෙමි.

පත්‍ර කලාව පිළිබඳ දැඩි ඇල්මක් ඇතිවීම නිසාම මා සරසවියක් ගෙන පෙරලා බැලුවෙමි. එහි වූයේ මා සිතින් මවාගෙන තිබූ ආකාරයේ පුවත්පතක් නොවීය. මම එය පාසල් මිත්‍රයන් සමඟ දැඩි විචාරයට ලක් කළෙමි.

එය මා බලාපොරොත්තු වූයේ ශාස්ත්‍රීය විචාරයන් පිළිබඳ ලිපි පෙළකි. එහෙත් එහි තිබුණේ කවි නිර්මාණ, සිනමා, නාට්‍ය, ජ්‍යේතිෂය, කාන්තා පුවත්, ළමා පුවත් ආදී නොයෙක් මාතෘකා ඔස්සේ විහිදී ගිය ලිපි එකතුවකි.

එහෙත් සරසවිය මුල් කලාපයේ පටන් මම සෑම සතියකම සරසවිය මිලදී ගත්තෙමි. යම් කිසි හේතුවක් නිසා මාගේ ප්‍රමාදයකින් එය මිලදී ගැනීමට නොලැබේ යැයි ඇති වූ අනියත බියකින් පෙළුණ මා කලින්ම ඒජන්සියට මුදල් ගෙවා පත්තරයක් වෙන්කර ගතිමි.

ලේක්හවුස් හා වෙනත් ආයතනවල පුවත්පත් හා සඟරා සඳහා ලිපි ලිවීම ඒ වන විට සිදු කරමින් තිබුණ ද අනතුරුව මා විද්‍යෝදය විශ්ව විද්‍යාලයට ඇතුළත්වීමත් සමඟ මා ලියන්නට පටන් ගත්තේ සරසවියට පමණි.

මා ලිපි ලිව්ව ද ලේක්හවුස් ආයතනයේ කිසිවකුත් ඒ වන විටත් හඳුනාගෙන නොතිබිණි. සරසවිය තුළ වුව ද ඒ නොහදුනන බව ඒ අයුරින්ම තිබුණි.
රෙජී බුලත්සිංහල

එහෙත් සරසවිය සඳහා එයට ගැළපෙන ලිපි මා අතින් ලියවිණි. සාහිත්‍ය වේදිකාව පිළිබඳ බොහෝ ලිපි මා අතින් ලියවුණේ කිසිදු පුද්ගලයකුගේ අනුදැනුමක් නොමැතිවය.
රාජා ටී. බස්නායක

මා මනසින් මවාගත් මාතෘකා ඔස්සේ ලියන ලිපි තැපෑලට දැමීමත් එය සතියකින් දෙකකින් සරසවියේ පළවීමත් හැරුණු කොට මා ලිපියක් ලියාගෙන කවදාවත් සරසවියටවත්, ලේක්හවුස් ආයතනයටවත් ගොඩ වූයේ නැත. කිසිදු කෙනකුගේ අනුදැනුමක් නොමැතිව මා මුලින්ම නවයුගයට ලියන්න පටන් ගත්තේ සරසවියට පෙර එනම් 1959 සිටය.

එවක මා මෙලෙස ලියූ ලිපියක් අද වගේ මතකය. ඒ සංදේශ කාව්‍යවල එන ස්ත්‍රී වර්ණනා ගැන ලිපියකි. ඒ සඳහා මා විසින්ම හෙඩිමක් දැම්මේ සිසිවන උවන ඉග සුග ගත හැකි මිටින හංස සැළලිහිණි ගිරවුන් නෙත් රැඳුණු තැන කියාය.

මෙම තැපැල් කළ ලිපිය සතියකින් පමණ සරසවිය පත්තරයේ මැද පිටුවේ පිටු දෙකක් පුරාවට වර්ණයෙන් අඳින ලද චිත්‍ර කීපයක් සමඟ පළ විය. ඒ සඳහා විශාල අකුරින් යොදා තිබුණේද මා යෙදූ හෙඩිම වීම විශේෂත්වයක් විය. මෙය මට අදහා ගත නොහැකි පුදුම සහගත සිද්ධියක් විය.

එදා මා ලියා යැවූ හැම දෙයක්ම කිසිවක් අඩු නොකොට සම්පූර්ණයෙන් පළ කර තිබීමද තවත් විශේෂත්වයක් විය. මම කීප වරක් මේ ලිපිය කියවූයෙමි. නිදා ගැනීමට ඇඳට ගිය ද පත්තරයේ මැද පිටුව පෙරළාගෙන ඒ දෙස බලා සිටිමින් මම අප්‍රමාණ සතුටක් ආශ්වාදයක් ලදිමි.

1966 වර්ෂය වන විට මගේ විශ්ව විද්‍යාල අවසන් වසර විය. විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් විමත් සමඟ මට උප කර්තෘවරයකු ලෙසින් ලේක්හවුස් ආයතනයට ඇතුළුවීමට ලොකු ආශාවක් ඇති විය.

ඒ අනුව මා ඉල්ලුම් පතක් ලේක්හවුස් ආයතනයට තැපැල් කළේ අවසන් වසරේ ශිෂ්‍යයකුව සිටියදී එනම් 1966 සැප්තැම්බරයේය. ඉල්ලුම්පත කුමක් හෝ හේතුවක් මත ලැබී තිබුණේ එවක සරසවිය කර්තෘවරයා වූ විමලසිරි පෙරේරා මහතාට බව මා දැනගත්තේ පසුවය.

නොසිතූ මොහොතක සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන ලෙස මා එවක නැවතී සිටි ගංගොඩවිල බෝඩිමට විදුලි පණිවිඩයක් ලැබිණි. විභාගයට දින ළංව ඇති මොහොතක ලැබුණු මේ නොසිතූ පණිවිඩයට මා ගියේ දෙගිඩියාවෙනි. වෙනත් පුවත්පත්, සඟරා ආදියට මා ලියා පළ වූ ලිපි, කෙටි කතා ආදිය සියල්ල එකට ගොනුකර ගනිමින් සම්මුඛ පරීක්ෂණය සඳහා මම ලේක්හවුස් ආවෙමි.

ඒ ජීවිතයේ මුල්වරටය. අද මෙන් නොව එදා අවශ්‍ය කාරණය කියූ පසු ලේක්හවුස් ආයතනය ඇතුළට ඒමට ඕනෑම කෙනකුට අවසර තිබිණි. ඒ අනුව මට ද ඒ අවසරය ලැබිණි. ඒ මහා මන්දිරයට ඇතුළු වූ පසු මට ජීවිතයේ මා බලාපොරොත්තු වූ දේ ලැබුණා වැනි හැඟීමක් ඇති වන්නට පටන් ගත්තේය.

මම විමලසිරි පෙරේරා මහතාගේ කාමරයට ඇතුල් වුණෙමි. ඔහු ඉදිරිපිට අසුනේ හිඳ ගැනීමට මට අතින් සංඥා කෙරිණ. මම එයට කීකරු වීමි. විමලසිරි මහතා මගෙන් කිසිවක් විමසීමට පෙර මා මම සෝමවීර සේනානායක යැයි පැවසීමි. ඒ සමඟම විමලසිරි මහතා බලමින් සිටි ලිපියක් මඳකට නතර කරමින් හිස ඔසවා මා දෙස එක එල්ලේ ටික වෙලාවක් බලා සිටියේය. මං හිතුවේ වැඩිහිටියෙක් කියලා විමලසිරි පෙරේරා මහතා පැවසීය.
සිබිල් වෙත්තසිංහ
කුමාරදාස වාගිස්ට

එයට මම සිනහවකින් පමණක් පෙරලා ප්‍රතිචාර දැක්වීමි. ඒ සමඟම විමලසිරි මහතා අපූරු වැඩක් කළේය. ටික කලකට පෙර මා විසින් සරසවියට හෙඩිමක් ඇතුව ලියා එවූ ලිපියේ හෙඩිම වූ සිසිවන උවන ඉග සුග ගත හැකි මිටින . . . හංස සැළලිහිනි ගිරවුන් නෙත් රැඳුණු තැන යැයි කියමින් අත් දෙකෙන් මේසයට තට්ටු කරන්නට විය.

කීප වරක් මේසයට තට්ටු කරමින් මෙම වැකි කීපය මිමිණු විමලසිරි මහතා හෙට ඉඳලා වැඩට එන්න පුළුවන්ද කියා මගෙන් ඇසුවේය. මම මඳක් ගොළු වීමි. එහෙට මෙහෙට ඇඹරුණි. පිට පුරා මගේ දාඩිය වැටෙන්නට විය. අවුරුදු ගණනාවක් ඉගෙන ගෙන අවසන් විභාගයට තව ඇත්තේ දවස් කීපයකි.

මගේ දිව පැටලිණි. විභාගය අත අරින්නත් බැරිය. මා ඇත්තටම බඳවා ගනී ද දන්නෙත් නැත. මහත්තයෝ තව දවස් දෙකයි අවසන් විභාගයට. ඒක ඉවර වුණ ගමන් එන්න පුළුවන් මම හෙමින් පැවසීමි.

එහෙනං එනවකො . . . විමලසිරි මහතා එයට දුන් පිළිතුර විය.

එහෙත් මට හරිම ප්‍රශ්නයකි. ඒ ඇත්තටම මාව රස්සාවට ගනීද යන්නය. මා විමලසිරි මහතා දෙස එක එල්ලේ බලා උන්නේ පුදුම සහගතවය. ඇත්තටම මහත්තයෝ මාව විභාගයෙන් පස්සේ ගන්නවද? ඔව් ඕයි, ලියල එනව, ලියල එනවා. මම ස්ථිරවම සෝමවීරව ගන්නවා. ආයේ කතා දෙකක් නෑ.

ඔහු කෑගැසුවේය. ඒ වතාවේ මට යන්තම් හිතට සහනයක් ලැබිණි. විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ විභාගය ලියා අවසන් කළෙමි. මගේ ගම වූයේ අවිස්සාවෙල්ලේ අමිතිරිගල පාරේ බැලවාන ගමය. සියලු පොත්පත්ද රැගෙන විභාගයෙන් පසු අපේ ගමට තිබූ එකම බසයෙන් මම උදේ පාන්දරින්ම ගමට ගියෙමි.

බෝඩිම් ජීවිතයට ටික කලකින් සමුදෙන නිසාම මා ස්ථිර ලිපිනයක් ලෙස ගෙදර ලිපිනය ලේක්හවුස් ආයතනයට ලියා දී තිබුණි. මා එදා ගෙදරට ගොඩ වෙනවාත් සමඟම ලේක්හවුස් එකේ රැකියාවට එන ලෙස කැඳවීම් ලිපිය මා අතට පත් විය.

ඒ සැනින්ම මා නැවතත් කොළඹ ඒමට උත්සාහ ගත්ත ද කාලෙකට පසු ගෙදර ඇවිත් බත් කටක් හෝ නොකා යාමට උත්සාහ ගැනීම ගැන අම්මා පසු වූයේ දැඩි කනස්සල්ලකිනි. බසය ආපසු නැවත කොළඹ පැමිණෙන විට ගොඩවී ඒමේ බලාපොරොත්තුවෙන් මම අම්මාගේ ආශාවට ද අවනත වුණෙමි.
බන්දු එස්. කොඩිකාර

මම නැවතත් ගංගොඩවිල බෝඩිමට පැමිණියෙමි. පසුදාම සරසවියට එක්වීමි. එවකට සරසවිය සහ නවයුගයේත් ප්‍රධාන කර්තෘවරයා වූයේ විමලසිරි පෙරේරා මහතාය. නියෝජ්‍ය කර්තෘවරයා ලෙස කටයුතු කළේ ලක්ෂ්මන් වික්‍රමසිංහයන්ය.

එවකට සේවය කළ ආර්. ඩී. ගුණරත්නයන් මා සරසවියට පැමිණ සති දෙකක් තුනක් ගතවත්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය තනතුරක් සඳහා යාමට කලින් දී තිබූ ලේක්හවුස් ආයතනයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අවසර ලැබිණ. මා බඳවා ගත්තේ ඔහුගෙන් වූ පුරප්පාඩුවටය.

නිමල් පෙරේරා අබේවර්ධන ඡායාරූප කර්තෘ වශයෙන් කටයුතු කෙරිණි. ඔහු අතින් ඡායාරූප හා හැඩතල නිර්මාණයන් සිදු විය. බන්දු එස්. කොඩිකාර, රෙජී බුලත්සිංහල ඡායාරූප ශිල්පීන් විය. පර්සි ජයමාන්න ද විය.

නවයුගය පුවත්පතේ රාජා ටී. බස්නායක නියෝජ්‍ය කර්තෘ ලෙස කටයුතු කළේය. කුමාරදාස වාගිස්ට සරසවියට සිනමා පුවත් රැගෙන ආවේය. සිබිල් වෙත්තසිංහයන් ද මා සරසවියට යන විට එහි කර්තෘ මණ්ඩලයේ විය.