වර්ෂ 2012 ක්වූ අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




රස මිහිරි කතා හොඳට ගොතා ලියූ විමලදාස පෙරේරා

රස මිහිරි කතා හොඳට ගොතා ලියූ විමලදාස පෙරේරා

* 1995 දී බයිපාස් සැත්කමක් කළා. සැත්කමට තිලංග සුමතිපාල, බන්දුල පද්මකුමාර, ධර්මසිරි ගමගේ සහෘද හිතවතුන්ගෙන් ලැබුණු සහාය අමතක වෙන්නේ නැහැ.

රුක්මණී දේවියත්, සී. ටී. ප්‍රනාන්දුත් එකිනෙකාගේ ගායනාවලට කැමැත්තෙන් සිටියත් කවදාවත් එකට ගී ගයා තිබුණේ නැහැ. මා ලියූ ‘පුන්සඳ හිනැහෙන්නෙ’ ගීතයෙන් දෙදෙනාටම ඒ අවස්ථාව උදා වුණා.

අ. පො. ස. සාමාන්‍ය පෙළත්, උසස් පෙළත් හොඳින්ම සමත් වූ ඔහුට ගුරු විද්‍යාලයට යන්නට පාර කැපුණේය.

එහෙත් ඔහු තෝරා ගත්තේ කලාවයි.

විවාහය සඳහා බැලීමට ගියේ වෙනත් නිළියකි. එහෙත් ඔහු විවාහ වීම සඳහා තෝරා ගත්තේ තවත් සුරූපිනියකි.

යන්නට මගපෑදෙන පාරේ නොව වෙනත් පාරක යන මේ අපූරු පුද්ගලයා අදත් කරන්නේ ඒ දෙයමයි. හරියටම අගෝස්තු 23 වැනිදාට එනම් අද මදුරප්පෙරුම ආරච්චිගේ විමලදාස පෙරේරා සම්පූර්ණ කරන්නේ ජීවිතයේ අසූ තුන් වැනි සැතපුම් කණුවයි.

ජීවිතයේ හොඳම සැඳෑ සමය විවේකයට වෙන් නොකරන ඔහු අදටත් යෞවනයකුටත් වඩා ක්‍රියාශීලීය. පරණ පුරුදු වැඩයට මේ වයසේදීත් අත ගසන්නේ ඒ නිසාය. විමලදාස පෙරේරා නම් ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයාගේ, ගේය පද රචකයාගේ, ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයාගේ යෞවනත්වයේ රහස ද එයයි.

මතකයේ සුළු ප්‍රමාද දෝෂ තිබුණ ද අතීතය ඔහුට හොඳින් මතකය.

සුසිල් ප්‍රේමරත්න, සී ටී, මිල්ටන්, ඇන්ජලින්, රුක්මණී, සී. ඩී. ෆොන්සේකා ගීතාංජලී රස ගන්වමින්

‘පුවත්පතක සිනමා දැන්වීමක් දැකලා රඟපාන්න තිබුණු ආසාවට ගියා. අන්තිමට 1951 දී ‘සමාජය’ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයා වුණා. සහාය නළුවකු ලෙස රඟපෑවා. එහි දෙබස් හා ගීත රචනයත් මගේමයි.

1952 දී සම්බන්ධ වුණේ ‘සුනිලා’ සිනමාපටයටයි. එහි දෙබස්, ගීත රචනය සහ සහය අධ්‍යක්ෂණය මගේමයි. ‘සුනිලා’ ගීත ඉතා ජනප්‍රිය වුණා. ‘රස මිහිරි කතා සිගිති සිනා සුදාගෙ මුහුණේ’, ‘හොඳයි නරකයි’ වැනි ගීත අදටත් ජනප්‍රියයි.

සුදු නංගි මුහුරත් උළෙල දා

සිනමා උමතුව වගේම ගුවන් විදුලියටත් මගේ හිත බැඳිලයි තිබුණේ. ගුවන් විදුලියේ බාහිර වැඩසටහන් නිෂ්පාදකයකු ලෙස වැඩසටහන් රාශියක් කළා. ඒ කාලේ ඒවා ඉතාමත්ම ජනප්‍රිය වුණා.

රුක්මණී දේවිය සමඟ කළ ‘ගීතාංජලී’, එඩී ජයමාන්න සමඟ කළ ‘එඩීගෙන් අහන්න’, මංගල උපන් දින සඳහා වෙන් කළ ‘සුහද පැතුම්’ ඒ කාලේ ජනතා මනාපය හොඳින්ම දිනා ගත්තා. ඇට්ලස් හෝල් දැනුම මිනුම තරගයත් අමතක කරන්න බැරි වැඩසටහනක්. ඒ වැඩසටහනට සහභාගි වූ ළමයින් අතර අද ඇමැතිවරයකු වන නිමල් සිරිපාල ද සිල්වා හා ප්‍රවීණ නිවේදිකා සුමනා නෙල්ලම්පිටියත් හිටියා.

ගීත කෝකිලාවිය, නිළි රැජන රුක්මණී දේවි සමඟ කළ ‘ගීතාංජලී’ වැඩ සටහන සමඟ සොඳුරු මතකයන් බොහොමයි. ඒ කාලේ රුක්මණී දේවි හැබැහින් දකින එක රසිකයන්ගේ හීනයක්.

ඇය පටිගත කිරීම්වලට එන විට පාසල් දරුවන් වැල නොකැඩී ඇය බලන්න පෝලිම් පිටින් එනවා. 1960 – 1970 දක්වා කෙරුණු ගීතාංජලී වැඩසටහනත් සමඟ නුවර, ගාල්ල, යාපනය වැනි විවිධ පළාත්වල පැය 3 ක ගීත ප්‍රසංග පැවැත්වුණා.

ඒ සන්දර්ශනවලට සහභාගි වුණේ රුක්මණී, මොහිදීන් බෙග්, ඇන්ජලින් ගුණතිලක, ජෝතිපාල, මිල්ටන් පෙරේරා, හෙන්රි පෙරේරා, එම්. එස්. ප්‍රනාන්දු, ජයතිස්ස හෙට්ටිආරච්චි, ෆෙ‍්‍රඩී සිල්වා, සී. ඩී. ෆොන්සේකා වගේ එකම ගායක කණ්ඩායමක්. ප්‍රසංගය විචිත්‍රවත් කරන්න සිසිර – ඉන්ද්‍රාණි, සුසිල් ප්‍රේමරත්න වැනි කලාකාරයන් ගෙන්වූවා. ඒ මගේ කලා ජීවිතයේ ස්වර්ණමය යුගයයි.

ඔය අතරේ ගුවන් විදුලි තැටිවලට ගීත රචනා කළා. එච් එම් වී තැටිවලට ලියූ ‘මුස්තාෆා මුස්තාෆා’ වැනි ගීත හරිම ජනප්‍රිය වුණා. ජෝතිට ලියූ ‘මා ඉන්නෙ අන්ධකාරෙ දැන්’, ‘මේ ගංගාවේ නිල් දියේ’, ‘රන්කඳ මාගේ පුන්සඳ වාගේ’ ගී, රුක්මණී - සීටී ගැයූ ‘පුන්සඳ හිනැහෙන්නේ’, ලතා දිසානායක – මිල්ටන් පෙරේරා ගැයූ ‘සඳකිරණින් පැලට ඔබේ’ වැනි ගී මුව මුව රැඳුණා.

1965 දී විමලදාස පෙරේරා සහ සමාගම නමින් ප්‍රචාරක ආයතනයක් පටන් ගත්තා. ඒක ලංකාවේ ලොකුම ප්‍රචාරක ආයතනයක් වුණා.

මෙතෙක් සහාය අධ්‍යක්ෂවරයකු පමණක් වෙලා සිටිය මට තනියම චිත්‍රපට නිෂ්පාදනයට සහ අධ්‍යක්ෂණයට පිවිසෙන්න දොළදුකක් ආවා.

‘සමනල කුමරියෝ’, ‘අපි කවදත් සූරයෝ’, ‘සැණකෙළිය’ වැනි සිනමාපට අධ්‍යක්ෂණය කළා. ‘පොඩි නංගී’ සිනමාපටය විජයගේ මරණයත් සමඟ නතර වුණා.

අසූ තුන් වැනි වියේදී සිනමාවේ දෙවැනි ගමන අරඹන්නයි බලාපොරොත්තු වෙන්නෙ. ‘කවදත් සූරයෝ’ නමින් සිනමාපටයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ‘පොඩි නංගී’ අයෙත් පටන් ගන්නවා.

මගේ පැරැණි ගීත රචනා අද පරපුරට කියා ගයන බලාපොරොත්තුවකුත් තියෙනවා.’

ගතට වයස අසූ තුනක් වුවත් සිතින් තවමත් සොළොස් වියැති අපේ ජ්‍යෙෂ්ඨ කලාකරුවා පවසන්නේ බලාපොරොත්තුවලින් දෑස් දීප්තිමත් කරගනිමිනුයි.