|
පොත් ගහලා සල්ලි හොයන්න මට උවමනාවක් නෑ
සංසාරණ්‍යයේ සත්දශකයක් ගත කළ කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් දැනුම් සම්භාරයකින් ස්වයංපෝෂිත පුස්ථකයක් යැයි කීම අතිශෝක්තියක් නොවන බව අවිවාදිතය. එසේ පවසනුයේ හෙතෙම කලාව ගැන පමණක් නොව ධනාත්මක චින්තනය ඇතුළු කලාවෙන් පරිබාහිර විෂයයන් ගණනාවක්ම ස්පර්ෂ කළ විද්වතකු බැවිනි. එම මාතෘකා යටතේ ඔහු නිදහස් දේශකයකු වශයෙන් අප්‍රමාණ කාලයක් අප්‍රකටව කළ සේවාව ද අති මහත්ය. අද සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් සරසවියට සම්ප්‍රාප්ත වන්නේ ඔහුගේ කලා ජීවිතය අළලා කෙරෙන සංවාදයකට නොව ඔහු තුළ සිටින ධනාත්මක චින්තකයා විසින් මෙහෙයවනු ලබන අනභිභවනීය කටයුතු කිහිපයක් ගැන ඔබට දන්වා සිටීමටය. එළඹෙන විසිනව වැනි බදාදා රාත්‍රිය උදාවනතෙක් අතිශය කාර්යය බහුලව ජීවිතය ගෙවන ඔහු ඒ අතරතුරදී ඔබ වෙනුවෙන් මෙලෙස කාලය වෙන් කෙරුවේ එදා මෙන් අදත් සිය ප්‍රේක්ෂකයන් කෙරෙහි සිත වෙනස් නොවීම හේතුවෙනි. සතිස් අයියේ, 29 වැනිදා ජෝන් ද සිල්වා රඟහලේදී මොකද වෙන්නේ? අපි එතැනින් කතාබහ අරඹමු. ගොඩක් දේවල් සිදුවීමට නියමිතයි. ‘ජීවිතය දෙස නව නෙතකින්’, ‘සාර්ථක ජීවිතයට සාරවත් සිතුවිලි’ සහ ‘ආදරය සහ විවාහය’ යනුවෙන් ම’විසින් රචිත පොත් ත්‍රිත්වයක් එළිදැක්වෙනවා. ඇත්තටම ඒවා උපදේශ ග්‍රන්ථ. එදිනෙදා ජීවිතයට වැදගත්වන නොසිතූ මොහොතක අපට එන බාධක බිඳ දමන්නට හැකි අගනා වියත් වදන්වලින් ඒවා සමන්විතයි. එදින ඒවා පිළිබඳ ශාස්ත්‍රපති සෝමවීර සේනානායක, මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය දර්ශන රත්නායන යන අය විසින් සභාවට හඳුන්වා දෙනවා. මෙයට අමතරව ‘සුවඳ පද්ම’ නමින් උපහාර සම්මාන ප්‍රදානයක් ද සිදුවනවා. අධිනීතිඥ හරිශ්චන්ද්‍ර විජේතුංග, ආචාර්ය වික්ටර් රත්නායක සහ සුදත් රෝහණ යන මහත්වරුන් සුවඳ පද්ම සම්මානයන්ට හිමිකම් කියනවා. මෙය සැබැවින්ම උපහාර සංගීතමය සැඳෑවක් කිව්වොත් නිවැරැදියි. මෙතැනින් එහාට මෙහි අන්තර්ගතය ගැන මා පවසන්නේ නැහැ. එතකොට අගය නැති වෙනවනේ. මේ සියලු වැඩ කටයුතුª සංවිධානය කරන්නේ මිහිඳු සංස්කෘතික පදනම මඟින්. මිහිඳු සංස්කෘතික පදනම ගැන දැනගන්න මා රිසියි? මෙය අපේ සංස්කෘතිය ආරක්ෂා කරන පදනමක්. මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනයත් සමඟයි අපේ සංස්කෘතිය සහ හැදියාව පිබිදෙන්නේ. ඒ හින්දයි මෙයට ‘මිහිඳු’ යන නාමය යොදා ගත්තේ. ප්‍රෞඪත්වය සහ අභිමානයෙන් යුතු අප සංස්කෘතිය ගැන සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන පැවැත්වීම මිහිඳු සංස්කෘතික පදනමින් සිදුවනවා. ඒ වගේම පාරිසරික සහ ජීවිතයට නව අරුතක් එක්කරමින් ඒ හා බැඳුණු විවිධ වැඩසටහන් ද අපි සිදු කරනවා. අපේ වැඩසටහන් කොළඹට පමණක් සීමා නොවී ගම් නියංගම් සිසාරා ගෙන යාම විශේෂත්වයක්. සාරධර්ම අධ්‍යාපනය, පරිසරය සුරැකීම සහ කෘතවේදිත්වය ප්‍රචාරය පදනමේ ප්‍රධාන අරමුණුයි. මෙහි සභාපති මම. සුනිල් එදිරිසිංහ, නිමල් වීරතුංග, ෂෙල්ටන් කරුණානායක, ශ්‍රියා එදිරිසිංහ, ඩික්ෂන් රණතුංග, අනුර වරාගොඩ, කුලසිරි මල්ලිකාරච්චි, හේමචන්ද්‍ර පියදාස, ශාන්ත ගුණතිලක, තිලක් කලුලියන, ජයන්ත රාජවික්‍රම අප පදනමේ සාමාජිකයෝ. මෙහි තෙවසර සපිරීම නිමිත්තෙනුයි සුවඳ පද්ම සම්මාන උළෙල සහ මගේ ග්‍රන්ථ එළිදැක්වීම සිදු වන්නේ. සතිස්චන්ද්‍ර එදිරිසිංහ ග්‍රන්ථකරණයට පිවිසෙන්නේ කොහොමද? ධනාත්මක චින්තනය, ජීවිත අවබෝධය පිළිබඳ මං දේශනා පවත්වනවානේ. ඇතැමකුට එහි අන්තර්ගතය දේශනාව නිමවෙද්දීම මතක නැති වෙන්න පුළුවන්. ඉතින් මගේම දේශන කුඩා පොත් බවට පත් කළා නම් හොඳයි කියලා හිතුණා. එතකොට ඕනෑම වෙලාවක පරිශීලනය කරන්න පුළුවන්නේ. 2004 වසරේ තමයි මං මගේ පළමු පොත ලිව්වේ. ඒකේ නම ‘අප සතු මිණිමුතු’. පසුව එහි දෙවැනි කොටස, නායකත්වය, යහපත, ඔබ තවමත් ප්‍රමාද නැහැ යනාදී ග්‍රන්ථ රැසක් මං රචනා කළා. ඇත්තටම එය ඉතාම සාර්ථක වුණා. ඔබේ පරමාර්ථය වානිජ යැයි කවුරුන් හෝ කිව්වොත්? මෙහෙමයි, ඕන කෙනකුට ඕන දෙයක් කියන්න පුළුවන්. නමුත් පොත් ගහලා සල්ලි හොයන්න මට වුවමනා නැහැ. මා විසින් රචිත ග්‍රන්ථ ඉතාම සුළු පිටු ප්‍රමාණයකින් යුතු කුඩා ඒවා. මිලත් ඉතාම අඩුයි. . උපදේශනයට වැඩිය ක්‍රියාව යහපත් යැයි මං අසා තිබෙනවා? ඇත්ත. කෙනෙකුගේ ජීවිතය සාර්ථක කරගන්න දර්ශනයක් අවශ්‍යයි. එකට යහපත් ආකල්ප ඕනෑ කරනවා. ආකල්ප මතයි සාරධර්ම ගොඩ නැගෙන්නේ. සාරධර්මයි ජීවිතය පිළිබඳ හොඳ විනිශ්චයක් ගෙන එන්නේ. ඒ විනිශ්චය තමයි විනය. මගේ ග්‍රන්ථවලින් සියයට අනූවක පමණ අන්තර්ගතය ඔන්න ඕකයි. මෙපරිද්දෙනුයි මමත් ජීවත් වන්නේ. මගේ දේශනා අසන්නන්ට වැඩිය, මාව ඇසුරු කරන අය ජීවිතය ගොඩ නගා ගන්නවා. ඒ මගේ ක්‍රියාවද හොඳ නිසයි. ගිහියකුට මෙවැනි ග්‍රන්ථ රචනය අකැප නැතිද? පැවිදි කෙනකු වුණත් වැරැද්දක් කරනවා නම් ඒ ජීවිතයෙන් වැඩක් නැහැ. ගිහියකු ද දේශනා පවත්වමින් වැරැදි කරනවා නම් එකත් නිෂ්ඵලයි. ‘ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට’ මෙවදන් අහලා තියෙනවානේ. ඒක නිසා නිවැරැදි ගිහියකු දේශන පැවැත්වූවාට කමක් නැහැ. ඔබ කලා ජීවිතයෙන් එන්න එන්නම ඈත් වෙනවා වගේ? අපි දැන් වයසක උදවියනේ. අපේ කාලේ නිර්මාණ කළ මහා නිර්මාණකරුවොත් අද නිහඬයි. තියෙන තත්ත්වය මත නිර්මාණ කරන්නත් බැහැ. කෙසේ නමුත් මෑත කාලයේදී හරවත් යැයි මට හැ¼ගුණ නාට්‍ය දෙකකට සම්බන්ධ වුණා. ‘සුවඳ පද්ම’ හැමෝටම විවෘත උත්සවයක්ද? ඔව්. ආරාධනා ලද, නොලද ඕන කෙනකුට එන්න පුළුවන්. 29 බදාදා සවස 3.30 ටයි උත්සවය පටන් ගන්නේ. ඊට සුළු මොහොතකට ප්‍රථම ජෝන් ද සිල්වා එකට එන්න. මන්දයත් ආසන හිමි වන්නේ පැමිණෙන පිළිවලට නිසා. තව පොඩි දෙයක් තියනවා කියන්න. මෙදින සම්මාන පිරිනමන්නේ ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ, ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල, ජාත්‍යන්තර අධ්‍යාපන උපදේශන ආයතනයේ විධායක නිලධාරී කීර්ති ජයසූරිය යන මහත්වරුයි. මේ සඳහා මහාචාර්ය ජේ. බී. දිසානායක, සුනිල් එදිරිසිංහ සහ ශ්‍රියානි අමරසේන හේතු පාඨ කියනු ලබනවා. කථනය හේම නලින් කරුණාරත්න සහ නාලක ඉල්ලවතුරගෙන්. මංසල වාද්‍ය වෘන්දය සංගීතය සපයනවා. ඒ අයට මා මේ මොහොත අවස්ථාවක් කරගන්නවා තුති පුදන්න. ඔබ ලියූ ග්‍රන්ථ කොහෙන්ද මිලදී ගන්න පුළුවන්? එදින වෙනම තැනක් අපි සකස් කළා ඒ වෙනුවෙන්. ඊට අමතරව එළඹෙන සැප්තැම්බර් 18 – 26 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වනු ලබන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ මිහිඳු සංස්කෘතික පදනමේ කුටියෙන් මේවා ගන්න හැකියි. එදින කිහිපයේම උදේ සිට සවස දක්වා මමත් එතැනම ඉන්නවා. ඇවිත් මගෙත් එක්ක කතාබහ කරන්නත් පුළුවන් මගේ හිතෛෂියන්ට. |