වර්ෂ 2012 ක්වූ අගෝස්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




තලේ තනියම අද පිලානේ

තලේ තනියම අද පිලානේ

දිමුතු මුතු රූ ගැන් වූ එම්. වී. හේමපාල රෝගී වෙයි

මිනිසා විසින් තාක්ෂණය හැසිර වූ යුගයක් විය. එකල විශිෂ්ට ගණයෙහි නිර්මාණකරුවන් අතින් නිර්මාණාත්මක කලා කෘති බිහි විය. සිංහල සිනමාවෙහි එක් යුගයක අතීත මතක සමරද්දී සිනමා ක්ෂේත්‍රයේ විශිෂ්ට මෙහෙයක් කැපවීමෙන් කළ කැමරා ශිල්පියකු හමුවේ.

ඒ මාවැල්ල විතානගේ හේමපාල හෙවත් තලේය. ගාල්ලේ පිලාන තක්ෂිලාවෙන් අකුරු කළ හේමපාල දෙහිවල මාමාගේ කඩයේ රැකියාවට ගියේය. එතැන බෝඩින්කාරයකු විය. ඒ සුගතපාල ද සිල්වා නම් අග්‍රගන්‍ය නාට්‍යකරුවාය. ඔහු හමුවීමට නිතර පැමිණි දේහධාරියාට නිතර පිළිවදන් දුන් හේමපාල කිසි දිනක ඔහු අතින් සිනමා කර්මාන්තය හෝ කැමරාකරණය හැදෑරීමට සිහිනෙකින්වත් සිතුවේ නැත. ඒත් නොසිතූ දෙයම සිදු වී හේමපාල කැමරා ශිල්පීන් අතර ජනප්‍රිය දක්ෂ පුද්ගලයෙක් විය. ඒ ඩී. බී. නිහාල්්සිංහයන්ගෙන් සිනමාව හැඳින ගැනීමෙනි.

‘මගේ ගුරුන්නාන්සේ ඩී. බී. නිහාල්සිංහ මහත්තයා’ යැයි පවසද්දී එම්. වී. හේමපාලගේ දෑසේ කඳුළු පටලයක් ඇඳී ගියේය. වයෝවෘද්ධව රෝගී සයනයේ සිටින හේමපාල හෙවත් තලේ අයියා සෙමෙන් කටහඬ අවදි කළේය.

‘මට නිහාල්සිංහ මහත්තයා හමු වුණේ සුගතපාල ද සිල්වා මහත්තයගේ බෝඩිංකාරයෝ, තට්ටු ගෙවල් නාට්‍ය පුහුණුවීම් බලන්න ගිහිල්ලායි. ඒ අතර ඩී. බී. නිහාල්සිංහ අධ්‍යක්ෂණය කළ හේමන්ත වර්ණකුල නිෂ්පාදනය කළ ටෝනි රණසිංහ, අනුලා කරුණාතිලක, වික්‍රම බෝගොඩ රඟපෑ සමනලයෝ චිත්‍රපටයේ රූගත කිරීම් නැරැඹීමට අවස්ථාව ලැබුණා.

ඒ ගමන හේමපාලගේ දිවි ගමන වෙනස් කළේය. නිහාල්සිංහයන්ගේ සිත් ගත් තරුණ හේමපාලට ‘සත් සමුදුර’ චිත්‍රපටයට සම්බන්ධ වීමට ඉන් පසු ඉඩ හසර ලැබිණි. ඒ 1962 වසරයි.

‘බෝඩ් ලෑලි හතරයි කැමරාවයි අරගෙන කේ. ඩී. දයානන්දයි හපුගොඩ මහත්තයයි මමයි මීගමු ගියා. කැමරාගත කරන්නේ මේ විදිහට, කැමරා කෝණ සකසා ගන්නේ මේ විදිහට කියලා මගේ ගුරුන්නාන්සේ මට කියලා දුන්නා.’

ඩී. බී. නිහාල්සිංහයන්ගේ ප්‍රායෝගික පාසලේ කැමරාකරණය හැදෑරූ තලේ අයියා හෙවත් හේමපාල තම බිඳුණු හඬින් අතීතය සිහි කරයි. වයෝවෘද්ධ බව කාටත් පොදු ධර්මතාවක් වුව ද රෝගී බව සමඟ හේමපාල මහතා අසරණව දුර්මුඛව සිටියි.

දිගු කලක් තිස්සේ ඩී. බී. නිහාල්සිංහයන් සමඟ කටයුතු කිරීම හේතුවෙන් සිනමාපට 150 ක පමණ සහාය කැමරා ශිල්පියා ලෙස කටයුතු කිරීමට එම්. වී. හේමපාල මහතාට ඉඩකඩ ලැබී ඇත. ටයිටස් තොටවත්ත, ඇන්ඩෘ ජයමාන්න, වාමදේවන්, ඩොනල්ඩ් කරුණාරත්න, ලෙනින් මොරායස්, සුමිත්ත අමරසිංහ වැනි ලංකාවේ ප්‍රවීණ කැමරා ශිල්පීන්ගේ සහය කැමරා ශිල්පියා වීමේ ප්‍රබල කාර්යභාරයට උර දීමට එම්. වී. හේමපාල සමත් වී ඇත.

එම්. වී. හේමපාල පළමුවරට ප්‍රධාන කැමරා ශිල්පියා ලෙස කටයුතු කළේ ජෝ මයිකල් අධ්‍යක්ෂණය කළ සිරිල් මල්ලී චිත්‍රපටයෙහිය. ගාමිණී ෆොන්සේකා, නීටා ප්‍රනාන්දු, එච්. ඩී. කුලතුංග, ශ්‍රියානි අමරසේන එහි රඟපෑ අතර ගාමිණී ෆොන්සේකාගේ නොමඳ සහාය සහ ගෞරවය එහිදී හේමපාලට ලැබිණි. එබැවින්ම සැණකෙළිය, චණ්ඩි පුතා, සාවිත්‍රිගේ රාත්‍රිය වැනි චිත්‍රපට රැසක කැමරා ශිල්පියා ලෙස කටයුතුª කිරීමේ අවස්ථාව හේමපාල ට හිමි විය.

ඔහුගේ පළමු වර්ණ චිත්‍රපටය වූ ගිම්හානේ ගී නාදේ (ධර්ම ශ්‍රී කල්දේරා අධ්‍යක්ෂණය) හොඳම වර්ණ කැමරා ශිල්පියා ලෙස එම්. වී හේමපාල 1986 වසර සඳහා ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.

1991 දී නිහාල්සිංහයන් අධ්‍යක්ෂණය කළ කෙළිමඬල චිත්‍රපටය සඳහා හොඳම වර්ණ කැමරා ශිල්පියාට හිමි සම්මානය දිනා ගැනීමට ද ඔහු සමත් විය. කැමරා අධ්‍යක්ෂණයෙන් සිනමා ක්ෂේත්‍රයට දායක දැක්වූවන් අතර එම්. වී. හේමපාල නම ප්‍රකටය.

එම්. වී. හේමපාල 1971 දී නිහාල්සිංහයන් අධ්‍යක්ෂණය කළ වැලිකතර චිත්‍රපටයෙන් (පුළුල් තිරයේ) සහාය කැමරා ශිල්පියා ලෙස කටයුතු කළේය.

අනතුරුව ටෙලි සිනේ ආයතනය හා සම්බන්ධව ලංකාවේ ප්‍රථම ටෙලි නාට්‍ය වූ දිමුතු මුතු හි කැමරා ශිල්පියා ලෙස කටයුතු කළ අතර රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය වූ වෙළඳ දැන්වීම් රාශියකට කැමරා ශිල්පියා ලෙස දායක විය.

පසුකාලීනව වැඩ සටහන් අධ්‍යක්ෂ එච්. ඩී. ප්‍රේමරත්නගේ ඉල්ලීම මත ස්වර්ණවාහිනී රූපවාහිනී ආයතනයේ පළමු කැමරා ශිල්පියා ලෙස සම්බන්ධ වූ හේමපාල මහතා එහි වසර 13 කට ආසන්න කාලයක් සේවය කළේය.

ශල්‍යකර්මයකට ද භාජනය වී ඉතා දුකසේ රෝගීව වෙසෙන හේමපාල මහතා ඔහුගේ දිගු අතීතය ආවර්ජනය කරමින් සතුටට පත් විය. ඒ අතර ඔහු අලුත් අදහසක් ඉදිරිපත් කළේය. සිනමාවේ දැවැන්තම කාර්ය කරන්නේ සහය කැමරා ශිල්පියා. රීල් එක ලෝඩ් කරන එක හැම දෙනාටම කරන්න බැහැ. ඒක සහය කැමරා ශිල්පියාගේ කාර්යභාරය.

ඉස්සර ඩාක්රූම් නැති කාලේ අපි ඉතා වගකීමෙන් ඒ කාර්ය කළා. ඒත් අද වනතුරුත් සිනමා සම්මාන උළෙලකදී සහාය කැමරා ශිල්පියාට සම්මානයක් හිමි නැහැ. ඒක කනගාටුවක්. ඉදිරි කාලයේදීවත් එහෙම සම්මානයක් පිරිනැමෙනවා නම් ඉතා හොඳයි.

සිංහල සිනමාවේ ද රූපවාහිනියේ ද කැමරා අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් දහස් ගණනකගේ නෙත සිත සනසාලූ එම්. වී. හේමපාල පවසන්නේ ලෝකෙ ලස්සනටම පෙනෙන්නේ කැමරාවෙන් බවයි.

ඔහු කැමරා නෙතින් දුටුච ලෝකය ප්‍රේක්ෂකයා ඉදිරියේ මවාලුවේය. එදා ඔහුගේ ඇසින් අපි දුටිමු. ඉන් සැනසීමු. ඒත් අද ඔහු අසරණව ගාල්ල පිලානේ තලහිටියාව ගමේ කවුරුත් නොදන්නා ගැමියකුව ඉතා අසරණව ගිලන් යහනක වැතිර අතීතයේ රස ස්මරණය කරමින් සිටියි.