වර්ෂ 2012 ක්වූ අගෝස්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමාව සුරැකීමට මා කැපවී සිටිනවා

සිනමාව සුරැකීමට මා කැපවී සිටිනවා

අපි ඩිජිටල් සිනමාවට යා යුතුමයි

අපි රන්ජන්වත් මේ පැත්තට ගනිමු

මම හැමදාම හිටියේ අලුත් තාක්ෂණය සමඟ අපි අත්වැල් බැඳ ගත යුතුයි කියන තැන. මුලින්ම වේදිකා නාට්‍යය, ඊට පස්සේ කලු සුදු චිත්‍රපට. ඊළඟට වර්ණ චිත්‍රපට ආවා. රූපවාහිනිය ආවාම හුඟ දෙනෙක් ඒක ප්‍රතික්ෂේප කළා.

නමුත් මම ඒ තාක්ෂණයත් එක්ක යමින් ටෙලි නාට්‍යය නිෂ්පාදනයට, අධ්‍යක්ෂණයට සම්බන්ධ වුණා. ඊට පස්සේ අපේ සිනමා ක්ෂේත්‍රයේ හුඟ දෙනෙකුත් ටෙලි නාට්‍යය කලාවට අවතීර්ණ වුණා.

යෞවනයේ සුන්දරත්වය හා මුසුවූ ප්‍රභාමත් ප්‍රතිභාව සුවඳ පුෂ්පයක් කොට ඕ සිනමාව නමැති පුදසුන මත පූජා කළේ අපිරිමිත භක්තියෙනි.

ඒ කුසුම තවමත් පරව ගොස් නැත. පන්සාළිස් වසක් පුරා හෙළ සිනමා වංශය සිය අපූර්ව රංග ලීලාවන්ගෙන් ඔපවත් කළ ඒ සොඳුරු ලාලනිය මාලිනී ‘නිළි රැජන’ වෙමින් ප්‍රේක්ෂක හදවතේ කිරුළු පැළඳුවාය.

එදා මෙදා තුර මාලිනියගේ ජීවිතය වූයේ සිනමාවයි. නැතහොත් ඈ ජීවත් වූයේ සිනමාව වෙනුවෙනි. ඒ අභිමානවත් ඉතිහාසයේ ඈ නමින් බොහෝ දෑ ලියැවී තිබේ.

රංගන කාර්යයෙන් ඔබ්බට යමින් ඈ අද දවසේ පෙනී සිටින්නේ, සිය හඬ අවධි කරන්නේ වඩාත් යහපත් වූ අනාගත සිනමාවක් වෙනුවෙනි. දිගු කලෙකට පසු අප මාලිනිය හමු වූයේ ඒ සියලු වගතුග වඩාත් විවෘතව ඈ හා කතාබස් කරන්නටය.

ඉඳහිට ටෙලි නාට්‍යයක දුටුවත්, ඔබ සිනමා රංගගනයෙන් බොහෝ සෙයින් දුරස් වූ බවකුයි අප දකින්නේ?

‘ආකාස කුසුම්’ චිත්‍රපටයෙන් පස්සේ ඇත්තටම මම සිනමා රංගනයක නියැළුණේ නැහැ. ටෙලි නාට්‍යය කිහිපයක් නම් කෙරුණා. ‘දූවරු’ ටෙලි නාට්‍ය නරඹලා මධ්‍යයම ප්‍රමාණයේ ප්‍රේක්ෂකයෝ පිරිසක් එකතු වුණා. මෙතනින් එහාට තියෙන්නේ දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ ‘භවතරණය’ චිත්‍රපටය සහ ටෙලි නාට්‍යය. මම හිතන්නේ මුලින්ම චිත්‍රපටය තිරගත වේවි.

මාලිනී අක්කා එහි රඟපාන්නේ කොයි වගේ චරිතයක්ද?

ඒකේ ඇත්තටම මම රඟපාන්නේ වලව්වක විවිධ හැළහැප්පීම්වලට ලක්ව, තමන්ගේ පුතාගේ ප්‍රශ්නවලට මැදිවන අම්මා කෙනෙකුගේ චරිතයක්. ඒ කියන්නේ වලව් පැළැන්තියේ අම්මා කෙනෙකුගේ ජීවිතය විදහා දැක්වෙන චරිතයක්.

වෙනත් චරිත සඳහා ඔබට ඇරැයුම් ලැබුණේ නැතිද?

ආරාධනා කිහිපයක් ලැබුණා. ඒවා මට දැනුණේ, හැඟුණේ නිකං පෙනී සිටින චරිත විදිහට. මම කැමැති යමක් කරන්න පුළුවන් ඒ වගේම මටත් සතුටු විය හැකි විදිහේ චරිත රඟපාන්නයි. මගේ මුල් කාලේ පවා ඒ තෝරා බේරා ගැනීම කළා. සමහර ඒවායේ මම සීන් දෙක තුනකටත් ඉඳලා තියෙනවනේ. ‘මචං’, ‘අබා’ වගේ චිත්‍රපට. ඒවායේ චරිත සුළු වුණාට මට කරන්න ගොඩක් දේවල් තිබුණා ඉතිං ඒ වගේ. මුළු චිත්‍රපටය පුරාම පෙනී හිටියත් වැඩක් නැහැ, කරන්න දෙයක් නැතිනම්.

කවදාවත් ඔබ එවැනි පෙනී සිටින චරිත රඟපාලා නැහැ?

මම හැමදාම උත්සාහ කළේ මට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්නයි. සමහරක් වෙලාවට අපෙන් ප්‍රයෝජනයක් නොගත් අවස්ථාත් ඇති. මම හිතන්නේ ඒකට අධ්‍යක්ෂවරයාත් වග කියන්න ඕනෑ.

විශේෂයෙන්ම අද පරපුරට ඔබේ රඟපෑම් දැක බලා ගන්නට අවස්ථාවක් උදා වී තිබෙනවා ‘රිදී T.V. තුළින්. මාලිනී ෆොන්සේකා අලුත්වෙවී හැමදාම දැන් අපේ ආළින්දයට එන්න පටන් අරන්?

විද්‍යුත් මාධ්‍ය නාළිකා හරහා අපගේ රංගගනයන් නැවත, නැවත ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබීම ලොකු වාසනාවක්.

අපේ මුල් කාලේ තිබුණේ රේඩියෝ එක විතරයි. ටී. වී එකක් දැකලාවත් නැහැනේ. චිත්‍රපටයක් නරඹන්න සිනමා ශාලාවටම යන්න ඕනෑ. ඒ වගේම අනාගතයේදී අපි ඩිජිටල් සිනමාවත් එක්ක එකතු වෙන්න සූදානමක් තියෙනවා.

මෙවැනි පෞද්ගලික රූපවාහිනි සේවයක් පවත්වාගෙන යමින් අතීත සිනමාව අනාගතයට රැගෙන යන තිස්ස නාගොඩවිතාන වැනි සංරක්ෂණකරුවන්ටත් අපේ ප්‍රණාමය හිමි වෙන්න ඕනෑ නේද ?

ඇත්තෙන්ම. තිස්ස එදා මේවා සංරක්ෂණය කළ නිසානේ අද අපට ඒවා නරඹන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතුමාට අනිවාර්යයෙන්ම එහි ගෞරවය හිමිවන්න ඕනෑ. විශේෂයෙන්ම ඉදිරියේදී එන ඩිජිටල් තාක්ෂණය හරහා කොහොමද පැරැණි චිත්‍රපට නරඹන්නේ කියන ගැටලුව කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. අලුත්, අලුත් ක්‍රමවේද හරහා ඔහු දැනටමත් ඒවා සංරක්ෂණය කරලා. මේ ආත්මෙට විතරක් නෙවේ, තව ආත්ම දෙක, තුනකට වුණත් ඒවා සංරක්ෂණය කරලා තියන්න ඔහුට පුළුවන්.

අපේ සිනමාවේ මේ ඩිජිටල්කරණ කාර්යය සඳහා ඔබත් සක්‍රීය ලෙස මැදිහත් වී සිටිනවා?

මම හැමදාම හිටියේ අලුත් තාක්ෂණය සමඟ අපි අත්වැල් බැඳ ගත යුතුයි කියන තැන. මුලින්ම වේදිකා නාට්‍යය, ඊට පස්සේ කලු සුදු චිත්‍රපට. ඊළඟට වර්ණ චිත්‍රපට ආවා. රූපවාහිනිය ආවාම හුඟ දෙනෙක් ඒක ප්‍රතික්ෂේප කළා. නමුත් මම ඒ තාක්ෂණයත් එක්ක යමින් ටෙලි නාට්‍යය නිෂ්පාදනයට, අධ්‍යක්ෂණයට සම්බන්ධ වුණා. ඊට පස්සේ අපේ සිනමා ක්ෂේත්‍රයේ හුඟ දෙනෙකුත් ටෙලි නාට්‍යය කලාවට අවතීර්ණ වුණා. අද අපට අලුත් පරපුරක් සිටිනවා. එදා මම රූපවාහිනී මාධ්‍යයට සම්බන්ධ වුණේ අමුතුවෙන් පබ්ලිසිටි බලාපොරොත්තුවෙන් නෙවේ. ඒ වෙන කොට ඒ හැම දෙයක්ම මට ලැබිලා තිබුණා. අද ඩිජිටල් ආවා වගේම හෙට වෙන අලුත් තාක්ෂණයක් එයි. ලෝකේ හැටි එහෙම තමයි. ඉතිං අපි ඒ අලුත් තාක්ෂණික ක්‍රම හඳුනාගෙන ඒවා අපට ගැළපෙන විදිහට සකස් කරගන්න ඕනෑ.

රූපවාහිනිය පවා අද ඩිජිටල් වෙලා?

ඔව්, ඉදිරියේදී අනිවාර්යයෙන්ම සියලුම රූපවාහිනී විකාශනයන් ඩිජිටල් තාක්ෂණයට යොමු වෙනවා. අද අපි හුඟක් වෙලාවට කතා කරන්නේ මේ රූපවාහිනී විකාශයන් කොලිටි නෑ කියලනේ. ඒ විදිහටනේ අපි තක්සේරු කරන්නේ. අපි ඩිජිටල් වෙන්නේ නැතිව සිනමාවත් පරණ විදිහට හන මිටියක් වගේ බදාගෙන හිටියොත් අපට ලෝකෙත් එක්ක යන්නට බැහැ. සිනමාව කියන්නේ වෙනම මාධ්‍යයක්. ඒක තියටර් එකකට ගිහින් බලන්න ඕනෑ දෙයක්. හැමදාම ටෙලිවිෂන් එකේ දකින දෙයක් නෙවේ.

මේ වෙන කොට 3 D සිනමාවත් අපේ රටට ඇවිත්?

ඉතින් ඒ විදිහට අපේ සිනමාව ඉදිරියට යන්න ඕනෑ කියන තැන තමයි මම හැමදාම හිටියේ. මම මුල් වෙලා අප අතරේ සිටින ප්‍රධාන සිනමා ශිල්පීන් කැඳවලා ඩිජිටල් සිනමාව ගැන විශේෂ සම්මන්ත්‍රණයක් පවා පැවැත්තුවේ ඒ නිසයි. ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ, ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර, මහීල් පෙරේරා ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගි වුණා. බොහොම සංවාදශීලීව එය පැවැත්වුණේ. මේ සම්මන්ත්‍රණය එක පැත්තකින් බැලුවාම හරියට දෙබරෙට ගල් ගැහුවා වගේ වැඩක්.

ඇයි ඒ?

හුඟ දෙනෙක් හිටියේ දෙගිඩියාවෙන්. මොකද අපි මේ ගෙවන්නේ සංක්‍රාන්ති සමයක්. ලෝකයේ තාක්ෂණය කියන දේ හැම වෙලේම මාරු වෙනවා. අපේ අල්ලපු රට ඉන්දියාවත් දැන් 80% ක් විතර ඩිජිටල් තාක්ෂණයට මාරු වෙලයි ඉන්නේ. අපිත් කොහොම හරි මේ ක්‍රමයත් එක්ක යන්න ඕනෑ.

නමුත් ඇතැමුන් මෙය පොදු කාරණාවක් ලෙස සලකා ක්‍රියා කරනවාට වඩා පෞද්ගලිකව තමන්ට ලකුණු දමා ගන්නට දරන උත්සාහයක් බවත් පෙනෙන්ට තිබෙනවා . . .?

ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ වගේ දැනුවත් අය අප සමඟ ඉන්නවා. ඉතින් මේ කාර්යයට ඔවුන් දායක වන්නේ පෞද්ගලික වාසි බලාගෙන නෙවෙයි. මට නම් මේකෙ කිසිම පෞද්ගලික වාසියක් නැහැ, පාඩුවක් මිසක්. මගේ තනි වියදමෙන් තමයි මේ සම්මන්ත්‍රණය පවා මම පැවැත්වුවේ. අප අලුතෙන් ආරම්භ කළ චිත්‍රපට නිර්මාණකරුවන්ගේ සංසදයත් මේ කාර්යයට එකතු වුණා. මෙතනදි අපට තියන ප්‍රධාන ගැටලුවක් තමයි සමහරු තත්ත්වයෙන් බාල ;ද්වල් ප්‍රමෝට් කරන්නට යාම. ඒක මට නම් පේන්නේ තමන්ගේම අතින් බෙල්ල කපා ගන්නවා වගේ වැඩක් .

ඔබ ඔය චෝදනා එල්ල කරන්නේ H. D.  තාක්ෂණයට ද . . .?

සිනමාවේ අපි සාමාන්‍යයෙන් ප්‍රමිතිය හැටියට ගන්නේ 4K ඉඳන් 2K වෙනකල්. එතකොට 2K වලටත් අඩු කොලිටියක් කියන්නේ ඒක ගැළපෙන්නේ නෑ ඇත්තටම සිනමාවට. ඉන්දියාවේ 1800 එහෙම නැතිනම් තවුසන්ඩි එයිට් හන්ඩ්‍රඩ් කියන එකත් ප්‍රතික්ෂේප වෙලා අද 2K වලට ඇවිත් තියෙන්නේ. අපේ රටේ සමහරු 1200 ඒ කියන්නේ හොඳටම අඩු තත්ත්වයක් ප්‍රමෝට් කරන්න යන එක ලොකු ගැටලුවක්. අපේ සිනමාව බොහොම දුප්පත්. අපේ සිනමා කර්මාන්තයට ගැළපෙන්නේ මේ වගේ තාක්ෂණයක් බව කියමින් ඔවුන් නිෂ්පාදකයන් මුලා කරනවා.

ඇත්තටම මේ හරහා නිෂ්පාදන පිරිවැයේ යම් අඩුවීමක් සිදු වෙන්නේ නැහැ කියා කියන්න බෑනේ?

අපි, ළඟ තියෙන වාසියක් දිහා බලාගෙන වැඩ කළොත් ඒකෙන් පාඩු වෙන්නේත් අපටමයි. සමහරු ලෝබජට් කියන වචනයට මුවාවෙලා නොගැළපෙන දේ කරන්න උත්සාහ කරනවා. කොටින්ම සිනමා ශාලා හිමියන්ට පවා ලොකු බියක් ඇතිවෙලා තියෙනවා මේකට අපි කොහොමද ප්‍රක්ෂේපන යන්ත්‍ර සූත්‍ර මිලදී ගන්නේ කියලා. එහෙම හිතලා බෑ. එහෙම හිතුවොත් තමන්මයි පරාද වෙන්නේ. කවදා හරි මේ ප්‍රක්ෂේපන යන්ත්‍ර පවා අපට අලුතෙන් මිලදී ගන්න වෙනවා.

මෙතනදි ජාතික චිත්‍රපට සංස්ථාවේ මැදිහත්වීමෙන් සිනමාහල් හිමියන්ට යම් ණය මුදල් ප්‍රදාණය කිරීමේ වැඩ පිළිවෙලකුත් දියත් කෙරෙනවා නේද?

ඔව් . . . ඔව් . . . ඔව්, සංස්ථා පනතටම අපි එය ඇතුළත්කර තිබෙනවා. අම්බලවානර් කමිටුව, නිලවීර කමිටුව වගේ දේවල් හරහා අපට තිබුණ මේ ජාතික සම්පත උඩු යටිකුරු වෙලයි තියෙන්නේ.

පඹ ගාලක පැටලිලා?

ඔව්, අද චිත්‍රපට සංස්ථාව කියන්නේ නිකම්ම, නිකං බිල්ඩිමක් විතරයි. පාලන තන්ත්‍රයත් අවුල් වෙලා තියෙන්නේ. ඒක මට කියන්න සිදු වෙනවා කණගාටුවෙන් වුණත්. එහෙම තත්ත්වයක් වෙන්න දෙන්න බැහැ.

එතකොට සංස්ථාවේ නව සභාපතිතුමන්ගේ වැඩ පිළිවෙල යටතේ ඔබ යම්කිසි ප්‍රගතියක් දකින්නේ නැතිද?

එතුමා උත්සාහ කරනවා යම් ප්‍රගතියක් ඇති කරන්න. නමුත් ඉතින් ඒ වෙන කොට සෑහෙන දේවල් සිද්ධ වෙලා. මේක මට ඉස්සර හිටපු සභාපතිතුමා යටතේ ආරම්භ කළ දෙයක්, ඒකට මට අත ගහන්න බෑ වගේ දේවල් කියලා වගකීීමෙන් නිදහස් වෙන්න කාටවත් බෑ. මේක කැක්කුමක් එක්ක යන්න ඕනෑ ගමනක්. දැන් කාලයක් තිස්සේ එක, එක සභාපතිවරු ආවා, ගියානේ. කැක්කුමක් තිබ්බ අයත් හිටියා. නමුත් සංස්ථාව ඇතුළෙම අය ඒ අයට ඉන්න දුන්නේ නෑ.

චිත්‍රපට සංස්ථාවෙන් නමක් හදාගන්න උවමනාවක් තිබුණේ නැති අය ඒ අතර හිටියා. නම් වශයෙන් කියන්න අවශ්‍යය නෑ. සංස්ථාවේ ඇතමුන් තුළ තිබූ නිලධාරිවාදය සහ ආත්මාර්ථකාමී බව නිසා ඒ අයට තමන්ගේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න බැරි වුණා. අද තමන් කරපු වැරදි තේරිලා අර ගලේ පහරපු බළලුන් වගේ කර කියා ගන්න දෙයක් නැතිව ඔහේ බලාගෙන ඉන්නවා. වත්මන් සභාපතිතුමාත් ඉන්නේ මේ වගේ ගැටලු මැද්දේ. පෞද්ගලික කාරණා විසඳා ගන්නවාට වඩා සිනමාවේ ගැටලු විසඳගන්නයි කවුරුත් උත්සාහ කළ යුත්තේ. මොකද කාලෙන් කාලෙට සභාපතිවරු එනවා යනවා. ඒත් සංස්ථාව, සිනමා කර්මාන්තය කියන එක හැමදාම පවතිනවා. අපි හැමෝම මේ ගැන කල්පනා කරලා වැඩ නොකළොත් මේ කාලයේ හිටපු සාප ලද්දෝ බවට අනාගතයේදී අප පත් වෙනවා.

ඔබ ඇතුළු කලාකරුවන් පිරිසක් පසුගියදා ජනාධිපතිතුමන් මුණ ගැසෙන්නට ගියා?

මගේ ආරාධනයෙන් ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ, ආචාර්ය සුමිත්‍රා පීරිස්, රවීන්ද්‍ර රන්දෙණිය, රවීන්ද්‍ර ගුරුගේ ඇතුළු පිරිසක් ජනාධිපතිතුමන් හමුවෙන්නට ගියා. ඒ වගේම මේ අවස්ථාවට චිත්‍රපට සංස්ථා සභාපති අශෝක සේරසිංහ, ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය ආමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත්, නීති කෙටුම්පත් අංශයේ නිලධාරිතුමිය ඇතුළු පිරිසක් සහභාගි වුණා. එතනදි ජනාධිපතිතුමන් සිනමාවේ ප්‍රශ්න, සිනමාකරුවන්ගේ ගැටලු ගැන කතා කරලා ඒවා සම්බන්ධයෙන් දැක් වූ සුබවාදී ප්‍රතිචාර අපට ලොකු ධෛර්යක් වුණා. මමත් එතනදි එතුමන්ට කීවේ ‘ඔබතුමා අපව බේරා ගන්න’ කියලයි. ඇත්තෙන්ම ජනාධිපතිතුමා කලාකරුවෙක් වීමම අපේ භාග්‍යක්. චිත්‍රපට සංස්ථා සභාපතිතුමාට එවේලේ ජනාධිපතිතුමා නියෝග කළා චිත්‍රපට සංස්ථා පනත නිසියාකාරව ක්‍රියාත්මක කරන්න කියලා.

මා දන්නා තරමින් දැනට අපේ සිනමාවේ තියෙන ගැටලු රැසකට චිත්‍රපට සංස්ථා පනත හරහාම විසඳුම් සෙවිය හැකියි?

ඔව්, මේක ප්‍රබල පනතක්. උදේ 8.00 ට ඇවිත් 4.30 ට අත්සන් කරලා ගෙදර ගියාට මේ ප්‍රශ්න විසදෙන්නේ නැහැ. ඊට වඩා සිනමාව ගැන ඔවුන්ට කැක්කුමක් තියෙන්න ඕනෑ. දැන් මේවා කිව්වා කියලා සමහරු මගෙත් එක්ක තරහ වෙයි. මෙච්චර කල් අපි වෙනුවෙන් එයාලා යමක් කළේ නෑ කියන්නෙත් හරියට තරහා වෙලා හිටියා වගේමනේ. චිත්‍රපට පිටපත් පනහ ඉක්මවා ප්‍රදර්ශනය කිරීම අද බරපතල ගැටලුවක් වෙලා තියෙන්නේ. එහෙම කළාට කමක් නෑ ඉස්සර වගේ අපට චිත්‍රපට ශාලා තුන්සිය ගණනක් තිබුණානම්. ඒ වගේම පෝලිමෙන් පිට චිත්‍රපට ප්‍රදර්ශනයට අවසර දීම. කාට බයේද, කොතනට යට වෙලා ද මේවා කරන්නේ. මේවාට ඉක්මන් විසඳුම් ඕනෑ. ලංකාවේ සෑම පලාතකම අලුතින් සිනමාහල් ඉදි කරන්න අපි රජය සතු ඉඩම් ඉල්ලා තිබෙනවා. ප්‍රාදේශීය සභා, පළාත් සභා හා මහවැලියට අයත් ඉඩම්. තඹුත්තේගම මහවැලි ඉඩමක් දැනටමත් අපට ලැබී තිබෙනවා.

මාලිනී ෆොන්සේකා පාර්ලිමේන්තුවට ගියේ සිනමාව වෙනුවෙන් පෙනී සිටින්නමද කියලා මට අහන්න හිතෙනවා මේ වෙලාවේ?

ජනාධිපතිතුමන් මට මේ මන්ත්‍රී ධූරය පිරිනමද්දී එතුමා මගේ කාර්යභාරය සිනමාව වෙනුවෙන් ද වෙන කුමක් වෙනුවෙන් ද කියා කිව්වේ නැහැ. නමුත් මම වතුර උගුරක් බිව්වේ, ජීවත් වුණේ සිනමාවෙන් උපයා ගත් දෙයින්. ඉතින් මගේ යුතුකම තමා හැකි පමණින් ඊට උදවු කිරීම. ඒ යුතුකම වෙනුවෙන් මා අද දවසේ කැප වී සිටිනවා.

අපේ ප්‍රබල සිනමා නළු නිළියන් කලින් කල පාර්ලිමේන්තුව නියෝජනය කළා. අදටත් එහෙමයි. ඒත් අපේ ගැටලු නම් තාම එතනමයි. ගාමිණී ෆොන්සේකලාට, රවීන්ද්‍ර රන්දෙණියලාට, ජීවන් කුමාරතුංගලාට කරන්න බැරි වුණ දේ මාලිනී ෆොන්සේකාට කළ හැකි යයි කියා ඔබ සිතනවාද?

ඒ අයත් අපේ සිනමාව වෙනුවෙන් යම්, යම් දේ නොකලා කියා කියන්න බැහැ. නමුත් ඒ සමහර කෙනෙකුට බාර වී තිබුණේ හාත්පසින්ම වෙනස් විෂය පථයක්. එතනදි සිනමාවට තමන්ගේ අවධානය යොමු කරන්නට ඒ අයට නොහැකි වෙන්නට ඇති. ඔවුන්ට විවිධ බාධක ආවා. මටත් එහෙම එන්නට පුළුවන්. ඒත් එහෙම නොවේවා කියා අපි ප්‍රාර්ථනා කරමු.

ඒත් රන්ජන් රාමනායක වගේ කලාකරුවකුගෙන් ඔබට සහයෝගය ලැබෙයිද?

ඇයි . . .?

ඔහු විපක්ෂයේ නිසා?

අපි රන්ජන්වත් මේ පැත්තට ගත්ත නම් හරි. මොකද ඔහුත් බලාපොරොත්තු වෙන්නේ හොඳ සිනමාවක්නේ. පක්ෂ, පාට මොකක් වුණත් අපේ අභිප්‍රාය විය යුත්තේ අපේ සිනමාවේ දියුණුව. ඒ සඳහා අප සියලුම දෙනා එකාවන්ව අත්වැල් බැඳ ගත යුතුයි. මේ වෙන කොට කලාකරුවන් පන්සිය දෙනෙකුට නිවාස ලබාදීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා සංස්කෘතික ඇමැති ටී. බී. ඒකනායක මැතිතුමාගේ මෙහෙයවීමෙන්. ඒකට මමත් සම්බන්ධ වී සිටිනවා. එතකොට කලාකරුවන් වෙනුවෙන් පොලී රහිත වාහණ ණය යෝජනා ක්‍රමයක් දැන් ක්‍රියාත්මක වෙනවා. කලාකරුවන් වෙනුවෙන් මේ රජය විශාල යුතුකම් කොටසක් ඉටු කරන්නේ ඒ විදිහටයි.