|
පරණ පාරේ අලුත් ඈයෝ
සොබා දහම හඬයි රුවයි එක්තැන් කරන්නේ කලාතුරකිනි. එහෙත් එවැනි සුසංයෝග බොලිවුඩයට නම් ආධුනික නැත. නූර්ජහන්, සුරෙයියා වැනි ගායිකාවන් බොලිවුඩ් තිරය ඒකාලෝක කළේ රුවින්, රංගනයෙන් පමණක් නොව මිහිරි හඬ ද එක් කරමිනි. ඒ සොඳුරු අතීතයෙන් පසු මෑත කාලයේ කෙතරම් දක්ෂ සුරූපී රංගන ශිල්පිනියන් සිටිය ද ඔවුන්ගේ හඬ නම් තිරයට එක් වූයේ නැත. නව පරපුරින් මේ නිහැඬියාව බිඳ දැමූ තාරකාව ප්‍රියංකා චොප්රායි. ප්‍රියංකා චොප්රාගේ පියා අශෝක් චොප්රා ද ගායකයකි. ඔහුට අවශ්‍ය වූයේ ප්‍රියංකා ගායිකාවක කිරීමටයි. ඇය ඒ සිහිනය සැබෑ කරමින් බටහිර සංගීතය ද හදාරමින් සිටින්නීය. ඇය ගිය මඟ යමින් ඇයගේ ඥාති සොයුරිය නැඟී එන ජනප්‍රිය නිළි, පරිනීතා චොප්රා ද ගී ගැයීමට පෙළඹී සිටින්නීය. ප්‍රියංකා ආසාවට ගී ගයද්දී කත්රිනාට ගී ගැයීමේ අවස්ථාව ලැබෙන්නේ ඉබේටමය. අද අංක එකේ බොලිවුඩ් නිළි තාරකාව කත්රිනා කායිෆ්, යාෂ් රාජ් ගේ ‘ඩූම් 3’ හී ගී ගැයුවාය. යළිත් ඇයට ගී ගයන්නට වරම් ලැබී තිබේ. ඒ ඔස්කාර් සම්මානලාභී ඒ. ආර්. රහමන්ගේ තනුවකටයි. යාෂ් රාජ්ගේම ෂාරුක් ඛාන් සහ අනුෂ්කා ෂර්මා ප්‍රධාන චරිත නිරූපණය කරන සිනමා පටයක ගී ගැයීමට කත්රිනාට අවස්ථාව උදා වී ඇත. පකිස්තානු ගායක අලි සෆර්ගේ ඉල්ලීමකට ඔහුගේ ගීත ඇල්බමයට ද මීට පෙර ඇය ගී ගැයුවාය. කත්රිනාට, ප්‍රියංකාට මෙන් ගී ගැයීමේ උමතුව නැතත්, ගී ගැයීමට ඇති ඇරැයුම්වලින් අඩුවක් නැත්තේ සැබෑවටම ඇයගේ හඬ මිහිරි නිසා විය යුතුයි.
ගිනස් පොතට යන්න ඕන කැපවීමක්
‘ගැන්ග්ස්ටර්’ සිනමාපටයේ රූගත කිරීමකදී ඔහු පුරා පැය 20 ක් මඳ විවේකයක් හෝ නොගෙන රඟපා තිබේ. ඒ වායු සමීකරණය කළ සුඛෝපභෝගී පරිසරයකදී නොවීම තවත් විශේෂයකි. මූම්බායි නගරයේ දූලි පිරුණු වීදිවල ගිනිගහන මධ්‍යහ්නයේදී පවා ඔහු මිනිත්තුවක විවේකයක්වත් නොගෙන රඟපා තිබේ. ඔහු සමඟ රඟන ජෝන් ඒබ්‍රහම් පවසන්නේ අපට ඔහු සමඟ හැරෙන්නටවත් බැහැ කියායි.
හරි යන්න හරි යන්න හිතට බයලු
ඔහු රැඟූ ‘දාබන්ග්’, ‘රෙඩි’ හා ‘බොඩිගාඩ්’ එක පිට එක ආදායම් වාර්තා බිඳ හෙළමින් තිරගතවෙද්දී තමන් භයානක අඩවියකට පිවිස ඇති වගක් ඔහුට හැෙඟයි. ‘චිත්‍රපටි සියල්ලම සාර්ථක වීම ගැන හිතට සතුටුයි. එත් ඒ නිසාම ඊළඟ චිත්‍රපටියේදී මොකක් ද කරන්නේ කියලා තේරෙන්නේ නැහැ. මං හිතන්නෙ මං ඉන්නෙ භයානක තත්ත්වයකයි කියලා.’ මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු එසේ පවසා තිබේ. හතළිස් හත් හැවිරිදි සල්මන් ඛාන්ගේ විසිහතරක ආයු කාලයක් ඇති සිනමා ජීවිතයේ මේ ගෙවෙන්නේ සුවිශේෂී කාල පරිච්ඡේදයකි. ප්‍රථම වරට යාෂ් රාජ්ගේ සිනමාපටයකට දායක වන්නට ලැබීම නිසා ඔහුගේ සිත සතුටින් පිරී ඇත. ඊයේ මුල්වරට තිරගත වූ ‘එක් තා ටයිගර්’ සිනමාපටයට ද හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතී. හිටපු පෙම්වතිය කත්රිනා කායිෆ් සමඟ සල්මන් ඛාන් තිරයේ පෙම්වතුන් ලෙස මේ සිනමා පටයෙන් දකින්න ලැබෙන්නේ සිව් වසරකට පසුවයි.
කත්රිනාට කොළ එළියක්
දීපිකා පදුකෝන් සමඟ රන්බීර්ගේ තිබූ හාදකමට රතු එළිය දැල් වූයේ, ඔහුගේ මව නිතූසිං බව බොහෝ දෙනකු නොදනී. දීපිකා, රන්බීර්ට ගැළපෙන්නියක නොවන බව නිතූ පවසා ඇත. එහෙත් කත්රිනා සම්බන්ධව නම් තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. කත්රිනාට නිතූ මෙන්ම රිෂි කපූර් ද මහත් සේ ආදරය කරති. කත්රිනා ද රන්බීර්ගේ ක්‍රිෂ්ණරාජ් නිවෙසට අමුත්තියක නොවෙයි. ඇය කපූර් නිවෙසට නිතරම යන්නීය. මේ කත්රිනාට සිකුරාගේ කලදසාව ලබා ඇති කාලයකි. රාජ්නීති - 2 සඳහා ද කත්රිනා තෝරා ගෙන තිබේ. කත්රිනාගේ රාජ්නීීති පළමු රංගනය විචාරක පැසසුම් ලැබූවකි. |