|
රඟපාමු හීනය සැබෑ කළ - ගයානි
ඉදිරියටත් ඒ වගේමයි. මේ එවැනි වූ ලෙංගතුකමින් ලැබුණු අත්වැලින් රඟපෑමේ සිහිනය සැබෑ කර ගැනීමට සමත් වුණු තරුණියක්. නමින් ඇය ගයානි ක්‍රිෂාන්ති කුමාරි. පිළියන්දල ඇරැව්වල විද්‍යාලෝක මහා විද්‍යාලයේ පාසල් වේදිකාව ගයානිගේ රංගන නර්තන දිවියට ආලෝකයක් වුණා. රඟපෑමේ සිහිනය පුංචි කාලේ ඉඳලම ඇයගේ සිතේ තිබුණා. අද ඒ සිහිනය සැබෑ වෙමින් රංගන ශිල්පිනියක් විතරක් නෙමෙයි, නර්තන ශිල්පිනියක් වෙන්නත් ඇයට වාසනාව උදා වෙලා තියෙනවා. ඉතින් ගයානි අපි ඒ ගැන කියමුනේද? ඔව් ඇත්තටම මම කියන්න ඕනෙ මට අද මේ ගමන එන්න ශක්තියක් වුණේ පාසල් වේදිකාව. ඒ ගමන යන්න සරසවිය මට තවත් ශක්තියක් වුණා. ඒ නිසා මට සුමිත් සුරංගගේ හත්වෙනි කාමරේ වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම විලියම් ඔල්ස්ගේ ‘සුදු අක්කා’ චිත්‍රපටයටත් ආරාධනාවක් ලැබුණා. මේ දිනවල ඒවාට සහභාගි වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.ගයානි රංගනයට විතරක් නෙමෙයි, නර්තනයටද හැකියාවක් තියෙන කෙනෙක්. මම පාසල් යන කාලෙ ඉඳලම රංගනයට වගේම නැටුම්වලටත් ගොඩක් කැමැත්තෙන් හිටියේ. දැන් මට ඒ අවස්ථාවන් ලැබිලා තියෙනවා. ප්‍රදීපා ආරියවංශගේ නර්තන කණ්ඩායමට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. මේ දිනවල දුෂ්‍යන්ත වීරමන්ගේ නර්තන ප්‍රසංගයකටත් ආරාධනාවක් ලැබිලා තියෙනවා. රංගනය වගේම මට නර්තනයෙනුත් මගේ දක්ෂතා පෙන්වන්න දැන් මට පුළුවන්. ගම ගොඩක් සුන්දරයි. ගමට ආදරය කරන කෙනකුට ගැමිකම අමතක කරන්න බැහැ. ගයානිගේ හිතේ තියෙන ආසාව තමයි ගැමි චරිතයක් රඟපාන්න. ඇය ඒ අවස්ථාව ලැබෙනකම් බලා සිටිනවා. ඒ වගේම හොඳ ලැබෙන ඕනෑම චරිතයකින්ම තමාගේ රංගන හැකියාව ඔබට පෙන්වන්න ඇය සූදානම්. රංගනයට නර්තනයද එක් කරපු කලාවෙන් දිග ගමනක් යන්න ගයානි බලාපොරොත්තු වෙනවා. මේ වදන් සරසවියට කීව ගයානි තම ආදරණීය මෑණියන්ටත්, පියාණන්ටත්, සුමිත් සුරංගටත් විශේෂයෙන්ම ඇයට රඟපෑමේ අවස්ථාව ලබා දුන් සරසවියටත් හදපිරි ස්තුතිය පුද කරලා අද සරසවියෙන් නික්ම ගියත් නොබෝ දිනකින් ඔබ අතරට තරුවක් වී පායනු ඇති.
ගී අඳුරට කණා මැදිරි එළි දල්වන - සරත්
පුරා දශක තුනක් සුභාවිත ගීතයේ රුව ගුණ ප්‍රභාව ආරක්ෂා කිරීම සඳහා කැප වූ සරත් වීරසිංහ දශක තුනක් පුරා ගැයූ ගී අතරින් තෝරා ගත් විශිෂ්ට ගී දාසයක් ඇතුළත් ගී සමුච්ඡයක් ‘කණා මැදිරි එළි’ නමින් එළි දක්වා ඇත. ගුවන් විදුලියෙන් හා රූපවාහිනියෙන් ඇසුණු ඔහුගේ ජනප්‍රිය ගී දාසයක් මෙම කණා මැදිරි එළි නමින් මෙහි එළි දක්වා තිබීම විශේෂත්වයකි. ඔබයි ඔබේ සිනා පොදයි, සිහින මල් අරණේ, කණා මැදිරි, සඳමන්දහාස, මේ අත් භවයේ, ලැව් ගින්නක් සේ, රිදී හවඩි, සීත රෑ යාමේ, ලංකා මගේ, පායා සීත රාත්‍රියේ, හිච්චි නගේ, සිතන්න සිතන්න, රන් කුරහන් යායේ, මුමුණමින් කියූ කතා අමතක කරන්න නම්, නෙතට කඳුළ දී ආදී ජනප්‍රිය ගීත මෙහි ඇතුළත්ය.
ආනන්ද ගමගේ, රෝහණ ධර්මකීර්ති, නාලක අංජන කුමාර, ජයන්ත සී. ගුණතිලක, නිමල් ගුණසේකර, සුසන්ත මදුරප්පෙරුම, හෙක්ටර් සුරවීර, බන්දු එස්. කන්නංගර, කුමාරසිරි පතිරණ, අරුන් ශ්‍රී ප්‍රසාද් ගී තනු නිර්මාණය කොට ඇත. එස්. ඒ. ඥාණසිරිගේ නව සංස්කරණයෙන් සංගීත රසකාමී රසිකයන්ට තිළිණ කෙරෙන සරත් වීරසිංහයන්ගේ ‘කණා මැදිරි එළි’ සඳහා රිද්මා ස්වරාංගී වීරසිංහ සහාය ගායනයෙන් එක් වෙන්නේය. ‘දිරිය’, කොට්ටල, වේයන්ගොඩ සරත් වීරසිංහගේ ලිපිනයයි. |