|
||
බිලී කොකු සහ මාළු ගැන කියන Salmon Fishing in the Yemen
සැමන් මාළු ගැන කතාවක් කියන්නට ගැහැනුන්,මිනිසුන් සහ දේශපාලඥයන් පටලවා ගැනීමට උවමනාද? කොහෙත්ම නැත. එහෙත් මේ සැමන් මාළුන් බිලී බාන යේමනයේ කතාවකි. ඒ කතාව කියන්නට ගැහැනුන්, මිනිසුන් සහ දේශපාලඥයන් අවැසිය. උවමනා විට රජයේ නිළධාරීන් කිහිප පොළක්ද පටලවා ගත යුතුය.' සැමන් ෆිෂින්ග් ඉන් ද යේමන්'සිනමාපටයේ උඩු පෙළ කියවද්දී ඇත්තේ එතරම් විශේෂ නැති පිස්සු කතාවකි. එහෙත් කතාන්දරයේ මදක් ගැඹුරට යන විට එහි ඇති යටි පෙළ නරඹන්නාගේ කණට ගසන්නාක් සේ දැනෙයි. යේමනයේ ශේක්වරයෙකු ගිනි ගහන අව්ව ඇති යේමනයේ තැනක විසල් ජලාශයක් සාදවා ලන්ඩනයෙන් සැමන් මාළු ගෙනැවිත් යේමනයේ ජලාශයක ඇති කිරීමට බලාපොරොත්තු වෙයි. මේ සියල්ලටම මුල ආර්ථික උපදේශිකාවක වන හැරියට් චෙට්වුඩ් ටෝල්බට් ගේ අදහසකි. යේමන ශේක්වරයෙකු වෙත එක් ඊ-මේලයක් යවන ඈ අනෙත් ඊ-මේලය යවන්නේ සැමන් මාළු පිළිබද විශේෂඥයෙකු වන දොස්තර ඇල්ෆ්‍රඩ් ජෝන්ස් වෙතය. ඈ ජෝන්ස්ගෙන් අසන්නේ යේමනයට සැමන් මාළු පියෑඹීමේ යෝජනා ක්‍රමයක් සාර්ථක විය හැකිද යන්නයි. ජෝන්ස්ගේ පිළිතුර කිසිසේත්ම නැත යන්නයි. ඈ ශේක්වරයා වෙත යෝජනා කරන්නේ මෙවන් යෝජනා ක්‍රමයකට ඔහු මුදල් යෙදවීමට කැමතිද යන්නයි. ශේක්වරයාගේ පිළිතුර ඔව් යන්නයි. වර්තමාන වෙළෙඳ ලෝකයේ යථාර්ථය හෙළි කරන මේ අපූරු යෝජනාව ඒ ක්‍රියාවට කිසිසේත් අදාල නොවන්නෙක් වෙතින් ලැබීම උත්ප්‍රාසාත්මකය. මන්දයත් හාත්පස ලෝකයේ මේ වන විටත් සිදු වෙමින් පවතින්නේ මෙවන් යෝජනා හා විප්‍රකාර ක්‍රියාත්මක කිරීම් හේතුවෙනි.
එනම් අරාබි ලෝකයට සුබවාදී පුවතකින් පෙර කී ඇෆ්ගනිස්ථාන පල්ලියේ සිදුවීම වසා දැමීමට උත්සාහ කරයි. මේ සැබෑවයි. කුදු මහත් සිදුවීමකටම දේශපාලනය වක්‍රව හෝ සෘජුවම මැදිහත් වන බව පවසන ආකාරයයි. අගමැති ලේකම්වරිය පැට්‍රීෂියා මැක්ස්වෙල් සතු බලය අසීමිතය.ඈ බොහෝ දේ පාලනය කිරීමට සමත් තැනැත්තියකි. මේ අතර දොස්තර ඇල්ෆ්‍රඩ් ජෝන්ස්ගේ බිරිය සහ ඔහු අතර ඇති දුරස්ථ සබඳතාවය ප්‍රේක්ෂකයාට පෙන්වීමට අමතක නොකරයි.එමෙන්ම ආර්ථික උපදේශිකාවක වන හැරියට් චෙට්වුඩ් ටෝල්බට් ගේ පෙම්වතාවත් පෙන්වීමට අමතක නොකරයි. ඔහු හමුදා සේවයේ නියතු අයෙකු බවද වක්‍රාකාරයෙන් පවසයි. ජෝන්ගේ බිරිය තම රැකියාවට කැපව සති දෙකක රාජකාරී කටයුත්තක් සඳහා ජිනීවා බලා පිටත්ව යයි. ජෝන් තවමත් යේමනයේ සැමන් මාළු ඇති කිරීමේ ව්‍යාපෘතිය කෙරෙහි ප්‍රසාදයකින් කටයුතු නොකරයි. අගමැතිගේ මාධ්‍ය උපදේශිකාව මේ ව්‍යාපෘතිය පිළිබද දැඩි උනන්දුවකට පත් වන්නේ ඇෆ්ගනිස්ථාන මුස්ලිම් පල්ලියේ බෝම්බ සිදුවීම යේමනයට මාළු යැවීමෙන් වසා ගත හැකි යැයි තදින්ම විස්වාස කරන හෙයිනි. මේ එදිනෙදා ජීවිතයේ දේශපාලනය හැසිරෙන ආකාරයයි. ජෝන් මේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට අකමැති විට ඔහුගේ ප්‍රධානියා හරහා ඔහුව සේවයෙන් පහ කරන බවට ආදරයෙන් තර්ජනය කරන්නේ ද එකී දේශපාලනයයි. ලන්ඩනයට අවැසි ආකාරයට ජෝන් හැසිරෙන විට යේමනයට අවැසි ආකාරයට හැසිරීමට එහි සල්ලිකාර ශේක්වරයා සූදානම්ය. මේ දෙදෙනාවම තම තමන්ගේ අරමුණු වෙත කේන්ද්‍ර කිරීමට ආර්ථික උපදේශිකාව සමත්ය.
විප්‍රකාර අභිමතාර්ථයක් වූ ලන්ඩනයෙන් යේමනයට මාළු ගෙන යෑමේ කතාව තුළින් එක් විටම පෙම් කතාවක් පැන නඟී. ජෝන් සහ හැරියට අතර ඇති වෙන්නට යන මේ අහඹු පෙම් කතාව ප්‍රේක්ෂකයාට මද ආතතියක් ගෙන දෙන සුළුය. හැරියට්ගේ පෙම්වතා හදිසි යුද කටයුත්තකට මැද පෙරදිග රටක් වෙත යවන අතර ඔහු අතුරුදන් වී ඇති බවට හැරියට් වෙත ආරංචියක් ලැබෙයි. මේ හිඩැස පිරැවීමට ජෝන් උත්සාහ කරන අතර ශේක්වරයාගේ බලාපොරොත්තුව පිරවීමට ජෝන් සහ හැරියට් උත්සාහ කරයි. අගමැතිවරයාගේ අනාගත බලාපොරොත්තු ඉෂ්ට කිරීමට ඔහුගේ මාධ්‍ය ලේකම්වරිය තැත් කරයි. මේ කදිම දම්වැලකි. සෑම කෙනෙක්ම එහි සෑම පුරුකකම ගැලවී නොයන සේ එල්ලී සිටිනු පෙනෙයි. ඒ මදිවාට ප්‍රේක්ෂකයාද මේ දම්වැලේ එල්ලීමට මඟ බලමින් සිටිනු පෙනෙයි. හැරියට්ගේ අතුරුදන් වූ පෙම්වතා ඇතුළු සියලු සෙබළුන් ක්‍රියාන්විතය තුළදී මිය ගිය බව රූපවාහිනී නිවේදනයක් අසන හැරියට් සැමන් මාළු ක්‍රියාන්විතය අත් හැර සැබෑ ලෝකයට පැමිණෙයි. ඈ ශෝක වෙමින්,හඬා වැළපෙමින් තම පෙම්වතා සිහි කරයි. නමුත් අවසානයේ ඇයටද පෙර කී දම්වැල අත්හැර ගත නොහැකිව සැමන් මාළු ක්‍රියාන්විතයට යළිත් සහභාගී වෙයි. මුහුදේ වෙසෙන සැමන් මාළු වෙනුවට අහාර පිණිස ඇති කරන සැමන් මාළු යේමනය වෙත යැවෙයි.
අවසානයේ ශේක්ගේ සිහිනය සැබෑ වන බවක් පෙනෙයි. ජෝන් සහ හැරියට් මේ අතරතුර අප්‍රකාශිත ප්‍රේමයකින් බැඳී සිටිනු පෙනෙයි. එහෙත් සිනමාපටයේ හොඳම ලක්ෂණය වන දේශපාලනයට අතුල් පහර ගැසීමේ ක්‍රියාදාමය යළිත් ආරම්භ වෙයි. අතුරුදන් වී ඉන් පසුව මිය ගියා යැයි පවසන හැරියට්ගේ පෙම්වතා පණ පිටින් බව සොයා ගැනේ. අගමැතිගේ මාධ්‍ය ලේකම්වරිය ඒ ඇසුරින් දේශපාලන වාසියක් ලබා ගැනීමට යයි. එනම් ශේක්වරයාගේ මාළු බෑමේ ක්‍රියාවලිය අතරතුර අතුරුදන් වූ වීර අමෙරිකානු සෙබළා අහඹු ලෙස යේමනයට එවීමයි. මේ මාධ්‍ය අවධානය ලබා ගැනීමට කදිම කඳුළු කතාවකි. අගමැතිවරයාට මාළු බෑමට හැකි දැයි අසන මාධ්‍ය ලේකම්වරිය වීර සෙබළා සමඟ අගමැතිවරයා මාළු බාන ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබා ගැනීමට මාධ්‍ය මෙහෙයවයි. නමුත් ශේක්වරයාගේ එදිරිවාදීන් විසින් කෘත්‍රිමව තෑනූ වේල්ලේ සොරොව්ව හැර දැමීමෙන් සියලු දෙනා චණ්ඩ රැල්ලක හසු වෙයි. මිනිසුන් නොමැරී බේරෙන මුත් සැමන් මත්ස්‍යයන් මිය යයි. හැරියට් සිය පෙම්වතා සමඟ තම රටට යාමට තීරණය කරන අතර ජෝන් අතීරණාත්මකව රැදී සිටියි. මේ අතර සුළු බහින්බස් වීමකින් පසුව ජෝන්ගේ බිරියද ඔහු හැර යයි. දැම් මෙතැන අවුල් ජාලයකි. සියල්ලට මුල ශේක්වරයාට මාළු බාන්නට ඕනෑ වීමයි. හැරියට්ගේ යේමනයට සැමන් මාළු පියෑඹවීමේ අදහසයි.ඇෆ්ගනිස්ථාන මුස්ලිම් පල්ලියකට එල්ල කළ බෝම්බයයි.අගමැතිගේ මාධ්‍ය ලේකම්වරියයි. සියල්ලේ කොණ දේශපාලඥයෙකු රැදී සිටියි. එනම් මොවුන් සියලු දෙනාවම බිලී බාගන්නේ ඔහුය. එහෙත් සිනමාපටයේ රිද්මය අමතක කරමින් හින්දි චිත්‍රපටයක මසාලා ලක්ෂණ අනුගමනය කරමින් හැරියට්ව දොස්තර ජෝන්ට හිමි කර දෙයි.ඇගේ හමුදා පෙම්වතා ඉක්මන් පරාජයක් කැමැත්තෙන් භාර ගෙන පිටව යයි. අමුතු හැඩයක් ගත් සිනමාපටයක් එහෙව් සරල අවසානයකින් නිහඬ වීම එතරම් සුදුසු නැත. එමෙන්ම සිනමාපටයේ යටි පෙළ හරහා ගලා ගිය දේශපාලනය ක්‍රම ක්‍රමයෙන් හීන වී යාම ද එහි රසය හීන වීමට එක් හේතුවකි. සිනමාපටයට බැදෙන ප්‍රේක්ෂකයා මීට වඩා බරපතල දෙයක් ඉන් පලාපොරොත්තු වූවාට කිසිදු සැකක් නැත. කෙසේ නමුත් 'සැමන් ෆිෂින්ග් ඉන් ද යේමන්' අමුතු හැඩයකින් යුක්ත රසවත් සිනමාපටයක් බව නොකියාම බැරිය.
|
||