|
හම්බ කරපු සල්ලිත් නෑ - හදා ගත්ත ගෙපැලත් නෑදේශපාලකයෙකු මගේ නිවහනට රිංගලාසෝනියා දිසා
සිනමාවෙන් ඉපයූ ලක්ෂ ගණනක මුදල් සෝනියා, ‘ගෝල්ඩන් කී’ ආයතනයේ තැන්පත් කළේ ජීවිත සිනමාවේ අග භාගය සැනසිල්ලේ ගත කිරීමටයි. දැන් ඇයට ඇත්තේ එකම එක බලාපොරොත්තුවකි. ඒ කොම්පඤ්ඤ වීදියේ නිවෙසේ උරුමය යළි ලබා ගැනීමයි. එහෙත් සමාජ සාධාරණත්වය ගැන හඬ ගා කෑ ගසන ප්‍රබල රතු නායක සහෝදරයකුගෙන් නිවෙස බේරා ගැනීමට ඇයට දැන් දැඩි සටනක් දීමට සිදු වී තිබේ. පුදුමය නම් සියල්ල අහිමි වුවත්, දස වසරකින් කිසිදු සිනමාපටයකට දායක නොවුණත්, සෝනියාගේ සිත කම්පා නොවීමයි. ඇයගෙන් නැඟෙන සිනහව පෙර පරිදිම සොඳුරුය. පියකරුය. ජීවිතයේ හැට අට වෙනි සැතපුම් කණුව පසු කරමින් සිටින මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය මුවින් කිසිවකුටත් නොබැණ මැදහත් සිතින් සිටින්නීය. ‘ඇත්තටම මට හරි සතුටුයි. පසුතැවෙන්න කිසි දෙයක් නැහැ. සිනමාවේදී නපුරු, දුෂ්ට, සෙල්ලක්කාර විතරක් නෙවෙයි අහිංසක තරුණියක් ලෙසිනුත් රසිකයන් වෙත ආවා. තරුණ වයසේදීම මවගේ චරිතය නිරූපණය කළා.’
වත්තල ශාන්ත ආනා බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී මිතුරියන් සමඟ සිනමාපටයක් රූගත කිරීම නැරැඹීමට ගිය ඇයට ඉබේම රංගනයට දොර විවර වූයේ එලෙසයි. මේ සිහිනයකිනිදු ඇය පැතූ පැතුමක් නම් නොවෙයි. මේරිගේ පියා ඇය කුඩා වියේදීම මිය ගියේය. නංගී සහ මල්ලිලා දෙදෙනකු සමඟ මේරි, මවට ජීවිතය ගෙන යාමට උදව් වුණේ කවරදා හෝ කන්‍යා සොයුරියක වීමට සිහින මවමිනි. එහෙත් ඇයගේ දෛවය ලියැවී තිබුණේ සිංහල සිනමාවේයි. හෙට ප්‍රමාද වැඩියි සිනමාපටයේ ඇයට රඟන්නට ලැබුණේ ජෝ අබේවික්‍රම සහ සිරිමතී රසාදරී සමඟයි. ‘එදා හොඳටම මං බය වුණා. හරිම බයෙන් රඟපෑවේ. සිනමාවේ මුල්ම අත්දැකීම අදටත් ඇයගේ හදට තිගැස්මක් ඇති කරයි.
මේරිගේ රුව තිස්සගේ ඇස ගැසිණි. ඔහු කලාමැදිරියෝ සිනමාපටයේ ප්‍රධාන චරිතයට මේරි තෝරා ගත්තේය. මේරි නම සිනමාවට නොගැළපෙන නිසා තිස්ස අබේසේකරයන් ඝන බලා සෝනියා දිසා නම තැබුවේය. සෝනියා යනු පියද්‍රෝර් ඉස්තොව්ස්කිගේ අපරාධය හා දඬුවම කෘතියේ එන ප්‍රධාන චරිතයේ නමය. කලාමැදිරියෝ එළි නොදුටුව ද සෝනියා නොනැවතුණි. නමේ වාසනාව සෝනියාගේ ජීවිතයට ලොතරැයි දිනුමක් විය. චණ්ඩියා (1965) සිනමා පටයේ සෝනියා රැඟුවේ සමාජ ශාලාවක නාටිකාංගනාවකගේ චරිතයයි. ‘ඔබ දුටුදා’ (1966) රසිකයෝ ඇය ගාමිණී ෆොන්සේකා නම් සිනමාවේ ආදරණීය පෙම්වතා සමඟ රඟනු දුටුවෝය. ඒ ඔහුගේ සොහොයුරිය ලෙසය. සෝනියා මුල් වරට ගාමිණීගේ පෙම්වතිය වූයේ ‘ඔහොම හොඳද’ (1970) සිනමාපටයේයි. තිරයේ මහා සුපෙම්වතුන් තිදෙනාගේම පෙම්වතිය වීමට ලැබීමම නවක තාරකාවකගේ ශ්‍රේණිය උසස් වීමකි. සෝනියා ඒ උසස් වීම ඉක්මනින්ම ලැබුවාය.
‘ඔව්, නෑදෑයෝ සිනමාපටය (1976) රූගත කරද්දී සිදු වූ රිය අනතුරකින් මගේ කට ඇද වුණා. ඇහැක් තුවාල වුණා. අතක් කැඩුණා. අනතුර දුටු සමහරු සිතුවේ නැහැ මං ජීවතුන් අතර කියලා. සුව වෙන්න අවුරුද්දක් ගියා. හිඟන කොල්ලා, ජනක සහ මංජු, බංගලි වළලු වැනි චිත්‍රපටවල රඟපෑවේ ඉන් පසුවයි. * දඟකාර පෙම්වතිය ලෙස රසික ප්‍රතිචාර නොමඳව ලැබෙන්න ඇති . . .? ඒ කාලේ ප්‍රේක්ෂකයෝ අප බලන්න, කතා කරන්න පොර කනවා. අපි නිසා පොලිසියෙන් ගුටි කන, පාසල් යාම මඟ හරින රසිකයෝත් හිටියා. සමහරු මල් පොකුරු එව්වා. ඒත් සිනමාවට එන විටම මං කරු දිසානායකට හිත දීලයි තිබුණේ. කරුත් රඟපෑවා. දියණිය හර්ෂණීත්, පුතුත් රඟපෑවා. කරුගෙන් මගේ රංගනයට දිගටම සහයෝගය ලැබුණා. * ඔබ කලා ලොවින් දුරස් කළේ සැමියාගේ රෝගී බවයි . . .? මට සිනමාවටත්, පුංචි තිරයටත් අවුරුදු ගණනකින් රංගනයෙන් දායක වෙන්න ලැබුණේ නැහැ. කරුගෙ අන්තිම කාලයේදී ඔහුට සාත්තු කළා. කලාවක් ගැන හිතන්න හිතක්, වෙලාවක් තිබුණේ නැහැ. ඒත් අදටත් මට අවස්ථාවක් ලැබුණොත් රඟපාන්න ආසාවෙන් ඉන්නවා. පුංචි තිරයට දායක වෙන්න ලැබිලම නැහැනෙ.
සිනමා කර්මාන්තය කඩා වැටී තිබියදී සනත්, සබීතා මට සිනමාපට නිපදවන යෝජනාව ගෙන ආවා. සුනිල් ටී, සුනිල් සෝම සහයෝගයත් අමතක කරන්න බැරි විදියට ලැබුණා. ‘මමයි රජා’ වගේ නිපද වූ සිනමාපට අති සාර්ථක වෙද්දී සිනමාව පෝෂණය වුණා. ඒ කාලෙ ගෙවල් කිහිපයක් තිබුණු නිසා කට වවනෙට පවා හිතවතුන්ගේ හිසට සෙවණ දුන්නා. තිබුණු සම්පත් විකුණලා තැන්පත් කළේ ජීීවිතයේ අන්තිම කාලේ සැනසීමෙන් ඉන්න. ඒත් අද ඉන්න ගෙයක්වත් නැහැ. * අද කාලේ අය ගැන හිතෙන දේ? මෑතක මට චිත්‍රපට බලන්න ලැබුණේ නැහැ. දුවත් පුතත් සමඟ ඔස්ට්‍රේලියාවේ නතර වෙලා හිටියේ. එහිදී ටෙලි නාට්‍ය බැලුවා. අලුත් අය හරිම දක්ෂයි. ජීවිතයේ සැඳෑ සමය ඔස්්ට්‍රේලියාවේ ගත කරන්න හැකි වුණත් ඇයගේ සිත ඇත්තේ ලංකාවේය. ඒ කලාකාමී සිතක හැටියි. |